සිතෙහි බැඳි ආලේ සැමදා

මැයි 9, 2019

 

"පරම රමණී අපේ ආලේ
සදා කල් සැපත මේ ලෝලේ
සමාජේ රුදුරු කාන්තාරේ
කොහේ අපි යමුද නොම තේරේ"

ලාංකේය සිනමාවට, බටහිර ශෛලිය එකතු වීම යන්තමින් හෝ මුල් පිරුමක් සිදුවන්නට 1960 වසරේ තිරගත වූ "නළඟන" චිත්‍රපටය තුළින් සමත් විය. ඒ "ක්ලබ්" ශෛලයයි. "ක්ලබ්" එකක් තුල සම්පූර්ණව ගෙතුනු "නළඟන" ලංකාවේ ප්‍රථම වතාවට තහනම් කෙරූ චිත්‍රපටයක් ලෙසද ඉතිහාස ගතවේ.

අන් අතකට අහිංසකාවි ප්‍රතිබිම්බනය, නොඒසේ නම් ලාංකේය සිනමාවේ කඳුළු බිදුව,එසේත් නැත්නම් සංස්කෘතික ස්ත්‍රිය වූ රුක්මණී දේවිය, ජීන්ස් කලිසම් ඇඳගෙන ක්ලබ් එකක ක්ලබ් ඩාන්සර් කෙනෙක් වීම නම් එකල ⁣ස්ත්‍රී ප්‍රේක්ෂක ප්‍රජාවට, වහ දුන්නා මෙන්ය. පුදුමයකට මෙන් පිරිමි ප්‍රේක්ෂකයන්ගේ බහුතරයද, රුක්මණී දේවිය 'ක්ලබ් ඩාන්සර්' කෙනෙක් වීම දිරෙව්වේ නැත. මේ සියල්ලටම ඕනවී තිබුණේ රුක්මණී දේවියව අර සම්ප්‍රදායානුකුල රටාව තුළ හිරකර තැබීමටය. ඇය හැමදාම සැමියා බිරිඳගේ දෙවියාය කියමින් පතිවත සුරැකිව රකින, සැමියාට වැදුම් පිදුම් කරමින් ජීවත් වන කාන්තාවක් සේ දකින්නටය. එහෙයින් ඇය සමාජශාලා නළඟනක් වීම එකල ප්‍රේක්ෂක ප්‍රජාව සැලකුවේ, ලෝක විනාශය එනවා නම් ඊට වඩා හොඳයැයි සිතමිනි. සුචරිතයට, බෞද්ධාගමට, සිංහල සංස්කෘතියට, කුල සිරිතට, පහර වැදීම ලෙස හේතුපාඨ දක්වා, චිත්‍රපටය තහනම් කිරීමට පරික්ෂණ මණ්ඩලය උත්සහා ගත්තා පමණක් නොව, එය සම්පූර්ණයෙන්ම තහනම් කළේය.

එකී හේතු පාඨ තුළ වෙනමම සැගවුණු අර්ථයක් තිබුණි. ඒ අර්ථය නම්, චිත්‍රපට පරික්ෂණ මණ්ඩලයේ සමාජිකයන් රුක්මණී දේවියගේ සිනමා ලෝලයන් වීමය. පරික්ෂණ මණ්ඩලය පමණක් නොව, එකල සිනමා විචාරකයන් හා සිනමා ලේඛකයන්ද,රුක්මණී දේවි වටා ⁣රොක්වී සිටියේ මෙකී සිනමා ලෝලයන් සේය. එහෙයින් ඔවුන්ද පරික්ෂණ මණ්ඩලයේ තීරණයට සෘජුව උපකාර කරන්නට විය.

මාටින් වික්‍රමසිංහද, මෙම චිත්‍රපටයෙන් සිංහළ සංස්කෘතිය, සභ්‍යත්වය කෙළෙසෙන බව කියමින් මෙම 'නළඟන' චිත්‍රපටය තහනම් කළ යුතු යැයි, විශාල සාහිත්‍යමය යුද්ධයක් කරගෙන ගියේ, සියලු ලාංකේය ස්ත්‍රීන් ,ගම්පෙරළියේ ඔහු මැවූ නන්දා මෙන් විය යුතුයැයි සිතාය.

නමුත් එකල සිටි සංස්කෘතික ඇමති,බර්නාඩ් අලුවිහාරේ චිත්‍රපටය නරඹා එක් දර්ශනයක් පමණක් ඉවත් කර, අසීමිත ප්‍රදර්ශනයට අවසර දුනී.

තහනම් කළ යුත්තේ චිත්‍රපටය නොව චිත්‍රපට පරික්ෂණ මණ්ඩලයේ මන්ද බුද්ධික, ඔලමොට්ටල සාමාජීකයන් යැයි පැවසුවේ එකල විශිෂ්ට රංගධාරියෙකු වූ ලැඩී රණසිංහය.

නළඟන චිත්‍රපටය 1957 වර්ෂයේදි නිපද වූ "හිල් ස්ටේෂන්" නම් හින්දි චිත්‍රපටයේ අනුසාරයකි. පසු කළෙක අතිශයින් ජනප්‍රිය වූ 'කාශ්මිර් කී කාලි', 'ආරාධනා', 'ඇන් ඊවිනින් ඉන් පැරිස්' 'කටී පතන්ග්", වැනි චිත්‍රපට අධ්‍යක්ෂනය කළ, ශක්ති සාමාන්තාගේ මුල් කළ චිත්‍රපටයකි මේ "හිල් ස්ටේෂන්". මෙය සිංහලට පරිවර්තනය කර, දෙබස් ලීවේ එකල ප්‍රචලිත ලාංකේය නළුවෙකු වූ, පිටිපන සිල්වාය. 'නළඟන' හි රුක්මණී දේවිය රඟපෑවේ, 'හිල් ස්ටේෂන්' හී බීනා රායි රඟපෑ චරිතයය.

සුනිල් තම සුඛෝපබෝගී කාර් රථය එලවා ආයේ කොළඹ පිහිටි රාත්‍රි සමාජශාලාවකටය. ඔහු එන තෙක් ඔහුගේ මිතුරු සමාජශාලාවට වී බලා සිට්යේය.

විකී එහී සමාජශාලා කළමණාකරුගේ හිතවත්ම මිත්‍රයාය. සුනිල් ධනවත් පුද්ගලයෙක් බව කළමණාකරු දැන සිටියේය. එහෙයින් ඔහු සුනිල්ව විකීට හඳුන්වා දුන් අතර, විකී මුදල් ඔට්ටුවට කාඩ් සෙල්ලම් කිරීමට සුනිල්ට ආරාධනා කළේය. සුනිල් තම මිත්‍රයා සමඟ මෙම කාඩ් සෙල්ලමට එකතු වූ අතර, කළමනාකරු සුනිල්ගේ පිටුපසින් සිටගෙන මෙම කාඩ් සෙල්ලම දෙස බලා සිටියේය. ඇත්තටම ඔහු නිකංම බලා සිටියේ නැත. ඔහු තවත් කාඩ් කීපයක් තම කෝට් සාක්කුවේ සඟවා,ගෙන සුනිල්ට නොපෙනෙන සේ සුනිල්ගේ අතේ තිබෙන කාඩ්, තම කාඩ් හරහා විකීට පෙන්වූයේය. මේ හේතුවෙන් විකී දිගටම දිනන්නට වූ අතර, සුනිල් ඔට්ටුවට දමන හැම මුදලක්ම විකී දිනාගන්නට විය. සුනිල්ට හා ඔහුගේ මිතුරාට මෙය විශාල ප්‍රශ්නයක් විය.

මෙතැන සිදුවෙන කපටිකම බලා සිටියේ මෙම රාත්‍රි සමාජශාලාවේ නාට්‍යංගනාවිය වූ ප්‍රේමාය. ඇය මේ සුනිල් නම් කඩවසම් පුද්ගලයාට සිද්ධ වෙන වංචාවට, අවංකවම කම්පා වී, ඔවුන්ට මේ සිදුවන දේ දැන්විය යුතුයැයි සිතුණි. එහෙත් එය කෙළින්ම කීමට නොහැකිය. එහෙයින් ඇය රැඟුමක් රඟමින් ගීතයක් හරහා මෙය දන්වන්නට උත්සහ ගති.

'මේ ආවා, මං ආවා, මේ දිනාවි, සමහරු දිනුවා

ඒත් පරාදේ අත් වේවා

කෙනෙකුට දුක් දීලා හොඳ නෑ

මේ ආවා ලෝකේ ප්‍රීති වෙන්න

සූදූවෙන්නේ, දිනීමේ පරාජයේ

ආයේ එන්නේ නෑනේ".....

මෙම ගීතය සම්පූර්ණව ගායනා කළ පසු සුනිල්ට හා ඔහුගේ මිතුරාට ප්‍රේමා ගීතයෙන් ව්‍යාංගයෙන් පැවසූ දේ වැටහුණි. කළමණාකරු කෙරූ වංචාව ඔවුන්ගේ අතටම අසුවිය. වැඩේ අතටම අසුවූ පසු කළමනාකරු එතනින් මාරු විය. නැවත ඔවුන් කාඩ් සෙල්ලම් කළෝය. එවර සුනිල් සියලු වට දිනා, තමන් පැරදුණු මුදලුත්, තවත් වැඩි පුර මුදලුත් දිනා ගති.

මේ අතර විකී ප්‍රේමාට කිවේ, තමන්ට සුනිල් සමඟ යළිත් තරඟ කර ඔහුගේ සියලු මුදල් පමණක් නොව, ඔහු පැමිණි කාර් රථයද උගස් කරන තත්වයකට ඔහුව පමුණවා, ඔහුට හිස් අතින් පයින් ගෙදර යෑමට උදව් කරවන ලෙසටය.

ප්‍රේමා එක පයින් එයට විරුද්ධ විය. ඒ ප්‍රේමාට, සුනිල් පිළිබදව හිතේ ඇල්මක් ඇති වී තිබූ නිසාය. තමාගේ ඉල්ලීමට ප්‍රේමා විරුද්ධ වූ නිසා, විකී ප්‍රේමා සමඟ හිත යටින් වෛර බැද ගති.

තමාට උපකාර කළ නිසා, සුනිල් ප්‍රේමාට, මුව නොසෑහෙන සේ ස්තූති කළ අතර, ඔහුටද ඇය ගැන දැඩි ඇල්මක් ඇතිවිය. පසුව එය ආදරයකට පෙරළුණේ නොදැනුවත්මය.

විකී ගේ හිත තිබෙන්නේ ප්‍රේමා ළඟය. ඇත්තෙන්ම විකී ප්‍රේමාට ආදරය කරන්නට විය. නමුත් කිසි ලෙසකත් ප්‍රේමා, විකීට ආදරය කළේ නැත. සුනිල් හා ප්‍රේමා ආදරය කරන බව විකීට වැටහෙන්නට විය. මේ හේතුවෙන් විකී සුනිල් සමඟ ගැටෙන්නට විය.

"නළඟන" කථා ශාරය ගලාගෙන ගියේ එවැනි නාගරික සමාජශාලා පසුබිමකය. 1960දී එවන් බටහිර සංස්කෘතික ගති ලක්ෂණ සිනමා පටයකින් පෙන්වීම තරමක් ආන්දෝලනාත්මකය. එහෙත් නිෂ්පාදක එස්. එම්. නායගම්ට ලාංකේය සිනමාව තුළ කිසියම් වෙනසක් ඇති කිරීමට උවමනා කමක් තිබුණි. ලාංකේය මුල්ම චිත්‍රපටය වූ 'කඩවුණු පොරොන්දුව', නිපදවීමට පුරෝගාමිවූ නායගම්ට, එකාකාරීව ගලා එන චිත්‍රපට රැල්ලෙන් මිදීමට, 'නළඟන' නිපදවූවා පමණක් නොව, එතෙක් කාන්තා ප්‍රතිමූර්තිය වූ රුක්මණී දේවියව 'ප්‍රේමා' හරහා වෙනස් කිරීමටද උවමනා විය.

"නළඟන " තරමක ත්‍රිලින් ලව් ට්‍රැජිඩියකි. එය සම්ප්‍රදායානුකූලවූ කථාවක් තුළ ගියද, එහී වෙනස් කම් තිබුණි. විශේෂයෙන් දුෂ්ටයා හා පෙම්වතාගේ ගැටුම විශ්වාසනීය ලෙස ඉදිරිපත් කිරීම, ගැමි පරිසරයෙන් මිදී නාගරීක පරිසරයක කථාන්දරය ගෙන යෑම, ඇඳුම් පැළඳුම් පවා නාගරීක කරණයට උචිත වීම වැනි දේය.

මේ අතර, සුනිල් හා ප්‍රේමාගේ ප්‍රේමය සෙමෙන් සෙමෙන් දළු ලන්නට විය.

"කිමද වෙන්නේ -අනේ නොහැඟේ

මෙයින් මතුදා

විදුලි හෙන සැඩ සුළං නොමැති

තැනක ඒ, මල් ගසක් මුදුනේ

තනා ගමු ප්‍රේම කූඩු අපි"

 

සුනිල් යනු ධනවත් පවුල් පසුබිමක් ඇති පුද්ගලයෙක් විය. ඔහුට සිටියේ අමිමා සහ නංගී පමණී. ප්‍රේමාට අම්මා අකමැති වෙන බව සුනිල් මුල සිටම දැන ගත්තද, දැං ඔහුට සිය ප්‍රේමනීය ප්‍රේමාව කෙළෙසකවත් අමතක කළ නොහැකිය. හැටේ දශකයේ මුල් භාගයේදී ආදරය යන වචනයට වඩා භාවිතා කළේ ආලය, ප්‍රේමය යන වචනයි. මා ඔබට ආලය කරමි යැයි කියමින් ඔවුන් එකල චිත්‍රපට තුළ කළේ පැණි බේරෙන ආදරයන්ය. "නළඟන" චිත්‍රපටය තුලද ⁣සුනිල් හා ප්‍රේමා අතර මේ පැණි බේරෙන ආදරය නොමසුරුව තිබුණි.

'මේ ලෝකේ මාගේ දිවි හින්දා

ඔබයි මා ප්‍රේමයේ සුහදා

හිතුවදෝ මා කෙසේ ආශා

දිලේ අර තාරකා චන්ද්‍රා

අපේ පෙම් මන්දිරේ සරසා"

සිතුවා සේම සුනිල්ගේ ⁣මව ප්‍රේමාට කැමති වූයේ නැත. විශේෂයෙන් සමාජශාලාවක නාට්‍යාංගනාවියක් නම් තම ලේලිය කර ගැන්මට, සුනිල්ගේ මව කිසි ලෙසකත් කැමති නොවේ. මේ හෙයින් තම මව කැමති කර ගැන්මට සුනිල්ට විශාල සටනක් කරන්නට සිදුවිය. ප්‍රේමා නාට්‍යාංගනාවියක් බැව් සගවා සුනිල් ඒ සටනින් ජය ගති. අවසානයේ මව ප්‍රේමාව විවාහ කරගැන්මට කැමැත්ත දුනි.

සුනිල්, සහ ප්‍රේමා විවාහ වන බව විකීට ආරංචි විය. ඔහුගේ කේන්තිය, කලකිරීම දැඩිවිය. එකක් ඔහු දැඩිව ආදරය කරන ප්‍රේමා අන් අයෙකු හා විවාහ වීමය. අනෙක් අතට ඇය විවාහ වන්නට යනුයේ තමාගේ අලුත්ම හතුරා වූ සුනිල් සමඟ නිසාය. මේහෙයින් ඔහු සුනිල් නැති අතරක සුනිල්ගේ නිවසට ගොස්, ඔහුගේ මවට ප්‍රේමා සමාජශාලාවක නැට්ටිච්චියක්, බවත් ඇය මායමින් සුනිල්ව අල්ලාගෙන සුනිල්ගේ දේපල තමා සතු කරගැන්මට මාන බලන බවත්, ඇය තමා සමඟද විවාහ වීමට සිට, සුනිල්ගේ දේපල දැක තමාව අතහැර සුනිල් සමඟ යහළු වුණු චපල ස්ත්‍රියක් බව, රස පදම දමා කීවේය.

විකීගේ සැලැස්ම ටක්කෙටම හරි ගියේය. සුනිල් ට ඔහුගේ මව කීවේ ප්‍රේමාව විවාහ කරගත හැක්කේ, තමාගේ මළමිණිය උඩින් බවය. විකී කිව් සියල්ලම ඇය සුනිල්ට කියා, ක්ලබ් වල නැට්ටිච්චියන්ව, තමාගේ නිවසට වද්ද ගන්නේ නැති බව, අවධාරනයෙන්ම කීවාය.

මේ බව ආරංචි වූ සැණින්ම, එම වේදනාව දරාගත නොහැකි වූ ප්‍රේමා එක්වරම අතුරුදහන් විය. සුනිල් හා ඔහුගේ මිතුරා ප්‍රේමාව හැකි හැම තැනම සෙවිවද, ඇය ගිය තැනක හෝ සිටින තැනක හෝඩුවාවක් හෝ සොයා ගැන්මට නොහැකි විය. අවම වශයෙන් ඇය ජීවත් වෙනවාදැයි කියා හෝ සිතා ගැන්මට ඔවුනට නොහැකි විය. මේ හේතුවෙන් සුනිල් දැඩි සිත් තැවුලකට පත් විය.

"ගිලුනා සෝක ගඟේ

හැඬුවා හර්දේ මගේ

සැනසීමක් නැතිවේ

මා තනිවේ ඒ ප්‍රේම ලොවේ

ගිලුනා සෝක ගඟේ"

දැන් සුනිල් තනිවී දුක්වන නිසා, ඔහුගේ මව හා නැගණිය, සුනිල්ගේ දැඩි අකමැත්තෙන් ඔහුට ලීලා නම් තරුණියක් විවාහ කර දුනි. විවාහ වුනද සුනිල් ඒ දුක්බර ජීවිතයෙන් මිදුණේ නැත. ඔහු නිතරම සිතුවේ ප්‍රේමා ගැනය. ⁣සුනිල් තමන් ගැන සැලකිල්ලක් නොදක්වන හෙයින්, ඒ ගැන සිතමින් ලීලා ලෙඩ වෙන්නට විය.ඇය මානසීක රෝගියෙක් වී රෝහලක නේවාසික වී එයට ප්‍රතිකාර ගත්තාය. රෝහලේ ඇයව භාර වූයේ ආශා නම් සාත්තු සේවිකාවකටය. ඇය ඉතාමත්ම කරුණාවෙන් ලීලාව බලා ගත් නිසා, ලීලාගේ රෝගය සුව අතට හැරෙන්නට විය.

"සිතෙහි බැඳී ආලේ

සැමදා සෝක සාදා

එක මග වේවි සදා

කිමා පල ඒ ගැන ලතැවීලා"

සුනිල් ලීලා බැලීමට රෝහලට පැමිණෙන විට, ආශා හැංගෙන්නට උත්සහා කරනුයේ , මේ ආශා වෙන කව්රුත් නොව එදා අතුරුදහන් වූ ප්‍රේමා නිසාය. එහෙත් දිනක් ප්‍රේමාට, සුනිල් එන විට හැංගීමට නොහැකි විය. එහෙයින් ඇයව සුනිල්ගේ අතටම අහුවිය.

මේ අතර විකී, ප්‍රේමා රෝහලේ වැඩ කරන බව කෙසේ හෝ සොයා ගති. ප්‍රේමා තමාට කැමති නොවන්නේ සුනිල් නිසා බව දැනගත් විකී, කිරි වීදුරුවකට වස දමා, ලීලාට බොන්නට සලස්වා, එයට ප්‍රේමාව අසුකර දුනී. මෙම වස පානයෙන් ලීලා මිය ගියාය. එයට ප්‍රේමාව හිරබාරයට ගති .

චිත්‍රපටය ත්‍රිල් වනුයේ මෙතැන් සිටය. නායගම් හා එල්.එස් රාමචන්ද්‍රන් කැමතිද එලෙස වෙනවාටය.

රුක්මණී දේවී ප්‍රේමා හා ආශා ලෙස රඟපෑ අතර, ඇය තම සිනමා ජීවිතයේදී කල වෙනස්ම චරිතය මෙය විය. බොහෝ අය මෙලෙස රඟපෑම ගැන අවි දික් කරමින් සිටියද, ඇය කීවේ නළඟන චිත්‍රපටයේ මේ 'ක්ලබ් ඩාන්සර්' ලෙස කළ රඟපෑම ගැන ඇය කිසිසේත් කලකිරෙන්නෙ නැති බවත්, ඇයටත් අවශ්‍ය වෙනස් අන්දමේ රඟපෑමක් කර ඇඟේ රංගන දක්ෂතාවය උරඟා බැලීමට බවය.

සුනිල් ලෙස එකල ජනප්‍රිය කඩවසම් නළුවෙකු වූ රවින්ද්‍ර රූපසේන රඟපෑ අතර, ඔහුගේ මිතුරා වූයේ එඩී ජයමාන්නය. ඇල්ප්‍රඩ් එදිරිමාන්න දක්ෂ ලෙස විකීගේ චරිතයට පණ පෙවීය. සමාජශාලා කළමණාකරුවූයේ එච්.ඩී.කුලතුංගය. ලීලා, ලීනාද සිල්වාය. ⁣රුබීද මෙල් සුනිල්ගේ මව වූ අතර, උදුලා දාබරේ සුනිල්ගේ නැඟනිය විය. ජෝ අබේවික්‍රමද මෙහි චරිතයක් රඟපෑවෙිය.විජිත මල්ලිකා, ඩඩ්ලි වානගුරු, පිටිපන සිල්වා, නාලනී අබේපාල, රිචඩ් ඇල්බට් ටාසන් සෙසු චරිත රඟපෑහ

ආර්.මුත්තුසාමි මෙහී සංගීත අධ්‍යක්ෂක වරයාය. 'ගිලුනා සෝක ගඟේ' ගීතය ගායනා කළේ ද මුත්තුසාමිය. මොහිදින් බෙග්, රුක්මණී දේවී, ජී.එස්.බී. රාණි පෙරේරා සෙසු ගීත ගායනා කළහ.

ආන්දෝලනයට තුඩු දී , තහනමකටද ලක්වූ "නළගන" චිත්‍රපටය නිශ්පාදනය එස්. එමි නායගම්ය. එය අධ්‍යක්ෂනය කළේ එල්.එස්.රාමචන්ද්‍රන්ය. "නළඟන" චිත්‍රපටය තිරගත කිරීම ආරම්භ කළේ 1960 ජූලි 17වනදාය.

(තවත් චිත්‍රපටයක් ලබන සතියේ)

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 2 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.