එන්න සිනමාව අරන් ලෝකයට යන්න නැතිනම් අපේ සිනමාව රතු දත්ත පොතට

CinemaCeylon ගැන තුසිත ද සිල්වාගෙන් අදහස්
ජනවාරි 28, 2021

අශ්වයකුගේ කුර සතර පොළොවේ නොගැටෙන අවස්ථාවක් ඇති බවට ඔට්ටු ඇල්ලූ ශ්‍රීමත් ලේලන්ඩ් ස්ටැන්ෆෝඩ්ට සාක්කි සැපයීමට 1878දී ඡායාරූප ශිල්පී එඩ්වර්ඩ් මුයෙබ්‍රිජ් කැමරා 24ක් යොදා ගත් ඡායාරූප මැජික් ලන්තෑරුමකින් නොපෙන්වූවා නම් මේ කිසිදු විවාදයක් අද සිදු නොවන්නට ඉඩ තිබිණි. ජූල්ස් මරේ කඩදාසි රෝලක මාළු රැලක් පිහිනන අයුරු රූගත කිරීම, එඩිසන් සහ ඩික්සන්ගේ කයිනෙටොස්කෝපය, ඊස්ට්මන්ගේ සෙලියුලොයිඩ් සේයාපටලය, ෆ්‍රෙඩ් ඕට්ස්ගේ කිවිසුම රූගත කිරීම, ලුමියේ සහෝදරයන් සිනමා වචනය යටතේ දුම්රියක පැමිණීම ඇතුළු චලන චිත්‍ර දර්ශන පෙන්වීම, එඩ්වින් එස්. පෝටර්, ඩී.ඩබ්ලිව්. ග්‍රිෆිත් සංස්කරණය සිනමාවට එක් කිරීම, වර්ණ සිනමාව, 'ද ජෑස් සිංගර්' සමඟ කථානාද සිනමාවේ ආරම්භය වැනි සියල්ල දශක දුසිමක් පුරා සිනමාවට වූ පරිණාමයේ මුල් යුගයේ සටහන්ය. ඒ සෑම විටෙකම ඊට පක්ෂවූත් විපක්ෂ වූත් මත තිබෙන්නට ඇත. ජංගම දුරකථනයෙන් පවා චිත්‍රපට බලන, නිර්මාණය කරන යුගයක, කොරෝනා නිසා සිනමාහල් වැසුණු අත්දැකීම ලද ලෝකයක, තාක්ෂණය මිනිසා වටා වේගයෙන් භ්‍රමණය වද්දී තවදුරටත් සිනමාව යනු පුළුල් තිරයට පමණක් සීමා වන්නක්ද යන්න පිළිබඳවද ඇත්තේ සංවාදයකි. ලෝකයේ බොහෝ රටවල් තම චිත්‍රපට ලොව පුරා ප්‍රදර්ශනය කරද්දී අපේ චිත්‍රපට මේ දිවයිනට පමණක් සීමා විය යුතුද? නූතන සිනමාවේ සිදුවන පරිණාමයට අප මුහුණ දිය යුත්තේ කෙසේද? මේ පිළිබඳ සරසවියට පවසන්නේ අපේ සිනමාව වෙනුවෙන් හෙට (29දා) සිට සිනමා සිලෝන් අඩවිය ඔස්සේ ඉදිරි පියවරක් තැබීමට සැලසුම් කර ඇති ප්‍රවීණ ටෙලි නිර්මාණවේදී තුසිත ද සිල්වා මහතාය.

මුලින්ම අපට කියන්න මොකක්ද මේ සිනමා සිලෝන් කියන්නේ?

CinemaCeylon කියන්නේ SVOD Platform  එකක්. ඒ කියන්නේ (Subscription based Video On Demand)  ඉල්ලුම මත දායකත්වය පදනම් කරගන්නා වීඩියෝ සැපයුම් වේදිකාවක් කියා සරලව සිංහලට නැඟිය හැකියි. ගෙදර ස්මාට් ටීවී එකක් තිබෙනවා නම් අපට කැමැති චිත්‍රපටයක් නැරඹීමට හැකියාව තිබෙනවා මේ ක්‍රමය යටතේ. මේ වේදිකා පිටුපස විශාල ඉතිහාසයක් තිබෙනවා. ඩිජිටල් ලෝකය අප ආක්‍රමණය කරලා අවසන්. එහි යූටියුබයටත් වඩා අලුත්ම ක්‍රමවේදය තමයි මේ එස්වීඕඩී වේදිකාව. ලෝකයේ ජනගහනයෙන් සියයට 59ට පමණ මොනයම් හෝ ආකාරයකින් අන්තර්ජාල පහසුකමක් තිබෙනවා. ඒ හැම කෙනකුටම මොන ආකාරයෙන් හෝ මේ වේදිකාවකට ඇතුළු වීමේ හැකියාවත් තිබෙනවා. එය කොයිතරම් විශාල ප්‍රේක්ෂාගාරයක්ද කියා හිතන්න. ඉතින් අප මේ කරන්න යන්නේ මේ පහසුකම ලාංකීය සිනමාවේදීන්ට තිබෙන දැවැන්ත ගැටලුවකට විසඳුම් දීමට බද්ද කිරීම.

මොන ගැටලුවද මේ හා බද්ද වන්නේ?

ලංකාවේ සිනමාව ලබන්නේ සීමිත ආදායමක්. 1977 විවෘත ආර්ථිකයෙන් පසු සාහිත්‍යය හා ඉතිහාසය ඉවත්වීම නිසාත් ඊට සමාන්තරව චිත්‍රාගාරවලට ගිනි තැබීම, සිවිල් යුද්ධය වැනි සෑම දේ නිසාම 60-70 දශකවල තිබුණු නිස්කලංකය නැතුව ගියා. කලාව රැකෙන්න අවශ්‍ය සවිවේකීබව නැති වෙලා වසර හතළිහකට පමණ පස්සේ එළඹිලා තිබෙනවා උච්ඡස්ථානයට. කොවිඩ් නෑ කියා උපකල්පනය කළත්, අපේ නිරීක්ෂණය තමයි ලංකාවේ ඉහළ සහ මැද පන්තිය ශාලාවකට ගොස් චිත්‍රපට හෝ නාට්‍ය නැරඹීම ඔවුන්ගේ දිවිපෙවෙතින් ඉවත් කර දමා තිබීම. අප කළ සමීක්ෂණයේදී අවුරුදු දහයකින් තියටරයකට ගිහින් චිත්‍රපටයක් නොබැලූ පිරිස් ඉන්නවා. එය සිනමාව පිළිබඳ තරහක් නොවේ, තරගකාරී සමාජයට මුහුණ දීමේදී ඇතිවන ප්‍රශ්නයක්. ඒ වගේම විවිධ තාක්ෂණික මෙවලම් නිසා ඒ අවශ්‍යතාව පිරිමහගන්න ක්‍රම ලැබී තිබෙනවා. සංඛ්‍යාලේඛන අනුව ලක්ෂ 35ක් පමණ ප්‍රේක්ෂකයන් නරඹා තිබෙන්නේ සිරි පැරකුම් පමණයි. වසර දහයකට පමණ වරක් එක් චිත්‍රපටයක් විතරක් ප්‍රේක්ෂකයන් නරඹලා කොහොමද සිනමා කර්මාන්තය දියුණු වෙන්නේ. 2018 වසරේ චිත්‍රපටවලට ආයෝජනය කළ මුදලින් සියයට 30ක්වත් සොයාගෙන නැති තරම්. ඉතින් ලොව පුරා හමන හුළඟක් තිබෙනවා සිනමාව වෙලාගෙන. එය තේරුම් නොගත්තොත් විශාල අර්බුදයකට මුහුණ දෙන්න වෙනවා.

මොකක්ද ඒ සුළඟ?

ඇත්තෙන්ම කවුරුන් හෝ විශ්වාස කරනවා නම් කොවිඩ් නිසායි ලංකාවේ සිනමාව බිඳ වැටුණේ කියලා ඒ වැරැදි මතය නිසා අපේ සිනමාව රතු දත්ත පොතට යන බවට සැකයක් නැහැ. කෙතරම් සාහසික වුවත් මට ඒ දෙ‌ය නොකියා බැහැ. අනෙක් අනතුර තමයි අවුරුදු දෙකේ සිට 10-15 දක්වා පමණ දරුවන්ට සිනමා ශාලා අත්දැකීම කියන දේ නැහැ. මේ නිසා සිනමාව විවිධ වෙනත් මෙවලම් ඔස්සේ නැරඹීමේ ප්‍රවණතාවක් ඇතිව තිබෙනවා. එය තමයි ලොව පුරා හමන සුළඟ.

සිනමා සිලෝන් මඟින් එයට දෙන විසඳුම කුමක්ද?

ලෝකයේ දියුණු කිසිම සිනමාවක් තමන්ගේ රටේ විතරක් ප්‍රදර්ශනයෙන් පවතින්නේ නෑ. ඒ නිසා අප උත්සාහ කරන්නේ මේ සයිබර් අවකාශයේ තිබෙන මේ සුවිශේෂී හැකියාව භාවිත කර අපට අපේ චිත්‍රපටවල සමාන්තර ලෝක නිකුතුවක් කරන්න. එවිට ලෝකයේ ඕනෑම රටක අන්තර්ජාල පහසුකම් සහිත ඕනෑම කෙනකුගේ මෙවලමකම මේ චිත්‍රපටය තිබෙනවා. අවශ්‍ය කෙනකුට චිත්‍රපටය මෙහි ප්‍රදර්ශනය වන පළමු තත්පරයේ සිටම එය ලෝකෙ ඕනෑම රටක සිට නරඹන්න පුළුවන්.

ශාලා හිමියන්ට එයින් අවාසියක් වෙයිද?

පැහැදිලිවම නැහැ. ඒ වැරැදි අදහස නිවැරැදි කරන්න මම මෙය අවස්ථාවක් කරගන්නවා. මොකද අපි ඒ වර්ල්ඩ් රිලීස් එක කරන්නේ ලංකාවට අන්තර්ජාලයෙන් නැරඹීමේ පහසුකම අත්හිටුවලා. සමහරු කියනවා එහෙම කරන්න බැහැ කියලා. ඒකත් වැරැදියි. මොකද අපට අවශ්‍ය අඩවි නොපෙන්වා ඉන්න පුළුවන් තාක්ෂණික ක්‍රම තිබෙනවා. ඒ නිසා ලෝකේ අනෙක් රටවල රසිකයන්ට පමණක් ඒ නැවුම් අත්දැකීම ගන්න සලස්වන්න පුළුවන්. එවිට ශාලා හිමියන්ට මෙයින් කිසිම අවාසියක් වන්නේත් නැහැ. මෙය ශාලාවල ආදායම අඩුවන්න හේතුවක් වන්නේ නැහැ. හැබැයි නිෂ්පාදකවරුන්ට අමතර ආදායමක් ලබා ගන්න හොඳ මාර්ගයක්. ඔවුන්ට ආදායම ලැබෙන්නේ ඩොලර්වලින්. ඇත්තෙන්ම මේ විදේශ විනිමයයි රටට ගෙන්වන්නේ. මෙය මීට පෙර අඛණ්ඩව ලැබුණු ආදායමක් නොවෙයි. අපේ වැටී තිබෙන කර්මාන්තය ගොඩ ගන්න හොඳම ක්‍රමයක්. මොකද දළ වශයෙන් ලෝක රසිකයන් 25000ක් මෙය නැරඹුවොත් අපට රුපියල් ලක්ෂ 80ක ආදායමක් ලැබෙනවා. එයින් නිෂ්පාදකයා රැකෙන නිසා ඔවුන් තව නිෂ්පාදනවලට අතගසයි. ඇත්තෙන්ම මෙයින් නිෂ්පාදකවරුන්ට පළමු මුදාහැරීමේදී අමතර ආදායමක් ලබා දීම සඳහා පමණයි කෙරෙන්නේ.

කුමක්ද මෙහි ක්‍රමවේදය?

චිත්‍රපටය නරඹන්න ක්ලික් කරලා මඟක් බැලුවත් ආදායම අපට ලැබෙනවා. සබ්ස්ක්‍රයිබ් කළාට නම් මුදලක් ලැබෙන්නේ නෑ. මෙය අසීමිත වෙළෙඳපොළක්. සමහරවිට මේ ක්‍රමය තිබුණා නම් මීට පෙර පාඩු විඳී චිත්‍රපට පවා ඉන් මිදෙන්න ඉඩ තිබුණා. මේ වෙද්දි අපේ රටේ ප්‍රධාන පෙළේ අධ්‍යක්ෂවරුන් කීපදෙනකුම අප සමඟ ඔවුන්ගේ මීළඟ චිත්‍රපට මුදා හරින්න කැමැත්ත පළ කර තිබෙනවා. මෙහි 2K සහ 4K ආදි ගුණාත්මක බවින් තමයි චිත්‍රපට ප්‍රදර්ශනය කරන්නේ. මෙහි විනිවිදභාවය තබා ගැනීමට අපි පියවර රැසක් ගෙන තිබෙනවා. පැරැණි චිත්‍රපට මිල දී ගෙන පෙන්වනවා වෙනුවට තිරගත කරන හැම චිත්‍රපටයක නිෂ්පාදකවරයකුටම තමන් උපයන සෑම ඩොලරයකින් සියයට 60ක් ලබා දෙනවා. අපේ ආයතනයට ගන්නේ සියයට 40ක් පමණයි. මෙය කොටස් ආර්ථික වගේම සමාජවාදී ක්‍රමවේදයක්.

මෙය ක්‍රියාත්මක වන්නේ?

මෙහි සර්වර් දෙකක් තිබෙනවා. ප්‍රබලම ඇමෙරිකානු සර්වරයක් සහ තවත් වැඩසටහන දුවන සර්වරයක් තිබෙනවා. අපට ලැබෙන සියයට 40න් වැඩි කොටස යන්නේ ඒ සර්වර් සඳහා. අපට කාර්යාලය පවත්වාගන්න අවශ්‍ය වන්නේ කුඩා සේවක පිරිසක් පමණයි. මෙහි ආරක්ෂාව සඳහාත් විවිධ ක්‍රමවේද අප යොදා තිබෙනවා. 

සිනමා සිලෝන්වලින් කෙරෙන්නේ මෙය පමණද?

නැහැ. අපේ තිබෙනවා ලෙජන්ඩ් වින්ඩෝ කියලා අපේ ප්‍රවීණම අධ්‍යක්ෂවරුන්ගේ තෝරාගත් කෘති කීපයක්. ඒ වගේම දෙමළ භාෂාවෙන් තැනූ චිත්‍රපට පෙන්වීමටත් අපි කටයුතු කරනවා.

ඊට අමතරව අපේම චිත්‍රපට නිර්මාණය සඳහා යොමුවීමට අපේක්ෂා කරනවා. හැබැයි මෙය සයිබර් වේදිකාවලට කරන බාල ගණයේ චිත්‍රපට කියා වැරැදි අදහසක් ගන්න එපා. සිනමාකරුවකුට චිත්‍රපටයක් කිරීමේදී අවශ්‍ය නිදහස ලබා දීමට, අතයට ගනුදෙනුවලින් තොරව කටයුතු කිරීමට, තමන්ගේ නිර්මාණ තමන්ගේම සයිබර් අවකාශයක ප්‍රදර්ශනයට අවස්ථාව සලසන ක්‍රමයක්. ඇත්තෙන්ම චිත්‍රපට නිර්මාණයට වඩා ප්‍රදර්ශනය අපහසු වෙලා තිබෙන නිසා ඊට සහනයක් ලබා දීම මෙහිදී සිදු වෙනවා. තිරගත කිරීමේදි සිදුවන මාෆියාවට යටත් නොවී ආත්මගරුත්වය තබාගෙන ලෝකයටම තමන්ගේ නිර්මාණ පෙන්වීමට අවස්ථාව සැලසෙනවා. දැනටමත් ප්‍රවීණ නිර්මාණකරුවන් කීපදෙනකු සිනමා සිලෝන් වෙනුවෙන්ම තම නිර්මාණ කිරීමට එකඟත්වය පළ කරන්නේ ඒ නිසා. එහිදී නිර්මාණකරුවන්ට වගකීමක් තිබෙනවා විශ්වීය තේමා ඔස්සේ තමන්ගේ නිර්මාණය සාර්ථක කරගෙන ලෝකය පුරා රසිකයන්ගේ අවධානය දිනා ගැනීමට. ඒ අවදානම නිවැරැදිව බාරගන්නා කෙනාට ලොතරැයියක් ඇදුණා හා සමානයි මෙය. 

මෙහි තේරුම ඔබ ආයතනය නිෂ්පාදනයට අතගසනා බවද?

ඔව්. 29 වැනිදා සවස 6.00 සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේදී ආරම්භ කෙරෙන මෙහි සුවිශේෂී පිරිනැමීමකින් එයට මුල පුරනවා. ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්ට කරන ගෞරවයක් වශයෙන් සිනමා කිවිඳීය සුමිත්‍රා පීරිස් මහත්මියට අපේ පළමු නිෂ්පාදනය සඳහා ආරාධනා කරනවා. අපට ආයෝජකයන් කීපදෙනකු සම්බන්ධ වී තිබෙනවා. අපි බලාපොරොත්තු වෙනවා වසරකට අවම වශයෙන් තරුණ අධ්‍යක්ෂවරුන් දෙදෙනකුට හෝ සිනමාවට ගෙන ඒමට. හැබැයි ඒවා දැවැන්ත පිරිවැයක් නොවන චිත්‍රපට විය යුතුයි. ඒ සඳහා තිරපිටපත මණ්ඩලයක් මඟින් අනුමත කරවා ගත යුතුයි. ඒවා විශ්වාසයෙන් යුතුව අපට බාර දිය හැකියි. චිත්‍රපටයේ වර්ගීකරණය අනුව සම්පූර්ණ වැය හෝ ප්‍රදර්ශනයෙන් පසු ගෙවීමේ පදනම මත කැමරා උපකරණ ලබා දීම හෝ කිරීමට හැකියි. චිත්‍රපටය ශාලාවල මෙන් සතියෙන් දෙකෙන් ඉවත් නොකර අවුරුද්දක් දෙකක් පමණ හෝ තිබෙන්න හරිනවා.

මේ සඳහා අවශ්‍ය චිත්‍රපට සංඛ්‍යාව ලංකාවේ නිපදවෙයිද?

අපිත් නිෂ්පාදනය කරන නිසා යම් සංඛ්‍යාවක් නිපදවෙයි. සැඟවුණු දක්ෂතා ඇති අය අපට හසුවෙයි කියාත් විශ්වාසයක් තිබෙනවා. දැනට අපි විදේශීය චිත්‍රපට ප්‍රදර්ශනයට සිතා නැහැ. එහෙත් අවසාන තීරකයා ප්‍රේක්ෂකයා නිසා ලංකාවේ අය මේ අභියෝගය නිසි විදිහට බාර නොගත්තොත් පැවැත්ම වෙනුවෙන් තීරණවල වෙනස්කම් ගන්න වුණොත් ඒ ගැන සිතා බලන්න වෙනවා. ඇතැම්විට ඉන්දියානු සහ ඇමෙරිකානු තිරරචකයන් සමඟ සංකල්ප බෙදා ගැනීමේ පියවරකට යන්න වන්නත් පුළුවන්. එවිට ශ්‍රී ලාංකික කොඩිය යටතේ ඒ නිර්මාණ ප්‍රදර්ශනය කරන්න පුළුවන් වෙයි.

මේ සංකල්පය පහළ වුණේ?

අපේ සිනමාවේ තිබෙන ප්‍රශ්නය පිළිබඳ අපේ කාර්යාලයේ තොරතුරු තාක්ෂණවේදී චිරස්ති ඇතුළු අපි කතා කරමින් ඉද්දි මට හිතුණා අපටත් මේ ක්‍රමයට වැඩේ කරන්න පුළුවන් නේද කියලා. එයට බොහෝ දෙනා කැමැත්ත පළ කළා. අපි අදහස් කරගෙන ඉන්නවා මේ වේදිකාවේ නිදහස් කෙරෙන චිත්‍රපට අතරින් සම්මාන උලෙළක් පවත්වන්න. එයින් යම් ජීවයක් මෙහි නිර්මාණකරුවන්ට ලැබෙන නිසා. ඉතින් අපි ආරාධනා කරනවා දැනට සිනමාවේ නියැළෙන අයට මෙන්ම සිනමාවට සම්බන්ධ වීමට කැමැත්තෙන් සිටින අයට මේ අවස්ථාවෙන් විපුල ඵල ප්‍රයෝජනය ලබා ගන්න කියලා.

තිලක් පෙරේරා