සුඛෝත්පාදකයේ උපත

මාර්තු 18, 2021
ගැහැනු වැඩ අරඹති

සුඛෝත්පාදක නාට්‍ය වර්ධනය වන්නේ ශෝකෝත්පාදක නාටකයට පසුවය. ක්‍රි. පූ. 487 දී සුඛෝත්පාදකය ග්‍රීක නාට්‍ය උත්සවය නැතහොත් දියෝනිසස් පූජා උත්සවයේ නිත්‍ය අංගයක් බට පත් වුවද එයට ශෝකෝත්පාදකයට වටිනාකමක් ලැබුණේ ක්‍රි. පූ 442 දිය. ශෝකෝත්පාදකයටද, සුඛෝත්පාදකයට ද රාජ්‍ය අනුග්‍රහයද, ප්‍රයුංජනය සඳහා මූල්‍යාධාර ද ලැබුණු අතර ආරම්භයේ සිට අවසානය දක්වාම රාජ්‍ය යේ දේශපාලන බලාධිකාරයේ නිරීක්ෂණයට ලක්විය. ග්‍රීක සුඛාන්තයෙහි යුග දෙකක් දක්නට ලැබේ.

1. පැරණි සුඛාන්තය 
2. නව සුඛාන්තය

ශෝකෝත්පාදකයේ ආරම්භය ද දියෝනීසස් උත්සවයේ ප්‍රතිඵලයක් වූ අතර එහි දී ගායනා කළ වෘන්ද ගායනාවෝ පැලික් හයිමුස් (Phallic Hymus) නම් ගායනාවෝ ඊට මූල බීජය සැපයී ය. කෙසේ නමුත් ශෝකෝත්පාදකය මෙන් සුඛෝත්පාදකයේ ආරම්භක මූලාශ්‍ර සාධක දුලභය. අරිස්ටෝටල්ගේ කාව්‍ය ශාස්ත්‍රයේ පවා සුඛෝත්පාදකය පිළිබඳ විස්තර හා අවධානය අල්ප වේ. 

ඩයනීසියස් පෙරහැරේ පැලික් ගායනා හා ඒ පිළිබඳ සංකේත (ලිංග සංකේත) හෙවත් Phallus Objects අතින් ගෙන ගායනා කරමින් යෑම දක්නට ලැබිණි. මෙම ගායනාවෝ කොමොයි (Comoi) නමින් හැඳීන්විය. කොමොයි නම් දෙවියා පිළිබඳ වූ මෙම ගායනා සතුට හා ප්‍රාසංගික බව පිළිබඳ ගීත විය. ඛ්ධථඥඤර යන වදන එහි නූතන අර්ථය විය. සතුට සහ ප්‍රීතිය උත්කර්ෂයට නැංවීම එහි අර්ථය විය. මිනිසුන් තුළ පවත්නා ලිංගික හැඟීම් උද්දීපනය කරන ශෘංගාරාත්මක ඇසැබි වදන් ගායනාවන් ගේ අන්තර්ගතය විය. දියෝනීසස් දෙවියාගේ නැවත උත්පත්තිය හා එහි ප්‍රීතිමත් බව මෙනෙහි කිරීම එහි අරමුණ විය. ශෝකෝත්පාදකය ඩයනීසියස් දෙවියාගේ මරණය පිළිබඳව ද, සුඛෝත්පාදකය දෙවියාගේ උත්පත්තිය හා නැවත ඉපදීම ද සංකේතවත් කෙරේ. ඩයනිසියස් දෙවියන් නාට්‍යයට මෙන්ම සශ්‍රීකත්වයට ද, ලිංගිකත්වයට ද මත් පැන් (මිදි යුෂ) පානයට ද අධිපති වේ. මේ සතරෙහි ම ගැඹුරු අරුත් එකතු වී “පරමාදර්ශී පුරවැසියා“ නිර්මාණය වේ. ‍සශ්‍රීකත්වයෙන් යහපත් ආර්ථිකයද, ලිංගිකත්වයෙන් මනුෂ්‍යයාගේ බෝවීමද, මධුපානෝත්සවය මනුෂ්‍යයා තුළ ඇති නරක ගති පලවා හැර ඔහු තුළ ජීවත් වන යහපත් මිනිසා නැතහොත් දෙවියන් ඉස්මතු කිරීම ද, නාට්‍යයෙන් ප්‍රඥාවද අපේක්ෂිත වේ. සශ්‍රීකත්වය ද, මධුපානය ද, ලිංගිකත්වය ද මනුෂ්‍යයාගේ බාහිර ලෝකය නැතහොත් භෞතික ජීවිතය යහපත් කෙරේ. ඩයෝනීසස් උත්සවේ සියලු අංගයෝ මනුෂ්‍යයාගේ බාහිර ලෝකය ද, ආධ්‍යාත්මික ලෝකය ද සංකේතවත් කෙරේ. මේ සියල්ලෙන් කෙරෙන්නේ භාව විශෝධනය හෙවත් කතාර්ශිෂ්කරණයයි.

ග්‍රීසියේ ප්‍රධාන අස්වැන්න වූයේ මිදි ඵලදාවයි. හොඳ අස්වැන්නක් ලබා ගැනීම සඳහා ශුෂ්ක බිම් වල කාලය ගත කළ යුතුවිය. දින මාස ගණන් තෙත්බිම්වල සශ්‍රීකත්වය උදෙසා කැපවන මනුෂ්‍යයා තුළ හීන වී යටපත් වූ ලිංගිකත්වයත්වය පිළිබඳ ආශාව නැවතත් මතු කිරීම ඩයනිසස් උත්සවයේ දී සිදුවිය. Comoi  දෙවියන් සදහා කළ ගායනා සහ Phullus Objects ලිංග සංකේත ගෙන යෑමේ අරමුණු විය. මෙම Comoi දෙවියන් සඳහා කළ ගායනා (God Comoi) Comedy හෙවත් සුඛෝත්පාදකය ඇති වීමට හේතුවිය. පුද්ගල ජීවිතය හා එහි ගැටලු දෙස සැහැල්ලු විවේචනාත්මක බවකින් බැලීම සුඛෝත්පාදක යේ මුල් ලක්ෂණයක් වුවත් ක්‍රමයෙන් පුද්ගලයා හා ඔහු මුහුණ දෙන සිද්ධි දෙස සරදම් ලෙසින් සමච්චල් ලෙසින් බැලීම සුඛෝත්පාදකයේ අරමුණ විය. දූෂිත බව (දූෂණය), දුශ්චරිත හා තෘෂ්ණාධිකත්වය දෙස විචාරාත්මකව බැලීම එහි කැපී පෙනිනි. සම්ප්‍රදාය සහ පාරම්පරික ඇගයුම් පිළිබඳ වටිනාකම්ක් ආරෝපණය කිරීම සුඛෝත්පාදකයේ අරමුණක් ලෙස දිස්විය. මුල්කාලීන සුඛෝත්පාදකයේ කෝරසය භාවිත වූයේ රචකයාගේ අවවාද අනුශාසනා ප්‍රේක්ෂාගාරයට දැනවීම සඳහා ය. එය රාජ්‍ය ව්‍යුහය, ජනප්‍රිය හා බලවත් පෞර්ෂයන් (පුද්ගලයන්) හෙවත් කවියන්, නාට්‍යකරුවන්, නීති උත්පාදකයින්, රාජ්‍යයේ ආයතන වය්‍යුහයන් බලවත් විචාරයට ලක් කළේය. කලා විචාරය යන්න මුලින්ම නාට්‍ය විෂයෙහි හමුවන්නේ සුඛෝත්පාදකය මුල්කරගෙනය. එකල ග්‍රීසියේ වුන් සොක්‍රටීස්, ඊස්කිලස් සහ යුරිපිඩීස් ආදීන් එහි නාට්‍ය කරුවා වූ ඇරිස්ටොෆනීස්ගේ හතළිහකට වඩා වැඩි වූ නාට්‍යවලදී බරපතළ විචාරාක්ෂියට හසුවිය. සුඛෝත්පාදක නාට්‍යකරුවාගේ මෙම දරුණු විචාරාක්ෂිය මැදහත් සිතින් පිළිගැනීමට ප්‍රේක්ෂාගාරය හික්මීමක් සහිත විය. Comedy යන අර්ථය බිඳී එන්නේ Com-oidia හෙවත් Comos song යන්නෙනි. එහි අදහසම විචාරය හා සදය උපහාසය සහිත ග්‍රීක යන්නයි. සුඛෝත්පාදක නාට්‍යයේ එන Comic Chorus ශෝකෝත්පාදකයේ කෝරසයට වඩා විශාල වේ. ඔවුන් ගණනින් විසි හතරක් විය. එය 4 ය 6 හෝ 6 ය 4 අනුපාතයට විය. ඔවුන්ගෙන් ප්‍රකාශ්‍රිත වූයේ සතුන්, වලාකුළු නගර ආදියයි. ශෝකෝත්පාදකයේ කෝරසය සැමවිටම නියෝජනය කළේ මනුෂ්‍යයන් ය. ඉනුත් වැඩිහිටි පුරවැසියන් ය. එහෙත් සුඛෝත්පාදකයේ විවිධ නියෝජනයන් ට මිනිසුන් සතුන් මෙන්ම සංකල්පීය වස්තු නියෝජනය කළේය. මේ නිසාම විවිධාකාර නර්තන ආකෘතීන් කෝරසය ඉදිරිපත් කිරීමට භාවිත කළේය. ශෝකෝත්පාදකයේ කෝරසය සැමවිටම අභිචාරාත්මක, ආගමික සදාචාරයෙන් යුක්ත වුවද, සුඛෝත්පාදකයේ කෝරසය ලෞකික විවිධත්වයෙන් යුක්ත විය. ජයග්‍රහනය පිළිබඳ නර්තනයෝ සහ විවාහ මංගලෝත්සව නර්තන හෝ මේ දෙකෙහිම සංකලනයක් සුඛාන්ත කෝරසයේ දක්නට ලැබිණි. වෙස් මුහුණ සුඛාන්තයේ වැදගත් අංගයක් වූ අතර සමකාලීන සැබෑ පුද්ගලයන් අනුකරණයෙන් සැදු වෙස්මුහුණු කැපී පෙනෙයි. කෝරසයේ වෙස් මුහුණු කුරුල්ලන්, මැඩියන්, බඹරුන් සහ වලාකුළු ආදීන් සංකේතවත් වේ.

වස්තු විෂය අතින්ද ග්‍රීක සුඛාන්තය ශෝකාන්තයට වෙනස් විය. ශෝකෝත්පාදකය ඓතිහාසික සිදුවීම් නාට්‍යයට වස්තු විෂය කරගත් අතර සුඛෝත්පාදකයට සමකාලීන කරුණු වස්තු විෂය විය. දේශපාලනය, කලාව, යුද්ධය සහ සාමය ආදී සමකාලීන සිද්ධි දැඩි හාස්‍යෙයන් මෙන් රළු සහ දැඩි විචාරයෙන් යුක්තව ඉදිරිපත් කිරීම සුඛාන්තයේ ලක්ෂණයකි. ක්‍රි. පූ. 380 ට පෙර රග දැක්වූ නාට්‍ය පැරණි සුඛාන්ත සහ ඊට පසු රග දැක්වූ නාට්‍ය නව සුඛාන්ත ලෙසද දැක්වේ. ශෝකෝත්පාදකයේ මෙන් නළු සංඛ්‍යාවේ සීමාවක් නොමැති අතර දෛනික හැසිරීම් හාස්‍යමය ලෙස අතිශෝක්තියට නැංවීම කැපීපෙනෙයි. Women in Parliament නාට්‍යයේ ස්ත්‍රීන් විසින් පාර්ලිමේන්තුව අල්ලා ගැනීම මෙන්ම ලයිසිස්ට්‍රාටා (මෙය ධර්මප්‍රිය ඩයස් විසින් ‘‘ගැහැනු වැඩ අරඹති“ යනුවෙන්ද ප්‍රියංකර රත්නායක විසින් විසේකාරියෝ නමින්ද නිෂ්පාදනය කරන ලදී) නාට්‍යයේ විශාලනය කරන ලද පුරුෂ ලිංග ද ස්ත්‍රීන්ගේ ලිංගික වර්ජනය ‍දෛනික සිද්ධි අතිශයෝක්තිකරණයට නිදසුන් වේ. සුඛෝත්පාදක නළුවෝ ඇඟට හිර වෙන සේ රංග වස්ත්‍රයෙන් සැරසීම කැපීපෙනේ. ශෝකෝත්පාදකය උපන්නේ ඩයනීසියස් වන්දනාවේ එන ලිංග සංකේත රැගත් පෙරහරේ ප්‍රතිඵලයෙනි. එසේම මනුෂ්‍යයා තුළ ලිංගිකත්වය හා ලිංගික ක්‍රියාකාරකම් ආපිළිබද ආශාව, උනන්දුව, උද්යෝගිමත් කිරීම එහි අපේක්ෂාව විය. රෝම ප්‍රහසන මෙන් සුඛෝත්පාදක වස්තුවිෂය මගින් ලිංගිකත්වය අසැබි ලෙස මතු කොට නොදැක් වුවද එහි රංග වස්ත්‍ර ඇඟට තද වූ ඉතාමත් කොට ලෝගුවලින් සමන්විත විය. ශරීර පැහැය ගත් ඇඟට ඇලුණු තද කලිසම් ලිංග ප්‍රදර්ශනයට උචිත එකක් විය. තද, ඇඟට ඇලුණු ඇඳුම් අඩ නිරුවත් බවද හාස්‍ය ජනනය ද ඇති කළේය. පිරිමි චරිතවල ඇඳුමට අල්ලා තනන ලද ලිංග අනුකරණ නිසා මෙම හැඟීම් උද්දීපනය වඩාත් ප්‍රබල විය. මෙම ලිංග හාස්‍යයක් ජනනය කළ අතරම ප්‍රජනන වන්දනය සිහි ගැන්වීය. වෙස් මුහුණු ද හාස්‍ය ජනනය කරන අතිශයෝක්තියෙන් යුක්ත විය. පැරණි ග්‍රීක සුඛාන්ත නාට්‍ය කරුවන් අතර මැග්නෙස් (Magnes), ඉයුපොනියස් (Euphonius  ක්‍රි. පූ 458), කල්ලියස් (Callias ක්‍රි. පූ 446),හර්මිපියස් (Hermippus  ක්‍රි. පූ. 435), පොසෙයිඩිප්පස් (Poseidippus ක්‍රි. පූ. 293) ලයිනස් (Laines ක්‍රි. පූ 278) සහ චයරියොන් (Chairion ක්‍රි. පූ. 154) වැදගත් වේ. මේ අතරින් ඉතා වැදගත්ම සුඛාන්ත මේ අතරින් ඉතා වැදගත්ම සුඛෝත්පාදකයා ඇරිස්ටොෆනිස් ය. ඔහු විසින් රචිත ලයිසිස්ට්‍රාටා, සාමය, බඹරු, birds, the nights,  තෙස්මොෆෝරියා සමරන්නියෝ, ගැහැනු පාර්ලිමේන්තුව, මැඩියෝ සහ වළාකුළු වැදගත් වේ. සුඛෝත්පාදකයේ ඒකීයත්වය පවතින්නේ ශෝකෝත්පාදකයේ මෙන් හේතු ඵල සහිත සිද්ධි ගැළපීමේ නොවේ. සංවාදයේ පවත්නා දැඩි, තියුණු විචාරක්ෂියෙත්, නාට්‍ය පුරා බල පවත්නා අදහසෙන්ය. ලයිසිස්ට්‍රාටා හි යුද්ධය නැවැත්වීම සඳහා ස්ත්‍රීන් පිරිමි මත පටවන ලිංගික වර්ජනය නාට්‍ය පුරා වැදගත් වේ. සංවාදයේ ප්‍රශ්න හා උත්තර වෙනුවට දැඩි විරෝධාත්මක විවේචනය වැදගත් වේ. නාට්‍යයේ කාලය හා ස්ථානය (time and space) ඒකීය නැත. ඒවා බොහෝ විට හුදකලා නොවන, මනුෂ්‍ය ගහනය ඇති තැන් වේ. නාට්‍යමය අවශ්‍යතාවය ස්ථානය හා කාලය තීරණය කෙරේ. නාට්‍ය සංවාදයේ ප්‍රභලත්වය ඇත්තේ එකිනෙකා අතර සිදුවන තර්කනයේ ශක්තිය මතය. කාලය රිසි ලෙස මාරුවේ, වෙනස් වේ. රංගභූමි මායාවට එහි ඉඩක් නැත. චරිත චරිත සමඟ හෝ ප්‍රේක්ෂකයා සමඟ තර්කනශීලී විමර්ශනවලට හා විවේචනයට මැදිහත් වේ. මනුෂ්‍ය දුර්වලතා බාහිර වද අභ්‍යන්තරයෙන්ද මතු කරයි. සියලු මිනිසුන් කායික සහජයන් විසින් පාලනය කරන අතර ඔවුහු අර්ධ වශයෙන් දූෂිත හා දුර්වලයෝ වෙතිය යන්න ඇරිස්ටොපනීස් ගේ මතයයි. මරණය හා ව්‍යසනය සුඛාන්තයට අනුචිත වේ. අදාළ නොවේ. භෞතික ව්‍යසනයක් සිදු වුව ද පුද්ගල ව්‍යසනයක්, මරණයක් නැත. වළාකුළු නාට්‍යයේ ස්ට්‍රෙප්සියැඩිස් සොක්‍රටිස්ගේ අධ්‍යාපන ආයතනය ගිනිතැබීම එවැන්නකි. ප්‍රේක්ෂකයා තමා පිළිගන්නා මතවාදය කෙරෙහි අවනත කර ගැනීම සුඛෝත්පාදක නාට්‍යකරුවාගේ අභිලාසයයි. ඒ සඳහා විරුද්ධ මතධාරියාට විරුද්ධ වීමට ප්‍රේක්ෂකයාට තල්ලුවක් ලබාදෙයි. එහෙත් ඒ සියල්ල හාස්‍ය රසයෙන් කුල්මත් කෙරේ. කතුවරයාගේ අභිප්‍රාය ධ්වනිත කෙරේ. ශෝකෝත්පාදකය කතුවරයාගේ අභිප්‍රාය ට වඩා දාර්ශනික චින්තනය වෙත අරමුණුගත කෙරේ. සුඛෝත්පාදකයේ නාට්‍යමය සිද්ධි (Dramatic incident and Plot) හා වස්තු විෂය තත්කාලීන සමාජය හා මනුෂ්‍ය ජීවිතය කෙරෙහි නැඹුරු වුවද ඒවා ස්වභාවික ලෙස ඉදිරිපත් නොකෙරේ. අභව්‍ය සංසිද්ධි තුළ වස්තු විෂය පරිකල්පනය කරනු ලැබේ. ගැහැනු පාර්ලිමේන්තුව නාට්‍යයේ කාන්තාවන් පාර්ලිමේන්තුව අල්ලා ගැනීම සහ වලාකුලු නාට්‍යයේ සොක්‍රටීස් වලාකුළු මත ජීවත් වීම නිදසුන්වේ.

ශෝකෝත්පාදකය චරිත වල මානසික ඝට්ටනය කෙරෙහි යොමු වන තරමටම සුඛාන්තය චරිත වල කායික ලක්ෂණ වලට බර තියයි. චරිතයක මහලු බව ඥානවන්ත භාවයෙහි නොව විහිළු සහගත බවක නියෝජනයකි. වීරයින් හෝ දෙවිවරුන් ඉඳහිට හමුවේ. නූතනයේ බ්‍රෙෂ්ට් සහ ගෝර්කි ආදීන්ගේ නාට්‍යවල එන සාමාන්‍ය මනුෂ්‍ය චරිත අපට මුලින්ම වේදිකාව මත හමුවන්නේ සුඛාන්තයෙහිය. ඔවුන්ගේ සමහර ක්‍රියාවන්ද ශෝකෝත්පාදක චරිත වල කිසිවිටෙකවත් නොදකින ඒවා වෙති. වේදිකාව මත මල පහකරන රූපණයක යෙදෙන චරිතයක් සුඛාන්තයකදී හමුවීම සුලබ වේ. ඔවුන් හාස්‍යජනකය නමුත් දුෂ්ට මිනිස්සු නොවෙති. ලයිසිස්ට්‍රාටා හි මහෙස්ත්‍රාත් එවැන්නෙකි. දෙවියන් වුව මිනිසුන් වූ ඔවුන්ගේ කායික සහජයන් හෙවත් පුරුදු මගින් ඔවුන් සාමාන්‍යකරණය වේ. නාට්‍යාවසානය හාස්‍යජනිත වූත් තෘප්තිමත් වූත් අපේක්ෂා ජනනය කරන්නකි. රූපණ ශෛලිය දෛනික ජීවිතයේ අතිශයෝක්තියකි. රඟපෑම තාත්ත්වික නොවේ.

උසස් පෙළ නාට්‍ය හා රංග කලාව විෂය නිර්දේශය අනුව ලියැවෙන ලිපි මාලාවක්