ජයතිස්ස අතුලසිරි සමුගනි

ජනවාරි 28, 2021

ජයතිස්ස අතුලසිරි පිළිබඳ මේ සටහන මෙතරම් ඉක්මනින් සරසවිය පුවත්පතේ පළ කරන්නට සිදුවේ යැයි අප සිතුවේ නැත. මේ ජීවිතයේ සිදු වන්නේ සිතුදෙය නොව නොසිතන දෙයක්මය. එහෙයින් ජයතිස්ස අතුලසිරි අපෙන් සදහටම සමු ගත් බව අප මෙතැන සටහන් කරන්නේ සංවේදී මනසිනි. ඔහුගේ නාමය ජයතිස්ස අතුලසිරි වුවද ක්ෂේත්‍රයේ බොහෝදෙනා ඔහු අමතන්නේ අනුරාධපුරයේ අතුල අයියා කියාය. ඒ වැව් බැඳී රාජ්‍යයේ ඔහු ජීවත් වූ බැවිනි. නුවරඑළියෙ ඉපදුණු අතුල පසු කාලීනව අනුරාධපුරයේ පදිංචියට එන්නේය.

ශ්‍රී මහා බෝධිය සිප එන සුළඟේ පහස උදේ හවස විඳීමට තරම් වාසනාවන්ත වූ ඔහු වේදිකා නාට්‍ය ඔස්සේ සිය රංගන ජීවිතය ආරම්භ කළේය. ඒ 1969 වසරේ රෙදි හෝදන මහත්තුරු වේදිකා නාට්‍යයෙ රංගනයේ යෙදෙමිනි. පසුකාලීනව වේදිකා නාට්‍ය තිහකට ආසන්න සංඛ්‍යාවක රංගනයෙන් දායක වන්නට වරම් ලද අතුල ස්වයංජාත, ගිරිදේවි, ගිරිකුල, රනා ආදී ටෙලිනාට්‍ය ගණනාවක රංගනයේ යෙදුණේය. ජයතිස්ස අතුලසිරිට සිනමාපට සඳහා ද නිරන්තරයෙන් රංගනයට ආරාධනා ලැබිණ. අසනි වර්ෂා, ඉරමැදියම, සුදු කළු සහ අළු, අරුමෝසම් වැහි, ආලෝකෝ උදපාදී, මහරජ ගැමුණු, සමනල සංධ්වනිය ඇතුළු සිනමාපට රැසක ජයතිස්ස අතුලසිරි සිය නිසඟ කලා හැකියාව ඉදිරිපත් කළේය. රංගනයේ යෙදෙමින් මහත්වූ ආත්ම තෘප්තියක් ලැබූ ඔහු සුළු චරිතයකට පවා අනුරාධපුරයේ සිට කොළඹ ආවේ දෙවතාවක් නොසිතාය. ඒ ගුණාංගය නිසා ඔහු රස්තියාදු වූ අවස්ථාවන්ද අනන්තය අප්‍රමාණය. ඒ සියලු දේට කම්පා නොවී අඛණ්ඩව රංගනයේ යෙදුණු අතුලසිරි නිර්මාණකරුවන්ට නිතර මතක් වන්නේ වැඩහිටි චරිතයක පුරප්පාඩුවක් ඇතිවූ විගසය. ඒවාට අමතරව හාමුදුරුනමකගේ චරිත රැසක්ද අතුලසිරි විසින් නිරූපණය කොට තිබිණ. අහිංසක කලා කරුවෙකු ලෙස සිය ජීවිතය ගෙන ගිය ඔහු සරසවිය අපට නිතරදෙවේලේ අමතමින් දුක සැප සොයාබැලුවේය. එලෙස අමතන ඔහුගේ ඇමතුම නිමකරන්නේ "මහත්තයලට ජය ශ්‍රී මහ හාමුදුරුවන්ගේ පිහිටයි" යනුවෙන් කියාය. ඒ හිතවත්කම් සියල්ල නිමාකරමින් පසුගිය ඉරිදා(1/24) පාන්දර අප අතරින් සමුගත්තේ වයස අවුරුදු හැට අට පසුකරමින් සිටියදීය.