අන්තිමේදී ජිනදාස භූමදානය කළේ මගේ සල්ලිවලින්

ගම්පෙරළිය
ජූලි 18, 2019

 

 නන්දාට අසනීප වු පසු, ඇයට කෑම අප්පිරියා වූ විට, අනුලා විසින් නෙස්ටමෝල්ට් කෝප්පයක් සාදා ගෙනැවිත් දුනී. ඇය එය ආශාවෙන් බාර ගෙන තොල ගාන්නට පෙර, නෙස්ටර්මෝල්ට්,ගෙන ආවේ කව්දැයි විමසුවාය. අනුලා එය පියල් විසින් ගෙන ආ බවක් කී පසු, නන්දා එසැණින්ම නෙස්ටර්මෝල්ට් කෝප්පය විසි කර දැමුවේ, ඇයගේ යටිසිතේ තිබූ පුහු මාන්නය, මතුවී ආ නිසාද?

 

ජිනදාසගේ මිනිය, දුෂ්කර පළාතක රෝහලක මෝචරියක තිබී හමුවූ පසු, නන්දා විසින් රෝහලේද සහය ඇතිව එම මිනියේ අවසන් කටයුතු නිම කර නිවසට විත් , තම සැමියා වූ පියල්ට එම විස්තරය පවසන්නට වූ විට, එය සාවධානව අසා සිටි පියල් කියනුයේ ජිනදාසගේ මරණයේ අවසන් කටයුතුවලට වියදම් කළේ තමාගේ මුදල් කියාය.

එකල නන්දාගේ ආදරය ඉල්ලමින් ඇය පසුපස ගිය පියල්ට, ඔහු⁣ ගෙන ආ නෙස්ටමෝල්ට් කෝප්පය විසි කරන්නට තරම් ඇයට ආත්ම අභිමානයක් ඇතිවුණා නම්, මෙදා තමාගේ මුදල් වලින් නන්දාගේ පළමු සැමියා වූ ජිනදාසගේ අවමංගල්‍යය කටයුතු කිරීම ගැන නන්දා ඉදිරියේ කියා පෑම පියල්ගේ පැත්තෙන් සාධාරණය. ' කොකාට වාරයක් ආවා නම්, තිත්තයාටද වාරයක් එන බව, ' නොවේද පියල් එලෙස කීමෙන් පසක් කළේ.

මාර්ටින් වික්‍රමසිංහ ගේ 'ගම්පෙරළිය' නවකථාව තුළින් දැඩිවම ග්‍රම්‍ය වූයේ එකිනෙකා අතර කාලයෙන් කාලයට මාරු වෙන ආත්ම අභිමානයයි. ඇත්තටම එය අභිමානයක් නොව, එකිනෙකා අතර ඇතිවූ හීනමානයකි. මාර්ටින් වික්‍රමසිංහට 'ගම්පෙරළිය' තුළින් කියන්නට උවමනා වූයේ කුල ගෞරවය හා මාන්නය කරපින්නා සිටින අය ආර්ථීක අහේනිය ඇතිවූ පසු ගරා වැටෙන අන්දමය.

කයිසාරුවත්⁣ත අභිමානය, රැඳවූයේ කයිසාරුවත්තේ මුදලි තුමා සිටින විටය. මුදලිතුමා මියගිය පසු, කයිසාරුවත්තේ අභිමානය පමණක් නොව, වලව්වද ගරා වැටෙන්නට විය. එයට උර දී කෙළින් කරන්නට, පවුලේ එකම පිරිමියා වූ තිස්සට නොහැකිය. තිස්සට පවුල ඇතුලේ ටැග් ගැහෙන්නට ඕනකමක් තිබුණේද නැත. ඔහුට තිබුණේ වෙනම ජීවිතයකි. කොළඹට හුරුවූ තිස්සට යළි කයිසාරුවත්තේ ගරා වැටෙමින් තිබූ වලව්ව විරාජමාන කරවන්නට උවමනා කමක් තිබුණේ නැත. අන් අතකට කයිසාරුවත්තේ මුදලි තුමාගේ පෞරුෂත්වයෙන් දශමයක්වත් තිස්සට පිහිටා නැත. වලව්ව නැවත විරාජමාන කළද, අර මුදලිතුමා විහිදූ රැස් විහිදන්නට නම් තිස්ස වැනි ඕපපාතීක පෙනුමෙන් යුත් තරුණයෙකුට කෙළෙසකවත් කළ නොහැකිය. තිස්ස තාරුණ්‍යට එළැඹී සිටියද කයිසාරුවත්තේ උදවියට නම් ඔහු තවමත් පවුලේ හුරතල් අත බාලයාමය.

කුලමානයෙන් උසස් වූවද ජිනදාසට ⁣සවිමත් ආර්ථීකත්වයක් තිබුණේ නැත. ජිනදාසලද කයිසාරුවත්⁣තට හේත්තුවන්නට ගියේ ඔවුන් හරහා හෝ තම පෙර තිබු අභිමානය නංවා ගැනීමට විය හැක.එහෙත් කයිසාරුවත්ත වලව්වේ ඇතුළාන්තය, ජිනදාස වුවද හරි හැටි දැන ගත්තේ නන්දාව විවාහ කර ගෙන එම වලව්වේම බින්න බැසූ පසුවය.තමා මේ පව්ලට මුක්කු ගැසුවේ තමාට ගොඩ ඒමට වූවද, මුදලි තුමා මිය ගිය පසු, මේ ගරාවැටෙන පවුලට තමාට මුක්කුවක් වීමට ජිනදාසට සිදුවන්නට විය. බලාගෙන ගියාම මුදලි තුමාත් කිසි දෙයක් ඉතුරු කර ගොස් නැත. පිටට නොපෙන්නුවාට, මුදලිතුමා ද මුදලි පට්ටම උපයෝගි කරගෙන ගත කර තිබෙන්නෙ සල්ලාල ජීවිතයකි. මාතර හාමිනේලා, අනුලලා, නන්දලා ගෙවල් අස්සට වී කුල මානය රැකගෙන සිටින විට, මුදලි තුමා පිටතගොස් ගත කර ඇත්තේ ශෘංගාරාත්මක ජීවිතයකි. ඒවා ගම්පෙරළිය චිත්‍රපටයේ ඉස්මතු නොවුනට, මාර්ටින් වික්‍රමසිංහගේ කෘතියේදී තැනින් තැනින් මතු විය. මුදලිතුමාගෙ මරණින් පසු ජිනදාසට මේවා වලට කරගහන්නට සිදුවිය. ජිනදාසට සිදුවූයේ දියේ ගිලෙන්නට සිටි මිනිසාට වූ දෙයය. අතට අහුවුණේ තුත්තිරි ගහක්ය. එයින් බේරීමට හැකිද?

මාර්ටින් වික්‍රමසිංහ ගේ කථා තුළින් චිත්‍රපටයක් නැංවීමට ලෙස්ටර් ජේම්ස් පීරීස්ට මුලින්ම අදහස දී තිබුණේ, ලෙස්ටර් ගේ 'සන්දේශය' චිත්‍රපටයේ ප්‍රධාන චරිතය රඟපෑ ,එවකට ඉංග්‍රීසි ගුරුවරයෙකු ලෙස සේවය ක⁣ළ, 60 දශකයේ කඩවසම්, ජනප්‍රියතම නළුවෙකු වූ ආනන්ද ජයරත්නය. ආනන්ද ,ලෙස්ටර්ට මාර්ටින් වික්‍රමසිංහ ලියූ පොත් දෙකක් යෝජනා කර තිබුණි. එකක් 'රෝහිණී'ය. අනෙක් පොත 'ගම්පෙරළිය'ය.මීයක් කඩන්නෙ අත ලෙව කන්නටම නොවේමය.ආනන්ද ජයරත්න ලෙස්ටර්ට 'ගම්පෙරළිය' යෝජනා කළේ ඇතැම් විට පියල් නැත්නම් අවම වශයෙන් ජිනදාසගේ චරිතයවත් තමාට ලැබෙණු ඇතැයි සිතා විය හැකිය. ආනන්ද ජයරත්නගේ එකල තිබුණු කඩවසම් බවට යම් හෙයකින් ඔහුව පියල්ට ගත්තේ නම්, නන්දා අනිවාරයෙන්ම පියල් සමඟ පැන යනු ඇතැයි ලෙස්ටර්ට වැටහෙන්නට ඇත. එයින් සිදුවන්නේ වික්‍රමසිංහ ලියූ කථාව වෙනස් වීමය. එවන් විජ්ජුම්බරයකට ලෙස්ටර්ට මුහුණ දීමට නොහැකි නිසා ඔහු ආනන්දව ගම් පෙරළිය චිත්‍රපටයට නොගන්නට ඇත.

මාර්ටින් වික්‍රමසිංහද ලෙස්ටර්ව පොලඹවන්ට වූයේ 'රෝහිණි' නව කථාව චිත්‍රපට ගත කරන ලෙසය. ඒ ලෙස්ටර් 'සන්දේශය' සාර්ථකව අධ්‍යක්ෂනය කළ නිසාය. ඒ 'රෝහිණී' ද ඉතිහාස ගත කථාවක් නිසාත්, ලෙස්ටර් ට කළ හැක්කේ එවැනි කථා පමණක් විය හැකියැයි යන නිගමනයක වික්‍රමසිංහ සිටිය නිසාත් විය හැකිය. එහෙත් කලාත්මක චිත්‍රපටයකට අවශ්‍ය අමුද්‍රව්‍ය ඕනෑවටත් වඩා තිබූ හෙයින් ඒ තුළින් හොඳ සිනමාත්මක චිත්‍රපටයක් කළ හැකි බව ලෙස්ටර්ට වැටහුණෙන් ඔහු 'ගම් පෙරළිය' නවකථාව තෝරා ගති.

පියල්ට, නන්දා ගැන හැඟීමක් ඇතිවුණේ ඇයිදැයි යන ප්‍රශ්නයට පැහැදිලි පිළිතුරක් නම් ලෙස්ටර් දී තිබුණේ නැත. චිත්‍රපටයේ නන්දා තුළ නම් සිත් ඇඳබැඳ ගැනීමේ ⁣බාහිර හෝ ඇතුළාන්ත පෙනුමක් නොතිබුණි. තමා දුන්නු 'රොබින්සන් කෲසෝ' ඉංග්‍රීසි නවකථාව කියෙව්වාදැයි පියල් නන්දාගෙන් ඇසූ විට, ඇය කීවේ එහී ඇති ඉංග්‍රීසි ඇයට තේරුම් ගැන්මට අපහසු බවකි. එතැන නන්දාගේ දැනුම පිළිබද සිතා ගත හැකිය. කොහොමත් කයිසාරු වත්තේ ගැහැනු වැඩිදුර ඉගෙන ගෙන නැත. තිස්ස වුවද කොළඹ ඉගෙනුමට ගියද, ලොකු උගතෙක් වූ බවක් නම් මතක නැත. එසේ නම්, පියල් නන්දාට මෙතරම් ඇල්මක් දක්වන්නේ ඇයි ?.

පියල් ගමේම සිටින උගත් තරුණයෙක් සේම, කවදා හෝ උසස් තැනකට පත්වන බව කව්රුත් දැන සිටියහ. එය කයිසාරු වත්තේ උදවියත් දැන සිටියහ. පියල් ලවා නන්දාට ඉංග්‍රීසි උගන්වන්නට, කයිසාරු වත්තේ අය උත්සහා කළේ ඒ නිසාය. ඒ ලද අවස්ථාවන් හී පියල් පොත් අස්සේ දමා නන්දාට ලියුම් දේවි යැයි කියා නම් නන්දාගේ මහ උදවිය කවදාවත් හිතන්න නැතිව ඇත. එම ලියුම් හුටපටය, මාතර හාමිනේ දැනගත් පසු නන්දාට ගෝරනාඩු දැම්මේ, තමන්ගේ කුලයත්, පියල්ගේ කුලයත් මතක් කර දීමෙනි. නන්දාට විවාහ යෝජනා සොයන්නට පටන් ගත්තේ, ඔය ලියුම් හුට පටෙන් පසුවය.

ලෙස්ටර්ගේ 'ගම්පෙරළිය' චිත්‍රපටයේ සියලු සිදුවීම් උලුප්පා පෙන්වූයේ නන්දාගේ චරිතයයි. එහෙත් ඔතැන තිබු තවත් ප්‍රබල චරිතයක් වූ අනුලාව ලෙස්ටර් විසින් හිතා මතා යටපත් කළේද?. වික්‍රමසිංහ වුවද අනුලා ගැන වැඩි තැකීමක් කර තිබුණේ නැත. ඇයව කයිසාරුවත්තෙ වලව්වේ කුස්සියටම හිර කර තිබුණි. ඇය නන්දාගේ වැඩිමහල් සොහොයුරිය වූවද, ඇයට විවාහ යෝජනාවක් ගෙන ඒමට හෝ පවුලේ අය උත්සුක වන්නේ නැත. ඇය වික්‍රමසිංහගේ පොතේද, ලෙස්ටර්ගේ චිත්‍රපටයේද සිටියේ ආවතේව කාරියක් ලෙස පමණි.

නන්දා කාලකන්නි ගැහැනියකැයි, ජිනදාසට සිතෙන්නට ඇත. තම කුලුදුල් දරුවා මිය ගියේද ඒ කාලකන්නි කමට විය හැක. තමා ආර්ථීක අතින් අන්ත ප්‍රපාතයකට වැටුණේද, අවසන තමාට බිබිල වගේ දුෂ්කර පළාතකට යන්නට සිද්ධ වුණේද, මේ ගැහැනියගේ කාලකන්නි කම නිසාය. එහෙත් නන්දා කාලකන්නි ගැහැනියකැයි, වික්‍රමසිංහගේ කෘතියේවත්, ලෙස්ටර්ගේ චිත්‍රපටයේවත් කිව්වේ නැත. ජිනදාස උවමනාකමින්ම නන්දාව අතහැර ගියේද, මේ කාලකන්නි ජීවිතෙන් මිදීමටය.

මුදලි තුමා මියගොස්ය. තිස්ස කොළඹටම වී සිටියි. අනුලා ගෙදරටම නාකි වෙයි. නන්දා , තම කුළුදුල් දරුවාගේ මියයෑමත්, ජිනදාසගෙන් කිසිම ආරංචියක් නොලැබ සිටීමත් අතර වික්ෂෝප වී සිටියි. වලව්වේ බොහෝ තැන් දැන් ගරා වැටි තිබේ. ඉතුරු ටිකද ගරා වැටෙමින් පවති. මාතර හාමිනේ ගේ කුලය, මාන්නය, වලව්ව මෙන් දිරා පත් වී ඇත. ඇය කම්මුලට අත තබා ගත් වනමය. ඔවුන් කන්නේ බොන්නේ කෙසේදැයි දන්නේ මාර්ටින් වික්‍රමසිංහම පමණි. ඒ අතෙර්ය, ජිනදාස මැලේරියා සෑදී මිය ගොස් බිබිලෙදීම භූමිදාන කර ඇති ආරංචිය නන්දලාගේ පව්ලේ අයට ලැබෙනුයේ. ඔවුන්ට තිබූ එකම හා අවසන් බලාපොරොත්තුවද නැති වූයේ එලෙසය.

එහෙත් වික්‍රමසිංහයන්, තව එක බලපොරොත්තුවක් කයිසාරුවත්තේ අයට ඉතිරි කර දුනි. ඒ පියල්ය. වික්‍රමසිංහට ඕනෑ කර තිබුණේ නන්දාගේ මාන්නය වැට්ටීමට විය හැකිය. එය පියල් ඉදිරියේදීම සිදුකිරීමට ඔහුට උවමනා වන්නට ඇත. ඒ සියල්ලටම පියල් ඉදිරියේ හිස නමන්ට සිදුවූයේ වෙන කළ හැකි දෙයක් නොමැති නිසාය. අනුලා නම් කවදත් පියල්ට කැමතිය. අනුලාට පෙන්නන්ට බැරිව තිබුණේ නන්දාගේ බොරු අහංකාරකමය. අවසානයේ නන්දාට පියල්ට අවනත වන්නට සිදුවිය. අනුලා නන්දාට යටි සිතින් සිනාවුනේ නන්දාගේ මාන්නය දිගටම පවත්වා ගැන්මට නොහැකිවූ නිසාය. පියල් , මාතර හාමිනේ හා නන්දාගේ බොරු පුරාජේරුව පරදවා ජයගැනීම ගැන වඩාත් සතුටු වන්නට ඇත්තේ අනුලාය. එදා අනුලා හදාගෙන ආ නෙස්ටමෝල්ට් කෝප්පය පියල් ගෙන ආ බව දැන විසිකිරීමෙන් නන්දා පෙන්වූ බොරු අහංකාර කමට අනුලා කිවේ, උඹ පියල්ට යටිහිතින් කැමැත්ත ⁣තියාගෙන, බොරුවට කපටි කමට අපිට අකමැති බව පෙන්නවා කියාය. එදා ජිනදාස මුලින්ම නන්දාව බලන්න ඇවිත් ගිය පසු නන්දා තම නිවැසියන්ට කීවේ ඔහු ටයි පටිය හරියට බැඳ නැති බවත්, කෝට් එකේ පිටුපස පොඩිවී ඇති බවත්, පැලද සිටි සපත්තු ජෝඩුව, කකුලට වඩා විශාල බවත්ය. නන්දා ජිනදාසව එසේ සමචිචල්ල කළ මුත් පියල්ට කිසිවක් කීවේ නම් නැත. එදා තමා පියල්ට කැමතිදැයි පියල් විසින් ඇසූ විටද, ඇය කීවේ අම්මාගෙන් අසන්නට කියාය. එවිට පියල් ඇසුවේ නන්දා, පියල්ට කැමතිද කියාය. එවිට නන්දා කීවේ අම්මා කැමති නම්, තමාත් කැමතියි කියාය. මේ අනුව නිගමනය කල හැක්කේ නන්දා පියල්ට කැමති බවය.

කෙසේ හෝ බිබිලෙට ගිය ජිනදාසගේ චරිතය ලෙස්ටර් විසින් යටපත් කර දැමීය. එහෙත් ජිනදාසට බිබිලේ, වෙනම ජීවිතයක් තිබුණි. ඒ ජීවිතයේදි, තවත් අඹුවක් ජිනදාසට සිටින්නට ඇත. නමුත් ලෙස්ටර්ට එය උලුප්පා පෙන්වීමට අවශ්‍යතාවයක් තිබුණේ නැත.

ජිනදාසගේ පළමුවන මරණය හුදු ආරංචියක් පමණක් විය. ඉන් කාලයකට පසු නන්දා නැවත පියල් හා විවාහ වී සිටින විටය ජිනදාස රෝහලක මිය ගොස් ඇති බව සැලවුනේ. එය තම දෑසින්ම බලා ස්ථීර කර ගැන්මටය නන්දා රෝහලට ගියේ.

තමා මෙතෙක් කල් බලා සිටි මානසික රිඳවිල්ල නන්දාට රිඳවීමට පියල්ට අවස්ථාව ලැබු⁣ණේත් මේ ජිනදාස කාත් කව්රුත් නොමැතිව අසරණව මිය යෑම හරහාය.

"ජිනදාසගේ භූමිදාන කටයුතු ක⁣ළෙත් මගෙ සල්ලි වලින්" කියා පියල් කීවේ ඒ නිසාය. පියල් මෙතෙක් බලා සිටි පළිය තමාගෙන් ගත්තේ එවැනි නින්දිත වචන සමුදායක් තමා වෙත ගසා දමා යැයි නන්දාට සිතුණි. පියල්ටද එම වචන බර වැඩි වුනා යැයි පසුව සිතුණි. පියල් නන්දාගෙන් සමාව ඉල්ලුවේ ඒ නිසාය. පියල් ඉදිරියේ නන්දා නිකමිම නිකං ගැහැනියෙකි. එලෙසම කණවැන්දුම් ගැහැනියකි. පියල් මොනවා කීවත් දැං පියල් ගහන බෙරේට ඇයට නටන්නට සිදුවේ. කොකාට වාරයක් ආවා නම් තිත්තයාටත් වාරයක් එනු ඇතැයි යන න්‍යාය බලාපොරොත්තුවෙන් සිටිනවා හැරෙන්නට නන්දාට වෙන විකල්පයක් නැත. එදා පියල්ගේ කුලමාන්නය පිළිකුල් සහගත ලෙස අවමාන කෙරූ මාතර හාමිනේටද දැං පියල් ගේ අණසකට අනුව ජීවත් විය යුතුය. පියල්ද අනුලා හැරෙන්නට, අන් දෙදෙනාව නම් රිඳවා, නොරිඳවා ගානට තියා ගත්තේ, ඔවුන් එකළ ඔහුට කියූ හා කෙරූ දේවල්ද සිහිපත් කරමිනි.

හෙන්රි ජයසේන පියල් ලෙසත්, පුණ්‍යා හීන්දෙනිය නන්දා ලෙසත්, ගාමිණී ෆොන්සේකා ජිනදාස ලෙසත් විශිෂ්ට රංගනයක නිරත විය. මාර්ටින් වික්‍රමසිංහට තිබූ ප්‍රධානතම ගැටලුව වූයේ, මල්ලවපොර ශූරයෙකු ලෙස පෙනුනු ගාමිණී ෆොන්සේකා, ජිනදාස වැනි කේඩැරි චරිතයකට කෙසේ ගැළපේද යන්නය. එහෙත් ලෙස්ටර්ට, ගාමිණී ගැන පූර්ණ විශ්වාසයක් තිබුණී. ගාමිණී ලෙස්ටර්ගේ විශ්වාසය දෙගුණ, තෙගුණ ⁣කර පෙන්වීය. අනුලා වූයේ ට්‍රිලිෂියා අබේකෝන්ය.. කයිසාරුවත්තේ මුදලි තුමා ඩේවිඩ් ධර්මකීර්තිය. ශාන්ති ලේඛා මාතර හාමිනේ විය. තිස්ස වූයේ වික්‍රම බෝගොඩය. ටෝනි රණසිංහ හා අනුලා කරුණාතිලක පිළිවලින් බලදාස හා ලැයිසා යන අතුරු චරිත රඟපාමින් ලාංකේය සිනමාවට පිවිසීය. විජේ ⁣යන චරිතයක් ජී.ඩබ්ලියු. සුරේන්ද්‍ර විසින් රඟපෑ අතර, කැතරිනා වූයේ සුමනා වීරසේකර නම් නිළියකි. සී.ටී.ප්‍රනාන්දු හා හර්බට් අමරවික්‍රමද මෙහී සුළු චරිත දෙකක් රඟපෑ බවක් සඳහන් වී තිබුණි.

මාර්ටින් වික්‍රමසිංහගේ 'ගම්පෙරළිය' නම් කෘතිය රෙජි සිරිවර්ධන අතින් විශිෂ්ට ලෙස තිර පිටපතකට නැගී, තිස්ස අබේසේකර විසින් දෙබස් ලියා, ලෙස්ටර් ජේම්ස් පීරිස් විසින් සිනමාත්මක කාව්‍යයක් සේ ඉදිරිපත් වී ඉන්දියාවේදී රණ මයුර සම්මානය දිනා ගත් අතර, එයට ප්‍රථම 'සරසවිය' සිනමා සම්මාන උලෙළේ හොඳම චිත්‍රපටය, හොඳම අධ්‍යක්ෂණය හා හොඳම තිර රචනයට සම්මාන හිමි වූ අතර, විලී බ්ලෙක් හොඳම කැමරා ශිල්පියා, ලෙසද, සුමිත්‍රා පීරිස් හොඳම සංස්කරණ් ශිල්පියා ලෙසද සම්මාන ලැබීය. එවර හොඳම සංගීත අධ්‍යක්ෂක සම්මානය හිමිවූයේද 'ගම් පෙරළියටය'. ඒ ඩබ්ලියු. ඩී. අමරදේවටය. සරසවිය ප්‍රථම සම්මාන උළෙලේ ප්‍රථම සම්මානනීය නිළිය වූයේ 'ගම්පෙරළියේ' නන්දාගේ චරිතයට අද්විතීය ලෙස පණ පෙව් පුණ්‍යා හීන්දෙනියටය. ජිනදාස වූ ගාමිණී ෆොන්සේකාට ගෞරව සම්මානයක් ලැබුණි.

1963 දෙසැම්බර් 20 වන දින ප්‍රදර්ශනය ඇරඹු 'ගම් පෙරළිය' නිපදවා එම වසරේ හොඳම නිෂ්පාදක ලෙස 'සරසවිය' සම්මානය ලබා ගත්තෙ ඇන්ටන් වික්‍රමසිංහය.

 

(තවත් චිත්‍රපටයක් ලබන සතියේ)

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
12 + 5 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.