රිදී තිරයට සිනහ රසය කැන්දූ එම්. එස්. - ඇන්ජලින් යුග ගී

දෙසැම්බර් 20, 2018

සිංහල සිනමා ගීතාවලියේ යුග ගීත දෙස බලන විට එච්. ආර්. ජෝතිපාල - ඇන්ජලින් ගුණතිලක, ලතා වල්පොල - ධර්මදාස වල්පොල, මොහිදීන් බෙග් - ජී. එස්. බී. රාණි පෙරේරා නිතැතින්ම මතකයට නැඟේ. මේ අතරින් සිංහල සිනමාවේ ස්වර්ණමය දශකය ලෙස හැඳින්වෙන හැත්තෑව දශකය තුළ ඉදිරියෙන්ම සිටි ගායක ගායිකා යුවල ලෙස ජෝතිපාල - ඇන්ජලින් යුවල නම් කළ හැකිය.

කෙසේ නමුත් එම දශකය තුළ ජෝතිපාල හැරුණු විට ඇන්ජලින් සමඟ යුග ගීත ගායනා කළ ගායකයින් අතරින් මිල්ටන් මල්ලවාරච්චි ද කැපී පෙනෙන අතර ඇය සමඟ චිත්‍රපට සඳහා යුග ගීත ගැයූ තවත් ගායකයෙකි එම්. එස්. ප්‍රනාන්දු. එම්. එස්. හා ඇන්ජලින් ගැයූ යුග ගීත බලන විට බොහෝ අවස්ථාවන්හි මෙම දෙදෙනා ගැයූ යුග ගීත චිත්‍රපටයේ හාස්‍ය රසය මතු කිරීමෙහිලා උපකාරී වී ඇති බැව් පෙනී යයි. ගීතා, හතර දෙනාම සූරයෝ, එදත් සූරයා අදත් සූරයා, සුජීවා, ආවා සොයා ආදරේ, හොඳම වේලාව යන හැත්තෑව දශකයේ තිරගත වූ චිත්‍රපටවල මෙන්ම අනූව දශකයේ තිරගත වූ සාජන්ට් නල්ලතම්බි චිත්‍රපටයේ ද මොවුන් දෙදෙනා ගැයූ යුග ගීත දෙස බලන විට මෙය පැහැදිලිව දැක ගත හැකිය.

මේ අතරින් 1971 තිරයට පැමිණි නීල් රූපසිංහගේ හතර දෙනාම සූරයෝ චිත්‍රපටයේ මොවුන් දෙදෙනා ගයන 'රත්තරනේ රන් කිරිල්ලියේ' ගීතය අමතක නොවේ. මේ ගීතය ආරම්භවීමට පෙර චිත්‍රපටයේ 'ජගරියා' නමින් පෙනී සිටින ඇන්තනි සී. පෙරේරා මල් වත්තකදී තම පෙම්වතිය මුණ ගැසී කතා කිරීමෙන් පසු පෙම්වතිය නික්ම යාමෙන් අනතුරුව එහි බංකුවක් මතට වී නිදා ගනියි. එහිදී ඔහු සිහිනෙන් දකින්නේ පෙම්වතියක් සමඟ මෙම ගීතය ගයන ආකාරයයි. ඔහුගේ පෙම්වතිය ලෙස රඟපාන බාබරා නම් නිළියත් සමඟ ගීතය ගයන විට එම රූප රාමුවෙහිම ඇන්තනි ලෙසින්ම සැරසී ගීතයට සංගීතය සපයන වාදක මණ්ඩලයක් ද වෙයි. මෙහි විශේෂතම සිදුවීම වන්නේ වාදක මණ්ඩල සාමාජිකයින් ලෙස පෙනී සිටින්නේ ද ඇන්තනි සී. පෙරේරාම වීමය. පෙම්වතිය සිහි කරමින් මෙසේ ගී ගැයුවත් අවසානයේ පෙම්වතිය ඔහු අතහැර වෙනත් අයකු හා යාම චිත්‍රපටයේ සිනහව මතු කරන දර්ශනයකි. පී. එල්. ඒ. සෝමපාල හතර දෙනාම සූරයෝ චිත්‍රපටයේ සංගීතය සැපයීය.

ලෙනින් මොරායස් අධ්‍යක්ෂණය කළ 1972 තිරගත වූ එදත් සූරයා අදත් සූරයා චිත්‍රපටය වෙනුවෙන් එම්. කේ. රොක්සාමිගේ සංගීතයට එම්. එස්. හා ඇන්ජලින් ගයන ගීතයකි 'හා හා හැඩයි රූපේ' නම් ගීතය. මෙහි ද ඇන්තනි සී. පෙරේරා සහාය නිළියක සමඟ පෙනී සිටින අතර මෙය ද චිත්‍රපටයට අනුව ඔහු දකින සිහිනයකි. කාන්තාරයක අරාබි ජාතිකයෙකු ලෙස සැරසී ඔහු තම සහාය නිළියක සමඟ මෙම ගීතය සඳහා රංගනය ඉදිරිපත් කරන අතර ගීතය අවසන් වන විට සහය නිළිය ක්‍රම ක්‍රමයෙන් ඇටසැකිල්ලක් බවට පත් වී ඔහු අභියසට පැමිණෙයි. මේ අවස්ථාවේ ඔහු සිහිනයෙන් අවදි වන්නේ කෑගසමිනි.

'රෝස මල වගේ චූටික්කි - මාගේ ආදර බෝනික්කි - ඇසිපිය ගසමින් හිනැහෙනවා - ලස්සන බේරෙනවා' සරත් දසනායකගේ සංගීතයට එම්. එස්. ප්‍රනාන්දු මෙසේ ගයන විට එම ගායනයට අනුව ඇන්තනි සී. පෙරේරා තම රංගනය ඉදිරිපත් කරනුයේ සිනා රසය මතු කරමිනි. 'නටනවා බය වෙලා මගේ ඇහේ බබා' එයට පිළිතුරු වශයෙන් ඇන්ජලින් ගුණතිලක ගයන්නේ ඇන්තනිගේ පෙම්වතිය ලෙස රඟන ලලිතා අල්මේදා සඳහාය. මෙම ගීතය ඇතුළත් වන්නේ 1975 තිරගත වූ ලෙනින් මොරායස් අධ්‍යක්ෂණය කළ ආවා සොයා ආදරේ චිත්‍රපටයේය.

මෙහි විශේෂත්වය හතර දෙනාම සූරයෝ චිත්‍රපටයේ ප්‍රධාන චරිත රඟපෑ ගාමිණී, මාලිනි, විජය වෙනුවෙන් එච්. ආර්. ජෝතිපාල හා ඇන්ජලින් ගුණතිලක ද, එදත් සූරයා අදත් සූරයා හා ආවා සොයා ආදරේ චිත්‍රපටවල ප්‍රධාන චරිත රඟපෑ ගාමිණී, මාලිනී වෙනුවෙන් ජෝතිපාල, ඇන්ජලින් හා ලතා වල්පොල වැනි ගායක ගායිකාවන් ගීත ගායනා කිරීමය.

නීල් රූපසිංහ හා ලෙනින් මොරායස් හැරුණු විට එම්. එස්. හා ඇන්ජලින් යුග ගීතය තම චිත්‍රපට සඳහා යොදා ගෙන උපරිම ප්‍රතිඵල අත්කර ගත් තවත් අධ්‍යක්ෂවරයෙකි. හැත්තෑව දශකයේ ගීතා, සුජීවා, සුනේත්‍රා, ඔබයි මමයි, සූකිරි කෙල්ල, මිනිසුන් අතර මිනිහෙක් වැනි අති ජනප්‍රියත්වයට පත් චිත්‍රපට රැසක් අධ්‍යක්ෂණය කළ ජෝ දෙව් ආනන්ද් 1970 තිරයට ආ ඔහුගේ ගීතා චිත්‍රපටයේ මෙන්ම 1972 වසරේ තිරයට පැමිණි ඔහුගේ සුජීවා චිත්‍රපටයේද මෙම දෙදෙනා ගැයූ ඉතාමත් ජනප්‍රිය යුග ගීත දෙකක් ඇතුළත්ව තිබිණි. මෙම ගීත දෙක සඳහාම තනු නිර්මාණය කර තිබුණේ 'චන්දන ඇල්ලෙන් නාලා', 'හිටින්න පොඩ්ඩක් හිටින්න' වැනි මධුර ගීත සඳහා තනු නිර්මාණය කර සිටි ගලගෙදර එම්. හක්ය. මෙම ගීත වන්නේ ගීතා චිත්‍රපටයේ එන 'මිනිස්කර්ට් ඕනෙද හාමිනේ' යන ගීතය මෙන්ම සුජීවා චිත්‍රපටයේ එන 'ආදරණීය බබෝ' නමැති ගීත දෙකය. එම්. එස්. - ඇන්ජලින් යුවල මෙම ගීත දෙක තුළින් එදා සිනමා ප්‍රේක්ෂකයින් වෙත ගෙන ආවේ මහත් ආශ්වාදයකි. මෙහි විශේෂත්වය වන්නේ 'ආදරණීය බබෝ' ගීතය ඇතුළත් සුජීවා චිත්‍රපටය තිරගත වන වකවානුවේදීම ඔවුන් දෙදෙනාගේ 'හා හා හැඩයි රූපේ' ගීතය ඇතුළත් එදත් සූරයා අදත් සූරයා චිත්‍රපටය ද තිරගතවීමය. එමෙන්ම මෙම ගීත දෙකම එකම වකවානුවක එක සමාන මට්ටමේ රසික ප්‍රතිචාර අත් කරගැනීම ද කැපී පෙනෙයි. සුජීවා චිත්‍රපටයේ 'ආදරණීය බබෝ' ගීතය වෙනුවෙන් ස්ටැන්ලි පෙරේරා හා නීටා ප්‍රනාන්දු ඉදිරිපත් කරන රංගනය ද කිසිදා මතකයෙන් ඈත් නොවේ.

මෙරට වේදිකා නාට්‍ය ඉතිහාසය තුළ ඉමහත් ජනප්‍රියත්වයක් ඇති කර ගත් නාට්‍යයකි අසූව දශකයේ කරළියට පැමිණි සාජන්ට් නල්ලතම්බි. මෙහි ජනප්‍රියත්වය නිසාම පසු කලෙක එනම් අනූව දශකයේ මෙය සිනමාවට ද නැඟිණි. නාට්‍යයේ මෙන්ම චිත්‍රපටයේ ද සාජන්ට් නල්ලතම්බිගේ චරිතය නිරූපණය කළේ නිහාල් සිල්වාය. මේ එම්. එස්. - ඇන්ජලින් යුග ගීතයක් සඳහා එක් වූ තවත් චිත්‍රපටයකි. ගීතය අන් කිසිවක් නොව ඉතාමත් ජනප්‍රියත්වයට පත් 'දවාලේ පායන චන්ද්‍රයා' නමැති ගීයයි. මෙහි රචනය ශාන්ත දේශබන්දුගේ වූ අතර තනුව රන්ජිත් නවරත්නගේය. දර්ශනය සඳහා පෙනී සිටියේ වීණා ජයකොඩි සමඟ නිහාල් සිල්වාය. සාජන්ට් නල්ලතම්බි චිත්‍රපටය සටන, දිනුම වැනි ජනප්‍රිය චිත්‍රපට රැසක් අධ්‍යක්ෂණය කළ ආනන්ද වික්‍රමසිංහගේ අධ්‍යක්ෂණයකි.

මේ අනුව එම්. එස්. ප්‍රනාන්දු හා ඇන්ජලින් ගුණතිලක සුසංයෝගය යොදා ගනිමින් තම චිත්‍රපටවලට සිනා රසය එක් කිරීමට ඉහත අධ්‍යක්ෂකවරුන් දැරූ ප්‍රයත්නය වෙනුවෙන් මේ සඳහා දායක වූ නළු නිළියන්, සංගීත අධ්‍යක්ෂකවරුන් මෙන්ම ගීත රචකයින් ද දැක් වූ දායකත්වය මෙහි සාර්ථකත්වයට බෙහෙවින් උපකාරී වූ බැව් පැවසිය යුතුය.

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
3 + 6 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.