බිඳු බිඳු කඳුළු ගලා මල් කැකුළු

අප්‍රේල් 4, 2019

කුමරි, මංජුල ගේ නැටුම් කණ්ඩායමට එක්වී, බසය ඇතුළත මේ යන්නේ කොහේද?. කුමරි මංජුල ඇතුළු කන්ඩායමට එකතු වුණේ කොහොමද? අනිත් එක කුමරි මංජුලගේ නැටුම් කණ්ඩායමේ සාමාජිකාවක්ද නොවේ.

මංජුලගේ පෙම්වතිය ව සිටි පාලිකා මංජුලගේ වැඩිමහල් සොහොයුරු මහින්ද හා විවාහ වූයේ මංජුලට රැකියාවක් නොමැති වූ නිසාද? මංජුලගේ පෙම්වතිය පාලිකාට දැන් අමතන්නට සිද්ධ වන්නේ 'අක්කා' කියාය. මෙවන් තත්වයක් උඩ තව දුරටත් තම සොහොයුරා හා ඔහුගේ බිරිඳ (මංජුලගේ පරණ පෙම්වතිය) සමඟ එම නිවසේ එකට ජීවත් වීමට බැරිය.

මංජුල තම නැටුම් කණ්ඩායම සමඟ රටවටේ යන්නට පටන් ගත්තේ ඒ සිදුවීමෙන් පසුවය.

සුනීතා තම සුඛෝපබෝගි නිවසින් පිටවුයේ ඇගේ සැමියා වන රාජන්, නාට්‍යාංගනාවක් වු මොනීකා සමඟ එකතු වී ඇයව මරන්නට තැත් කෙරු නිසාය. සුනීතාගේ පියාව උඩුමහලින් පල්ලෙහාට තල්ලු කර මරා දමා එය අනතුරක් ලෙස පොලීසියට අගවා රාජන් බේරුණිද, ඒ බවක් මුලින් සුනීතා දැන සිටියේ නැත. එකල සිට පියාගේ ඉල්ලීමට සුනීතා රාජන්ව විවාහ කරගත්තද, තමා විවාහ වූයේ වැරදි කෙනෙක් සමඟ බව සුනීතාට පසුව අවබෝධ විය. තම පියාව මැරුවෙ තම සැමියා රාජන් බව සුනීතා දැනගත් වෙලේ සිට ඔහු ඇයව මරන්නට තැත් කළේය. ඒ සුනීතා ගෙන් මෙම මිනීමැරුම පොලිසියට අහු වේ යන බයටය. රාජන් සුනීතාව ⁣මරන්නට තැත් කරන විටය සුනිතා නිවසින් පැන ආයේ. පැන ආවද ඇයට යා යුතු නිනව්වක් නොවීය. රාජන්ද සුනීතාගේ පස්සෙන් ලුහු බදින්නට වූ අතර, සුනීතා පාරේ යන ජිප්සි කණ්ඩායමක තිබු වෑන් රථයක නැගී සැගවිය. එය එලවුයේ කඩවසම් තරුණයෙකු වූ මොහාන්ය.

කුමරිටද බලහත්කාර කමින් කසාද බඳීන්නට කෙනෙක් සිටියේය. ඔහු නිව්ටන්ය. කුමරි නිව්ටන්ට කොහොමත් කැමති නැත. ඒ විවාහයෙන් බේරීමට කුමරි නිවසින් පැන ආවාය. එසේ පැන ආවද ඇයටද කොහේ යා යුතුදැයි නිනව්වක් නොතිබුණි. නිව්ටන්ගෙන් බේරීමට හැංගි හැංගි යන අතෙර්ය කුමරිට ,මේ රට වටේ යන නැටුම් කණ්ඩායම හමුවූයේ. එහී ප්‍රධානියා වූයේ මංජුලය. අවසානයේ කුමරි මෙම නැටුම් කණ්ඩායමට එකතු විය.

"සුරංගනා කථා පොතේ, රසේ වෑහෙතේ

ප්‍රාර්ථනා රැදී ඇතේ, අපේ ජීවිතේ

රස දහරා- උතුරාලා වාසනාවන් ප්‍රාර්ථනා"

කණ්ඩායමේ මොහාන්ගේ වාහනයට නැගගත් සුනීතාට සිදුවූයේද, එම කණ්ඩායමට එකතුවී ගී ගයමින් නැටුම් ඉදිරිපත් කිරීමටය. එහෙත් සුනීතා සොයා රාජන් එනවා සේම, කුමරි සොයා නිව්ටන්ද පැමිණියේය.

කුමරි, නැටුම් කණ්ඩායමට එක්වීම ගැන සියල්ලෝගේම කැමැත්ත තිබුණි. එයිනුත් මංජුලට කුමරිව සුවිශේෂ විය. එහෙත් සුනීතා කණ්ඩායමට එකතුවීම ගැන සතුටු වූයේ මොහාන්, ඔහුගේ සඟයන් වූ ජොනී සහ කුඩා දඟකාරයා වූ මොන්ටොය. සුනීතාට බේරෙන්නම බැරිවූයේ ජිප්සි කෙල්ලක්වූ නිශා ගෙනි. කණ්ඩායමේ දක්ෂ මෙන්ම රූමත්ම නැට්ටුක්කාරිය වූයේ නිශාය. එහෙත් ඈ නිතරම සිටියේ ක්‍රෝධයකිනි. ඇය අත කොයිවේලෙත් පිහියක් තිබුණි. එලෙසම ඇය කඩවසම් මොහාන්ට ආදරය කරන්නට වූ අතර, එය බලෙන් හෝ ගැනීමට ඇය නොපසුබට විය. මොහාන් සුනීතා ගැන ඇල්මක් දැක්වීම සම්බන්ධව නිශා කෝප වී සිටියාය. එහෙයින් සුනීතාට නිතරම නිශාගෙන් අඩම් තේට්ටම් සිදුවුනි. සුනීතාව ආරක්ෂා කළේ කුඩා මොන්ටොය.

කුමරිට, මංජුලව අයිති කර ගැන්මට තවත් විරුද්ධවාදියෙක් සිටියේ නැත. එහෙයින් කුමරිගේ හා මංජුලගේ ආදරය නිදහසේ ගලා ගියහ.

එහෙත් කුමරිගෙ පසුපසින් එන නිව්ටන් ඔවුනගේ සතුටට විශාල බාධාවක් විය. එය හරියට කැරවෑන් චිත්‍රපටයේ සුනීතා පසු පස එන රාජන් වගේය.

දැන් කුමරි මංජුලගේ නැටුම් කණ්ඩායමේ නිත්‍ය සාමාජිකාවකි.ඇයගේ ගායනා හා නැටුම් විලාශයට බොහෝ අය කැමති විය.

"බිදු බිදු කඳුළු ගලා, පාළු වීලා ජීවිතේ මේලා

සිඳු සිඳු කඳුළු ගංගා

ආදරේට ආදරේ පාලා

ගුම් ගුම් නදේනා

සිතුසේ රඟදුන් කුමරෙක් උන්නා

රූ සලා"

සේන සමරසිංහ තම හැම චිත්‍රපටයකම දේශීය නැටුම් කලාවට, දේශීය හා බටහිර සංගීතය සමිශ්‍රණය කරමින් අලුත් නැටුම් හා සංගීත සංස්කෘතියක් බිහිකළේය. එය ඔහුගේ "කස්තුරි සුවඳ" චිත්‍රපටයෙන් ආරම්භ කළ අතර, "නිල්ල සොයා" " ආශා දෑසින්" "චංචල රේඛා" "ඈතින් ඈතට" "බඹර කලාපය" යන චිත්‍රපටවලටද එකතු කළේය. සරත් දසනායකගේ සංගීතය තුළින්ද ඔවුන් ප්‍රබල වෙනසක් ඇති කළේය. එච්.ආර්.ජෝතිපාල, මිල්ටන් මල්ලවආරච්චි, ඇන්ජලින් ගුණතිලක, ප්‍රියා සුරියසේන, ග්‍රේෂන් ආනන්ද වැන්නන්ගේ හඬද සමරසිංහ හා දසනායක එකතුව වෙනස් කළහ.

බටහිර ගීත ගැයූ ශ්‍යාමි ෆොන්සේකාගේ හඬ ප්‍රබලව නැගී සිට්යේ "මල් කැකුළු" චිත්‍රපටය තුළිනි.

මංජුලගේ සොහොයුරු මහින්ද අනතුරකින් අබ්බගාත වී රෝද පුටුවකට සීමා විය. එහෙයින් නැවතත් මංජුලට තම සොහොයුරා හා නෑනා අතරට යන්නට සිදුවිය. මෙය කිසියම් ව්‍යවසනයකට තුඩු දෙන බව, මංජුලට වැටහුණිද, තම සොහොයුරා මහින්ද සිටින තත්වය උඩ මංජුලට ඔහුව අත්හැරීමට නොහැකිය. එහෙත් ඔහු එම නිවසේ නතර වූයේ නැත. ඔහු තම නැටුම් කණ්ඩායමේ හිතවතුන් සමඟ වෙනම තැනක පදිංචි විය .

ඒ අතර නිව්ටන් කුමරිව සොයාගෙන ඇයව බලෙන් රැගෙන යන්න හදන විට මංජුල ඔහුට ගුටි ඇන ඇයව බේරා ගති. මේ හේතුවෙන් නිව්ටන් මංජුල සමඟ වෛරයෙන් පසුවූ අතර, ඔහු මංජුල ඇතුළු නැටුම් කන්ඩායම නැටුම් රඟදක්වන හැම සංචාරක හෝටලයකට ගොස් එය නතර කළේය. මේ හේතුවෙන් මංජුල ඇතුළු නැටුම් කන්ඩායමට, වැඩ නැතිවිය. ඔවුන් යන යන හෝටලෙන් ඔවුන්ව නෙරපීය. කණ්ඩායමේ අනෙක් ගැහැනු ළමයි කුමරිට දොස් කීවේ මේ සියල්ලම සිද්ධ වූයේ කුමරි නිසා බව කියමිනි.එතැනින්ද කුමරිව බේරා ගත්තේ මංජුලය.

මේ අතර පාලිකා මංජුලට ඇඟැලුම් දක්වනවා යැයි සැකයක් මහින්දට ඇතිවිය. කෙසේ වෙතත් පාලිකා මංජුලගේ පරණ පෙම්වතියය. ඒ ටැග් එක කොහොමත් එහෙම්මමය. මහින්දත් දැන් අබ්බගාතය. පාලිකාත් තව තවත් ලස්සනය. ඉතිං සැකය පැටව් ගැහීම නවත්තන්නට බැරිය. ඒ අතරේ පාලිකා මංජුලට කෑම උයාගෙන ගොස් ඔහුගේ නවාතැනටම ගිහින් දෙයි. ඕවා කාගෙ කාගෙත් හිත් වලට සැකයේ බීජය ඇතුල් වෙන ප්‍රශ්නය.

නිව්ටන් ගේ උකුසු ඇසද, මේ සිදුවීම් දෙස යොමු විය. මෙය ඩබල් ගේම් එකක් ගැහීමට හොඳ ටොපික් එකක් විය. නිව්ටන් මෙය එක පැත්තකින් මහින්ද ව ඇවිලවීමට යොදා ගත් අතර, තව පැත්තකින් කුමරිව ඇවිලවීමට යොදා ගති.

⁣මංජුල පාලිකා සමඟ අනිසි සම්බන්ධයක් ගෙන යන බව නිව්ටන් කුමරිට ඒත්තු ගැන්වුවා පමණක් නොව , ඇතැම් සිදුවීම් පෙන්වා එය සනාථ කළේය. එහෙත් ඒ සිදුවීම්වල සත්‍යතාවයක් තිබුණේ නැත. පාලිකා මංජුලට කෑම ගෙන ඒම ගැන වෙනත් අන්දමක චිත්‍රයක් නිව්ටන් කුමරිට මවා පෑවා සේම කුමරිද එය විශ්වාස කළාය. එපමණක් නොව මංජුලගේ යහළුවන්ටද එය විශ්වාස විය. ඇය වේදනාවෙන් හෝ මංජුලව අමතක කරන්නට උත්සහා කළාය.

"ලා හිරුගෙ සේයාවි නෑසු කථා,

නෑසූ කථා

රෑ සිහින මායාවී, පාවී ගියා

පාවී ගියා

සඳ කුමරුන් අත හැර ගිය

තරු පිරිවර ලොව තනිවිය

අඳුර ලියලලා බොද වෙලා

එකම මගකි, ඇඳුනු ගඟකි

බෙදුනු තැනකි, ඉවුරු දෙකකි

ලා හිරුගෙ සේයාවි,

නෑසු කථා නෑසු කථා"

මේ හේතුවෙන් නිව්ටන්ට කුමරිගේ සිතට ඇතුල්වීමටද හැකි විය. කුමරි සිතන්නේද මංජුල පාලිකා සමඟ අනියම් සම්බන්ධයක් ගෙන යනවා ඇතැයි කියාය.

සේන සමරසිංහ තම ' මල් කැකුළු' චිත්‍රපටය නසීර් හුසේන්ගේ 'කැරවෑන්' චිත්‍රපටයෙන් කොපි කළා යැයි එක එල්ලේම කිව නොහැකිය. නමුත් සේන "කැරවෑන්" බලන්නට නම් ඇත. ඒ තුළින් ගත් අභාසය හරහා "මල් කැකුළු" තේමාව සකස් කර ගන්නට ඇත. " කැරවෑන්" ද සංගීතමය චිත්‍රපටයක් වූ අතර " මොනිකා ඕ මයි ඩාර්ලින් " ඇතුළු සුමියුරු ගීත ගණනාවක් එහී තිබූනි. රහුල් දෙව් බර්මන් ගේ මධුර වූ සංගීතයෙන් "කැරවෑන්" ගීතවත් විය. සරත් දසනායකද ,රහුල් දෙව් බර්මන් මෙන්ම සුමධුර සංගීතයක් "මල් කැකුළු" චිත්‍රපටයට සැපයීය. ඉතාමත් මියුරු ගීත කීපයක්ම දසනායකයන් මෙම චිත්‍රපටයට නිර්මාණය කළේය. එහෙයින් සංගීතය හරහාද කැරවෑන් හා මල් කැකුළු අතර සම්බන්ධතාවයක් තිබුණි.

සමරසිංහට මෙය 'ට්‍රැජඩි' එකකින් අවසන් කිරීමට උවමනා කමක් තිබූ බවක් පෙනුණි. දෙදෙනෙක් එක්වන විට, තව දෙදෙනෙකු පරිත්‍යාග කිරීම සමරසිංහගේ තේමාව වූවාක් වැනිය. මහින්දට වෙඩි තිබ්බේ මංජුල බව අපට හැගෙව්වද, සමරසිංහ මංජුලව බේරා තිබුණි. මිනිමැරුම අනෙකෙක් පිට පටවා, පාලිකා සිය දිවි නසා ගැනීමට සැලස්වීමෙන් සියලු ප්‍රශ්න නිමා කළේ යළි මංජුල හා කුමරිව එක් කරවීමටය.

"මං නිරපරාදේ මංජුලව සැක කරේ. දැං මට තේරෙනවා ඇත්ත මොකක්ද කියලා. මංජුල නිර්දෝශයි. මම මංජුලට තවමත් ඉස්සර වගේම ආදරෙයි" කියා කුමරි නිවිටන් ඉස්සරහම කිව්වෙ, සමරසිංහ විසින් සියලු ප්‍රශ්න නිරාකරණය කර දුන් නිසාය. අවසානයේ මංජුල හා කුමරි පොරුවේ නැඟී විවාහ විය. ඔහුගේ නැටුම් කන්ඩායමේ සියලු සාමාජිකයන් ඔවුන් සමඟ විය. මිල්ටන් මල්ලවආරච්චි හා ෂ්‍යාමි ෆොන්සේකා එම විවාහ මංගල්ල උත්සවයට ගීත ගැයුවෝය.

"ලස්සන දෑසක් ඉස්සර මා සෙව්වා

ලස්සන රහසක් ඒ දෑසින් කිව්වා

ඒ ඒ ඒ ඒ පෙම් කථාවෝ, වූ ප්‍රාර්ථනාවෝ

දැසින් යාවි ගලා"

ගාමිණි ෆොන්සේකා මංජුල ලෙස යොවුන් තරුණයෙකුගේ චරිතයකට පණ පෙවිය. සමරසිංහගේ 'කස්තුරි සුවඳ' ට සමාන කොන්ඩා මොස්තර 'විග්' එකක් දමා මෙහිදීද ගාමිණී ෆොන්සේකාව නවීන තරුණයෙක් කර තිබුණි. 'සැණකෙළිය' චිත්‍රපටය හරහා පැමිණුනු මේ කොණ්ඩා මෝස්තරයෙන් ගාමිණි ෆොන්සේකාට තරුණ පෙනුමක් ලබාදුනි. කුමරි ලෙස ෆරිනා ලායි රඟපෑවාය. 'සැණකෙළිය" චිත්‍රපටයේදී අපූරුවට ගැලපුණු මේ දෙදෙනා "මල් කැකුළු" තුළින් සුන්දර චමත්කාරයක් ගෙන ඒමට සමත් විය.

නසිර් හුසේන්ගේ "කැරවෑන්" හී මොහාන් වූයේ ජීතෙන්ද්‍රය. සුනිතා ලෙස ආශා පාරෙක් රඟ පෑවාය. මොනිකා වූයේ හෙලන්ය, රාජන් ලෙස ක්‍රිශාන් මෙහෙතාත්, මොන්ටි ලෙස ජූනියර් මෙහෙමුඩ් හා නිශා ලෙස අරුනා අයිරානි රඟපෑහ.

"මල් කැකුළු" හී පාලිකා වූයේ ශ්‍රියානි අමරසේනය. රෙක්ස් කොඩිප්පිලි මහින්ද වූ අතර සේනක පෙරේරා නිව්ටන් විය. බන්ධු සමරසිංහ, විමල් කුමාර ද කොස්තා, රිචඩ් වීරක්කොඩි, එඩී අමරසිංහ සෙසු චරිත රඟපෑහ.

1980 ජනවාරි 4 වනදා තිරගත කළ සේන සමරසිංහ ගේ "මල් කැකුළු" සුන්දර, සංගීතමය චිත්‍රපටයක් විය. මෙය නිෂ්පාදනය කළේ පියසේන ද සිල්වාය.

"පාව යාවී ඈත දුක් සංකාවෝ

සොම්නස ගාවා ගී ගැයුවා දෙන්නා

සිත ගැවසේ, ඒ දැහැනේ

පාවී සිනා කැන් හිතින්"

(තවත් චිත්‍රපටයක් ලබන සතියේ)

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
7 + 3 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.