කඩවුණු පොරොන්දුව සැමරූ ගමේ සිනමා උලෙළ

පෙබරවාරි 4, 2021

 

ඔහු ගමේ පුංචි මිනිහෙක් වුණත් ඔහුගේ උත්සාහය රටක් වටිනව. පසුගිය 21 උදේ සරත්ගෙ කෞතුකාගාරය තුළ දේශීය කතානාද සිනමාවේ 74 සැමරුම වෙනුවෙන් චාම් ඒ වුණාට අභිමානවත් සමරු උලෙළක් සංවිධානයකර තිබුණ. පුහු ආටෝප, බොරු සෝබන, මාධ්‍ය සංදර්ශන නැති මේ චාම් සමරු උත්සවයට කඩවුණු පොරොන්දුව චිත්‍රපටයේ නිෂ්පාදකවරයා වූ එස්. එම්. නායගම් මහතාගේ මුණුපුරකුවන එස්. එම්. මානික්කම් මහතා සිය දරුපැටව් සමඟ සහභාගිවීම විශේෂත්වයක්.

 

සිංහල සිනමාවේ ප්‍රථම කතානාද චිත්‍රපටය වූ ‘කඩවුණු පොරොන්දුව‘ තිරගතකර පසුගිය 21 දාට වසර 74 ක් සපිරුණි. වසර 74 ක් යනු දිගු ඉතිහාසයකි. මේ ගෙවුණු කාලය තුළ අපේ සිනමාව වැටි වැටී යළි නැඟිටිමින් බොහෝ කටුකවූත් දුෂ්කරවූත් ගමනක පැමිණි බව මේ මොහොතේ සිහිපත් කළ යුතුය. කෙසේ වෙතත් කතානාද සිනමාවේ 74 වැනි උපන්දිනය ගැන සිනමා ක්ෂේත්‍රයේ සිටින බොහෝ දෙනකුට අමතකවීම ගැන සිනමා රසිකයකුª ලෙස හිතේ යම් කනස්සල්ලක් මෙන්ම වේදනාවක්ද ඇති බව මේ මොහොතේ කිවයුතුය. ඒ අපේ මිනිසුන්ගේ හැටි දැයි මට නොහැඟේ.

ඒත් 74 වැනි උපන් දිනය සමරන්න මේ රටේ සිනමාවට ආදරය කරන රසික සහෘදයෙක් 21 දා පුංචි සැමරුම් උත්සවයක් සංවිධානය කළා. ඒ සඳහා ඔහු මටත් ඇරියුම්කර තිබුණා. ඔහු ජේ. ආර්. රංජිත් එසේත් නැත්නම් ‘පලාගල චිත්‍රපටි සරත්’ කීවම බොහෝ දෙනකු හඳුනනවා. ඔහු සිංහල සිනමාවේ නළුවකු, අධ්‍යක්ෂවරයකු හෝ සිනමාවේ පොරක් ද නොවේ. ඒත් ඔහු සිනමාවට පණසේ ආදරය කරන සිනමා රසිකයෙක්. මේ කථානායකයා ගැන ‘සිනමා ප්‍රක්ෂේපණ යන්ත්‍ර එකතු කරන ගැමියා’ නම් ශීර්ෂය යටතේ 2020 ජනවාරි 23 දා සරසවිය පුවත්පතින් රටට හෙළිකළා ඔබට මතක ඇති.

අද ඔහු මේ ගෙවීගිය වසර 74 පුරා අපේ සිනමාව පෝෂණය කළ සියලුම සිනමා උපකරණ සංරක්ෂණය කරන කෞතුකාගාරයක් පවත්වාගෙන යනවා. ගමේ කුලියක් මලියක් කරගෙන ඉතා දුකසේ ජීවත්වන මේ ගැමියා අද රුපියල් ශතවලට මිල කළ නොහැකි සිනමා උපකරණ රැසක් එක්තැන් කරල තාවකාලික ගොඩනැඟිල්ලක පවත්වාගෙන යන කෞතුකාගාරය දැක්කම පුදුම හිතෙනව.

ඔහු ගමේ පුංචි මිනිහෙක් වුණත් ඔහුගේ උත්සාහය රටක් වටිනව. පසුගිය 21 උදේ සරත්ගෙ කෞතුකාගාරය තුළ දේශීය කතානාද සිනමාවේ 74 සැමරුම වෙනුවෙන් චාම් ඒ වුණාට අභිමානවත් සමරු උලෙළක් සංවිධානය කර තිබුණ. පුහු ආටෝප, බොරු සෝබන, මාධ්‍ය සංදර්ශන නැති මේ චාම් සමරු උත්සවයට කඩවුණු පොරොන්දුව චිත්‍රපටයේ නිෂ්පාදකවරයා වූ එස්. එම්. නායගම් මහතාගේ මුණුපුරකු වන එස්. එම්. මානික්කම් මහතා සිය දරුපැටව් සමඟ සහභාගිවීම විශේෂත්වයක්. ඊට අමතරව පන්නල ප්‍රාදේශීය සභාවේ සභාපති රංජිත් ලංසකාර, පන්නල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සංස්කෘතික නිලධාරිනිය ඇතුළු රාජ්‍ය නිලධාරීන් ප්‍රවීණ කලාකරුවන් වන නීතිඥ ගාමිණී විජේවර්ධන, නාට්‍යවේදී පාලිත ලොකුපෝතාගම, නාට්‍යවේදී ප්‍රියන්ත රණසිංහ, ප්‍රාදේශීය සභා මන්ත්‍රී ලැම්බට් රණසිංහ ඇතුළු සිනමාවට ආදරය කරන සරත්ගෙ හිතවතුන් රැසක් එකට එකතු වුණා.

එස්. එම්. මානික්කම් පන්නල ප්‍රාදේශීය සභාවේ සභාපති රංජිත් ලංසකාර, ජේ. ආර්. රංජිත් මහත්වරු කඩවුණු පොරොන්දුව 74 සැමරුම වෙනුවෙන් සකස් කළ කේක් ගෙඩිය කැපුව. ඉන් අනතුරුව කෙටි උත්සව සභාවක්ද පැවැත්වුණා. සරත් වැනි ගමේ අහිංසක මිනිහෙක් දරන ලද මේ උත්සාහය අපි සිනමාවට ආදරය කරන මිනිස්සු විදියට අගය කළ යුතුයි. කෞතුකාගාරයට ස්ථිර ගොඩනැඟිල්ලක් සකස්කර මතු පරපුර වෙනුවෙන් මේ වටිනා උපකරණ රැකගැනීමට සරත් ගන්නා උත්සාහයට සාධාරණයක් ඉටුකිරීමට රටේ වගකිවයුත්තන් ක්‍රියා කළ යුතු බවත් එස්. එම්. මානික්කම් මහතා සඳහන් කළහ.

මෙහිදී අදහස් දැක්වූ පන්නල ප්‍රාදේශිය සභාවේ සභාපති රංජිත් ලංසකාර මහතා මෙවැනි සිනමා කෞතුකාගාරයක් මා දැක්ක පළමු අවස්ථාව. සිනමාවට ආදරය කරන රසිකයෙක් විදියට සරත්ගෙ උත්සාහයට අපි කාගෙත් ප්‍රණාමය හිමියි යුතුයි. එසේම සිනමාව පිළිබඳව හදාරන පාසල් දරුවන්ට විශ්වවිද්‍යාල සිසුන්ට මෙයින් ගත හැකි ප්‍රයෝජන අතිවිශාලයි. ඒ නිසා මෙම කෞතුකාගාරය විධිමත්ව පටන්ගෙන යාමට හැකි සෑම උපකාරයක්ම ප්‍රාදේශීය සභාවක් හැටියට අපි අපේ සහාය ලබා දෙනව. මෙම කෞතුකාගාරයට මෙතෙක් අඩුවක්ව පැවති නාමපුවරුවක් සවිකරදීමට කඩිනමින් පියවර ගන්නා බවද උත්සව සභාව ඇමතූ සභාපතිවරයා සඳහන් කළහ.