‘පොරොන්දුවේ’ සිට ‘කඳුළු’ කරා ගිය ‘බී. ඒ. ඩබ්ලිව්.’ නොහොත් ‘ඇලෝ අයියා’

ජනවාරි 10, 2019

‘තිරය පුරාම ලොකුවට ගැහැනියකගේ හිසක් වැටී තිබේ. කෙස් මැද්දෙන් බෙදා මනා ලෙස පීරා ඇත. කැමරාව ටිකෙන් ටික පස්සට යයි. ඇය තරුණියක බවත් ඇඳක වැතිර සිටින කිසිවකුගේ පපුව මත මුහුණ ඔබාගෙන හඬන බවක් අපට පෙනේ. කැමරාව තවදුරටත් පස්සට ගමන් කරයි. මේ සුරූපී යුවතිය වැලපෙන්නේ අවසන් හුස්ම හෙළන සිය පියාගේ ඇඳ මත වාඩි වී ඔහු වැලඳගෙන බව අපට දැනගන්නට ලැබේ.

අවාසනාවන්ත තරුණිය සහ ඈ වටා සිටි අනෙක් අය බලාපොරොත්තු නොවන්නට ඇතත් මෙතෙක් ගතවුණු ඉතා සුළු කාලය ඇතුළත අප කවුරුත් බලාපොරොත්තු වූ පරිදි රෝගියා තවත් මොහොතකින් සිය බිරිඳත් දියණියත් අපට ඉතිරි කර මිය පරලොව යයි. ඊළඟට අපි දකින්නේ අනාථ වුණු තරුණිය කළු ඇඳුමකින් සැරසී දිගු කොණ්ඩය අවුල් කරගෙන සිය පියාගේ මිනී වල මත වැතිරී ගීයකින් ශෝකය ප්‍රකාශ කරන සැටිය.’

කරුණාසේන ජයලත් මෙසේ සඳහන් කර ඇත්තේ ප්‍රථම සිංහල චිත්‍රපටය වන ‘කඩවුණු පොරොන්දුව‘ ආරම්භ වන මුල් ජවනිකා දෙක ගැනය. එනම් පළමුව මළ ගෙයක් හා දෙවනුව මිනී වළක් යනුවෙනි. ජයලත් මෙසේ ද පවසා ඇත. ‘එසේය! ප්‍රථම සිංහල චිත්‍රපටය ආරම්භ වන්නේ මළ ගෙයක් හා මිනී වලක් යන අසුබ ජවනිකා දෙකකිනි’.

ප්‍රථම සිංහල කථානාද චිත්‍රපටයට 90% ක දායක වෙමින් චිත්‍රපටයේ කතාව හා දෙබස් ලියා ප්‍රධාන නළුවාගේ භූමිකාව රඟපෑවේ ‘සිංහල සිනමාවේ පුරෝගාමියා’ ‘සිංහල සිනමාවේ පියා’ ලෙස හඳුන්වන බී. ඒ. ඩබ්ලිව්. ජයමාන්න විසිනි. ‘කඩවුණු පොරොන්දුව‘ චිත්‍රපට ගතවීමට පෙර ලංකවේ නොයෙක් පළාත්වල 800 වාරයක් වේදිකාගත වූ අතිශයින්ම ජනප්‍රිය නාට්‍යයකි. නාට්‍ය නිෂ්පාදනය 1948 වසරේ අතහැර සිනමාවත් ජීවිතයත් යාකර ගත් බි. ඒ. ඩ්බ්ලිව්. සිනමාවත් ජීවිතයත් යාකර ගත් මාර්ගය කඳුහෙල්වලින් තොර නොවීය.

1964 ‘සරසවිය සිනමා’ සිංහල සිනමා වාර්ෂිකයට මෙසේ පවසා තිබුණි.

‘මගේ කතාව, ජයග්‍රහණය කතාවක් නොවෙයි. එය කිසිසේත් පරාජයක කතාවක් ද නොවෙයි. එය මෙරට සිනමා කලාවට, සිනමා කර්මාන්තයට අත තැබූවෙකු මුලපිරූවෙකු, එහි රස නීරස මේ දක්වා විඳින්නකුගේ කතාවක් පමණකි.’

වන්නිආරච්චි අප්පුහාමිලාගේ දොන් බර්නාඩ් ඇලෝෂියස් හෙවත් බර්නාඩ් ඇලෝෂියස් වන්නිආරච්චිගේ ජයමාන්න 1908 මැයි 20 වෙනිදා මීගමුවේ පෙරියමුල්ලේ උපත ලැබීය. ඔහුට විලී, ඇග්නස්, ඔස්ටින් යන වැඩිමහල් සොයුරු සොයුරියන් තිදෙනෙක් ද, ජෝ, ඩොටී සහ එඩී නම් නංගිලා හා මල්ලී කෙනෙකු ද වූහ.

මාධ්‍යවේදී ගාමිණී ගුණතිලක සරසවිය පුත්පතට ලියූ ලිපියකින් බී. ඒ. ඩබ්ලිව්ගේ පුතා ගාමිණී ජයමාන්නගේ දුලබ අදහස් එක්තැන් කර තිබුණි.

‘අපේ සීයා වන්නිආරච්චිගේ දොන් තෝමස් අප්පුහාමි වෘත්තියෙන් ගුරුවරයෙක්. ආච්චි අම්මා පමුණුගම මේරි මැග්ලින් ජයමාන්න. වේදිකාවට එළැඹීමෙන් පසු විශේෂයෙන්ම එඩී බාප්පාගේ උවමනාවට මවු පාර්ශවයෙන් ආ ජයමාන්න යන්නත් තාත්තා සිය වාසගමට එක්කර ගත්තා. රසිකයන් අතර තාත්තා බී. ඒ. ඩබ්ලිව්. ලෙසත් හිත මිතුරන් අතරේ ‘ඇලෝ අයියා’ නමිනුත් හැඳින් වුණා.’

බී. ඒ. ඩබ්ලිව්. ගේ පියා ‘තෝමස් ඉස්කෝලෙ මහත්තයා’ මීගමුවේ මාරිස්ටෙලා විද්‍යාලයේ ප්‍රසිද්ධ ගුරුවරයකු විය. ඔහු නාට්‍ය කලාවට යොමු වී ඇත්තේ තම බාප්පා නාඩගම් රචකයකු හා නිෂ්පාදකයකු වීම නිසාය. මාරිස්ටෙලාවේම ඉගෙන ගත් බී. ඒ. ඩබ්ලිව්. පාසල් යන කාලයේම ‘ඩොක්ටර් ෆොස්ටර්’ නාට්‍ය ලියා නිෂ්පාදනය කරමින් එහි ප්‍රධාන චරිතය රඟපෑවේය. ඉංග්‍රීසි නාට්‍ය පොත් කියවීමේ රුසියකු වූ හෙතෙම ඒ ඇසුරෙන් නාට්‍ය ලියන අතර මරදාන ටෙක්නිකල් කොලීජියේ ඉගෙනීම කළේය. ඉගෙනීම් අත්හල ඔහු මිතුරන් සමඟ එක් වී මිනර්වා ආධුනික නාට්‍ය සංගමය ස්ථාපිත කළේය. එහෙත් Minerva Amateur Dramatic Club යන්න MAD CLUB යයි කියැවෙන බව පෙන්වා දෙන නිසා ඒ නම අතහැර ඇත.

ඔහුගේ නාට්‍ය ජයමාන්න නාට්‍ය නමින් ලංකාවේ අතිශයින් ජනප්‍රිය වී ඇත. මුල්ම ඔහුගේ නාට්‍යය ඉංග්‍රීසි කථාවක් ඇසුරෙන් ‘භයානක පොරොන්දුව‘ වේදිකා ගත කර ඇත්තේ 1936 වසරේදීය. ඉංග්‍රීසි අක්ෂර මාලාව අනුව අවතාරය (Apparition), කඩවුණු පොරොන්දුව (Broken Promise) පෙරළෙන ඉරණම (Changing Fate),  වැරදුණ කුරමාණම (Defeate Aim),  සැඟවුණු පිළිතුර (Evasive Denial),  උමතු විශ්වාසය(Fanatic Faith),  හදිසි විනිශ්චය (Hasty Decision) මෙන්ම නඩු තීන්දුව, අයිරාංගණී, වනලිය ආදී නාට්‍ය ඔහු නිෂ්පාදනය කරන ලදී.

ජේ. සිංහ නම් ඉන්දීය චිත්‍රපට අධ්‍යක්ෂ කළ ‘කඩවුණු පොරොන්දුව‘ නිෂ්පාදනයේදී බී. ඒ. ඩබ්ලිව්. චිත්‍රපටයක් නිපදවන සැටි බලාගෙන ඇත. පටිගත කිරීම පිළිබඳ නොයෙක් දේ ඔහුට වටහා ගැනීමට ඉඩ නොතැබීමට ඉන්දීය ශිල්පීන් උත්සාහ ගත් නමුත් එය බාධාවක් වී නැත. වසරකින් ඔහු එඩී හා රුක්මණී යොදා ‘කපටි ආරක්ෂකයා’ මෙහෙයවීමට සමත් විය.

කඩවුණු පොරොන්දුව (1947), කපටි ආරක්ෂකයා (1948), වැරදුණු කුරුමානම (1948), පෙරළෙන ඉරණම (1949), හදිසි විනිශ්චය (1950), සැඟවුණු පිළිතුර (1951), උමතු විශ්වාසය (1952) චිත්‍රපටවල කතාව දෙබස් හා ප්‍රධාන චරිතය රඟපෑ බී. ඒ. ඩබ්ලිව්. ක්‍රමයෙන් චිත්‍රපට නිෂ්පාදන හා අධ්‍යක්ෂණයට යොමු විය.

ඔහුගේ චිත්‍රපටවල එන සංවාද දිගය. සංස්කෘත මිශ්‍ර මේ දෙබස් ගැන අවබෝධයක් ලබා ගැනීමට ‘කඩවුණු පොරොන්දුව‘ චිත්‍රපටයේ සැම්සන් ලෙස රඟපාන ඔහුගේම දෙබස් ඛණ්ඩයක් උපුටා දක්වමි.

‘මෑණියනි, නුඹගේ මුදල් තණ්හාව හිස මුදුනේ තබාගෙන දිලිසෙන රන් කාසි බලයට වාල් වී මේ ලෝකයේ ඇත්තා වූ මවු සමූහයට අවමාන කර, නුඹගේ පුරුෂයාගේ අධර්මිෂ්ඨ මනුෂ්‍යයෝ නිරා පාතාලයෙන් පැමිණ යහපත් මනුෂ්‍යයන් මුලා කරන මුදල් කෑදර මළ පෙරේතයෝ.’

රංජනී ලෙස රඟපෑ රුක්මණී දේවි කියන දෙබස් ඛණ්ඩයකි මේ.

‘සැම්සන්, ආලය නමැති රසවත් මුද්‍රිත පානය ප්‍රථම වරට පානය කළේ නුඹගේ හෘදය නමැති පාත්‍රයෙන් පමණයි. ඉතින් ඒ පාත්‍රයට පයින් ගසා මගේ පියාගේ සොහොන් ගේ සිපාචර කර වූ පොරොන්දුව ඉෂ්ට නොකළොත් ඇත්තෙන්ම මේ ආලෝකයත් මුළු පෘථිවියම ශෝකය නැමැති අන්ධකාරයෙහි ගිලී යයි. පක්ෂීන් නාද නොකරයි. මල් ප්‍රබෝධ නොවේ. චන්ද්‍රයා හා තාරකාවෝ ශෝක නමැති වලාකුළුවලින් වැසී යයි.’

බී. ඒ. ඩබ්ලිව්. කතා ලියන විට පැදුරක වාඩි වී දර්ශනයෙයන් දර්ශනය දෙබස් සමඟ විස්තර කරගෙන යන බවත් තිමෝතියස් පෙරේරා හෝ බෙන්ජමින් ප්‍රනාන්දු මාස්ටර් ඒවා ලියා ගත් බව පුතු ගාමිණී පවසා තිබුණි. ඔහුට අයත් හොරොම්බා වත්තේ තම චිත්‍රපටයට සම්බන්ධ නළු නිළියන් පුහුණු කළ අන්දම ද පුතුට මතකය.

බී. ඒ. ඩබ්ලිව්. තම චිත්‍රපටවලින් චිත්‍රපට නළු නිළියන් රැසක් හඳුන්වා දී ඇත. රක්මණී දේවි, එඩී ජයමාන්න, හියුගෝ ප්‍රනාන්දු, ජෙමිනි කාන්තා, බර්ට්‍රම් ප්‍රනාන්දු, ක්‍රිස්ටි ද මැල්, මාක් සමරනායක, ලෙටීෂියා පීරිස්, මේබල් බ්ලයිත්, ස්ටැන්ලි මල්ලවාරච්චි, ෂර්ලි බ්ලයත්, සුමිත් බිබිලේ, ප්‍රේම්, හර්බට් එම්. සෙනෙවිරත්න, ක්ලැරිස් ද සිල්වා, ෆ්ලොරිඩා ජයලත්, ස්ටැන්ලි පෙරේරා, මිලී කහඳවල, රීටා රත්නායක, සේනාධීර කුරුප්පු, රූබි ද මෙල්, සිසිර පියසේන, ඩඩ්ලි වානගුරු, ග්‍රේස් ජයමාන්න මේ පිරිස අතර වෙති.

බී. ඒ. ඩබ්ලිව්. ගේ චිත්‍රපට අතර සුවිශේෂී වන්නේ ‘කැලෑහඳය. එය සිංහල සිනමාවට නැඟුණු ප්‍රථම නවකතාවය. චිත්‍රපටයේ දර්ශන කතාවේ එන ස්වභාවික තැන්වලම රූපගත කර ඇත. අරනායක සංගිලි පාලම, නිකිනියාන උදාහරණය. එදා ‘කැලෑහඳ’ ලංකාවේ ප්‍රථමවරට සිංහල නවකතාවක් චිත්‍රපටයක් වේ’ මැයෙන් 1953 ‘ඉරිදා ලංකාදීප’ පත්‍රයේ මුල් පිටුවේ ප්‍රධාන සිරස්තලය වී ඇත.

ගත්කරු . . . ඩබ්ලිව්. ඒ සිල්වා

මාලිනී . . . රුක්මණී දේවි

අන්ද්‍ර . . . එඩී ජයමාන්න

වියදම . . . රු: 5,00000 යි.

1947 සිට 1953 දක්වා වැඩිම මුදලක් වූ රුපියල් ලක්ෂ 5 ක් වියදම් කළ චිත්‍රපටය බී. ඒ. ඩබ්ලිව්. ජයමාන්න නිෂ්පාදනය කොට අධ්‍යක්ෂණය කළ ‘කැලෑහඳ’ය.

පසු කලෙක බී. ඒ. ඩබ්ලිව්. ‘කැලෑහඳ’ ගැන මෙසේ කියා තිබුණි.

‘දිනක් රෑ මගේ මිතුරෙකු ටවර්හෝල් ශාලාවේදී කළ යෝජනාවක් නිසා ඒ නවකතාව චිත්‍රපට ගත කරන්නට මම කැමති වූයෙමි. කැලෑහඳ කීප අතකින්ම මගේ බෙහෙවින් සාර්ථක චිත්‍රපටය යැයි මට සිතේ. එක අතකින් ඒ වන තුරුම මා චිත්‍රපට ගත කර තිබුණේ මගේ නාට්‍යයයි. කැලෑහඳ චිත්‍රපට ගත කිරීමට අපි මාස 5 ක් පමණ මදුරාසියේ නතර වි සිටියෙමු. කැලෑහඳ චිත්‍රපටයේ පිටපත් අටක් අපි ගෙනාවෙමු. එයින් සුළු කලකදී රුපියල් එකළොස් ලක්ෂයක් එකතු විය. කොළඹ ඇල්පින්ස්ටන් සිනමාහලේ ‘කැලෑහඳ’ බැලූවන්ගෙන් පමණක් දෙලක්ෂයක් එකතු විය.’

චිත්‍රපට අධ්‍යක්ෂණය කරන අතරේ බී. ඒ. ඩබ්ලිව්. චරිත නිරූපණයේද යෙදුණේය. සැම්සන් (කඩවුණු පොරොන්දුව), කුලසේන (කපටි ආරක්ෂකයා), නිමල් (වැරදුණු කුරුමාණම), සිරිපාල (හදිසි විනිශ්චය), චන්ද්‍රසේන (සැඟවුණු පිළිතුර), නන්දරාල (කැලෑහඳ), ඉඹුල්ගොඩ රාළහාමි (මතභේදය), එලාරිස් බටුගෙදර (දෛවවිපාකය), ජයතිස්ස (වනලිය) මේ චරිත අතර කැපී පෙනෙයි.

1954 වසරේ බී. ඒ. ඩබ්ලිව්. හොඳම චිත්‍රපට කතාව ලියන ලේඛකයාට ‘ජනතා’ පත්‍රය මඟින් රුපියල් 2000 ක ත්‍යාගයක් දීමට ඉදිරිපත් වී ඇත. මේ නාටකය මොනිටර් ඇක්සයිස් පිටු 150 කට සීමා විය යුතු බවත් නාටකය කියවීමට යන කාලය පැයකට වැඩිය නොවිය යුතු බවත් ඔහු පවසා තිබුණි. මේ තරගයෙන් මුල් තැන දිනූ සිසිර කුමාර මානික්කආරච්චි ලියූ ‘දෛව විපාකය’ කතාව බී. ඒ. ඩබ්ලිව්. විසින් අධ්‍යක්ෂණය කළේය.

බී. ඒ. ඩබ්ලිව්. කතා ලියන ආකාරය මාධ්‍යවේදී සිරිපාල තිලකසේනයෝ මෙසේ පවසා තිබුණි.

‘ඇලෝ අයියා සෑම දිනකම හිමිදිරි පාන්දර අවදිව තම සිතේ තැන්පත්ව තිබුණු චිත්‍රපටයක කතාව පිළිබඳ බීජයක් ලියා තබයි. මේ වස්තු බීජය ලේඛනගත කිරීමට ඔහු සමඟ බොහෝ විට තිමෝතියස් පෙරේරා ද වෙයි. සිසිල් ජල ධාරාවක් කඳු මුදුනින් ඇද හැළෙන්නාක් මෙන් ඇලෝ අයියාගේ (බී. ඒ. ඩබ්ලිව්.) මුවින් චිත්‍රපට කතාව ගලා එන බවත්, තම මනසට ආරූඪ වූ චිත්‍රපට කතාවක චරිත සමඟ දින ගණනක් වුවත් ඔහු දිවා රෑ වෙහෙසෙයි.

බී. ඒ. ඩබ්ලිව්. විවාහ වූයේ ග්‍රේස් ජයමාන්න සමඟය. ඇය ද චිත්‍රපට නිළියකි. ඔවුනට දරුවන් හතර දෙනෙක් වූහ. වැඩිමහල් දියණිය ප්‍රේමාය. දෙවැනියා මල්ලිකාය. තුන්වැන්නා වූ සුනීතා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ආනන්ද මුණසිංහ හා විවාහ විය. බාලයා ගාමිණී ජයමාන්න චිත්‍රපට සංස්කරණ ශිල්පියෙක්ව සිට මෑතක ජීවිතයෙන් සමු ගත්තේය. 2001 වසරේ මම ඡායාරූප ශිල්පී වයික්කාලේ ලුවිස් කුමාර් සමඟ ගාමිණී හමුවීමට මීගමුවේ ‘මිනර්වා’ නිවසට ගියෙමු. එදා ගාමිණී තම පියා ගැන මෙසේ විස්තර කළේය.

‘තාත්තා හරිම විනෝදකාමියා. අපි ගැන හොයන්න බලන්නවත් තාත්තට කාලයක් තිබුණේ නැහැ. වැඩිපුර හිටියේ චිත්‍රාගාරවල. ඒ කාලේ තාත්තා හිටියේ ලොකු හිත් තැවුලකින්. ‘මංගලිකා’ චිත්‍රපටය තාත්තා අධ්‍යක්ෂණය කළේ සිලෝන් තියටර්ස් සමාගමට. මේ කතාවම ‘උඩරට මැණිකේ’ නමින් සිනමාස් සමාගමෙන් පටන් අරන් ලොකු තරගයක් තිබුණේ. ද්‍රවිඩ චිත්‍රපටයක් මුල්වරට අනුකරණය කිරීමට සිදු වීම ගැන තාත්තා තුළ තිබුණේ අසතුටක්. තාත්තා ලෙහෙසියෙන් පරදින්න කැමති කෙනෙක් නොවෙයි. ‘මංගලකා’ මුලින්ම තිරගත කරන්න තාත්තා ලංකා චිත්‍රාගාරයේ දිවා රෑ නොබලා නිදි මරාගෙන වැඩ කළා. තාත්තා ගෙදරින් මිසක් පිටින් කෑම ගත්තේ නෑ. පාන්දර ගෙදර ඇවිත් පොඩි ඩ්‍රින්ක් එකක් අරන් අම්මා හදල දෙන දෙයක් කාලා ආයිත් ලංකා චිත්‍රාගාරයට ගියා. වැඩ කරන කොයි මොහොතකදීවත් තාත්තා මත්පැන් ගත්තේ නැහැ. ඒක තාත්තාගේ ප්‍රතිපත්තියක්. මේ නිසා තාත්තා චිත්‍රාගාරයේදී තේ විතරයි බිව්වේ. කොහොම හරි තාත්තා ‘මංගලිකා’ හා ‘උඩරට මැණිකේ’ තරගයෙන් දින්නා. ‘මංගලිකා’ එක දවසකට කලින් තිරගත වුණා. ඊට පස්සේ තාත්තා අර පුරුදු විදිහට හිස්බඩ මත්පැන් ගන්න පටන් ගත්තා. කොච්චර රෑ වුණත් උදේ පාන්දර නැගිටීම තාත්තාගේ පුරුද්ද. තාත්තාගේ හොඳම මිත්‍රයෙක් දොස්තර ලීනස් දිසානායක (සත් සමුදුර නිෂ්පාදක).

‘ඔයා බොන්න පැය භාගයකට කලින් පාන් පෙති දෙකක්වත් කන්න.’

දොස්තර දිසානායක තාත්තාට අවවවාද කළා. ඒත් තාත්තා ඒක පිළිපැද්දේ නැහැ. තාත්තා හැම දෙයක්ම කර ගත්තේ තනියම. උදේ අවදි වෙලා තේ, බිත්තර කෝපි එහෙම හදා ගත්තේ තාත්තාමයි. කෑමට හොර වුණා. උදේ පාන්දර බිත්තර කෝපි එකටත් අරක්කු මිශ්‍ර කරගෙන බිව්වා. මොකද ඒ දවස්වල තාත්තාට නින්ද ගියේ නෑ. ඒක පුරුද්දකට ගියා. අපේ තාත්තා ලක්ෂ ගණන් හම්බ කළා. තාත්තාගේ ලොකු විමෝදාංශය දාම් ඇදීම. එයාගේ පාට්නස් බෙන්ජමින් අංකල්. බෙන්ජමින් ප්‍රනාන්දු මාස්ටර්. ඒ වගේම තාත්තා සුද්දෙක් වගේ වියදම් කළා. ජයමාන්නලා කිව්වම මීගමුවේ නොම්මර එකේ විනෝදකාමියෝ. තාත්තා අන්තිමට අධ්‍යක්ෂණය කළ ‘මඟුල් පෝරුව‘ හදනකොට මානසිකව බිඳ වැටිලා හිටියේ. මේ නිසා චිත්‍රපටය භාගයක් ඉවර කරන්න ඉස්සර මිය ගියා.’

මා විසින් ලියූ ‘රුක්මණී දේවි: යුගයක ස්වර්ණ ගීතය’ කෘතියේ වැඩි තොරතුරු දැක්වේ.

ඕනෑම චරිතයක් හොඳින් ඉටු කරන බී. ඒ. ඩබ්ලිව්. ජයමාන්න තමාගේ ප්‍රියතම නළුවා යැයි ජයවිලාල් විලේගොඩ 1955 අගොස්තු 03 වෙනිදා සිනමා පැන තීර පාඨකයෙක් ඇසූ ප්‍රශ්නයට පිළිතුරු සපයා ඇත. සිංහල සිනමාවට ඒ වන විට වසර 08 කි. එපමණක් නොව තවත් ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඔහු කියා ඇත්තේ ‘කපටි ආරක්ෂකයා’ චිත්‍රපටයේ ජවනිකා දෙක තුනක් හැරෙන්නට වෙනත් කිිසිම සිංහල චිත්‍රපටයක සිත් කම්පා කරන දර්ශනයක් තමා නුදුටු බවය.

බී. ඒ. ඩබ්ලිව්. ජයමාන්න 1965 පෙබරවාවරි 16 වැනිදා දෙව්මව් තුරුලට ගියේය.

ඒ. ඩී. රන්ජිත් කුමාර
ලාල් සෙනරත්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
3 + 1 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.