කුරුල්ලෝ ඔබේ තාලෙන් පියාඹන්න ආසයි

මැයි 23, 2019

දැන් මට අවුරුදු 67යි

මායා දමයන්ති පෙරේරා

 

වෙහෙසකර ගමනක නියුතු වුණු ඈ ඒ ගමන් මඟ දිහා ආපස්සට හැරිලා බලනවා. සිත ප්‍රබෝධවත් කරන ලස්සන ලස්සන මල් මාවත දෙපසම පිපිලා. මේ මල් මාවතට එන්න ඈ නොයෙකුත් ගල් බොරලු මතින් පියමං කළා. ඒ දුෂ්කර අතීතය තුළ බාධක, වැටකඩුළු උත්සාහයෙන්. ශක්තියෙන්, ධෛර්යයෙන් බිඳගෙන පැමිණි නිසා ඈ අද ජයග්‍රහණයෙන් උදම් අනනවා. ජීවිතය කියන්නෙම දුෂ්කර දෙයක් තමයි. හැමදාමත් සතුටින්, සොම්නසින් විතරක් ගෙවිල යන දෙයක් නොවෙයි. දුක් කඳුළු, බාධා සිනා අතර දෝලනය වෙමින් ගෙවී යන්නක්. මේ සියල්ල මැද අද ඇය තුටු සිතින් ජීවිතය විඳිනවා. ඈ මායා දමයන්ති පෙරේරා. අපේ ගීත ක්ෂේත්‍රයේ ඇගේ හඬ නොමැකෙන ලෙස සනිටුහන් කළ ගායිකාවක්.

‘පුරහඳ ලෙස ඔබ සම කළ

මගෙ මුහුණේ

නළලත මා සිත්තම් කළ

කුංකුම තිලකේ

ඔබ දුටු ලස්සන ඇයි

බොඳ වී මැකුණේ

පෙර ලෙස පැහැබර නැතුවද

නළලේ තිලකේ . . .’

 

එදා ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවෙන් ඇහුණු මේ හඬ අද මේ දක්වාත් මෙරට ශ්‍රාවක සිත් සතන් පිනවනවා. එදා මෙදාතුර ඇගේ හඬින් ගැයුණු මෙවැනි මනරම් ගීත ගණනාවක් ඔබටත් මතක් වෙනවා ඇති. කාලය කොයි තරම් ඈතට ඉඟිලිලාද? ඒ තමයි ස්වභාව ධර්මය. ඈ අද ප්‍රීතියෙන් ජීවිතේ සැඳෑ සමය විඳිනවා.

‘පසුගිය අප්‍රේල් මාසෙට මට අවුරුදු 67 ලැබුවා’. ඇය කියන්නේ හිනාෙවිවී. වයස සඟවන්නට කිසිදු ඕනකමක් නැතුවා වගේ.

‘ඒ වුණාට තාමත් මට නව යෞවනයේ ඉන්න තරුණ ශිල්පිණියකට පවා සින්දු කියන්න පුළුවන් තරමට මගේ හඬ රැකිලා තියෙනවා.’

ඇත්තටම ඒකත් වාසනාවක් තමයි. ඒ කාලේ ඈ ගීතවත් කළ සිනමා නිර්මාණ රැසක් මට මතක් වෙනවා. අපේ සිනමා ක්ෂේත්‍රයේ බැබළෙන තරු රාශියක් වෙනුවෙන් ඇය පසුබිම් ගීත ගැයුවා.

‘මං හිතන්නේ පරම්පරා කිහිපයකටම පසුබිම් ගීත ගැයුවා. මාලිනී ෆොන්සේකාගේ සිට ගීතා කුමාරසිංහ, ස්වර්ණා මල්ලවාරච්චි, සබීතා පෙරේරා, දිල්හානි ඒකනායක, නිලන්ති ඩයස් ඇතුළු මෑත පුරපුර දක්වාම. චිත්‍රපට පසුබිම් ගීත ක්ෂේත්‍රය ගැන කතා කරත්දී මගේ මතකයට මුලින්ම එන්නේ මගේ අනෝජා නංගි. එයා තමයි මාව චිත්‍රපට පසුබිම් ගායනයට යොමු කළේ. ඒ වගේම මං හිතන්නේ මම වැඩිපුරම පසුබිම් ගීත ගයලා තියෙන්නෙත් ඇයට.’

ඇය සිහිපත් කරන්නේ තම එක කුස උපන් සහෝදරිය අනෝජා වීරසිංහව. මේ සහෝදර බැම්ම සිනමාවේ තවත් නොමියෙන ගීත කිහිපයක්ම අපට මතක් කරනවා.

‘ඉද්ද මල් කතාවේ

කුමරී රත්තරන් කුමාරී

මං වගේදෝ

ඒ ඔයාදෝ

මා එයාදෝ . . .’

‘අරලිය මල්’ චිත්‍රපටයට එච්. ආර්. ජෝතිපාලයන් සමඟ ගායනා කළ මේ ගීතය අදටත් දනවන්නේ මියුරු රසයක්. ඒ විතරක් නොවෙයි මේ ගීතයත් ඔබට මතක ඇති.

‘කුරල්ලෝ නුඹේ තාලෙන්

පියාඹන්න ආසයි

පියාපත් කොහේ කොතැනින්

කොහෙන්දෝ ගෙනෙන්නේ . . .’

චිත්‍රපටයේ අන්තර්ගතයට, අදාළ දර්ශනයේ භාවයන්ට සුදුසු අයුරින් හඬ හැසිරවීමේ අපූරු හැකියාව ඇයට තිබුණා. ඒ හින්ද තමයි ඒ රස භාවයන් නොකෙලෙසීම අදටත් මේ ගීතයන් ශ්‍රාවක සිත් සතන් පුබුදු කරවන්නේ. ඒ හැකියාව නිකම්ම නිකම් ආවට ගියාට ලබාගත් දෙයක් නොවන බව ඇගේ ජීවන ගමන් මඟ විමසද්දී පැහැදිලි වෙනවා. ශාස්ත්‍රීය සංගීතය ඉහළට හැදෑරීම තුළ උපන් ස්වරඥානය, හඬ හැසිරවීම, මනා පුහුණුව සමඟ උත්පත්තියෙන් රැගෙන එන ගායන හැකියාව මේ සියල්ල නිර්මාණය කළ විස්මය කියලා හිතෙනවා.

‘මගේ ජීවිතේ දිහා ආපස්සට හැරිලා බලත්දී ඒක හුඟාක් වෙහෙසකර කටුක, දිග දුර ගමනක්. මම ඉපදුණේ බදුල්ලේ. මුල් කාලේ අපි ඉස්කෝලේ ගියේ බදුල්ල උසස් බාලිකා විද්‍යාලයට. මගේ ළමා කාලය බදුල්ල ආශ්‍රිතව ගෙවුණේ. මට ඉතාම සුන්දර මතකයක් ඒ පිළිබඳ තිබෙනවා. හැබැයි ඊට පස්සේ අපේ පදිංචිය වෙනස් වෙනවා. අපේ තාත්තා මින්නේරියේ වී මෝලක් දැම්මා. ඒ කාලේ අපට මොණරාගල වත්තක් තිබුණා. ඊට පස්සේ අපි ඔක්කොම මොණරාගල පදිංචියට ගියා. ඒ ජීවිතේ ටිකක් දුෂ්කරයි. අපේ ජීවිතේ හැබෑ වෙනසක් සිද්ධ වුණේ. ඊට පස්සේ මම මොණරාගල මහානාම මහා විද්‍යාලයට ඇතුල් වුණා. පාසලේදිත් මම ගායනයට දක්ෂයි. සමස්ත ලංකා ගායන තරගවලිනුත් ප්‍රථම ස්ථානය හිමි කර ගත්තා. ඒවගේම ක්‍රීඩාවටත් දක්ෂයි. යගුලිය, කවපෙත්ත වගේ ඉසව්වලට මම දක්ෂතා දැක්වූවා. මගේ ජීවිතේ සංගීත ගමන් මඟට යොමු වෙන්නේ මෙතැනින්. එතැනදි මට මුණ ගැහුණා නිව්ටන් ගුණසේකර කියලා සංගීත ගුරුවරයෙක් සහ ධම්මි කියලා සංගීත ගුරුවරියක්. ඒ දෙන්නා තමයි මගේ දක්ෂතාවන් හැකියාවන් හඳුනාගෙන උදව් කළේ. ධම්මි ටීචර් මාව සංගීතය ඉගෙන ගන්න මහාචාර්ය අමරා රණතුංගයන් ළඟට සම්බන්ධ කළා. ඒ කාලේ මගේ දෙවැනි අක්කා ඉන්ද්‍රා ජයන්ති පදිංචි වෙලා හිටියේ කොළඹ. එයා බැංකුවේ රැකියාව කළේ. අක්කා මාව ගෙන්නාගෙන එහේ නවත්ත ගත්තා. මාව ගුවන් විදුලියට යැව්වෙත් අක්කා. අපේ තත්තා කැමති වුණේ නෑ මම ගුවන් විදුලියට යනවට. එයා හිතුවේ එතැන හොඳ තැනක් නෙවෙයි කියලා. කොහොම හරි අක්කගේ උදව්වෙන් මම ගුවන් විදුලියේ ඒ ශ්‍රේණියේ ගායිකාවක් වුණා. අපේ තාත්තා හොඳ රංගන ශිල්පියෙක්. මට මතකයි ඒ කාලේ ‘බැරිස්ටර් හාමු’ කියලා නාට්‍යයකත් රඟපෑවා. තාත්තටයි, අම්මටයි දෙන්නටම හොඳට ගීත ගායනා කරන්නත් පුළුවන්. මං හිතන්නේ අනෝජා නංගිටයි මටයි දෙන්නටම කලාව පිහිටන්න ඇත්තේ මවුපිය ආරෙන්.

උපතින්ම රැගෙන එන දක්ෂතාවයන් ඔප් නැංවෙන්නේ අධ්‍යාපනයෙන්, හැදෑරීමෙන් සහ පුහුණුවෙන්. කොයි තරම් දුෂ්කරතා මැද්දෙන් වුවත් ඒ දේවල් ළඟා කර ගන්න ඇය කම්මැළි වුණේ නෑ. මොණරාගල වැනි එවකට අති දුෂ්කර පළාතක ඉඳන් සංගීත පන්තියකට එන එකත් ඒ කාලේ අභියෝගයක්. ළඟ පාතක පහසුකම් නෑ. මාර්ග දුෂ්කරයි. ප්‍රවාහන පහසුකම් අඩුයි. එහෙත් උත්සාහය ඊට වඩා ඉදිරියෙන් තිබුණ නිසා ඇගේ ගමන පසුපසට අදින්න කුමන බාධාවකටවත් බැරි වුණා.

ඇය මහාචාර්ය අමරා රණතුංගයන් සෙවණෙන් ශාස්ත්‍රිය සංගීතය හදාරනවා. ඉන් පසුව ඇය යොමු වන්නේ තවත් එවැනිම දැවැන්තයෙකුගේ සෙවණට. ඒ බී. වික්ටර් පෙරේරා වෙත. අමරා රණතුංගයන් ගේ සෙවණ ඇගේ ජීවන ගමනේ තවත් එක් සන්ධිස්ථානයක් වෙනවා. ඒකට හේතුව අද මොහොත වන විටත් ආදරයෙන් ජීවන ඔරුව පැද යන්නට ඇයට හිමි වන ඔහුගේ හමුවීම සිදුවීම.

‘මම අමර මිස් ළඟ ඉන්න කාලේ ‘සාරංගා’ කියලා ප්‍රසංගයක් කළා. ඒ ප්‍රසංගයේදී තමයි මගේ සැමියා වික්ටර් විජයන්තව මට මුලින්ම හමු වුණේ. ඔහු එවකටත් ලංකාවේ හිටිය එකම ‘ෂෙනායි’ වාදකයා. මගේ කලා ජීවිතේ මුල්ම අවදියේදීම ඔහු මට මුණ ගැසීම නිසා එතැන් පටන් දිගු ගමනක් එන්නට ඔහු මගේ නිබඳ සෙවණැල්ල වුණා. මගේ ජීවිතේ කලාව ආරම්භ වුණේ ඉන්ද්‍රා අක්කත්, අනෝජා නංගිත්, වික්ටරුත් එක්කමයි.

ජීවිතේට සවියක් වෙන රමණීය ප්‍රේමයක් ඇයට හිමි වුණා. ඒක පෞද්ගලික ජීවිතේට පමණක් සීමා වූවක් නොවෙයි. ඇගේ කලා ජීවිතේ සියලු තැන්හි ඇගේ පසුපසින් හිඳි සෙවණැල්ල ඔහු වුණා. ඒ විතරක් නොවෙයි ඔවුන් තනපු ආදරණීය කැදැල්ල තුළ දරු සෙනෙහස ඉතිරෙන්න ගත්තා. ආදරයත්, ප්‍රේමයත් මියුරු සත්සරත් එක්ව ඉපැදුණ මායාගේ දෙවැනි පරම්පරාව අද වත්මන් සංගීත ක්ෂේත්‍රය පුරා ජය කෙහෙළි නංවන හැටි ඇය ආදරයෙන් මෙන්ම ආඩම්බරයෙන් බලා ඉන්නවා. කුෂානිත්, සචිනිත් අම්ම තාත්තා වගේම කලාවට උපන් කලාව වෙනුවෙන් උපන් දරුවෝ වුණා.

‘ඇත්තටම මගේ දරුවෝ දෙන්න ගැන මට හරිම ආඩම්බරයි. ලොකු දුව කුෂානි ගැන අමුතුවෙන් කියන්න දෙයක් නෑනේ. එයා අපි දෙන්න වගේම අපේ කලාව පරපුරෙන් උරුම කරගෙන අද ක්ෂේත්‍රයේ ඉන්නවා. දෙවැනි දුව සචිනි විවාහයෙන් පස්සේ කැනඩාවේ පදිංචියට ගියා. එයා අවුරදු 11 ට පස්සේ මේ දිනවල ලංකාවට ඇවිත් ඉන්නවා මගේ පුංචි මිනිබිරියත් එක්ක. පුංචි කාලේ ඉඳන්ම කුෂානිත්, සචිනිත් දෙන්නම කලාවට කැමැති වුණා. දෙන්නම චිත්‍රපටවල රඟපෑවා. දෙන්නම සංගීතය හැදෑරුවා. නර්තනය, බෙර වාදනය හැදෑරුවා. කරාටේ ඉගෙන ගත්තා. නමුත් දෙවෙනි දුව අද කලාවෙන් ඈත්වෙලා කැනඩාවේ රජයේ රැකියාවක නියුතු වෙනවා.’

දරුවන්ගේ අනාගතය ගැන අම්ම කෙනෙක් මවන සිහින අපමණයි. මායාත් ඒ සිහින අතරේ ජීවත් වෙන්න ඇති. දරුවන් උස් මහත් කරලා හදලා වඩලා හොඳ අධ්‍යාපනයක් ලබා දීලා අද ඔවුන් යහපත් ජීවිතයක් ගෙවනවා දකින තරම් සතුටක් අම්ම කෙනෙකුට තවත් තිබිය නොහැකියි. ඊටත් වඩා තමන් පණ මෙන් ආදරය කළ තමන් රැකගත් කලාව තමන්ගෙන් පසු ඉදිරියට පවත්වාගෙන යාමට හැකි දරුවන් බිහි කිරීම වාසනාවක්. අද ඇය එහි හිමිකාරියක්. ඇය ශාස්ත්‍රීය සංගීතය සංගීත් නිපුන් දක්වා හැදෑරුවා සේම දියණිය කුෂානිත් සංගීත් නිපුන් ප්‍රථම අදියර දක්වා මහාචාර්ය ක්‍රිෂ්ණ කුමාර් කපූර්ගෙන් හැදෑරුවා. ඇගේ මව චිත්‍රපට පසුබිම් ගායනයට ප්‍රවිෂ්ට වුවා සේම අද කුෂානි ද චිත්‍රපට පසුබිම් ගායන ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම ගායන ශිල්පිණියක වී හමාරයි. පසුගිය සරසවිය සම්මාන උලෙළේ හොඳම චිත්‍රපට පසුබිම් ගායන ශිල්පිණිය වුයේ ද ඇයයි. ඉතින් මෙවන් දුවෙක් ලද අම්මා පිනැත්තියක් නොවේද?

‘ඇත්තටම මගේ ජීවිතේ එතෙක් මෙතෙක් චිත්‍රපට 166 කට පමණ පසුබිම් ගී ගායනයෙන් විවිධ ශිල්පිණියන් වෙනුවෙන් එක් වී තිබෙනවා. මගේ දායකත්වය ගැන සතුටක් තිබුණට පෙරළා ඒ වෙනුවෙන් මට ලැබුණු ඇගයීම් ගැන මට ලොකු කනගාටුවක් තිබෙනවා. මේ වෙනතුරු ඒ වෙනුවෙන් ඇගයීමක් මට ලැබිලා නෑ. නමුත් ඒ කනගාටුව යටපත් කරමින් මගේ හිත සතුටින් පුරවපු කාරණාවකුත් තියෙනවා. ඒ තමයි මගේ දියණිය පසුගිය සරසවිය සම්මාන උලෙළේදී හොඳම ගායිකාව විදියට සරසවිය සම්මානය ලැබීම. සරසවිය වැනි ලංකාවේම උසස් සම්මාන උලෙළකින් ඒ කළ ඇගයීමම මට ඇති. වෙන මුකුත් මට නැති වුණාට කමක් නෑ.’

මව් සෙනෙහසක අසිරිය කෙතරම් ද කියලා ඇගේ දෑසම මට සාක්ෂි දරනවා. මේ උනන්නේ දරු සෙනෙහසේ නාමෙන්ම උනන කඳුළක්. මේ දරුවෝ දෙන්නම තමන්ගෙම කූඩු හදාගෙන දැන් ඇගේ තුරුල්ලෙන් නික්ම ගිහින්. ඒත් ඈට තවමත් ඔවුන් දෙදෙනා තම ඇකයේ නැළවෙන සිඟිත්තන් වගේ. ඈ දැන් මිත්තණියක්. දියණියන් දෙදෙනා වගේම ඇගේ දෙපැත්තෙන් දැවටෙන කුඩා මිනිබිරියන් දෙදෙනෙකුත් ඈට ඉන්නවා.

‘මගේ ලොකු මිනිබිරී අශ්විනි දිනක්ෂි. මේ දවස්වල අපි බලන්න ලංකාවට ඇවිත්. මගේ පොඩි මිනිබිරී දේව්‍යා දේවා ශ්‍රී ජයවර්ධන. එයා ඉතින් අපිත් එක්කම තමයි වැඩිපුර කාලය ගත කරන්නේ. දැන් මගේ ජීවිතේ මේ දෙන්නා තමයි.’

අශ්විනීත්, දේව්‍යාත් මාව අතීතයට රැගෙන යනවා. ඒ කාලේ කුෂානිත්, සචිනිත් ඔය වගේම ඉන්න ඇති. ඒ කාලේ ඒ අක්කයි නංගියි වගේම මේ කාලේ මේ අක්කගෙයි නංගිගෙයි හුරතල් විඳින්න මායාත්, වික්ටරුත් දෙන්නම පින් කරලා තියෙනවා.

තමන්ගේ දරුවන්ගේ දක්ෂතා දැක දැක ඒ සඳහා ඉදිරියට යන්නට අත දුන්නා වගේම කලා ශිල්පිනියක් විදියට සුවහසක් දූ දරුවන්ට ඉදිරියට යන්නට අත හිත දෙන ගුරු මාතාවක් ඇය. ඇගේ තීන්දු තීරණ හරහා නොයෙකුත් රියැලිටි වැඩ සටහන් ඔස්සේ් මෙරට සංගීත ක්ෂේත්‍රයට දායාද වුණු නවක තරු බොහොමයි. ඒ සියල්ල ඇය මේ රටේ උපන් කලා ශිල්පිණියක් ලෙස ඇගෙන් ජාතියට ඉටු විය යුතු වගකීමක් ලෙස ඉටු කරන දේවල්. එදා මෙන්ම වර්තමානයේ මේ අද දක්වාත් ඇය ශාස්ත්‍රීය සංගීතය සංගීත විශාරද විභාගයන් දක්වා උගන්වන ගුරු මාතාවක්. නවීන තාක්ෂණය භාවිත කරමින් අද වන විට විදේශීය ශිෂ්‍ය ශිෂ්‍යාවන් වෙත ඔන් ලයින් ඔස්සේ ඇය සංගීත ඥානය බෙදා දෙනවා.

අදටත් ගුවන් විදුලිය ඔස්සේ පුරසඳ ලෙස, දෑස වසා සිටියා, මොර සූරන වැසි හිමිදිරියේ වැනි ගීත ඇහෙන කොට කොයි තරම් මිහිරක් දැනෙනවද කියලා හිතෙනවා. ‘ජීවිතේ දිහා ආපස්සට හිතත්දි මගේ කලා ජීවිතේ පසු පස්සේ හිටපු දයාරත්න අමරා ගුරු යුවල, බී. වික්ටර් පෙරේරා, ඩී. ඩී. ඩැනී, සෝමසිරි ඉලේසිංහ, සරත් ද අල්විස්, රෝහණ වීරසිංහ ඇතුළු සමූහයක් ඉන්නවා ආදරෙන් මතක් කරන්න. ඒ හැම දෙනාගේම නම් සඳහන් කරන්න ඉඩක් නෑ. ඒ හැමෝම මගේ හදවතේ ඉන්නවා. ඔවුන් හැම දෙනාටම බොහොමත්ම පින්. අදටත් මට ගීත ගයන්න හැකියාව තියෙනවා. අදටත් මට ආරාධනා ලැබෙනවා. හැබැයි ඒ බොහොමයක් ඒවා දැන් මගේ දුවට යොමු කරනවා. මම අවුරුදු 67 ක් සින්දු කිව්වානේ, දැන් ඇති මට!

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
7 + 10 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.