”ධ්‍යාන වඩවනා යෝගී මඩවනා නාරිලතා පුෂ්පේ”

ජුනි 4, 2020

 
 ”පළිගැනීම” (1936) චිත‍්‍රපටයෙහි කථා නායිකාව වූූ මිලී ආරියවතී නම් පුරෝගාමී නිළියගෙන් පසුව අපට වේදිකාවේ දිස් වූ ප‍්‍රබල නිළි ප‍්‍රතිරූපය රුක්මණී දේවියයි. සැබැවින්ම ම විසින් පූර්වයෙහි විග‍්‍රහ කරන ලද ඇනී බෙතේජු, ලක්ෂ්මී භායි, සුසිලා ජයසිංහ යන නිළි ත‍්‍රිත්වයෙහි ආභාසය තමාට ලැබුණු බව රුක්මණිය වරක් සඳහන් කළාය. ඉන්දියානු සකු නාට්‍යයෙහිත් නුර්ති නාට්‍යයෙහිත් ගීතය, නර්තනය අනිවාර්ය අංගයක් සේ බද්ධ විය. ලාංකේය නුර්ති නාටකයත් ටවර්හෝල් නාට්‍ය සම්ප‍්‍රදායත් සකස් වූයේ එහි ආභාසයෙනි. එහෙයින් වේදිකා නාට්‍ය රූපණයට ප‍්‍රවිෂ්ට වන ස්ත‍්‍රිය ගැයුමෙහි මතු නොව නර්තනයෙහිද එක ලෙස කුසලතා පෑම අත්‍යවශ්‍ය විය. නුර්තිය පෙරදිග ගීත නාටක හා බටහිර සංවාද නාට්‍යයේ සමමිශ‍්‍රණයෙන් උපත ලැබූ බව මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර ස්වකීය ”සිංහල නවකතා ඉතිහාසය හා විචාරය” යන ග‍්‍රන්ථයෙහි සඳහන් කොට ඇත. ඇනී බොතේජු, ලක්ෂ්මී භායි ඈ නිළියන්ගේ රැඟු‍ම්—The battleship potemkin˜" —Nanook of the North˜වැනි චිත‍්‍රපටවල දිස් වූ රංගන ශෛලියට සාම්‍යය වූ බව වරක් මහාචාර්ය තිස්ස කාරියවසම් පැවසුවේය. නුර්ති නාටකවල තරම් ගීත සංඛ්‍යාවක් ටවර් හෝල් නාටක හෙවත් ටීටර්වල නොදක්නා ලැබුණත් ගීතයට එහි වැදගත් ආස්ථානයක් හිමි විය. ගීතයට වඩා සංවාද බාහුල්‍යය ටීටර්වල දිස් වූ ලක්ෂණයකි. ලක්ෂ්මී භායි, රුක්මණි දේවි, පර්ල් වාසුදේවි යන නිළියෝ රැුඟු‍මට ද ගැයුමට ද දස්කම් පෑහ.
 
 රුක්මණී දේවිය වේදිකා නාට්‍ය රංගනයට හා ගායනයට ප‍්‍රවිෂ්ට වූයේ බී. ඒ. ඩබ්ලිව්. ජයමාන්නගේ මිනර්වා නාට්‍ය කණ්ඩායම ඔස්සේය. බී. ඒ. ඩබ්ලිව්. ඉංග‍්‍රීසි ආකාරාදි පිළිවෙළට A අක්ෂරයේ සිට I අක්ෂරය දක්වා නාට්‍ය නිර්මාණය කළේය. A අකුරෙන් තැනු Apparition" (අවතාරය) හැර සෙසු සියලූ‍ නාට්‍ය පසුව චිත‍්‍රපට බවට පත් විය. (B-Brokenpromise- කඩවුණු පොරොන්දුව, C-Changing fate පෙරළෙන ඉරණම,D-Defeated Aim- වැරදුණු කුරුමානම, E-Evasive denial - සැඟවුණු පිළිතුර, F-Fanatic faith - උමතු විශ්වාසය, G-Grisly Guardian - කපටි ආරක්ෂකයා, H-Hasty decision - හදිසි විනිශ්චය,I-Iranganie අයිරාංගනී). ”අවතාරය” පමණක් චිත‍්‍රපටයක් බවට පත් නොවූයේ ඇයි? මීට හේතුව ”අවතාරය” නාට්‍යයෙහි කිසිදු ස්ත‍්‍රී චරිතයක් දක්නට නොලැබීම යැයි මම සිතමි. නාට්‍ය දර්ශන අතරතුර රුක්මණී දේවියගේ ගීත පමණක් මේ සඳහා යොදා ගැනිණ. බී. ඒ. ඩබ්ලිව්. ජයමාන්නයන් ද ඔහුගේ මුල් කාලීන නාට්‍යවල ස්ත‍්‍රී චරිත සඳහා ස්ත‍්‍රීන් යොදා ගැනීමට මැළි වූ බැව් පෙනේ. 1936 ඔහු නිර්මාණය කළ ”භයානක පොරොන්දුව” නාට්‍යයෙහි ස්ත‍්‍රී වෙස් ගෙන ස්ත‍්‍රී චරිතයක් රැුඟු‍වේ එඞී ජයමාන්නය. රුක්මණී දේවිය වූ කලී වේදිකා නාට්‍ය ක්ෂේත‍්‍රයේ අනුහාසාත්මක (Charisma) මහිමාලංකාරයක් විදහා පෑ නිළියකි, ගායිකාවකි. ලාංකේය වේදිකාවේ සහ පසුව සිනමාවේ වචනයේ පරිසමාප්ත අරුතෙහිම ප‍්‍රථම සුපිරි තාරකාව ලෙස රුක්මණී දේවිය හැඳින්විය හැකි යැයි මට සිතේ. 1947 දී තිරගත වූ ”කඩවුණු පොරොන්දුව” නම් වූ මෙරට ප‍්‍රථම කථානාද වෘත්තාන්ත චිත‍්‍රපටයෙහි කථා නායිකාව හා ගායිකාව ලෙස ඇය තැබූ පුරෝගාමී යෝධ පියවර ලාංකේය මහා නිළි පරපුරේ පළමු නිළි රැුජන හා මිත්තණිය බවට පත් කළ බැව් පෙනේ. ස්ත‍්‍රීන් හට වේදිකාවට හා සිනමාවට ප‍්‍රවිෂ්ට වීමෙහිලා පැවති තහංචිය සාකල්‍යයෙන්ම ඉවත් වූයේ රුක්මණියගේ ප‍්‍රවිෂ්ටය හා ස්ථාවරත්වයෙන් පසුවය.
 
 බී. ඒ. ඩබ්ලිව්. ජයමාන්නයන්ට සමකාලීනව නාට්‍ය නිර්මාණය කළ සිරිසේන විමලවීරයන්ගේ නාට්‍ය ඔස්සේ ඇනී බොතේජු, සුසිලා ජයසිංහ මෙන්ම පර්ල් වාසුදේවි, නෝනා සුබෙයිදා, රංජනී දේවි, මානෙල් දේවි යන නිළි තාරකාවෝ ජනප‍්‍රිය වූහ. ”ආලේ කළ මුත් පණට පණ සේ ස්ත‍්‍රී ජාතිය නෑ විශ්වාසේ” යන ගීතය ඇතුළත් වූයේ (එන්. ආර්. ඩයස් රඟමින් ගැයූ) සිරිසේන විමලවීරයන්ගේ ”පිටිසර කෙල්ල” නාට්‍යයෙහිය. ඔහුගේ නාට්‍යවල මෙන්ම චිත‍්‍රපටවලදී ද වඩාත් ඉස්මතු වූයේ ස්ත‍්‍රියගේ පරමාදර්ශී ගුණවලට වඩා වෙනස්වීමේ ස්වභාවය හා චපලත්වය බැව් පෙනේ. එහිදී ස්ත‍්‍රීත්වයේ මේ චපල ස්වභාවය අරභයා ගීතයක් ද විමලවීරයන් අතින් බොහෝවිට ලියවිණ. පිටිසර කෙල්ල චිත‍්‍රපටයට ඇතුළත් වූ ”ආලේ කළ මුත් පණට පණ සේ ස්ත‍්‍රී ජාතිය නෑ විශ්වාසේ” යන ගීතය ”සබ්බේ නදී වංකගතා” නමැති පාලි ගාථා පාඨ සිහිගන්වන සුලූය.
 
 ”ආලෙ කළ මුත් පණ පණට සේ
 
 ස්ත‍්‍රී ජාතිය නෑ විශ්වාසේ
 
 පේ‍්‍රම කළ මුත් දිවෙන් දිව ගා
 
 ස්ත‍්‍රියන් ගති නෑ මැකෙන්නේ
 
 ඇද නැති ගංගා ලොවේ නෑ
 
 ලියෙකු සෙවුමත් ඒ ලෙසා වේ
 
 හොඳට නරකට දෙකට මුල් වූ
 
 පුදුම මැවුමකි මහ බඹාගේ
 
 යනෙන ගමනා බිමන සලසා
 
 අඳින පලඳින දේ දෙමින්නේ
 
 කිරි තෙලෙන් කවලා දුනත් සැප
 
 චපල ඇද ගති නෑ හරින්නේ”

 
 සිරිසේන විමලවීර ”සුජාතා” (1953) චිත‍්‍රපටය උදෙසා ලියූ මොහිදින් බෙග් මාස්ටර් ගැයූ මේ ප‍්‍රශස්ත ගීතය ද ස්ත‍්‍රී ස්වභාවය අලළා ලියැවුණු ඉපැරැුණි සකු ශ්ලෝකවල දක්නා ලැබෙන ආකල්ප සහෘදයාට සිහිගන්වයි.
 
 ”නාරිලතා පුෂ්පේකී ස්ත‍්‍රී
 
 නාරිලතා පුෂ්්පේ
 
 ධ්‍යාන වඩවනා යෝගී මඩවනා
 
 නාරිලතා පුෂ්පේ
 
 විෂ ඝෝර නාග විෂ කලතා
 
 සූකිරි ද පැණි ද එහි දවටා
 
 කලතලා සැටක් සිවු මායමේ
 
 බඹා මැවූ මෙ ස්ත‍්‍රී ලෝකෙට
 
 නාරිලතා පුෂ්පේ
 
 ඝන මේඝ වලාකුළු නැඟලා
 
 හද ආල වියෝ දුක වැදිලා
 
 හඬලා නුබ පුපුරාලා ගියත් මදි
 
 ඇයිද කළේ ආලේ
 
 ස්ත‍්‍රී නාරිලතා පුෂ්පේ

 
 මෙරට ප‍්‍රථම කථානාද වෘත්තාන්ත චිත‍්‍රපටය බවට පත් වූ ඉන් පෙර 500 වාරයක් වේදිකා ගත කළ මිනර්වා නාට්‍ය කණ්ඩායමේ ජනප‍්‍රියම නාට්‍යය වු ”කඩවුණු පොරොන්දුව” හි රුක්මණී දේවි රඟන රංජනීගේ භූමිකාව හරහා කුළුගැන් වූයේ ස්ත‍්‍රියගේ ගුණමකුභාවය හා චපලත්වය නොවේද? මෙහිදී සැම්සන් තමාට හා පවුලට ඉටු කළ උපකාර ඇයට අමතක වේ.
 
 30 දශකයේ මයිකල් සන්නස් ලියනගේ විසින් නිර්මාණය කරන ලද නාට්‍යයක් මා හට සිහිපත් වේ. ”ස්ත‍්‍රිය ස්වර්ගය ද නිරයද” නම් වූ මේ නාට්‍යයේ තේමාව වූයේ ස්ත‍්‍රී ස්වභාවය සහ ඉන් පුරුෂයාට සිදුවන බලපෑම විවරණය කිරීමය.
 
 40 දශකයේ අග භාගයේ හා 50 දශකයේ බිහි වූ නාට්‍ය නිර්මාණ ඔස්සේ එතෙක් පැවැති ස්ත‍්‍රී නිරූපණයේ පරමාදර්ශී (සුදු) හෝ චපල (කළු) යන අන්තවාදී දෘෂ්ටීන් වෙනුවට ඇයගේ සංකීර්ණ, මානුෂික හා ගුඪ චෛතසික විවරණයට ක‍්‍රමිකව නාට්‍යවේදීන්ගේ අවධානය යොමු වූ අයුරු දැක්ක හැකිය. දෙස් විදෙස් උසස් සාහිත්‍ය හා නාට්‍ය කෘති ගැඹුරින් සේවනය කොට බහුශ‍්‍රැතභාවය ලත් ප‍්‍රතිභාපූර්ණ නාට්‍යවේදීන් පහළවීමත් සමඟ ස්ත‍්‍රීත්වයේ නොයෙක් පැතිකඩ අරභයා ගැඹුරු විවරණ නාට්‍ය නිර්මාණ ඔස්සේ පිළිබිඹු වීම ඇරැුඹිණ.
 
 ඉතිරි කොටස ලබන සතියේ