රිචඩ් සමඟ සින්දු හැදූ සිරිල්

සී.ටී. ප්‍රනාන්දු (1921 - 1977)
ජනවාරි 28, 2021

සී.ටී. ජන්ම ශත සංවත්සරය අදයි

සී.ටීගේ ජනප්‍රිය සරල ගී ගායනයට පෙර පෙර චිත්‍රපට රඟපෑම හා චිත්‍රපට ගායනය ගැන කතා කර සිටිමු. ඔහු චිත්‍රපටයක විරිදු පෙලක් ගයමින් රඟපාන්නෙ "දෙයියන්ගේ රටේ" (1958) චිත්‍රපටයෙනි. ශ්‍රී පාද කන්ද අසල සිටි වයසක මිනිසකු ලෙස චිත්‍රපටයේ මේ ගීතය ගයන්නේ ජෙනී වින්ෆී‍්‍රිඩා සමඟය. පසුබිම් ගායනය ඇන්ජලින් ද ලැනරෝල් ගුණතිලක සමඟය. කරුණාරත්න අබේසේකර රචනා කළ මේ ගීතයේ සංගීතය පී.එල්.ඒ. සෝමපාල ය. 

"මෙයා මෙහෙම හිටියාට හොඳ ගායකයෙක්. රේඩියෝ සිලෝන් එකෙත් සින්දු කියනවා. නම සී.ටී. ප්‍රනාන්දු"

කොටුවේ ට්‍රාන්ස්වර්ක් ගොඩනැඟෙල්ලේ රෙජිස්ට්‍රාර් ජෙනරාල් කාර්යාලයේ Record Room කාර්යාලයේ තාවකාලික සෙවුම් නිලධාරියකු ලෙස සේවය කල හෙන්‍ රි ජයසේනට එහි සේවයට ආ අලුත් එවැනිම නිලධාරියකු හඳුන්වා දෙමින් ප්‍රධාන ලිපිකරු කීවේය. හෙන්රිට රේඩියෝ සිලෝන් එකේ ගීත ගැයූ සී.ටී ගැන යාන්තමට මතක තිබුණි.

"ඔව්... ඔව්... මම සී.ටීගේ සින්දු අහලා තියෙනවා" හෙන්රි කියමින් ඔහුට අතට අත දුන්නේය.

මේ සිද්ධිය පසුකලෙක හෙන්රි අපට මෙසේ කීවේය.

" එදා අපේ චීෆ් ක්ලාක් සී.ටී හඳුන්වාදෙමින් "ඔහොම හිටියට" කීවේ ඔහු කුඩා ප්‍රමාණයේ මිනිසකු නිසා. සී.ටී ප්‍රසන්න පුද්ගලයෙක්. ඔහුගේ මුවෙහි නිතරම පාහේ සිනහවක් රැඳී තිබුණා. එහෙත් කෑම පැයේ මිස ඔහුට කා සමඟවත් වැඩි කතාබහ තිබුණේ නෑ. නිතරම මේසය මත පෙරළා ගත් පොතක් තිබුණා. ඔහු ඒ කාලයේ පොතේ පිටු පෙරළමින් අලුත් නිර්මාණයක තාලය හෝ පදවැල් මිමිණුවා. ඒ සමඟම උකුසු ඇසින් ලේඛනය පිරික්සුවා.

"තවම ඉවර නැද්ද සී.ටී. තාලේ හදලා" ලිපිකරුවෙක් ඔහුගෙන් අසනවා. 

"හැදෙනවා... හැදෙනවා."

මගේ පුදුමය නම් සී.ටීත් මමත් "ගම්පෙරළිය" චිත්‍රපටයේ එකට රඟපෑමට ඉරණම් කරගෙන සිටි බව සිතුවේ නැහැ. ඒ 1962 වසරේ. ඔහු රඟපෑවේ මඟුල්කපුවාට. මම පියල්ට. හෙන්රි සී.ටී. හමුවීමේ මතකය අලුත් කරමින් කීවේය.

ගායනයට අමතරව සී.ටී. නාට්‍ය නළුවෙකි. 1947 වසරේ ඔහු "සිරිසඟබෝ" නාට්‍යයේ ගම්වැසියා ලෙස අපූරුවට රඟ පෑ අයුරු "ද ටයිම්ස් ඔෆ් සිලෝන්" පත්‍රයේ පළ වී තිබුණි. මේ නාට්‍යය නැරඹූ ප්‍රකට විදේශ නළුවෙකු වූ සර් සෙඩ්‍රික් හාඩ්වින්ගේ ලේළියක වූ ජීන් හාඩ්වින් එම පත්‍රයට මෙසේ ලියා තිබුණාය.

"රක්තාෂියාගේ බිහිසුණු ක්‍රියාවක් යැයි දැනුම් දීමට ආ ගම්වැසියාට (සී.ටී) ප්‍රසංශා කිරීමට මම කැමැත්තෙමි. අහිංසකත්වය පළ කරමින් නියම ගම්වැසියෙකුගේ ආකාරයෙන් ඔහු වාදනයට අනුව ගී ගැයුවේය. ලෙලව ලෙලවා - නවත නවතා ඔහු ගායනා කරන ලද සින්දුව කෝකිල ගීයක සිරී ඉසිලීය."

මේ විස්තර එන්නේ ආනන්ද තිස්ස ද අල්විස් සංස්කරණය කළ (1952 අගෝස්තු 15) "දින" දින සඟරාවෙහිය. එපමණක් නොව චිත්‍රසේන විසින් නිෂ්පාදිත "විදුර" නාටකයේ ද ජෝන් ද සිල්වාගේ ශ්‍රී වික්‍රම නාට්‍යයේ නව නිෂ්පාදනයේ "මරා දෙදෙනෙක්" ගීතය ඉතා චමත්කාර ලෙස ගායනා කළ බවද "දින දින" සඟරාවේ පළ වී තිබුණි.

සී.ටීගේ ජනප්‍රිය සරල ගී ගායනයට පෙර පෙර චිත්‍රපට රඟපෑම හා චිත්‍රපට ගායනය ගැන කතා කර සිටිමු. ඔහු චිත්‍රපටයක විරිදු පෙළක් ගයමින් රඟපාන්නෙ "දෙයියන්ගේ රටේ" (1958) චිත්‍රපටයෙනි. ශ්‍රී පාද කන්ද අසල සිටි වයසක මිනිසෙකු ලෙස චිත්‍රපටයේ මේ ගීතය ගයන්නේ ජෙනී වින්ෆී‍්‍රිඩා සමඟය. පසුබිම් ගායනය ඇන්ජලින් ද ලැනරෝල් ගුණතිලක සමඟය. කරුණාරත්න අබේසේකර රචනා කළ මේ ගීතයේ සංගීතය පී.එල්.ඒ. සෝමපාල ය.

"හිමේ සමන් දෙවි පිහිටෙන් 
හරියයි අපි ආපු වැඩේ 
ගමේ ගොඩේ ඉන්න තරම් තරුණ 
ගැටවු කෝපි කඩේ"

සී.ටීගේ ජනප්‍රිය චිත්‍රපට ගීතය වූයේ "කවුද හරි" චිත්‍රපටයට (1969) ගැයූ මේ ගීතයයි. කරුණාරත්න අබේසේකර රචනා කළ මේ ගීතයේ සංගීතය සිසිර සේනාරත්නගෙනි.

"මී වදයකි ජීවිතේ - මී පැණි පිරිලා ඇතේ 
මත් වීලා - ගුම් ගුම් නද දීලා 
සැනසෙමු අපි හිතුමතේ 
මලින් මලට පියඹමු - තුඩින් තුඩට 
රොන් ගමු 
ලියන් තමා රස ඉතිරෙන මල්වැල් 
ඔවුන් සොයා ගෙන යමු"

ආනන්ද විද්‍යාලයේ දී අප පාසල් සිසුන් නිර්මාණය කළ "නිම්වළල්ල" (1970) චිත්‍රපටයේ ආනන්ද සැණකෙළියේ ගයන ගීතයක් සී.ටී. ගයමින් රඟපෑවේ අපට අනුග්‍රහයක් වශයෙනි. 1969දී පමණ ආනන්ද විද්‍යාලයේදීම රූපගත කළ මේ ගීත අවස්ථාව නැරඹීමට පැමිණි පිරිස් පාලනය කර ගැනීමට පොලිසිය ද කැඳවූ බව මට මතකය. මහින්ද අල්ගම රචනා කළ මේ ගීතයේ තනු හා සංගීත නිර්මාණය චිත්‍රපටය අධ්‍යක්ෂණය කළ රංජිත් ලාලගෙනි. මේ ඒ ගීතයයි.

"නිසයුරු මුතුලැල් සැලෙන වෙලාවේ 
නුරාබඳුන් සතුටින් පුරවා 
සිනා මැදින් එය ලවන් සිපිද්දි 
මල් කුමරුන් මල් සොයා ඇදේ"

1965 තිරගත වූ "හතර මහා නිධානය" චිත්‍රපටයේ සී.ටී ගයන මේ ගීතය චිත්‍රපටයේ ගයමින් රඟපෑවේ එල්.එම්. පෙරේරාය. කරුණාරත්න අබේසේකර රචනා කළ මෙහි සංගීත අධ්‍යක්ෂණය පී.එල්.ඒ. සෝමපාලගෙනි.

"සොබනලු කොළඹ මෙ ගම 
හැර යනවා සුරපුරේ 
එහි තියනවලු දියුණු වෙන්න 
හොඳම මන්තරේ"

1967 තිරගත වූ "සැඟවුණ මැණික" චිත්‍රපටයේ ද සී.ටී හා පිරිස ගැයූ මේ ගීතය ද ඒ චිත්‍රපටයේ ජනප්‍රියම ගීතය විය. කරුණාරත්න අබේසේකර රචනා කළ ඒ ගීතයේ සංගීත රචනය පැට්‍රික් දෙණිපිටිය ගෙනි.

"ඈත කඳු රැඳී සිඹ සිඹ දැවටිලා 
සීත චන්දන සිසිලසක එතිලා 
හමන මදනලයි සුවඳ බර මලයි 
කරන සුරතල් රඟ දැක සැනසිලා"

චිත්‍රපටවල ඔහු ගැයූ ගීතවල නිවැරැදි පදමාලා උපුටා ගත්තේ සුනිල් ආරියරත්නයන්ගේ සිංහල චිත්‍රපට ගීත (1947 සිට 1976) කෘතිවලිනි.

සී.ටී ගී ගැයූ චිත්‍රපට අතර චණ්ඩියා, සාරවිට, මොකද වුණේ, සඳ නැඟ එද්දි, පාරාවළලු, හතර කේන්දරේ චිත්‍රපට ද වෙයි චිත්‍රපට ද වෙයි.

The golden voice of C.T නමින් හඳුන්වන මේ සීඩී කවුද?

සිරිල් ටියුඩර් ප්‍රනාන්දු ඉපදුණේ මීට හරියටම ශත වර්ෂයකට පෙර එනම් 1921 ජනවාරි 28 වැනිදා දෙහිවල උයන පාරෙදිය. ඔහු හැදී වැඩී ඇත්තේ නාවලපිටියේය. ඔහු මූලික අධ්‍යාපනය ලැබුවේ නාවලපිටියේ ශාන්ත මේරිස් විද්‍යාලයෙනි. උපතින් බැතිමත් කතෝලිකයකු වූ සී.ටී මේරි දේවස්ථානයේ කන්තෝරු කතිකා කණ්ඩායමේ කැපී පෙනෙන ගායකයෙක් විය. ගුවන් විදුලියෙන් ඇසූ සුනිල් සාන්තයන්ගේ හඬට පෙම් බැඳී සී.ටී ක්‍රමානුකූලව බටහිර සංගීතය හැදෑරුවේය. ජේ්‍යෂ්ඨ මාධ්‍යවේදී විජිත් කුමාර සේනාරත්න කියා ඇති පරිදි සුනිල් සාන්ත හා විවියන් ද සිල්වා බොරලැස්ස ගැයූ "රැල්ල නැඟෙන්නේ වැල බලා ඇදෙන්නේ" ගීතයේ සමූහ ගායනයට සී.ටී එක් වන්නේ ඩබ්ලිව්.ඩී. ඇල්බට් පෙරේරා (අමරදේව) සමඟ බවය. සී.ටී. දක්ෂ ගිටාර් වාදකයෙකි. ඔහුගේ ගායන ජීවිතයේ මුල් අත්තිවාරම තබන්නේ ළඟම ඥාතිවරයෙක් වූ රිචඩ් නිසාය.

කවුද මේ රිචඩ්?

රිචඩ් නාසියස් පෙරේරා හෙවත් ඔහු ආර්.එන්.එච්. පෙරේරා ය. රිචඩ්ගේ බිරියගේ අම්මාගේ අයියාගේ පුතා සී.ටී ය. සී.ටී හෙවත් සිරිල් පදිංචිව සිටියේ ඒ අසලය. රිචඩ් ගීත රචනය ගැන, විශේෂයෙන් විශ්ව සාහිත්‍ය අතැඹුලක් සේ දැන සිටි පරිසරයට ආදරය කළ පරිසරවේදියෙකි. රිචඩ් ගෙවත්තේ ගහකොළ සමඟ කතා කරන්නෙකි. වරක් කුරුල්ලෙකුගේ විලාපයක් රිචඩ්ට ඇසුණේය. කවුද ළමයි වගයක් කුරුලු කූඩුවක් කඩා දැමීම නිසා ඔහු සංවේගයෙන් ගෙදර විත් "කුරුලු විලාපය" නම් පද පෙළ රචනා කරමින් සිටි අතර සී.ටී ගිටාරය ද රැගෙන සුපුරුදු ලෙස පැමිණියේය.

"සිරිල් (සී.ටී) මම ගීත රචනාවක් ලිව්වා. මේ බලන්න.."

සී.ටී ගීත රචනය කියවා ගිටාරයෙන් අපූරු තනුවක් සාදා ගිටාරය වයමින් ගායනා කිරීමට පටන්ගත්තේය. මේ 1943 වසරය. ඒ ගීතය තුළින් සී.ටී නම් ගායකයා උපන්නේය.

"පිං සිදුවන්නේ 
අනේ බාල ළමුන්නේ 
මගේ කුඩා නිවස කඩා 
බිම නොදමන්නේ"

මේ ගීතය අදටත් සී.ටීගේ ජනප්‍රිය ගීතය ලෙස ජනාදරය දිනා ඇත.

සිරිල් හා රිචඩ්ගේ සුසංයෝගයේ ප්‍රතිඵලයක් වශයෙන් තවත් ජනප්‍රිය ගීත බිහි විය. වරක් එක්තරා සන්ධ්‍යාවක සී.ටී ගිටාරය ද රැගෙන රිචඩ්ගේ ගෙදරට ගියේය.

"රිචඩ් මම හොඳ තනුවක් හැදුවා. මේකට වචන ටිකක් දාන්නකෝ. සී.ටී කීය. සී.ටී ගිටාරය වයා තාලය දෙතුන් වරක් ගායනා කළේ බොරු වචන කියමිනි.

රිචඩ් තමාගේ කටේ තිබූ සුරුට්ටුවෙන් දුම්රොටු ඉහළ යැවීය. මේසය මත තිබූ කඩදාසියට වචන ගලා එන්ට විය.

"අම්බිලි මාමේ 
ඔබ මොකද කරන්නේ 
පුළුන් වළා යටින් ඉඳන් එබිල බලන්නේ 
වටින් පිටින් එබෙන්නේ 
මුහුණ ඔබේ පිසින්නේ 
සේද යොදා සැදූ වලා සළු ද කියන්නේ 
පාත බලන්නේ මුව විහිදන්නේ 
රිදී සිනා පපා මෙලෝ එළිය කරන්නේ"

රිචඩ් හෙවත් ආර්.එන්.එච්. පෙරේරා විසින් සී.ටීට ලියු ජනප්‍රිය ගීත අතර "බරබාගේ", "සුවඳ රෝස මල් නෙළා" ඇතුළු ගීත කිහිපයක්ම වෙයි. ආර්.එන්.එච්. යනු "රුදුරු බලුව", "ජේන් අයර්" පරිවර්තන කෘති කළ ගුරුවරයකුද ගුවන්විදුලියේ විධායක නිලධාරියෙකුව සිටියේය.

සී.ටීට තම අනාගත බිරිය හමුවන්නේ 1951 වසරේදීය. ඇය නමින් ධානාය. බදුල්ලෙ උපත ලබා බදුල්ල උසස් බාලිකා විද්‍යාලයේ ශිෂ්‍යාවක් වූ ඇය සී.ටීගේ හඬට පෙම් බැන්දාය. ඇගේ ප්‍රියතම ගීතය වූයේ ද "පින් සිදුවන්නේ" ය. ඇය සී.ටීට පෙම් ලිපි ලිව්වාය. ඔහුද ඇයට පෙම් බැන්දේය. දෙමාපියන්ගේ බලවත් විරෝධය මැද ලතා ප්‍රනාන්දුගේ (පසුව වල්පොල) සහාය ඇතිව සී.ටී හා ධානා තනි කැමැත්තෙන් විවාහ වූහ. ඔවුනට ලැබුණු කුලුඳුල් පුතා ප්‍රියන්ත පියාගේ ගීත ඒ අයුරින්ම ගැයීය. අකාලයේ ඔහු මියගියේය. (2018 මැයි 01 වැනිදා) තම පුතු වෙනුවෙන් සී.ටී ලේඛකයෙකු වූ ඇලන්සන් පියදාස ලවා ගීතයක් රචනා කර ගත්තේය. එහි තනුවස සී.ටීගේය. 

"බිළිඳා නැළවේ උකුළේ 
හිනැහේ මල සේ කැකුළේ 
මවගේ සෙනෙහේ පැතිරේ 
රුහිරේ කිරි වේ ඉතිරේ"

සී.ටී ගැයූ ජනප්‍රිය ගීත අතර "මගේ සුදු මගෙ සුදු මාමේ", "ලෝ අඩ නින්දේ මේ රෑ යාමේ", (ගීත රචනය - සුසිල් සේනාධීර) "එළවළු පලා කියා" (ගීත රචනය - කරුණාරත්න අබේසේකර), "කළු මහවැලි කැලණි වළවේ", "මල් බර හිමිදිරියේ" (ගීත රචනය - සරත් විමලවීර) ද කරුණාරත්න අබේසේකර විසින් රචිත "රන්වන් රන්කෙඳී පිරිලා", "කිමද සුමිහිරියේ", "සරුංගලේ සරුංගලේ කොයිබද යන්නේ", "පියුමෙහි පැණි බොති වනබඹරු", "හෙළ ජාතික අභිමානේ" යන ගීත කැපී පෙනෙයි. විමලදාස පෙරේරා විසින් ලියූ "පුන්සඳ හිනැහෙන්නේ" ගීතය සී.ටී හා රුක්මණී දේවි ගැයූහ.

සී.ටීගේ පුතු ප්‍රියන්තට හා බිරිය පියසීලිට තිසර ප්‍රනාන්දු හා ධනුෂ්ක රයන් ප්‍රනාන්දු නමින් පුතුන් දෙදෙනෙකු වෙති. තිසර තම සීයාගේ උරුමය ඉදිරියට ගෙන යයි.

සී.ටී 1977 වසරේ ඔක්තෝබර් 17 වැනිදා මිය ගියේය. ඔහුගේ අභාවය ගැන බිරිය ධානා 1977දී සරසවිය පුවත්පතේ උප කතුවරයකු වූ නෙළුම් විමලරත්නට මෙසේ කියා තිබුණාය.

"1977 ඔක්තෝම්බර් 17 වැනිදා මට අමතක නොවන දවසක්. ප්‍රසංගයකට සහභාගි වෙලා දෙහිවල හන්දියේ සිට පයින්ම ගෙදර ඇවිත් තිබුණා. එතකොට රාත්‍රී එකට විතර ඇති.

" මගේ පපුව ටිකක් රිදෙනවා" කිව්වා.

මුහුණ කළු වෙලා දාඩිය දාලා. මම හොඳටම බය වුණා අසල්වැසි අයිවෝ මාටින්ස් මහතාට කතා කරලා කළුබෝවිල රෝහලට ගෙන ගියා. එයා මට මොනවද කියන්න උත්සාහ ගත්තා. මේක දැකලා මගේ පපුව කඩා වැටුණා. ඔක්තෝම්බර් 17 වැනිදා එයා සිහි නොලබාම දෑස් පියාගත්තා.

සී.ටීගේ බිරිය ධානා 2012 සැප්තැම්බර් 25 මිය ගියාය.

සී.ටී විසින් ගැයූ කරුණාරත්න අබේසේකර රචනා කළ "පියුමෙහි පැණි බොති වන බඹරු" ගීතය 1969 වසරේ මොස්කව් විශ්වවිද්‍යාලයේ ඉගෙන ගන්නා ලංකා සිසුන් සෝවියට් ලංකා මිත්‍ර සංගමය වෙනුවෙන් ගායනා කර ඇත. විදේශගතව සිටින හැම කෙනෙකුටම සාදවලදී දෙතුන් වරක් ගයා ඇති සිංහල ගීතය සී.ටී විසින් ගැයූ කරු (කරුණාරත්න අබේසේකර) විසින් ලියූ "හෙළ ජාතික අභිමානේ" ගීතයයි. ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදාවේ ද සියලුම පාසල් තූර්යවාදක කණ්ඩායම් මුලින්ම වාදනය කරන්නේද මේ ගීතයයි. සී.ටීගේ හා කරූගේ අමරණීය ගීතයද මෙයයි.

ඡායාරූප පිටපත් කිරීම - ලාල් සෙනරත්