හදවතට වැඩි බරක් දුන් ජයන්තා

පෙබරවාරි 11, 2021

ජයන්තා රුක්මණි සිරිවර්ධන සරසවියට ළබැදි හිතවතිය, එහි විනිශ්චය මණ්ඩලයේ වරෙක ගෞරවනීය සාමාජිකාව, පසුගිය බදාදා එනම් පෙබරවාරි මස තුන් වැනි දින සදහටම අප අතහැර ගියාය. ඒ පණිවිඩය ලැබුණේ ප්‍රවීණ සිනමා විචාරක ගාමිණී වේරගමටය. ගාමිණි වේරගම, සිනමාවේදී ජයන්ත චන්ද්‍රසිරි, ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය අරුණ ලොකුලියන හා මා ඒ මොහොතේ උන්නේ එක් වැදගත් සාකච්ඡාවක නිරත වෙමින්ය. අපේ සාකච්ඡාව එතැනින් නතර විණ. මාතෘකාව වෙනස් විය. ඒ ජයන්තා අක්කා පිළිබද කතිකාවකටය. අප සියලු දෙනාට කුමක්දෝ කිව නොහැකි ශෝකජනක සටහනක් ඇය සමග විය. අපට පමණක් නොව ඇය ඇසුරු කළ ඇය ගැන දන්නා කාටත් එය පොදු කරුණක් විය. ජයන්තා අක්කා වෙන්ව යන බව අපි දැන සිටියෙමු. කොවිඩ් වසංගතය විසින් එකිනෙකා හමුවන්නට ඉඩ නොදුන්න ද ඇය පිළිබඳ ඇයගේ සෞඛ්‍ය තත්ත්වය පිරිහෙන අන්දම පිළිබඳ අපට දැන ගන්නට ලැබිණ. එබැවින් දිනෙන් දින ඇයගේ අවසානය සමීප වන බව අප සියල්ලන් දැන සිටි කරුණක් විය. එහෙත් එම ආරංචිය ලැබුණු විට එය ඇය ගැන දන්නා කිසිවකුට හෝ දරන්නට බැරි එකකැයි අප කිසිවෙකු හෝ සිතන්නට නැත.

ජයන්තා රුක්මණි සිරිවර්ධන ලේඛිකාවකි. කිවිඳීයකි. නවකථාකාරියකි. විචාරිකාවකි. එමෙන්ම ජ්‍යෙෂ්ඨ පරිපාලන නිලධාරිණියකි. කෙතරම් කාර්යබහුල වුවත් මේ සියල්ල මැද කාගේ වුවත් දුකට පිහිට වන ඉතා ළබැඳී සොහොයුරියක ද වූවාය. මිය යන විට රාජ්‍ය සේවයෙන් විශ්‍රාම ලබා සිටි ඇයට වයස අවුරුදු 71ක් යැයි කිසිවකු හෝ සිතන්නට නැත. රෝගී වනතුරුම ඇය ඉතා ප්‍රියමනාප කාන්තාවක වූවාය. ඉතාම සුන්දර ලෙස ඇන්දාය.

ගුරු පවුලක වැඩිමහල් දියණිය ලෙස ඉඳුරුවේදී ජයන්තා රුක්මණී අබේවික්‍රම නමින් උපත ලද ඇයට රුක්මණි යනුවෙන් නම ලැබුණේ මව්පියන් ගේ ප්‍රියතම නිළිය රුක්මණිය වූ නිසාවෙන් බැව් වරෙක ඇය පැවසුවාය. ඇයගේ පියා විදුල්පතිවරයෙකු වූ ම.පී.ගුරුදාස මහතා හෙළ හවුලේ සාමාජිකයකු විය. එබැවින් ඇය කුඩා කල සිට පොත් කියවන්නට පුරුදු වූවාය. ඇය පුවත්පත් සඳහා ලියන්නට පටන් ගන්නේ ළමා වියේ පටන්ය. පසුව කොළඹ විශ්වවිද්‍යාලයෙන් උපාධිය ලබන ඇය ඉඩම් නිලධාරිනියක ලෙස පරිපාලන සේවයට එක්වන්නීය. ඇය විශ්‍රාම ලබන විට වෙළෙඳ අමාත්‍යංශයේ අතිරේක ලේකම්වරියක වූවාය. ඇයගේ මුල්ම කෘතිය 1987 වසරේ එළි දුටු ළමා කෘතියක් වන 'තිළිණි ගේ යාළුවෝ' ය. අනතුරුව ඇය 'කුරුල්ලෝ ඇවිල්ලා' ළමා පද්‍ය කෘතිය එළි දැක්වූවාය. 'ගංගාගේ කතාව' ඇය ලියූ තවත් ළමා කෘතියකි. හරස්කඩ, අවසන් හෝරාව, බමර සුසුම, කැලණි ගඟ හඩයි, ඇය කිවිඳීයක ගේ ප්‍රතිභාව පළ කළ කෘතින් අතර වෙයි. 'සහතික කළ බිරිඳ' ඇයගේ කෙටි කථා එකතුවකි. 'මාරියාව' හා 'යුගඳුරු ගෙත්තම' ඇයගේ නවකථා ද්විතවයයි. 'සිතක සිතුම්' ඇය විසින් පුවත්පත් අරබයා ලියන ලද තීරු ලිපි එකතුවකි. 2016 වසරේ දී ඇයගේ අවසාන ග්‍රන්ථය වන 'නිරුවත් පුෂ්පය' එළි දැක්විණ. එය ද කෙටිකථා එකතුවකි.

ජයන්තා රුක්මණි සිරිවර්ධන විවිධ විනිශ්චය මණ්ඩලවල ද සාමාජිකත්වය දැරුවාය. සාහිත්‍ය සම්මාන මෙන්ම සිනමා හා ටෙලි නාට්‍ය උලෙළයන්හි ද සම්මාන විනිශ්චය මණ්ඩල රැසක ඇය සාමාජිකාවක වූවාය. සරසවිය සම්මාන උලෙළේ ඇය විනිශ්චය මණ්ඩල සාමාජිකාවක වූයේ 2008 වසෙර්ය. සමාජය පිළිබඳ ඇගේ දැක්ම මානව දයාවෙන් පිරි විචාරිකාවක වග පළවනුයේ ඇය විසින් වරින්වර කරන ලද නිර්මාණ විමසා බැලීමේදීය. බොහෝ නිර්මාණකරුවන්ගේ කෘතින් මඟින් ඉස්මතු කරන මානව ප්‍රේමය නිර්මාණාත්මක මිථ්‍යාවක් බැව් ඔවුන් ඇසුරේ දී පෙනෙන කරුණකි. එහෙත් ජයන්තා පිළිබඳ දිය හැකි හොඳම සහතිකය නම් ඇය ගේ කෘතින් මෙන්ම ඇයගේ දිවිය ද මානව ප්‍රේමයේ සංකේතයක් වූ බවය. ඇය සිනාසුණේ හදවතින්මය. ඇය මිය යන බව දන්නා සියල්ලන්ටම එය දරා ගත නොහැකිවූයේ ඇය සතු එම අප්‍රමාණ ගුණය නිසාය.

ලේඛනයේදී ඇය විසින් උපයුක්ත කරන ලද බස සරලය. නැවුම්ය. ඒ සියල්ල ඕනෑම තරාතිරමක කෙනෙකුට යා දෙන්නේය. එබැවින්ම ඇය ලියන දේ කියවන්නට රුචි විය. ඇය ඇසුරු කරන සියල්ලටම ඈ සොහොයුරියක ද මවක ද වූවාය. මේ හාදකම ඇය පවුල් අතර මිත්‍රත්වය දක්වාම දීර්ඝ කරන්නට තරම් හපනියක වූවාය.

ඇයගේ හිතේෂිවන්තකම විටෙක බුද්ධියට වඩා හදවත තීන්දු ගන්නා කාන්තාවක බවට පරිවර්තනය කරයි. ඇය විනිශ්චය මණ්ඩල සාමාජිකත්වය උසුලන ඕනෑම මොහොතක එබඳු තර්ක විතර්ක සියල්ලටම පුරුදුය. ඒ හැමවිටම හදවතට වැඩි බරක් දෙන බැවින්ය. මේ තර්ක විතර්ක අවසානය අමනාප සිතින් කෙළවර විය හැකි නමුත් ඒ මොහොතකට පමණකි. ඒ ඇගේ නිර්මල හදවතේ ස්වභාවයයි. ඇයගේ මෙම ස්වභාවය නිසා පරිපාලන නිලධාරිනියක හැටියට ඇයගෙන් සිදුවූයේ අගනා සේවාවකි.

මේ ලිපිය අවසන් කරන්නට ඇය විසින් සදාකාලික රහසක් සේ තබන්නට යැයි පවසා මට කළ උපකාරයක් ද සඳහන් කරනු කැමැත්තෙමි. මෙරට දරුවකු පාසලකට දමා ගැන්ම යනු එක්තරා ආකාරයක සංග්‍රාමයක් බැව් අමුතුවෙන් කිවයුතු නැත. මෙයට වසර ගණනාවකට පෙර මගේ දියණිය මුලින් ඇතුළු කරන ලද්දේ පෞද්ගලික පාසැලකටය. දෙවැනි ශ්‍රේණියේදී එක්තරා හේතුවක් මත මම ඇය පාසැලින් ඉවත් කර ගතිමි. රජයේ පාසලකින් ලැබෙන රැකවරණය පෞද්ගලික පාසලකින් නොලැබෙන බැව් ඒ වන විට මගේ අත්දැකීම විය. මුල් පාසලෙන් අස් කරගත්ත ද දියණිය අලුත් පාසලකට ඇතුළත් කර ගැන්ම පහසු නොවිණ. මේ සඳහා මා වෙත සත්භාවයෙන් උපකාර කරන්නට ඉදිරිපත් වූ කිසිවකුට හෝ එය කරගන්නට බැරි විය. වාරයක් ද ගෙවිණ. මම සියල්ලන්ටම මුහුණ දී ගත නොහැකි උභතෝකෝටික ගැටලුවකට සිර වී සිටියෙමි. හදිසියේම මට ජයන්තා අක්කා හමුවිය. මගේ කලබලය දැක ඇය එයට හේතුව විමසා සිටියාය. මම ඇයට කාරණය පැවසුවේ සාමාන්‍ය හිතවත්කමටය. ඇය මොහොතක් කල්පනා කළාය. අනතුරුව ඇය අධ්‍යාපන අමාත්‍යංශයේ ඇමැතිවරයාට පමණක් දෙවැනි වන තැනැත්තාට කථා කළාය. ඇය ඔහුට කරුණු කෙසේ පැවසුවාද යත් එය මඟ හරින්නට ඔහුට නොහැකි විය. අවසානයේ දියණියට පාසලක් ලැබිණ. මේ උපකාරයට ඇය මගෙන් ඉල්ලා සිටියේ ඒ පිළිබඳ කිසිවකුට හෝ නොපවසන ලෙසය. ඒ එය එතරම් දුෂ්කර ක්‍රියාවක් නිසාවෙන්ය. මේ මොහොත එය හෙළිකරන්නට සුදුසුම අවස්ථාවයැයි මම සිතමි.‌

මේ බැව් හෙළි කිරිම පිළිබඳ ඇයගේ සැමියා සිරි අය්යාත් දියණිය ඕෂධීත් මට සමාව දෙනු ඇතැයි මම විශ්වාස කරමි. ඒ මතකය සමඟම ජයන්තා අක්කාට සුබ සංසාරික ගමනක් පතමි.