රස ආදරී... රූ සොබා මතක...

මාර්තු 25, 2021

"නාග ගුරුළා" නාට්‍යයේ මහාචාර්ය කාලෝ ලෙස නිශ්ශංක දිද්දෙණියත් සේවකයන් සූරා කෑමක හසු කරන, බහුජාතික සමාගමක රූකඩයක් වූ වයින් ෆැක්ටරියේ හිමිකරු ලෙස ආචාර්ය ජයලත් මනෝරත්නත් මෙහි ප්‍රධාන චරිත රඟපෑහ. චිලී දේශයේ වයින් ෆැක්ටරියක සිදුවීම් පෙළක් මේ නාට්‍යය උදෙසා ප්‍රස්තුත විය."නාග ගුරුළා" නාමකරණයෙන් මා හට සිහිපත් වූයේ සම්භාව්‍ය සාහිත්‍යයෙහි (නිදර්ශන - තිසර සන්දේශය) දක්නා ලැබෙන කාශ්‍යපගේ භාර්යාවන් වූ විනතා සහ කුද්‍රැට ලැබුණ ගුරුළන් සහ නාගයන් අතර බද්ධ වෛරයයි. වයින් බැරලයකට අහඹු ලෙස අශ්වයකු වැටීමෙන් එහි රසය වෙනස් වීම පිළිබඳ අතීත සංසිද්ධියද මේ සමඟම අප සිහියට නැඟේ. අශ්වයාගේ සිදු වීම පරිදිම මේ වයින් ෆැක්ටරියේ වයින් රස කිරීම සඳහා ඉන්කා ගෝත්‍රිකයන්ගේ දරුවන් අතුරුදන් වන්නට පටන් ගැනීමෙන් සමාජය කැලඹීමට පත් වේ. ඉන්කා ගෝත්‍රිකයන්ගේ නායකයා ලෙස අජිත් ජිනදාසත් ඔහුගේ බිරිඳ ලෙස ප්‍රදීපා ධර්මදාසත් පූජකවරයා ලෙස රඟපෑ ලාල් කුලරත්නත් මේ නාට්‍යයේ කැපී පෙනුණු සෙසු නළු නිළියෝය. වයින් ෆැක්ටරියේ හිමිකරුවා සේවකයන් සූක්ෂ්ම අයුරෙන් සුරා කෑමට ලක් කරන ආකාරය මේ නාට්‍යයෙහි ගැඹුරින් විවරණය කෙරේ. තමා විසින්ම ඝාතනයට ලක් කරන ලද මිනිසුන්ගේ දේහයට කිසිවක් නොදන්නා අයකු පරිද්දෙන් ශෝකී මුහුණෙන් ඔහු අවසන් ගෞරව දැක්වීමට යන ජවනිකාව උත්ප්‍රාසයෙන් යුතුව ප්‍රේක්ෂකයෝ ග්‍රහණය කොට ගත්හ. මහාචාර්ය කාලෝගේ බිරිය මාරියා ය. තම දරුවන්ද අතූරුදන් වූ පසුව වරක් දිවි ගලවා ගනු පිණිස මහාචාර්යවරයාත් (නිශ්ශංක දිද්දෙණිය) මාරියාත් (රසාදරී පීරිස්) පැන යති. එක් ජවනිකාවක මහාචාර්යවරයා තම කබාය ඇතුළතද සැඟවී සිටියි. ළමයි අතුරුදන් වන්නේ ඇයි ? කියා විමසූ විට මහාචාර්ය කාලෝ සත්‍යය ප්‍රකාශ කිරීමට උත්සුක වෙයි. එහෙත් මාරියා "ඔහු බොරු පවසන බව " කියමින් දිවි ගලවා ගැනීමට තැත් කරන්නීය. පසුව ඇය තම සැමියා වූ මහාචාර්ය කාලෝ පාවාදෙමින් තම ජීවිතය බේරා ගන්නා අයුරු පෙනේ. අවසන සත්‍ය ප්‍රකාශ කරන මහාචාර්ය කාලෝ එල්ලා මරා දැමීමට ලක්වන අයුරු දක්නට ලැබේ. චිලී දේශය පසුබිම් කොට ගත් කතාවක් ඇසුරෙන් ප්‍රවීණ නාට්‍යවේදී කේ.බී.හේරත් "නාග ගුරුළා" නාට්‍යය (1990) ඔස්සේ මෙරට කලක් පැවති දේශපාලන සිදුවීම් අරභයා ව්‍යංග්‍යාර්ථයෙන් අදීන විග්‍රයක යෙදෙනු මෙහිදී දැක්ක හැකිය. නාට්‍යය ආරම්භ වනුයේ නාට්‍ය ශාලාවක නළු නිළියන් සළුපිලි ඇඳ නාට්‍යයක් රඟ දැක්වීමට සූදානම් වන ආකාරයෙනි. 

රසාදරී කැලණිය විශ්වවිද්‍යාලයේ උපාධිය හදාරන සිසුවියක ලෙස සිටියදී මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ "එලොව ගිහින් මෙලොව ආවා"(1993) නාට්‍යයේ ගම මහගේගේ ප්‍රධාන චරිතය රඟපෑමට අවස්ථාව ලැබීමට බෙහෙවින් හේතු වූයේ නර්තනයට ඇය සතු වූ දක්ෂතාවයි. මේ වූ කලී පහත රට නර්තනයෙන් සුසැදි ගැමි නාටකයකි. මෙහි ගමරාල ලෙස මහාචාර්ය ආරියරත්න කළුආරච්චිත් මෝඩ ගමමහගේ රවටා වස්තු කොල්ලකන හිඟන්නා ලෙස සෝමසිරි අලකොලංගත් රංගනයෙන් දායක වූහ. "එලොව ගිහින් මෙලොව ආවා" මුල් නාට්‍යයේ ගමමහගේගේ චරිතය නිරූපණය කළේ ප්‍රවීණ නාට්‍යවේදිනී සෝමලතා සුබසිංහය.

ලලිතා සරච්චන්ද්‍රගේ "කපුවා කපෝති" හාස්‍යෝත්පාදක නාට්‍යයේ විවාහ අපේක්ෂාවෙන් සිටින සේපාලිකා සමරසේකරගේ ප්‍රධාන භුමිකාව රසාදරීගේ රංගන ජීවිතය වෙනස් මඟකට යොමු කළ බව සැබවි. මේ වූ කලී සුප්‍රකට රුසියානු සාහිත්‍යවේදී නිකොලායි ගොගොල්ගේ "Marriage" (1842) නාට්‍යයේ පරිවර්තනයකි. මෙහි අවසානයේ සේපාලිකා විවාහ කර ගැනීමට අකැමැතිව ජනේලයෙන් පැන යන මනමාලයා ලෙස සුමින්ද සිරිසේනත් විවාහ යෝජනාව ඔහුට ගෙන එන මිතුරු කපුවා ලෙස ලලිත් රාජපක්ෂත් රසාදරී සමඟ රඟපෑහ. අවසානයේ මනමාලිය විවාහ කොට ගැනීමට සිදු වනුයේ කපුවාද වූ මිතුරාටමය. මහාචාර්ය ආරියරත්න කළුආරච්චි, ගුණරත්න රංහොටි, සරත් කුලාංග, කුමාර තිරිමාදුර මෙන්ම නැන්දණිය ලෙස මාලි ජයවීරගේද මේ නාට්‍යයේ කැපී පෙනෙන චරිත රැඟූහ. විවාහ අපේක්ෂාවෙන් සිටින යුවතියකගේ අධ්‍යාත්මය හෙළිවන මීට මඳක් සාම්‍යය චරිතයක් රසාදරී රඟපෑවේ ප්‍රවීණ නාට්‍යවේදී , නීතිඥ ඩග්ලස් සිරිවර්ධනගේ "බොරුකකුල්" නාට්‍යයෙහිය. මේ වූ කලී ඇන්ටන් චෙකොෆ්ගේ "A marriage proposal" නාට්‍යයෙහි අනුප්‍රාණයෙන් ඩග්ලස් සිරිවර්ධන විසින් විරචිත ස්වතන්ත්‍ර තිර පිටපතක් ඇසුරෙන් බිහි වූ නාට්‍යයකි. ඉන්පෙර ඔහුගේ "හිට්ලර්"(1986) නාට්‍යය නැරඹූ එක් ප්‍රේක්ෂකයකු පැවසූ කියුමක් මේ සඳහා ඔහුට බලපෑවේය. එය මෙසේය.

"රටේ භීෂණ කාලයක් තියෙන කොට අපි නාට්‍යයක් බලන්න එන්නේ මනස සැහැල්ලු කර ගන්න මිසක් ඒ භීෂණයම නාට්‍යය ඇතුළෙත් දකින්න නෙවෙයි"

මේ ප්‍රතිචාරය නිසා ඊළඟ නිර්මාණයට ප්‍රේක්ෂක මනස සැහැල්ලු කරන හාස්‍යෝත්පාදක තේමාවක් පදනම් කර ගැනීමට ඩග්ලස් සිතුවේය. මේ අතර ශ්‍රී ලංකා නීතිඥ සංගමය වෙනුවෙන් 1990 සිට

ඔහු "නීති රංග" නමින් මේ රටේ නීතිය ක්‍රියාත්මක කරන නිලධාරීන්ට පමණක් සීමා වූ නාට්‍ය මාලාවක් නිර්මාණය කළේය.එහි අරමුණ වූයේ නීතිඥවරුන් සහ පොලිස් නිලධාරීන්ගේ මනස සැහැල්ලු කිරීමය. "Son in law" ඩග්ලස් නිර්මාණය කළ මෙකී "නීති රංග" නාට්‍ය මාලාවට අයත් එක් නාට්‍යයකි.එහි රංගනයෙන් දායක වූවෝද නීතිවේදීහුය.ප්‍රසාද් සූරියආරච්චි, අශෝක සේරසිංහ, ශ්‍යාමා ආටිගල, සුවිනීතා ගුණරත්න යනාදීහු ඊට රංගනයෙන් දායක වූහ. පසුව ඩග්ලස් "බොරුකකුල්" හාස්‍යෝත්පාදක නාට්‍යය නිර්මාණය කළේ අර කී "Son in law" නාට්‍යය විස්තාරණය කිරීමෙනි.මෙහි සම්පත් තෙන්නකෝන්, ගාමිණි හෙට්ටිආරච්චි, ලාල් කුලරත්න, රසාදරී පීරිස්, රිචඩ් මානමුදලි, රොශානි මාරියන් යනාදීහු ප්‍රධාන චරිත රඟපෑහ. ඩග්ලස් සිරිවර්ධනගේ "හිට්ලර්" නාට්‍යය වේදිකා ගත වූ සමයේ එය නොදුටු ආකාරයෙන් මුනිවත රැක සිටි ඇතැම් විචාරකයෝ "බොරුකකුල්" නාට්‍යය විවේචනය කරනු පිණිස පිටු ගණන් ලියමින් "හිට්ලර්" නාට්‍යය ඉහළින් ඔසවා තැබූහ. "හිට්ලර් වැනි ප්‍රශස්ත නාට්‍යයක් නිර්මාණය කළ ඩග්ලස් "බොරුකකුල්" වැනි නාට්‍යයක් හැදුවේ ඇයි" යැයි ඔවුහු විමසූහ. මේ අනුව "හිට්ලර්" ට නිසි ඇගැයීම ඔවුන්ගෙන් ලැබුණේ "බොරුකකුල්" නිසාය.

රොහාන් සමරදිවාකරගේ "ආචාරශීලී දඩයමක්"(1999) නාට්‍යයේ වෛශ්‍යාව රසාදරී මෙතෙක් වේදිකාවේ නිරූපිත භූමිකා අතර හාත්පසින්ම වෙනස් චරිතයකි. මානව අයිතිවාසිකම් අහිමි කරමින් හොරෙක් මිනිසුන් රවටා බලය ලබා ගැනීම මේ නාට්‍යයේ තේමාව විය.ජයලාල් රෝහණ, නලින් ප්‍රදීප් උඩවෙල, ප්‍රසාද් සූරියආරච්චි, රසාදරී පීරිස් ,මාලි ජයවීරගේ, අජිත් ලොකුගේ, චන්න කුලරත්න මෙහි රංගනයෙන් දායක වූ අතර සංගීතය නවරත්න ගමගේගෙනි. මුළුමනින්ම සංගීතමය ශෛලියෙන් නැටුම්, ගැයුම් සහිතව දේශපාලන බලය පිළිබඳ විවරණයක් ගැබ් වූ, ප්‍රසාද් සූරියආරච්චි රචනා කොට අධ්‍යක්ෂණය කළ "වළලු සැනකෙළි" (1989) නාට්‍යයද රසාදරීගේ රංගන දිවියේ කඩයිමකි. ප්‍රසාද් සූරියආරච්චි, රසාදරී පීරිස්, ජයලාල් රෝහණ , මාලි ජයවීරගේ, සකුන්තලා පිරිස් මෙහි ප්‍රමුඛ චරිත රඟපෑහ. රේණුක වෙලබොඩ මේ සංගීතමය නාට්‍යය සංගීතවත් කළේය.

ශ්‍රී හර්ෂ දේවගේ "රත්නාවලී" සංස්කෘත නාට්‍යය ඇසුරෙන් (අනුවාදය - පියදාස නිශ්ශංක, සංස්කරණය මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර ) ලලිතා සරච්චන්ද්‍ර අධ්‍යක්ෂණය කළ "රත්නාවලී" (2000) නාට්‍යයේ ප්‍රේමයෙන් පරාජිත වන වාසවදත්තා බිසවගේ භූමිකාව රසාදරීගේ රංගන දිවියෙහි තවත් කඩයිමකි. මේ නාට්‍යයේ උදයන රජුගේ (විජය නන්දසිරි රඟන) බිසව වූ වාසවදත්තා පරාජිත පෙම්වතියක වූයේ රජු රත්නාවලී (යශෝධරා සරච්චන්ද්‍ර රඟන) කුමරිය හට පෙම් බැඳීම හේතුවෙනි."රත්නාවලී" නාට්‍යය රසාදරීගේ වේදිකා නාට්‍ය දිවියේ දැනට දක්නා ලැබෙන අවසන් සන්ධිස්ථානය වේ. ඊට හේතුව ඇය විවාහයෙන් ඉක්බිතිව වේදිකා නාට්‍ය රංගනයෙන් සමුගැනීමය. ඒ සමුගැනීමෙන් දැන් වසර 20 ක් ඉක්මවා ගොස් ඇත.රසාදරී වේදිකා නාට්‍ය කලාවෙන් සමුගත්තේ ඇගේ රංගන දිවියේ හොඳම කාලයේ දී යැයි මම සිතමි.

ඉතිරි කොටස ලබන සතියේ...