මගේ දෑතට කතා කළ හැකි නම්...

විමලා අමරදේව
අප්‍රේල් 25, 2019

රටකට යුග පුරුෂයන් බිහි වන්නේ අතළොස්සකි. ඔවුන් එනමින් හඳුන්වන්නේ ඒ රට තුළ යම් ක්ෂේත්‍රයක් වෙනුවෙන් කරන්නා වූ අමරණීය සේවය සලකාය. සරසවිය මෙතෙක් සොයා ගියේ හුදෙක් කලා ක්ෂේත්‍රය වෙනුවෙන් යුග යුග ගණන් මෙනෙහි කළ හැකි අමතක නොකළ යුතු විශිෂ්ටයන්ගේ බිරින්දැවරුන් සතු මතක පමණි. රට වෙනුවෙන් තවත් ක්ෂේත්‍ර ගණනාවක යුග බිහි කළ අපූර්ව මිනිසුන් තවත් නොසිටිතැයි ඉන් නොකියැවේ. කලා ක්ෂේත්‍රයේ ද යුග පුරුෂයන් මෙපමණ යැයි මේ ලිපි පෙළ නොකියයි. හේතුව මාර්ටින් වික්‍රමසිංහ, ගාමිණි ෆොන්සේකා, ටෝනි රණසිංහ, ජෝ අබේවික්‍රම වැනි යුග පුරුෂයනගේ යුග දිවි සටහන් තැබීමට ඔවුනගේ බිරින්දැවරුන් අප අතර නොවීමය. මෙරට කලා ක්ෂේත්‍රයේ යුග බිහිකළ ඒ පුරුෂයන් අතරින් අති විශිෂ්ටයන් පෙරා වෙන් කර ගැන්මේදී අපට වරින් වර සහාය වූ කිවිවර බුද්ධි ගලප්පත්ති සහ ඔවුන් සම්බන්ධ කර ගැන්මේදී දුරකථන අංක නොමසුරුව ලබා දුන් මාධ්‍යවේදී සිරි කහවල මහතුන්ට සරසවිය අපේ ස්තුතිය පුද කරමු. රටේ පිනට පහළ වූ යුග පුරුෂයන් අතරින් මහා ගාන්ධර්වයාණන් ලෙස හඳුන්වන පණ්ඩිත් අමරදේවයන්ගේ මතක සුවඳ ඔහුගේ පතිනිය වීමට පින් කළ විමලා අමරදේව මහත්මියගෙන් විමසමින් මෙතෙක් ඔබ වෙත ගෙනා යුග පුරුෂයකුට බිරියකව ලිපි මාලාව මෙසේ නිමා කරමු...

ඉරිදා දිනයක් නිසා කිරිබතක රස විඳීමින් පවුලේ සාමාජිකයන් සමඟ සතුටු සාමීචියේ යෙදෙමි. දුරකථනය නාද වේ. ගනිම්ද නොගනිම්ද? මාධ්‍යවේදියකුට විකල්ප නැත. අංකය නොබලාම වමතින් එය ක්‍රියාත්මක කරමි.

'මේ අරුණි මුතුමලී දුවද?' ගැඹුරු කාන්තා කටහඬ හඳුනාගත් මම කැම මේසයෙන් නැඟිටිමින් කියමි.

'ඔව් මේ...'

'මම විමලා අමරදේව'

'ඔව් මම අඳුනගත්තා'

'ඔයාගේ පණිවිඩය මට ලැබුණා. ලිපිත් කියෙව්වා. ඒත් මම සර්ට කරපු සේවය ඔය එක්කෙනකුටවත් සමාන නැ. ඒක මුලින්ම පැහැදිලිව කියන්න එපායැ. නොකියා ඉන්නත් බැනේ මට නේද?'

'ඔව්. ඔබතුමිය කැමති දෙයක් නිදහසේ කියන්න.' මම කොයිකටත් පටිගත කිරීමේ බොත්තම තද කළෙමි.

'ඇත්තෙන්ම අපි පොඩි කාලේ ඉඳන්ම ඒගොල්ලන්ගේ අය්යලාගේ එහෙම ඇඳුනුම්කම තිබුණා. කොහොම හරි ඉතින් සම්බන්ධය ගැන නම් මේ විශ්වය බලලා හිතන්ඩ ඇති ටිකක් ආශාවන් දුරු කරපු ආගමික පැත්තට වගේ නැඹුරුවුණ කෙනෙක් තමයි මෙයාට හොයන්ඩ ඕනෙ කියලා හොයන්ඩ ඇති. ඉතින් කොහොම හරි ඒ වෙනුවෙන් මාව උපද්දලා තියෙනවා. ඒ ඔක්කෝම ඕනේ නැහැ. ඉතින් විශ්වය බලලා තියෙනවා මේ මහා... මහා... මට වචනයකින් කියන්න බැ. ම්... මහා... මහා... පුද්ගලයා කියන්නත් බැ. මහා පුදුම. පුදුමත් නෙවෙයි, එක්තරා විදිහක වචනෙන් විස්තර කරන්න බැරි කෙනෙක් මට හම්බවෙලා තියෙන්නේ. ඒ විශ්වයේ තීරණය අනුව එයාට සුදුසුයි කියන කෙනා තමයි සොයන්න ඕනා නැත්නම් මෙයාට... වැඩක් නැනේ ඒ ගැන කියලා ආ? ඒ පාර හොඳ කෙනෙක් හොයලා තියෙනවා. හොඳ කියන්නේ මහා ඉඩකඩම් දේපළ වස්තුව නෙවෙයි. මධ්‍යම පන්තියේ හොඳ ධාර්මික, හොඳ හදවතක්, පුදුම අවබෝධයක් තියෙන පියකු සහ ගමේ හැදුණු වැඩුණු මවක්, එහෙම කියද්දි තේරෙනවා නේද? එහෙම මව්පියන් ළඟ මාව ඉපැද්දුවා. මම කියන්නේ නැ මම මේ කාන්තාවන් අතරින් එහෙම මුකුත් කියලා. ඒත් එතුමා ගැන අවබෝධයක් ඒ කියන්නේ සංගීතය කළාද සින්දු ලස්සනට කිව්වද කියලා නෙවෙයි. මෙයා කොහොම කෙනෙක්ද කියලා අවබෝධ කරගෙන ආරක්ෂා කරගන්න මට පුළුවන් වුණේ මමත් ඔය කලාව පාසල් යන කාලේ, කොළඹ කොටා රෝඩ් එකේ පාසලට යන කාලේ ඉඳලා කරලා තිබුණ නිසා. අනේ මට කොටා රෝඩ් කීවාම මතක් වෙන්නේ මාවයි තව ළමයකුවයි ඒ ඉස්කෝලෙ ඉඳන් ගුවන් විදුලියට ගෙනියලා තියෙනවා පස්වෙනි ශ්‍රේණියේ ඉන්නකොට. ඒ කියන්නේ අවුරුදු දහයයිනේ. ඉතින් ඒකත් එහෙමයි. කොහොම කොහොම හරි හොඳට දෙමව්පියන්ගෙන් දේශපාලනය මොකක්ද, හොඳ නරක මොනවද කියන ඔක්කෝම උගන්වලා තමයි විශ්වය විසින් මෙතුමා ගාවට ළං කළේ. කලා ලෝකේ සම්බන්ධකම් තිබෙනවා ඇඳුනුම්කම් තිබෙනවා එහෙමනේ? ඒත් මම කවදාවත් හිතුවේ නැහැ මෙතුමා කසාද බඳීන්න කියලා. හැබැයි ආදරය කියන එක තිබෙනවා යම් යම් දක්ෂකම් එහෙම දකිනකොට සොබා දහම එහෙමනේ නේද? ඉතින් ඒකයි මම කියන්නේ මම වෙනස් කෙනෙක්. ඉතින් මෙතුමා යම් කිසි දවසක මට කියනවා විවාහ වෙන්න ලැස්ති වෙන්න කියලා. මම ටිකක් බයත් වුණා. ආසත් හිතුණා. ඒ සංගීතයට නෙවෙයි. ඒ කටහඬෙ තියෙනවා. අමුතුම දෙයක්.' ඇය මොහොතක් නිහඬය.

මම මහත් සංවේගයෙන් කියමි. 'ඔව්. නිවුණු බවක්. හදවතම සනහනබවක්.'

'අපොයි ඔව්. කියන්න තේරෙන්නේ නැති හදවතට දැනෙන දෙයක්. ඉතින් ඔයාට මම කියන දේ හොඳට තේරෙන නිසායි මම මේ ලැබුණු පොඩි විවේකයේ කතා කළේ. ඊයෙත් මම උතුම් කලාකරුවන් පිරිසක් හමු වෙලා කාලෙකින් මහා සැනසීමක් ලැබුවා. සර් නම් ඔය ඔක්කොලාම දන්නවා. ඉන්දියාවේ අවුරුදු ගාණක් හිටියානේ. මට මතකයි අපි දවසක් ඉන්දියාවේ ගිය වෙලාවක ඒ සරෝද් වාදක පණ්ඩිත් අමිෂාද් අලි ඛාන් ආවේ සිකියුරිටිලා හතර දෙනෙක් වටකරගෙන. මම විස්තර කියන්න දන්නේ නැ. ඒ රටේ පරිසරයේ හැටියට වෙන්න ඇති. මම ඉතින් බලාගෙන ඉඳලා දූවගෙන ගිහින් එතුමාගේ කකුල් දෙක අල්ලලා වැන්දා. ඔසරියකුත් ඇඳලානේ හිටියේ මා දිහා හොඳට බැලුවා. එතුමා තමයි ඊයේ ආවේ. මම හිතුවා කොහේ නොගියත් ඒකට නම් යනවා කියලා. ඉතින් ගොඩ කාලෙකින් සත්‍යයට ඇහුම්කන් දුන්නා. ඒ ගතිගුණ සියල්ල සර්ටත් තිබුණා. මගේ හදවතේත් ඔළුවේත් සර්ගේ වයලින් නාද, ඒවා වාදනය කරන හැටි මැවුණා. එයාගේ පුත්තු දෙන්නත් තබ්ලා එහෙම වාදනය කළා. ඒවා හරිනම් රසිකයෝ බලන්න ඕනා. ලෝකේ මොනවද වෙන්නේ කියලා දැන ගන්න ඕනා. මම ඒකයි හිතුවෙ මොන අමාරුකම් තිබුණත් බඩගාගෙන හරි එතනට යනවා කියලා. ගියාට පස්සේ මම කොච්චර වෙලාවක් එතන හිටියද කියලාවත් මතක නැ. ඒ තරම් රසවත්.'

එක හුස්මට ඇය ඒ සියල්ල කියා ඉසිඹුවක් ලද මොහොතේ මම කියමි.

'ඒවා අහද්දි දැපනේ වැටෙනවා වගේ නේද? හැබැයි සමහරුන්ට තේරෙන්නෙත් නැනේ ඒ රසය ගැන'

'හැමෝටම එහෙම තේරෙන්නැතුව ඇති කරුමෙට. හැබැයි ඒක විඳීන්න පුළුවන් නම්...' ඇය යළිත් නතර කළ තැනින් අරඹයි.

'ඉතින් මම විවාහය ගැන ආසා වුණාට බය වුණා. මොකද මෙතුමා හුඟක් ඉහළට යනවා, අනෙ අම්බේ මම බලාගන්නේ කොහොමද කියලා මට හිතුණා. ඉතින් කොහොමද දන්නවාද මම ඒකට උත්තර දුන්නේ?'

මම බාධා කරමි.

'අනේ ඉතින් අපි ඒ ටික මුණගැහිලාම කතා කරමුකෝ...'

'නැ. නැ. මුකුත් කරන්න නෙවෙයි මම කියන්නේ. සර් ගැන පත්තරවල ඕනතරම් ගිහින් තියෙනවා. ඒ ඔක්කොම විස්තර පස්සෙන්ම ගිහින් ගිහින් මම දන්නවා. එයා පරිස්සම් වෙන කෙනෙක් නෙවෙයිනේ. රටේ තියෙන අනෙක් දේවලුත් මම දන්නවා, මගේ වයසට අත්දැකීම්වලට අනුව. මම පරණ ටවර්හෝල් එකෙත් නටපු, රඟපාපු කෙනෙක්. ඉතින් මගේ අතීතය කොච්චර දුරද? ඉතින් අහන්නකෝ මම කියන දේ. මෙහෙමයි, මම ඒකට උත්තර දුන්නේ, මට නටන්න පුළුවන්, ගයන්න පුළුවන්, නටා ගයමින් රඟපාන්න පුළුවන්... මගේ ඒ කෙළි සෙල්ලම්, උඩ පිනුම්, බඩපිනුම් ඔක්කෝම පැත්තකට දානවා. එහෙම කරලයි මම මෙතුමා ළඟට කිට්ටු වෙන්නේ කියලා හිතුවා. මම ඒකට කියන්නේ මගේ සියල්ල පෙට්ටගමකට දාලා ලොකු ඉබ්බෙක් දාලා වැහුවා කියලා. ඉතින් කිසිම පැකිලීමක්, අතපසුවීමක් නැතුව එතුමා ඉන්නේ කොතැනද එතැන මම. නැතුව නිකං ඔහේ එහේ මෙහේ එහෙම නෙවෙයි.'

'ඒ කැපවීම කළාට ඔබතුමියට ඊට වඩා සතුටක් ලැබෙන්න ඇති?'

'ඔව්. හොඳ පියෙක්, හොඳ ස්වාමි පුරුෂයෙක්, හොඳ රසවතෙක්, හොඳ රසිකයෙක් ඒ ඔක්කොම ගති ලක්ෂණ තියෙනවා. හැබැයි දන්නේ නැත්තේ උපාය, කපටිකම් ඒ මුකුත් දන්නේ නැ. ඒ කියන්නේ ඒවා තේරුණාට ගණන් ගන්නේ නැ. අන්න ඒවායින් බේරගන්න ප්‍රඥාව මට තියෙනවා. ඉතින් මම ටිකක් ඒවාට අහු වෙන්නේ නැතුව බලාගත්තා. මම අර ඔක්කෝම අතහැරියේ ඒකටනේ. නැත්නම් ඒවා ඔක්කොම එකට හැප්පිලා පැටලිලා කියයි අනේ ඔයා හිටියා දැන් ඇති ගෙදර ගිහින් ටිකක් ඉන්ඩකෝ... කියලා. ඒ තමයි එයාගේ හැටි. වෙන ඉතින් විරුද්ධකම් ඒ මොකවත් නැනේ. ඉතින් මට අනෙක් අය ගැන කියෙව්වාම මම මෙව්වද කරලා තියෙන්නේ කියලා හිතෙනවා. කිසිම ගැටුමක් බැටුමක් මුකුත් නැතුව එතුමාගේ පිටුපසින්, මොකද එතුමාට ඉස්සරහින් යන්නේවත් නැහැ මම. හැබැයි කවුරු හරි යුද්දෙට එනවා නම් මම තමයි යන්නේ සටනට. එයාව යුද්දෙට අරින්නේ නැ. රස්සාවල මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් මම කියන්නේ ඔයා රස්සාවට යන්න ඕන නැ. ඔයා නිර්මාතෘ කෙනෙක්. ඒ ටික කරන්න කියලයි. ඒ සහාය නිසා තමයි එතුමා නිදහසේ තමන්ගේ නිර්මාණ කළේ. තවත් නිර්මාණ කළ අය ඉන්නවා ඒ අය හුඟක් ගැටුම් බැටුම් මැද්දේ තමයි ඒවා කරලා තියෙන්නේ. ඒ ගැටුම් ඇති නොකළ නිසාම එතුමා සහනයෙන් කල් ගෙව්වා. මම වෙනත් වෘතියක් දැන් ගෙවන්නේ. ඒ ගැනත් නොකියා බැනේ. ඉතින් මට මේ පත්තරත් හරි ලෞකිකයි. මම ඉස්සරත් ඉන්දියානු දූත කණ්ඩායමට තේරුණේ ගයන්න නටන්න ඔක්කොම පුළුවන් නිසා. නැත්නම් කැපිලා යනවා. ඒත් මම ඒ දවස්වලවත් පුවත්පත්වල විශාල ප්‍රචාරයක් බලාපොරොත්තු වුණේ නැ.'

මම විරුද්ධ වෙමි. 'මේ ලිපි පෙළ එහෙම ප්‍රචාරකවාදී නැ. ඇත්තෙන්ම අපේ අරමුණ වුණේ යුග පුරුෂයකු බිහිකරන්න ඔහුගේ බිරිඳ කෙතරම් කැපවීමක් කරනවා ඇත්ද? ඒ අත්දැකීම අද තරුණ පරපුර ලබා ගත්තොත් ක්ෂණික තීරණ නොගෙන ඉවසන්න, කැපවීමක් කරන්න, ගමනකට සහාය දෙන්න මොහොතක් කල්පනා කළොත් කෙනකුගේ ගමන්මඟ වෙනස් වෙන්න පවා ඉඩ තිබෙනවා නේද කියන පණිඩිඩය දෙන්න. සමාජ සංස්කෘතික වෙනස්කම්, නොගැළපීම් හමුවේ කසාද ජීවිතය දරාගෙන යුග මෙහෙවරක් කරන්න කෙනකුට ආත්ම ශක්තිය ලැබෙන්නේ කොහොමද කියන සිතිවිල්ල ඇති කරන්න. ඇත්තෙන්ම අපි සුළුවෙන් හිතුවාට මේක සමාජ විද්‍යාත්ම කරුණක්.'

'හැබැයි දුව මම එකක් කියන්නද? මේ වගේ සේවයක්, කැපවීමක් කරන කවුරුත් නැ. ඒක හින්දා ඒ ගැන කියලා වැඩකුත් නැ. මගේ දැන් ප්‍රතිපත්තිය උදේ නැගිටලා බුදුන් වහන්සේ දෙසුවේ මොනවාද කියලා හරි අවබෝධයකින් අහන්න මට ශක්තිය තිබෙන නිසා ඒ දේවල් කෙරෙහි හිත යොමු කරනවා. සර් වෙනුවෙන් තව මොනවාද කරන්න පුළුවන් කියන දේ හිතනවා. මම කළ දේත් ඒ ධර්මයෙන් දකිනවා. ඇත්තෙන්ම මම කොහේ යතත්, ඊයේ වුණත් එතුමාට කියලා, පින් දීලා යන්නේ. මට ජනප්‍රිය වන්න පොඩි කාලේ ඉඳන්ම ආසාවක් තිබුණේ නැ. පසුවටත් නැ. ඒත් නටන්ඩ නම් ආසයි. ඒ ඇරෙන්න මුකුත් නැ.'

'ඔබතුමිය දේශීය සංගීත ගායනය අතින් දක්ෂ කෙනෙක්'

'මම විශිෂ්ට ගණයේ දේශීය සංගීත ගායිකාවක් හැටියට රෙකෝඩ් කරපුවා ඔක්කෝම ගුවන්විදුලියේ ඇති. ඒ හඬ තමයි බොහෝ දේවල්වලට අරගෙන තිබෙන්නෙත්. ඒ සේරම අතහැරියානේ ඉතින් ශිෂ්‍යයෝ එහෙම ඒවා ගැන දැනගත්තේ නැතත් මට ලොකු ප්‍රශ්නයක් නැ. ඒක සොබා දහමේ හැටි. හුඟක් දෙනෙක් දන්න නිසා ඒවා ඔක්කොම නතර කළා නේද කියලත් මගෙන් අහනවා.'

'මාස්ටර්ගේ නිර්මාණවලදි ඒ ගැන ඔබතුමියගෙන් විමසන්නත් ඇති?'

'ඔව් ඉතින් මේක මෙහෙම හොඳද කියලා අහපු අවස්ථා තියෙනවා. අනෙක ඉන්දියාවේ ගිහින් ඉගෙනගෙන ඇවිත් අපේ දේශීය දේ තමයි දියුණු කරන්න ඕනේ කියලා, ඒ රාගධාරී සංගීතයත් හරි ලස්සනයිනේ, ඒවා එකතු කරලා ලස්සන කරලා මිනිස්සුන්ට දුන්න නිසා තමයි හදවතේ රැඳුණෙ.

සමහරු මාව දැක්කාම කියනවා අනේ ඉතින් අපේ සර්ව රැකබලා ගත්තානේ ඔබතුමිය එහෙම කියලා. මට ඒ ඇති. සමහර විට දුර පළාත්වලට එහෙම ගියාම මම බලා ඉන්නවා හැංගිලා වගේ. කට්ටිය කසු කුසු ගගා යනවා ඉස්සරහට, ආපහු හැරිලා ඇවිත් වඳීනවා. ඇයි වඳීන්නේ? මට ඒ ඇති දරුවෝ.'

මම අතුරු පැනයක් නඟමි. 'ඔබතුමියට තවමත් හිතෙන්නේ සර් ඉන්නවා, නැත්නම් කොහේ හරි ඉඳන් බලා ඉන්නවා කියලද?'

'ඔව් ඔව් ඔව්. අපි ඔක්කොමලා දිහා බලන් ඉන්නවා. ඒක හොඳට තේරෙනවා. මම මේ කතා කරන්නෙත් එච්චරට සම්බන්ධයක් තිබුණ නිසා. දරුවන්ට හරිම ආදරෙයි. හරිම පුදුම කෙනෙක්නේ. සමහර අයගේ ජීවිත ගැන බැලුවාම අපි ඒවා කතා නොකර ඉමු. කොටගවුම ඇඳගෙන ගුවන්විදුලියට ගිය මම මෙතනට ආවේ ආසාවන් සියල්ල අත්හැරලා.'

'එතුමා වගේ කෙනෙක් රැකගන්න ඔබතුමිය කළ කැපවීම ගැන තව අහන්න ආසයි?'

'හැබැයි මෙහෙම එකක් තියෙනවා. එතුමා වගේ කෙනෙක් රකින්න මට ලේසියි. ඒත් සමහර අය ඉන්නවා රකින්න බැරි හිතුවක්කාර. එතුමාගේ තිබුණු උතුම් ගතිගුණ නිසා තමයි ඒ වගකීම මට බාරදීලා තිබුණේ. ඒ නිසා අනෙක් පැත්තෙනුත් ඒ සහයෝගය තියෙන්න ඕනා. ඒක සංසාරේ පතාගෙන ආ දෙයක්. ඇත්තෙන්ම යශෝධරා දැනගෙන ඉන්න ඇති සිදුහත් කුමරා බුදු වෙනවා කියලා. ඒකනේ කියන්නෙ.

කාරණාව බුදු වෙනවා ලකුණු දැනේ

නැර කැටුව ආවා මම ස්වාමිනේ

භාවනාව තොර නොකරම සිතින් අනේ

හැබැයි...

මාළිගාව අඳුරුයි අද සුවාමිනේ

කොහොමද අන්තිම වචන ටික. මම මගේ පැත්තෙන් හිතන්නේ. කාරණාව මට පේනවා ඉහළට ඉහළට යනවා. ඒ වුණත් මම එයත් එක්ක ආවා.'

දුරකථනයෙන් වුව මට ඇගේ හඬේ නාසිකබව වැඩිවන අයුරු මෙන්ම හුස්ම ඇදෙන බවක් වැඩිපුර දැනේ. මම වහා එයට පිළියම් යොදමි.

'ඒ වුණාට එතුමා කළ නිර්මාණවල ආලෝකය නිසා කවදාවත් ඔය මාළිගාව නම් අඳුරුයි කියන්න බැරි වෙයි'

'ඇත්ත. ඇත්ත. ඒක ඇත්තටම අඳුරක් කියන්න බැ. මට හිතෙන්නේ පවතින පරිසරය අනුව මේ වගේ අය රටේ ඉන්න බැ. අනෙක ඉතින් හොඳ ආයු කාලයක් ගෙවුවා. අවසාන මොහොත දක්වාමත් වැඩ කළානේ. ඉතින් භාවනාව තොර නොකරම සිතින් වැඩ කරන්න පුළුවන්කම එතුමාට ලැබුණා.'

'සංගීතයත් භාවනාවක් වගේනේ' මම කියමි

'ඔව්. මට පුළුවන් දේවල් සියල්ලෙන්ම මම ඒකට ඉඩ දුන්නා. උපාය ඥානය, අවංකකම, නොතිත් ආශාවන් නැතිකම වගේ සියල්ල මට තිබුණා. ඒත් සමහර විට බාහිර ලෝකයේ අය මේ ගෑනි නිසා කියලා මට බනින අවස්ථාත් තිබුණා. සමහරු එතුමාගෙන් ප්‍රයෝජන ගන්න යම් යම් දේවල් කරන්න ලැස්ති වුණාම මම ඒවා වැළැක්වුවා. මම හරි ආසයි ඒ බැනුම් අහන්න. හැබැයි හැංගිලා තමයි බනින්නේ. එතුමාට නොගැළපෙන මහාපරිමාණයේ දේවල්වලට අහුවෙන්න ගිය දේවලින් මම වැළැක්වුවා. ඒත් මෙහෙම දේකුත් තියෙනවා. අපට නොතේරෙන තරම් සියුම් දේවල් සමහර වෙලාවට එතුමාට තේරෙනවා. ඒත් එයා ඒවා අතහැරලා දානවා. ගණන් ගන්නේ නැ.'

'අමතක කරලා දානවා නේද? කාටවත් දොසක් කියන්නෙත් නැනේ සර්?' මම කීවේ අත්දැකීමෙනි.

'අනේ ඔව්. අවංකයි අනේ. මට ඊයෙත් හරියට මතක් වුණා ඒ වයලින් වාදන අහනකොට. සමහර වෙලාවට සර් වයලීනය ගහද්දි හිනාවෙනවා. මම ඉතින් අහනවා මොකද අනේ හිනාවෙන්නේ කියලා. එතකොට කියනවා. ඔයා දන්නවාද හිනාවෙනවා නෙවෙයි. හොඳට ස්වර ටිකක් වදිනකොට සතුටට මට හිනායනවා. හරියට දෙවියන් එක්ක හිනාවෙනවා වගේ'

'සංගීතයේ අනාහත නාදය කියලා දෙවියන්ගේ කොටසකුත් තියෙනවා කියනවානේ.' මම අලගු තියමි.

'අමරදේව මාස්ටර් වගේම තමයි අර අයගෙත් වාදනේ පොඩි කැල්ලක් ඇහුණත් ඇඟ හිරිවැටෙනවා. (සිනාසෙයි)'

'ඒ වගේමනේ මාස්ටර්ගේ භාෂා දැනුම?' මම මතක් කරමි.

'අප්පා. එතුමා වචන ගොඩක් කතා කරන්න තියෙනවා නම් ටිකක් වෙලා කල්පනා කරනවා. ඒ මොකද එක වචනයක් ඒකට හදනවා. මට ඔක්කොම විස්තර කියන්න බැ, දවසක් කට්ටිය ඔක්කොම ඉන්න තැන හීන්සැරේ මගේ කනට කරලා රහසක් කියනවා. ඒවාත් හොඳට රඟපාන්න දන්නවා. අරගොල්ලො ඇවිත් ඉන්නේ අර මම කියපු දේටද? අහනවා. අපි හිතනවාට වඩා ගොඩාක්දුර එයාට තේරිලා. පොත් කොච්චර කියවනවාද? එයාට තිබුණු ප්‍රඥාව. ලැබුණු ආශ්‍රය. ඒකත් පිනක්. කොයික වුණත් අපේ රටේ පැරණි සංස්කෘතියක් තිබුණා. මොනවා හරි දේකින් ඒවා දියවෙවී යනවා. ඒවා බලන් ඉන්න බැරි ඇත්තෝ යනවා. මේ වගේ අය ලෝකෙට එන්නේ ඉඳලා හිටලා.'

'සර් දැනගෙන හිටියා නේද ඔබතුමිය මේ සියල්ල කරන්නේ යහපත් අරමුණින් කියලා.?'

'අපෝයි ඔව්. අනෙක මම වගේ එහෙම කරන අයත් නැ කියලා එයා දන්නවා.'

'ඔබතුමිය පෙට්ටගමක දාලා වැහුවා කීවට සර් ඒ දක්ෂතා මතුවන්න ඉඩ දුන්නා කියලයි මට හිතෙන්නේ?'

'ඉඩ දුන්නා වුණත් මම කැමති වුණේ නැ. මම අවුරුදු 20ක් ඉස්කෝලෙ උගන්නලා අස්වුණේ එතුමා බලාගන්න. මම අස්වෙන්න ඕන කියලා ප්‍රින්සිපල් මැඩම්ට කීවාම මට මොකද්ද කීවේ දන්නවාද? "අමරදේව මහත්තයා දන්නවාද? මහත්තයාට කියලා එන්නකෝ බලන්න අස්වෙන්න කලින්." කියලා. අමරදේව මහත්තයාට මම ඉස්කෝලේ හිටියත් එකයි නැතත් එකයි. එයාගේ වැඩටික මම කරනවානේ. ඉතින් පහුවෙනිදා මම ගිහින් මැඩම්ට බොරුවක් කීවා අමරදේව මහත්තයා කැමතියි කියලා. මොකද උයන්නයි බත් කන්නයි නෙවෙයිනේ. හරියට බලාගන්න නම් මම ළඟින්ම ඉන්න ඕනේ. රස්සාවත් කරනවා නම් හරියට කරන්න ඕනා. ඉතින් මම ඒ තීරණය ගත්තේ හරි විදිහට හිතලා. ඉතින් මම හිතන්නේ එදා යශෝධරා කීවානම් ඇඟේ එල්ලිලා අනේ බුදුවෙන්න යන්න එපා මම තාත්තාට කියලා නඩු දානවා කියලා? මොකද වෙන්නේ. (සිනාසී) අනේ මම යශෝධරා කියනවා නෙවෙයි. ඒත් ඒ කවිය මගේ හිතෙන් මම මට ආදේශ කරගෙන බලනවා.'

'ඔබතුමිය ඔය ටික කියද්දි පින්තූරයක් ගන්න තිබුණා නම් කොච්චර හොඳද?'

'අනේ මම පින්තූරවලට දැන් පෙනී හිටින්න කැමති නැ දරුවෝ.'

'අපි මාස්ටර් එක්කම ඉන්න පින්තූරයක් අපේ පුස්තකාලෙන් හොයලා දැම්මොත්'

'ආ එතුමා එක්කම ඉන්න පැරණි පින්තූරයක් දැම්මට නම් කමක් නැ.'

'මේ දුරකතන සාකච්ඡාව පත්තරේ දැම්මට කමක් නැද්ද?'

'කමක් නැ. ඒත් කියන්න අවුරුදු 54ක් මේ වගේ වෙනස් චරිතයක් රැකබලාගන්න මම සියල්ල අතහැරියා වගේම ඒ දවස්වල විදිහට පින්තූරවලට එහෙම පෙනී සිටින්න දැන් කැමති නැ කියලා. ඒ දැන්. ඉස්සර ඒ ඔක්කොම කළානේ. එතුමා ඉන්නකල් ඕනදෙයක් නැති කාලේ මුකුත් ඕන නැ. ඒ බව වෙනස් විදිහකට ලිව්වට කමක් නැ.'

'එහෙනම් මට අවසරයිනේ ඔබතුමිය ඒ යුග පුරුෂයා වෙනුවෙන් කළ සේවය සතුටෙන් කළ බව කියන්න?'

සිනාසී කියයි

'අපොයි ඔව්. මගේ අත්දෙකට කතා කරන්න පුළුවන් නම් අත්දෙක කපලා එවන්න තිබුණා ඔයාට විස්තරේ කියන්න කියලා. ඉතින් එහෙනම් මම මෙතනින් කතාව නතර කරන්නම්. දුවට තුන්රුවනේ සරණයි'

'ඔබතුමියගේ ගුණයහපත්කමට වගේම නිහතමානීකමට බොහොම පින්. තෙරුවන් සරණයි'

මම දුරකථනය විසන්ධි කොට බලමි. වාසනාවට කතාව පටිගත වී ඇත. මගේ අතේ වූ කිරිබත් කට ඒ ආකාරයටම වේලී ගියද සිතේ සතුට දෝරේ ගලයි. මම හැරෙන තැපැලෙන් කර්තෘ අරුණ ගුණරත්න අමතමි.

'අය්යේ විමලා අමරදේව නෝනා ඉන්ටවිව් එක දුන්නා.'

'නියමයි. ඒක තියාගන්න මේ සීරීස් එක ඉවර කරන දවසට දාන්න'

නිශ්ශංක විජේරත්න
මාලන් කරුණාරත්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
6 + 12 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.