ANTIQUE කඩයක මරණයක් ගැන අශෝක හඳගම වාර්තා කරයි

මාර්තු 18, 2021

 

භූමිකා, හෙණ, මාඝාත යන සම්මානනීය වේදිකා නාට්‍ය නිර්මාණය කළ සම්මානනීය අධ්‍යක්ෂ අශෝක හඳගමගේ නවතම වේදිකා නාට්‍යය "ඇන්ටික් කඩයක මරණයක්" නමින් එළඹෙන 19, 20, 21 යන දිනයන්හීදී ලයනල් වෙන්ඩ්ට් රඟහලේදී වේදිකා ගත වීමට නියමිතය. කලක් වේදිකාවෙන් දුරස්ව සිට වසර තිහකට පසුව නැවතත් නිර්මාණය කළ නවතම වේදිකා නාට්‍යය පිළිබඳව සහ ලාංකේය වේදික නාට්‍ය කලාවේ වර්තමානය පිළිබඳව අදහස් විමසන්න අපි අශෝක හඳගමව සම්බන්ධ කරගත්තෙමු.

 

"ඇන්ටික් කඩයක මරණයක්" වුණා කියන්නේ ඇත්තද?

ඇන්ටික් කඩයක මරණයක් කියන්නේ මගේ අලුත් වේදිකා නාට්‍යයේ නම. මම අවුරුදු 30කට විතර පස්සෙ වේදිකා නාට්‍යයක් කරනවා. මම අවසානයට වේදිකා නාට්‍යයක් කළේ 1989 නමයේදී මාඝාත වේදිකා නාට්‍යය. විවිධ කාරණා නිසා එතැන් සිට මේ වෙනකන් වේදිකා නාට්‍යයක් කරන්න ලැබුණේ නැහැ. ප්‍රධාන කාරණාව කාලය. ඒ කාලයේදී මගේ අවධානය සම්පූර්ණයෙන්ම යොමුවෙලා තිබුණේ සිනමාවට. ඒ වගේම රැකියාවත් එක්ක කාලය කළමනාකරණය කරගැනීමේ ගැටලුවක් තිබුණා. ඒ නිසා කොච්චර උවමනාවක් තිබුණත් නාට්ටි කරන වැඩේ කල් දාන්න වුණා. දැන් මේ නාට්‍ය කළ යුතුයි කියලා හිතුණා.

 

මේ වගේ කාලයක වේදිකා නාට්‍යයක් කරන්න හිතුණේ ඇයි?

මේ කාලයේ වේදිකා නාට්‍යය කරනවා කියලා බලාපොරොත්තුවක් තිබුණේ නැහැ. ගිය අවුරුද්දේ තමයි මම නාට්‍යය කරන්න හිටියේ. කොරෝනා වසංගතයට කලින් මේක සැලසුම් කළේ. නමුත් කොරෝනා වසංගතය නිසා වේදිකා නාට්‍යය කල්ගියා නමුත් මම සැලසුම් කරලා තිබුණු චිත්‍රපටය වැඩ කටයුතු ටික කර ගත්තා. මේ වසරේ නාට්‍යය පුහුණු වීම් කරලා දැන් නාට්‍යය පෙන්වන්න සැලසුම් කරලයි තියෙන්නේ. මේ වගේ කාලයකදී තමයි වේදිකා නාට්‍යයක් පෙන්නන්න ඕනේ කියලා මම හිතනවා. කොහොමටත් ලංකාවෙ මිනිස්සු සාමූහික රසවින්දනයෙන් දුරස් වෙලා හිටියේ. රූපවාහිනී සහ අන්තර්ජාලයට ඇබ්බැහි වෙලා හිටපු මිනිස්සුන්ගේ ඇබ්බැහිය තව තවත් තීව්‍ර වුණා කොරෝනා වසංගතයත් එක්ක. සාමූහුක වින්දනය හැමෝටම මඟහැරුණා. සමාජයක සාමූහික වින්දනය මඟහැරෙනවා කියන්නේ සාමූහික විඥානයත් මඟහැරෙනවා කියන එක. ඒක එහෙම වෙන එක සමාජයකට හොඳ නැහැ. ඒ නිසා මේ සමයේ කොයිතරම් අවදානම් සහගත වුණත් මේ කාලයේ තමයි ඒක කරන්න ඕනේ කියලා හිතුණේ.

 

"ඇන්ටික් කඩයක මරණයක්" නාට්‍යයේ විස්තර කිව්වොත්?

නාට්‍යයේ පිටපත මගේ. අධ්‍යක්ෂණයත් මගේ. ප්‍රධාන භූමිකාවන් රඟපාන්නේ මහාචාර්ය සෞම්‍ය ලියනගේ, පසන් රණවීර, නිපුණි ශාරධා, ස්ටෙෆාන් සිරිමාන්න. කාලයක් සෞම්‍ය රංගනයෙන් ඉවත්වෙලා කාලෙකට පස්සේ තමයි නිර්මාණයකට සම්බන්ධ වුණේ. පසන් රණවීර ඉංග්‍රීසි වේදිකා නාට්‍ය නළුවෙක්. සංගීතය චින්තන ජයකොඩි, වේදිකා පසුතල නිර්මාණය සහ ඇඳුම් නිර්මාණය බිමල් දුෂ්මන්ත. වේදිකා ආලෝකකරණය අනුරාධ මල්ලවආරච්චිගෙන්.

 

මේ නිර්මාණය ප්‍රේක්ෂකයන් කවරාකාරයේ අත්දැකීමක් වෙයිද?

මේ වන විට වේදිකා රංගනය සහ වේදිකා භාවිතය සම්බන්ධයෙන් විවිධ වෙනස් කම් සිදු වෙලා තියෙනවා. සමාජයක් ලෙස ලංකාවේ සාමාජීය පරිසරය වෙනස් වෙලා තියෙනවා. ඒ නිසා අලුත් ආකෘතියක අලුත් රංග භාවිතාවක වෙනස් අත්දැකීමක් වෙයි. මගේ පැරණි නාට්‍ය රසවිඳපු අයට.

 

වසර තිහකට පසුව නැවත වේදිකව දිහා බැලුවාම දැකපු වෙනස්කම් මොනවාද?

අනූව දශකයෙ පසුව ලංකාවේ නාට්‍ය කරපු පැරණි පරම්පරාව තරමක් වේදිකාවෙන් දුරස් වුණා. අසූව දශකය අවසන් වෙද්දි ලංකාව දේශපාලනික වශයෙනුත් විශාල හෝදා පාළුවට ලක් වුණා. ඒ හෝදා පාළුවත් එක්ක අමුතු උදාසීන ගතියකින් තමයි අනුව දශකය ආරම්භ වෙන්නේ. සමාජය ගොඩක් වෙනස් වුණා. නමුත් ඒ කාලේ බිහි මේ තරුණ නාට්‍යකරුවන් වේදිකා නාට්‍ය පවත්වාගෙන ආවා. ප්‍රේක්ෂකාගාරය හැකිළුණා. ඒත් ඒ චෝදනාව නාට්‍යකරුවන්ට එල්ල කරන්න බැහැ.

 

ඒ චෝදනාව නාට්‍ය අතහැරලා චිත්‍රපටකරණයට ආපු අශෝක හඳගමට එල්ල කරන්න පුළුවන්?

නැහැ. චිත්‍රපටිකරුවන් මේකට අදාළ නැහැ. ඒක කලාකරුවන්ගේ ප්‍රශ්නයක් නෙමෙයි. ප්‍රේක්ෂකයන්ගේ ප්‍රශ්නයක්. ප්‍රේක්ෂකයා සාමූහික රසවින්දනයෙන් ටිකෙන් ටික ඈත් වුණා. ඒ නිසා වේදිකාවත් කිසියම් පසුබෑමකට ලක්වුණා. ඒත් ඒ අපහසුතා මැද්දේ තරුණ නාට්‍යකරුවන් වේදිකා නාට්‍ය පවත්වාගෙන ආවා. නිර්මාණ ලෙස ගත්තොත් දැන් පැරණි නාට්‍යවලට වඩා උසස් වේදිකා නාට්‍ය නිර්මාණ බිහිවෙමින් තියෙනවා. ඒක අපිට නොසලකා හරින්න බැහැ. ලංකාවේ නාට්‍ය කලාව ඉගෙනගත්ත පිරිසක් දැන් නාට්‍ය කලාවට අවතීරණ වෙලා තියෙනවා.

 

ඒත් ඒ නිර්මාණ සමාජය තුළ ජනප්‍රිය නැහැ?

ඒක මිනිස්සුන්ගෙ ප්‍රශ්නයක්. නාට්‍යකරුවන්ගේ ප්‍රශ්නයක් නෙමෙයි. මිනිස්සුන්ට නාට්‍යයක් බලනවා කියන එක තමන්ගේ ප්‍රමුඛතා ලැයිස්තුවෙන් පහළට ගිහිල්ලා තියෙන්නේ. ඉංග්‍රීසි වේදිකා නාට්‍යවලට මේ තත්ත්වය නැහැ. ගම්වල ප්‍රචලිත නොවුණාට කොළඹ ආශ්‍රිතව විශාල ප්‍රේක්ෂක ආකර්ෂණයක් ඒවාට තියෙනවා. සිංහල වේදිකා නාට්‍ය ගම් පළාත්වල පෙන්වන්න තියෙන රංගාවකාශය පවා දැන් හැකිළිලා තියෙන්නේ. ඉස්සර මගේ මාඝාත නාට්‍යය නාට්‍ය ලංකාවේ හැම තැනම පෙන්නුවා. ඒත් දැන් රඟහලවල් නැහැ. ඒවා තියෙන ඒවාත් පෙන්වන්න පුළුවන් තත්ත්වයක නෙමෙයි තියෙන්නේ.

 

වේදිකා නාට්‍ය තවදුරටත් ලංකාවේ ප්‍රචලිත කරන්න නම්?

මම හිතන්නේ රසවින්දනය කියන එක දියුණු කරන්න ඕන. එක පාසල් මට්ටමේ සිට පුරුදු පුහුණු කරන්න ඕන දෙයක්. කලාවක් රසවින්දනය ජීවිතයට කොයි කොයිතරම් වැදගත්ද කියන එක පාසල් මට්ටමෙන් උගන්වන්න ඕනේ. ඒ හුරුව පාසල් මට්ටමෙන් ඇති කළොත් අපිට ප්‍රේක්ෂකාගාරයක් හදාගන්න පුළුවන්. සාහිත්‍ය කලාවට දරුවන් තව තවත් යොමු කරන්න ඕනේ.

 

ඒත් ඔබ ආර්ථික විද්‍යාව සම්බන්ධ රැකියාවක් කරන්නේ. ආර්ථික ලෝකයක සාහිත්‍ය කලාව ඉගෙනගෙන හරියයිද?

අනිවාර්යයෙන්ම ඔව්. වෙනත් දියුණු රටවල පවා ඒ හුරුව ළමයින්ට දෙනවා. ඒ නිසයි ඒ රටවල හොඳ නිර්මාණ බිහිවෙන්නෙත්. ප්‍රේක්ෂකාගාරයක් නැති නම් හොඳ නිර්මාණ බිහි වෙන්නේ නෑනේ. ඒක කුඩා කාලේ ඉඳලා ළමයින්ට පුරුදු කරන්න ඕනේ. ඒක දැන් සමාජයෙන් මඟහැරිල ගිහින්. උදාහරණයක් විදිහට මම පොඩි කලේ ඉඳලා පොතපත කියවන්න හුරුවුණෙත් මගේ මව්පියන්ගෙන්. ඒ වගේම පොඩි කාලේ එයාලා අපිව නාට්‍ය, චිත්‍රපට බලන්න එක්කරගෙන ගියා. දැන් අය ඒක කරනවාද කියන්න මම දන්නේ නැහැ. එතකොට ළමයි කොහොමද ඒ ආභාසය ගන්නේ? පාසලෙන් හරි උගන්වන්න ඕනේ. සාහිත්‍ය කලාව කියන්නේ හොඳ කර්මාන්තයක්. ඒක හොඳට කළොත් කර්මාන්තමය ඉඩක් හැදෙනවා. ඒත් දැන් ඒ අවකාශය දැන් නැහැ. සමාජයේ වෙනස්කම් වෙනවට මම විරුද්ධ නැහැ. ඒත් ඒකෙන් සාමූහික රසවින්දනය මඟහැරෙන්න බෑ. සාමූහික රසවින්දනය සාමූහික විඥානය නැති තැනක දේශපාලනමය වශයෙන් වෙනසක් කරන්නත් බැහැ.

 

ලංකාවේ සාහිත්‍ය කන්නද කියලා අහපු ජනාධිපතිවරුත් හිටියා.

ඔව්. ඒ ප්‍රතිඵල තමයි දැන් අපි මේ විඳීන්නේ. සාහිත්‍යයෙන් සහ කලාවෙන් රැකියාවක් කරන්න නෙමෙයි ඒක අපිට ජීවිතයට අවශ්‍යයි.