ගඟ ගලා බසිද්දී සසල වූ ජීවිත

මැයි 2, 2019

ඩොටී,විලී,සලොමන්,සෝමසිරි, අංකල් මහත්තයා, ජේලර් ගාඩ්, ඇනී, මැගී, වැනි පොලවේ පය ගැසූ ලාංකේය චරිත කීපය අපට හමුවූයේ කුලසේන ෆොන්සේකාගේ සම්මානනීය නව කථාවක් වූ "පාලම යට" තුළිනි.

එම චරිත සියල්ලම එච්.ඩී.ප්‍රේමරත්න විසින් පාලම යටට ජීවමානව ගෙනවිත්, එය සලොලයිඩ් පටයක අමුණා, ප්‍රේක්ෂකයන්ට ඉදිරිපත් කළේ පාලම යට ගත කරන්නවුන්ගේ සත්‍ය ජීවිතයන්ද මෙසේයයි පෙන්වමිනි.

කුලසේන ෆොන්සේකාගේ ඩොටී ජීවිතයේ අනේක දුක් කම් කටොලුවලට මැදිහත් වූ එක්තරා අන්දමක යකඩ ගැහැණියකි. ඩොටී ගේ සිදුවීම් පෙලට මූලිකවම හේතු සාධක වූයේ ඇගේ රූමත් කමය. යම් හෙයකින් ඩොටී රූමත් බවින් තොර වූවා නම්, කුලසේන ෆොන්සේකාට මේ හැල හැප්පීම් මැවීමට නොහැකි වේ. විලී,ජේලර් මහත්තයා,අංකල් මහත්තයා, ඇඹලයෝ වගේ ඩොටී පස්සේ වැටුණේ මේ රූමත් කම නිසාමය. ඩොටීට මේ හැම වින්නැහියක්ම සිද්ධ වුනේද ඩොටී ගේ පොත්ත රතුවූ නිසාය.

කුලසේනගේ මේ රූමත් ගැහැනියව, සිනමා තීරයට ගෙන එන විට, එච්.ඩී.ප්‍රේමරත්නට පරිස්සම් විය යුතු විය. ඒ කුලසේන තම පෑන් තුඩින් මැවූ ඩොටීව ඒ අයුරින්ම ගෙන ඒම සදහාය. ප්‍රේමරත්නට පරිස්සම් වීමට එහෙම අවස්ථාවක් නොලැබුණි. ඒ මෙම චිත්‍රපටයේ නිෂ්පාදිකාවම, ඩොටී වීමය. ප්‍රේමරත්නට ලොකු අවුලක් නොවුයේ ඇය කුලරත්න විසින් කෘතියේ මැවූ ඩොටීට කිට්ටු සමාන රූමත් කමක් තිබූ නිසාය.

පාලම යට ජීවත් වූවද, ඩොටීට අවශ්‍ය වූයේ දරුවත් හදාගෙන තම සැමි⁣යාවූ සො⁣ලමන් සමඟ යහපත්, සාමකාමි පවුල් ජීවිතයක් ගෙවීමටය. එහෙත් පාලම යට වැනි මුඩුක්කු ගුබ්බෑයමක සාමකාමි පවුල් ජීවිතයන් ගෙවනවා යනු පිචැර් කථාය. කුලසේන මැවූ ඩොටී,ගේ තත්වය එලෙස වුවද, ඇය උඩුගම්බලා පිහිනන්නට විය.

කුලසේන ෆොන්සේකා තමා මැවූ ඩොටීට සාධාරණයක් කරන්නට ගියේ එලෙසය. කුලසේනට අවශ්‍ය වූයේ ඩොටීව කසිප්පු විකුණන, වල් ගැහැනියක් කරන්නට නොව, තවත් එක් සුවිනීත බිරිඳක් කරන්නටය. එක අතකට විලී නොහොත් වලහා නොහිටියානම්, ඩොටීත් අර රොබින් තම්පොලගෙ චිත්‍රපටවල සිටි 'සුන්දර බිරිඳ', ' සුවිනීත ලාලනී', 'සුකුමලි' වැනි ගැහැනියක් වන්නට ඉඩ තිබුණි. නමුත් කුලසේනට ඩොටීව විලීගෙන්, ජේලර්ගෙන්, අන්කල්ගෙන් බේරා ගැන්මට නොහැකි විය. ⁣

ඩොටී යනු එක්තරා අතකට දිරිය ගැහැනියකි. ගැහැනියක් වශයෙන් හැම අභියෝගයකටම මුහුණ දීමට හැකි ගැහැනියකි. එහෙත් ඇය හා සම්බන්ධ වෙන හැම පුද්ගලයෙක්ම ඇයව තල්ලු කරන්නට හදන්නේ අගාදයකටය. ඇය කොතෙක් උත්සහා කළද ඇයට ඉන් බේරීම උගහටය.

තම එකම දරුවා වූ සෝමසිරිත්, තම සැමියා වූ සලොමන් සමඟ වේලක් ඇර වේලක් හෝ කා, පාලම යට සංස්කෘතිය තුළ ජීවත් වෙමින් සිටි ඩොටීගේ ජීවිතය උඩුකුරු යටිකුරු වූයේ සලොමන් මිනිසෙක් මරා හිරගත වූ පසුය.

පාලම යට ගුබ්බෑයම් ජීවිතවල, මිනීමැරූම්, කෝලහාල, සුලබ දෙයකි. එලෙසම පාලම යට මිනිසුන්ට හිර ගෙවල් වලට ගොස් ඒම යනු සාමාන්‍ය දේවල්ය. හිර ගෙවල් වලද ඔවුනට පාලම යට සිටින මිනිසුන්ව හමුවේ. එතැනද ඔවුන්ගේ රාජධානියයි. මෙතැනද ඔවුනගේ රාජධානියයි. ඔවුනට ඒ දෙකේම වෙනසක් නැත.

ගැහැනුන් ට ද ඒ සන්තෑසියමය. තමාගේ මිනිහා හිරේට ගිය පසු වෙන මිනිස්සු ඒ ගුබ්බෑයමට රිංගන එක නවත්තන්න බැරිය. සීතාවන් මෙන් පතිවත රැකගෙන පාලම යට ගැහැනුන්ට නම් කොහොමටත් ජීවත් වෙන්න ලැබෙන්නේ නැත. විශේෂයෙන් පොත්ත රතු ගැහැනුන්ට නම් බේරෙන්නට ලැබෙන්නේම නැත.

සලොමන් හිරේට ගිය පසු එක් අතකින් ඩොටී, තම දරුවා සමඟ තනිවිය. අන්කල් මහත්තයා, ඩොටී ට උපකාර කිරීමට ඉදිරිපත් විය. මැදිවියේ පසු වූ තනිකඩව විසූ අංකල් මහත්තයා තමාට පිහිටට පැමිණෙන්නේ තමා වැටි ඇති තත්වය ගැන අනුකම්පාවෙන් විය හැකි යයි ඩොටී මුලදී සිතුවාය.

මේ අතර හිරේ සිටින සලොමන්ව බැලීමට බන්ධනාගාරයට යන ඩොටී ව ජේලර් මහත්තයාගේ ඇස ගැටුණි. එතැන් සිට ජේලර්ගේ විශේෂ සැලකිලි ලැබුනේ සලොමන්ටය.

කුලසේන ෆොන්සේකා මිනිසුන්ගේ සැගවී තිබෙන විවිධ ආශාවෝ එළියට දැම්මේ ඒ ලෙසිනි. මිනිසුන්⁣ගේ මතුවට පෙනෙන රුව නොව ඇතුළේ ඇත්තේ. කුලසේන ජේලර් හරහා මේ එළියට දමන්නට තැත් කළේ එයයි. ඩොටී ව දුටු පසු ජේලර්ට අනුකම්පාව හිතුනේ සලොමන් ගැනය. මෙතෙක් සලොමන්ට රෞද්‍රව සැලකූ ජේලර් එක්වරම සියුමැලි වූයේ ඩොටි දුටු පසුවය. මිනිසුන් හරියට අව්වත්, වැස්සත් වගේය. කුලසේන හා ප්‍රේමරත්න ජේලර් හරහා අපට පෙන්වා දුන්නේ එයයි.

මිනිසුන් තම වෘත්තියේ රස්නෙන් අහිංසක මිනිසුන්ගෙන් ප්‍රයෝජන ගන්නට උත්සහා කරන්නේද යන්න ප්‍රේමරත්න පෙන්වා දුන්නේ, ජේලර් ඩොටීව සොයා ඇයගේ නිවසට ඒමෙනි. මුලින් මුලින් සලොමන්ගේ පණිවිඩ ගෙනෙන මුවාවෙන් ඩොටීගේ ගෙට රිංගන්නට වූ ජේලර්, පසුව, ඩොටී ට අමාරුකම් ඇතැයි කියා වියලි ආහාර මෙන්ම කේක් බිස්කට් වැනි දේද ගේන්නට විය. දැන් නම් මූ එන්නේ හොද පොටකට නොවේ යැයි ඩොටීට වැටහුණද, කුණුහරපයක් කියා එළවා දමන්නට සිතුවද, ඉන්පසු මූ මේ පලිය දරුණු අන්දමට ගන්නේ, තමාගේ මිනිහා වූ සලොමන් ගෙන් නිසා ඇය ඉවසා සිටියාය.

නමුත් මෙය හොඳ හේතුවක් වූයේ විලීටය. විලී ඩොටීගේ ගෙදරට රිංගන ජේලරයා දෙස ඇස ගසාගෙන සිට දිනක් මගදි අල්ලා ගත්තේය. විලී දුන්නු "වෝනිං" එකට, ජේලරයා ආපහු නම් ඩොටීගේ නිවස දෙස ඇහැක්වත් ඇර බලන්නේ නැත. ඒ තරම් ඒ 'වෝනිං' එක සැර විය. ඒ කරදරේ නම් එතැනින් අහවර වූවද, දැං මේ විලී තමාගේ ගේ පාර දෙස බලා නලියන්නේ මොන රෙද්දකටදැයි, ඩොටී කල්පනා කරන්නට විය.

අංකල්ට, ඩොටී ගැන ඇතිවුනේ අනුකම්පාවක්ද, ආදරයක්ද නොමැති නම් අනුකම්පාව මුසු ආදරයක්දැයි මුලින්ම සිතාගැන්මට නොහැකි විය. ඩොටී නම් හිතුවේ තනිකරම අනුකම්පාවට කියාය. අන්කල් මහත්තයාට ඩොටී ගැන අනුකම්පාවක් තිබුණු එක ඇත්තය. නමුත් පසුව ඒ අනුකම්පාව උතුරා ගලා ගිය එකය වරද. ඒ උතුරා ගිය අනුකම්පාව නැවතුණේ වෙන මොකක්දෝ හුටපටයක් ලඟය.

අන්කල් මහත්තයා ඩොටීට කීවේ මිනිහෙක් මරා ඇතුලට ගිය සලො⁣මන්ගේ නැවත පැමිණිම ගැන විශ්වාසයක් තබා ගත නොහැකි බවය.

අංකල් වට රවුමෙන් ඇවිත් නතර වූයේ, ඩොටී කැමති නම් ඩොටීව තම ජීවිත කාලය පුරාම බලාගන්නමි කියන තැනය. ඒ තාත්තා කෙනෙක් ලෙස නොව, සැමියෙක් ලෙසටය. මේ මොන විකාරයක්දැයි ඩොටී ට සිතුණී.

පාලම යට 'ඒරියා',එක 'රන්' කෙරෙනුයේ විලීය. ඔහුගේ අන්වර්ථනාමය, වලහාය. කුලසේනගේ විලී වලහෙක් මෙන් හැඩි දැඩිවුවද, ප්‍රේමරත්නගේ විලී, රෞද්‍රය. කඩවසම්ය. ක්ලීන් සූට්ය. ජේලර්ල, අන්කල්ලා අයින් කරමින් පාර 'ක්ලියර්' කර ගත්, විලී ඉන් පසුව ඩොටීගේ ගෙදරට රිංගන්න පටන් ගතී. සොලොමන් කාලෙකට එන්නෙ නැති බව, විලී දනී. ඩොටීගේ නිවසේ කොක්කකට සිටිනුයේ, ඩොටී ගේ පුතනුවන් පමණි. ඔහුද තවම කුඩාය. ඒ විලී සිතූ හැටිය.

මුලින්ම විලී ඩොටීගේ නිවසට රිංගා ගත්තේ 'බයි ෆෝස්' එකෙනි. ඩොටී විලීට කෙ⁣ලෙසකවත් කැමති වූයේ නැත. එහෙත් ඔහුගේ ආධිපත්‍යයට යටත් වන්නට ඇයට සිදුවිය. විලී ඩොටීව තම ග්‍රහණයට අසු කරගත්තේ තම මැර බලයෙනි. එය කොතෙක්දයත් විලීගේ බිරිද වූ ඇනීටද එය නවත්වා ගන්නට බැරි විය. ඇයට හැකිවුයේ, ඩොටී සමඟ කෙහෙවලු පටලවා ගැන්ම පමණි. රෙදි ගලවා ගත්තෙ උන් දෙන්නාය. විලී හිටියේ උංගේ කෙහෙවලු පැටලිල්ල බලාගෙනය . අවසානයේ සිද්ධ වූයේ, විලි තම බිරිඳ වූ ඇනීව එතැනින් එළවා දැමීමය.

කුලසේන ෆොන්සේකා, පාලම යට ජීවත්වෙන මේ මිනිසුන් හා ගැහැනුන්ගේ අධ්‍යාත්මය හරි අපූරුවට තේරුම් ගෙන තිබුණි. විලීට අවශ්‍ය වී තිබුයේ නිතරම කටු අත්තක් සේ පැටලෙන තම බිරිඳ වූ ඇනීගෙන් වෙන්වී, රූමත් ඩොටීට හේත්තු වීමටය. විලීල වැනි මිනිස්සුන්ට පාලම යට තුළ තමනට කැමති කැමති දෑ කිරීමට හැකිය. ඒවාට ගෑනුන්ගේ කැමැත්ත,අකමැත්ත ඔවුනට බලපාන්නේ නැත. ඔවුනට අවශ්‍ය වනුයේ ඔවුනගේ කැමැත්ත පමණි.

එච්. ඩී. ප්‍රේමරත්න, කුලසේන ⁣ෆොන්සේකාගේ මේ වස්තු බීජය, ඒ අයුරින්ම වපුරන්නට හැකි හැම උත්සහායක්ම ගෙන තිබුනි. පාලම යට පසුබිම හා ජීවින් ස්වභාවිකවම සලොලයිඩ් පටයට නංවා තිබුණි.

විලී ඩොටීගේ නිවස තුළට රිංගා ගත් පසු එහී තුල නොපහත් කම් සියල්ලම සිද්ධ වෙන්නට විය. කසිප්පු ⁣පෙරීම, විකිනීම, ගංජා එතීම, වැනි දේ ඩොටීගේ නිවස තුල සිදුවන විට, කිසිදු ආදායමක් නොමැති ඩොටීටද එයට කැමැත්තෙන් හෝ අකැමැත්තෙන් හෝ අනුගත වන්නට සිදු විය. කසිප්පු විකුණනවා පමණක් නොව, විලී ඩොටීට කසිප්පු බීමටත් පුරුදු කළේය. ඉන්පසු ඩොටීට සිදුවූයේ විලීගේ ලිංගීක තාඩන පීඩන වලට ගොදුරු වීමටය. තම දරුවත් හදාගෙන හොඳීන් ජීවත් වන්නට සිතා සිටි ඩොටීට, සිදුවුයේ දරුවා ඉදිරිපිටම විලීගෙ ලිංගීක ක්‍රියාකාරින්ට අනුබල දීමටය.

හැදී වැඩීගෙන එන සෝමසිරි තම මවට සිදුවන විපත්තිය හොඳ හැටි තේරුම්ගෙන තිබුණි. ඇය මේ කිසිවක් කැමැත්තෙන් නොකරන බවත්, විලී ගේ බල පුලුවන්කාර හා මැර කම් හමුවේ ඇයද අන්ත අසරණ වී ඇති බව, ඔහු හොඳ හැටි වටහා ගෙන තිබුණි. විලී ගැන ඔහුගේ හිත තුළ වෛරය පිළිසිදුණේ මේ සිදුවීම් දකිනවිටය. තම පියා සිටියා නම් මෙවැනි දේවල් කිසිදිනෙක සිදු නොවන බව සෝමසිරි දනී. විලී ගෙදරට රිංගා ගෙන, තම මවව, ඔහුට උවමනා අන්දමට නම්වාගෙන ඇති ආකාරය උඩ ,තම පියා හිරෙන් නිදහස් වී පැමිණියද, මෙහී පෙර මෙන් වසන්නට හැකි නොවන බවද සෝමසිරිට වැටහුණි.

පාලම යට මිනිසුන් හා ගැහැනුන් බොහෝ විට විශාල ප්‍රශ්නවලට පැටලෙන්නේ, දරිද්‍රතාවය නිසාමය. අධ්‍යාපනයක් නොලද එක තැනකට ගාල් වූ ජීවිත, ජීවන අරගලයට සටන් කරන විට, ශක්තිය හා මැර බලය තිබෙන අය තම ආධිපත්‍යය පතුරවන විට, ශක්තිය, මැර බලය හීන වූවෝ බැලයන් වෙති. පාලම යට තුළ කුලසේන ෆොන්සේකා තම චරිත මැව්වේත්, එච්.ඩී ප්‍රේමරත්න එම චරිත හැසුරුවේත්, ඒ අනුවය.

සලොමන් හිරෙන් නිදහස් විය. එහෙත් ඔහු නිවසට පැමිණියේ නැත. කාලය අවුරුදු 8ක් හෝ 10යක් ගෙවී ඇත. විලී ඩොටීගේ නිවසේම බින්න බැස ඇත. ඒ තුළ සලොමන්ට තවත් කරන්නට දෙයක් නැත. සෝමසිරිත් යොවුන් වියට එළැඹ ඇත. ඔහු තම පියා හමුවීමට එන මගට ගියේය. තම පියාට නිවසට ඒමට නොහැක්කේ විලී නිසා බව සෝමසිරි දනී. විලී වෙනුවෙන් තම සිත තුළ වෛරය පොකුරු ගැසීය. දැන් දැන් විලී කට ගොන්නක් බී ගෙන තම මව වූ ඩොටීට කරන දරුණු හිංසා පීඩා, දකින විට, සෝමසිරිගේ වෛරය දෙගුන තෙගුන විය.

දැන් ඒ හිංසා පීඩා තමාටද එල්ලවෙයි. මේ සියල්ලම සෝමසිරිගේ හිතේ පොදි ගැසීය. තම මවට හිරෙන් නිදහස් වී ආ පියා සමඟ සිටීමට නොහැකිය. තමාට, තම පියා හා මව සමඟ පවුලක් සේ එකට සිටීමට නොහැක. ඒ සියල්ලම විලී නිසාය. මෙහී නිමාවක් දැකිය යුතුය. කල් යල් බලා සෝමසිරි විසින් විලීව පිහියෙන් ඇන මරා දැමුවේ ඒ නිමාව දැකිය යුතු නිසාය. ඇත්තෙන්ම එය නිමාවක්ද?

කුලසේන ෆොන්සේකාගේ කෘතියට සමගාමීව එච්. ඩී. ප්‍රේමරත්න තමාගේ සිනමා ඥානය "පාලම යට" චිත්‍රපටයට කදිමට යොදා ගෙන තිබුණි. තමන් පාලම යට මිනිසුන් හා ගැහැණුන් සමඟ ජීවත් වන බවකි චිත්‍රපටය නරඹන විට ප්‍රේක්ෂකයන්ට හැඟුනේ.

සනත් ගුණතිලක, විශාල අභියෝගයක් බාර ගෙන තිබුනි. ඒ, සුකුමාල, සුන්දර පෙම්වතාගෙන් බැහැර වීමය. විලී වැනි චරිතයක ලක්ෂණ පැහැදිලිව ග්‍රහණය කර ගත හැකියාව තිබුනේ, ගාමිණී ෆොන්සේකා, ජෝ අබේවික්‍රම මර්වින් ජයතුංග, සොමි රත්නායක හෝ රවින්ද්‍ර රන්දෙණිය වැනි නළුවන්ටය. නමුත් එච්.ඩී.ප්‍රේමරත්න තෝරා ගත්තේ සනත් ගුණතිලකවය. කොහොමටත් සිතෙන්නේ, සනත් මේ විලී නොහොත් වළහාගේ චරිතයට ගැළපෙන්නේම නැති බවය. එහෙත් චිත්‍රපටය නරඹන විට නම් සනත් නරකම නැතැයි සිතේ. සනත් එම චරිතය හොඳටම අවබෝධ කර ගත් බවක් පෙනුණි. එලෙසම පුර්ව ලෙස ලක ලෑස්ති වී තිබූ බවක්ද පෙනුණි. ඒ ලක ලෑස්තිවීම හරහා සනත් චරිතයට අවතීර්ණ වී තිබුණි. සනත් විසින් චරිතයේ සමතුලිත බව හඳුනා නොගත්තා නම් මුලු චිත්‍රපටයම වැටෙන්නට ඉඩ කඩ තිබුණි. එහෙත් සනත් ඒ චිත්‍රපටය වට්ටන්නට ඉඩ දුන්නේ නැත. එම චරිතය වෙනුවෙන් ප්‍රේක්ෂකයා තුළ ද්වේශයක් ඇති විය යුතුය. සනත් ඒ ද්වේශය ඇති කළේය.

ඩොටී වූයේ 'පාලම යට' නිෂ්පාදිකා, ගීතා කුමාරසිංහය. ඇය චරිතය⁣ට සාධාරණයක් කළාය. චිත්‍රපටය තුළ ඇගේ රංග පරාසය පුළුල්ය. එලෙසම එම චරිතයේ බොහෝ හැල හැප්පීම්, ගැටීම් තිබුණි. ඇය ඒවා හදුනා ගත් බවක් පෙනුණි.'පාලම යට' කෘතියේ ජීවය ඩොටීය. ගීතා කුමාරසිංහ චිත්‍රපටයට ජීවය වූවාය. අන්කල් මහත්තයා වූ ජෝ අබේවික්‍රමත්, සලොමන් වූ සිරිල් වික්‍රමගේත් චිත්‍රපටයට ආභරණයක් විය. සෝමසිරිගේ චරිතයට රාසී අන්වර් හොඳ තේරිමක් විය. සුසිලා කෝට්ටගේ විලීගේ බිරිඳවූ ඇනී ගේ චරිතය ඇඟට දැනෙන ලෙස රඟපෑවාය. එච්.ඒ.පෙරේරා, ජේ.එච්.ජයවර්ධන , නීල් අලස්, සුනේත්‍රා සරත්චන්ද්‍ර, ශ්‍රියන්ත මෙන්ඩිස්, එල්සන් දිවිතුරුගම, ලාල් සේනාධීර, රාජා සුමනපාල, සෙසු ප්‍රධාන චරිත වලට පන දුනි.

1990 අගෝස්තු 31 වන දින 'පාලම ය⁣ට' තිරගත කිරීම ආරම්භ කළේය. එය එම වසරේ ජනපි‍්‍රයම චිත්‍රපටය, හොඳම චිත්‍රපටය මෙන්ම හොඳම නිළිය හා ජනපි‍්‍රය නිළිය යන සම්මාන ද සරසවිය සම්මාන උලෙළේදී දිනාගැනීමට සමත්විය.

(තවත් චිත්‍රපටයක් ලබන සතියේ)

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
9 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.