වේදිකාවේ ප්‍රථම රැඟුමට සම්මානයක්

මාර්තු 18, 2021

ලාංකේය වේදිකා නාට්‍ය ක්ෂේත්‍රයේ කාලයක් බැබළුණු ඇතැම් නිළියෝ විවාහයෙන් පසුව ස්වකීය කුටුම්භයේ වගකීම සහ කාර්යභාරයට වැඩි තැනක් ලබා දෙමින් වේදිකාවෙන් සමුගත්හ. රසාදරී පීරිස් එලෙස වේදිකාව කලක් ආලෝකවත් කොට විවාහයෙන් පසුව ඉන් බැහැර වූ ප්‍රතිභාපූර්ණ රංගන ශිල්පිනියකි. ඇය මෙකල රංගනයට පිවිසෙන බොහෝ යොවුන් නිළියන් මෙන් හුදෙක් කෙටිකාලීන ජනප්‍රසාදය පතා හෝ රඟපෑමේ නොතිත් ආශාවෙන් පමණක් ක්ෂේත්‍රයට පිවිසි නිළියක නොවුණි. රඟපෑම ගැඹුරින් හැදෑරිය යුතු, සතතාභ්‍යාසයෙන් ප්‍රගුණ කළ යුතු ගැඹුරු කලාවකැයි රසාදරී විශ්වාස කළාය. කෙටි කලකදී ඇය රැඟු භුමිකා මේ බව කියාපාන සංකේත වැන්න. 

ඉතා ළාබාල වියේ දී අතුල රන්සිරිලාල් මහතාගේ යොමු කිරීමෙන් ටයිටස් තොටවත්තයන්ගේ රූපවාහිනී හඬ කැවීම් වැඩසටහන්වලට හඬ කැවීම් ශිල්පිනියක ලෙස දායක වීමේ අවස්ථාව ඇයට හිමි වීම කලා සරසවියක සෙවණ ලැබීමට සාම්‍යය නොවේද ? නුගේගොඩ අනුලා විද්‍යාලයේ සාමාන්‍ය පෙළ පන්තියේ ඉගෙනුම ලබන සමයේ වේදිකා නාට්‍ය කලාව අරභයා පැවැත්වූ වැඩමුළුවකට දායකවීමට රසාදරීට අවස්ථාව ලැබිණ. ලාල් ප්‍රේමරත්න ජයලාල් රෝහණ, ප්‍රසාද් සූරියආරච්චි වැනි සමකාලීන නාට්‍ය ශිල්පීන් මේ වැඩමුළුව හරහා ඇය හඳුනා ගත්තාය. පසුගිය සමයේ අපෙන් වියෝ වූ ප්‍රතිභාපූර්ණ රූපණවේදියකු, නාට්‍ය හා රංග කලාව පිළිබඳ කෘතහස්ත කථිකාචාර්යවරයකු වූ ආචාර්ය ජයලාල් රෝහණගේ කුලුඳුල් නාට්‍ය නිර්මාණය "ලෝකා" (1987) හී ප්‍රධාන නිළි භූමිකාව රසාදරී හට ලැබිණ. මෙහි ඇය රඟපානුයේ නාට්‍ය නිළියක ලෙසිනි. රසාදරී වේදිකා නාට්‍ය කලාවට මෙලෙස ප්‍රවිෂ්ට වූයේ එහි ප්‍රධාන නිළි භූමිකාව නිරූපණය කරමින්ය. මේ වූ කලී ගීත, නර්තනාදියෙන් සමලංකෘත කාව්‍යාත්මක හෙවත් ශෛලිගත ධාරාවේ නාට්‍යයකි. නාට්‍යයක් ඇතුළත දිස්වන නාට්‍යයක් මෙහි දක්නා ලැබේ. එනම් නාට්‍යයක් රඟදක්වන නළු නිළි කණ්ඩායමක අහුමුළු, නේපත්‍යාගාරයේ සිදුවන සිදුවීම්, පෙම් සබඳතා ආදිය මීට වස්තු විෂය විය. නිළියකගේ අධ්‍යාත්මය, වෘත්තිමය ගැටලු, ගැටුම් ආදිය රසාදරි නිරූපණය කළ චරිතයෙන් විවරණය කෙරිණ. චිත්‍රපටයක් රූපගත කිරීමට පැමිණෙන කණ්ඩායමකට මුහුණ පාන්නට සිදු වන සිදුවීම් ඇතුළත් එනම් චිත්‍රපටයක් ඇතුළත චිත්‍රපටයක් දිස් වූ ලාංකේය චිත්‍රපට යුගලක් මට සිහිපත් වේ.එකක් අතරමඟ ඇන හිටීම නිසා ආචාර්ය තිස්ස අබේසේකරයන්ට ගොඩදාන්නට සිදුවූ "ලෝක හොරු" (1976) චිත්‍රපටය වේ. අනෙක එම්.ඒ. සංඝදාසගේ "කාංචනා"(1980) ය. "ලෝකා" නාට්‍යය රසාදරී හට රංග පාසලක් විය. ජයලාල් රෝහණ, රසාදරී පීරිස්, රොජර් සෙනෙවිරත්න, රොහාන් සමරදිවාකර,අනුර රත්නායක, නිල්මිණි බුවනෙක, මල්ලිකා චාන්දනී යනාදීහු මේ නාට්‍යයට රංගනයෙන් දායක වූහ. එවක තාරුණ්‍යයේ සිටි "ලෝකා" නාට්‍යය කණ්ඩායමේ සියල්ලෝම ශාස්ත්‍ර පිපාසිතයෝය. රසාදරී "ලෝකා" නාට්‍යය උදෙසා 1987 යෞවන නාට්‍ය උලෙළේ හොඳම සහය නිළිය ලෙස සම්මානයට පාත්‍ර වූවාය. ස්වකීය කුලුඳුල් නාට්‍ය රංගනයෙන්ම සම්මානනීය වීමෙන් බොහෝ ප්‍රවීණ නාට්‍යවේදීන්ගේ අවධානය ඇය වෙත යොමු විය.සෝවියට් මිත්‍ර සංගමයෙන් 1988 දී නොමිලේ පැවැත්වෙන දින දහයක නාට්‍ය වැඩමුළුවක් සඳහා රසාදරී හට ඇරැයුම් ලැබෙනුයේ මෙහි ඵලයක් වශයෙනි.පරාක්‍රම නිරිඇල්ල, එච්.ඒ.පෙරේරා, වසන්ත විට්ටච්චි, ඩග්ලස් සිරිවර්ධන යනාදී ප්‍රවීණ නාට්‍ය ශිල්පීන් සේවනයට මේ වැඩමුළුව ඔස්සේ ඇයට අවකාශ ලැබිණ. 

පරාක්‍රම නිරිඇල්ලගේ "උත්තමාවි" (1989) නට්‍යය රසාදරීගේ රංගන ජීවිතයේ හැරවුම් ලක්ෂ්‍යයක් බවට පත් විය. එච්. ඒ. පෙරේරා සහ සුනේත්‍රා සරච්චන්ද්‍ර මෙහි ප්‍රධාන චරිත රැඟු අතර සෙසු සියලු නළු නිළියෝ වරින් වර වේදිකාවට පිවිසෙති.පෙර කී නාට්‍ය වැඩමුළුවට එක් වූ නළු, නිළියන් රාශියකට මෙහි විවිධ චරිත රඟපෑමේ අවස්ථාව ලැබිණ."උත්තමාවි" හී රසාදරී චරිත ත්‍රිත්වයක් රඟපෑවාය. මෙහි එච්.ඒ.පෙරේරාගේ දියණිය ලෙසත් ආකර්ෂණීය ගැමි කාන්තාවක ලෙසත් නාට්‍යයේ අවසන් ජවනිකාවේ අන්තර්ජාතික මාධ්‍ය ආයතනයක නිවේදිකාවක ලෙසත් එකිනෙකට වෙනස් චරිත ත්‍රිත්වයක් රඟපෑමට ඇයට අවස්ථාව ලැබීම අත්දැකීම් සම්භාරයක් අත්පත් කොට දුන් රංග අභ්‍යාසයක් මැ විය. ආචාර්ය ප්‍රේමසිරි කේමදාසයන්ගේ සංගීතයෙන් "උත්තමාවි" නාට්‍යයට ලැබුණු ආලෝකය සුළුපටු නැත.

කෘතහස්ත නාට්‍යවේදී කේ. බී. හේරත් නිර්මාණය කළ "නාග ගුරුළා"(1990) රසාදරීගේ වේදිකා නාට්‍ය ජීවිතයේ ප්‍රබල සන්ධිස්ථානය බවට පත් වූ නාට්‍යය යැයි මම සිතමි. ඒ සඳහා මුලින් තෝරා ගෙන සිටි නිළියට නොවැළැක්විය හැකි හේතුවක් මත සහභාගි වීමට නොහැකි වූයෙන් සතියක වැනි සුළු කාලයක් ඇතුළත මේ සඳහා පුහුණු වී නාට්‍යයට එක් වීමට ඇයට සිදු විය. මේ වූ කලී රංගන ජීවිතයේ ඇයට ලැබුණු අභියෝගයක් ජය ගැනීමකි. මෙහිදී මාරියා නමැති ප්‍රධාන භූමිකාව ඇයට රඟපෑමට සිදු වුයේ නාට්‍ය හා රංග කලාව පිළිබඳ විශ්වවිද්‍යාල දෙකක් බඳු එනම් ලාංකේය වේදිකාවේ විශිෂ්ට රූපණවේදීන් වූ නිශ්ශංක දිද්දෙණිය හා ආචාර්ය ජයලත් මනෝරත්න සමඟිනි.

ඉතිරි කොටස ලබන සතියේ...