සුඛාන්ත නාට්‍ය (Comedy)

මාර්තු 11, 2021

උසස් පෙළ නාට්‍ය හා රංග කලාව විෂය නිර්දේශය අනුව ලියැවෙන ලිපි මාලාවක්

ශෝකෝත්පාදකය භාවාතිශය හෙවත් අති නාටකයෙන් (Mello Drama) වෙන් කර හඳුනාගත යුතු සේම සුඛාන්තය ද (Comedy) ප්‍රහසනයෙන් (Farce) වෙන් කොට හඳුනා ගැනීම ඉතා වැදගත් වේ. බොහෝ විට ඛේදාන්ත ආකෘතිය අපරදිග රංග කලාවේ උත්පත්තිය ලැබූවත් සුඛාන්තය පෙරදිග අපරදිග කලාප දෙකටම පොදු ආකෘතියකි. බොහෝවිට පෙරදිග නාට්‍යයන්හි ව්‍යසනකාරී සිද්ධි හෝ අවසානයක් සහිත වීම දුර්ලභය. ඉන්දීය, ජපාන සහ චීන ආදී රටවල නාට්‍යයක ආකෘතිය සුඛාන්තයට සමීපය. සංස්කෘත නාට්‍ය, නෝ නාට්‍ය, කබුකි නාට්‍ය සහ බෙයිජිං ඔපෙරාව මෙන්ම ලංකාව, ඉන්දුනීසියාව සහ තායිලන්තය ආදී රටවල විදග්ධ මෙන්ම ජන නාට්‍යයන් හි දී අවසානය සුඛ ජනිත අවසානයකි. මේ තත්ත්වය බොහෝ විට මේ රටවල පවත්නා බෞද්ධ සහ හින්දු ආදී ආගමික දර්ශනයන් ගේ බලපෑම හේතුවෙන් ද ඇති වූවක් විය හැකිය. ශෝකොත්පාදකය කාරුණ්‍ය හා භය මූලික කරගත්තක් මෙන්ම සුඛෝත්පාදකය ද හාස්‍යය සහ ශෘංගාරය මූලික කොට ගනී. සුඛාන්තයේ අර්ථය හාස්‍ය රසය පමණක් (විහිළු සැපයීම) යැයි වටහා ගන්නා බොහෝ අය සුඛෝත්පාදකය ප්‍රහසනය සමඟ පටලා ගනී. ප්‍රහසනය සුඛෝත්පාදකයේම විකාශයක් වුව ද සුඛෝත්පාදකය හා ප්‍රහසනය මතුපිට මෙන්ම අභ්‍යන්තර අර්ථයෙන් ද දෙකකි. 

සුඛෝත්පාදකයේ මුල්ම ආරම්භය අපට හමුවන්නේ ගී‍්‍රසියේ නාට්‍ය සමඟිනි. ශෝකෝත්පාදකය ඩයනීසියස් දෙවියාගේ මරණය හා සමඟ ද සුඛෝත්පාදකය දෙවියාගේ උත්පත්තිය සමඟද බැඳී පවතී. City Dionysia උත්සවයේ දි සුඛෝත්පාදක නාට්‍යද තරගයෙන් මුලින්ම ජයග්‍රහණය කළ නාට්‍යයකරුවා ලෙස අපට හමුවන්නේ චියොනිඩියස් (Chiondes) ය. ඒ කි‍්‍ර. පූ. 486 දීය. ඉන්පසු මැග්නස් (Magnes), ක්‍රාටස් (Crates), පෙරික්රේට්ස් (Pherecrates), කැලියස් (callias), ඇරිස්ටොෆනිස් (Aristophanes) සහ ඇමෙල්පිසියස් (Amelpsias) ආදීන් ප්‍රකට නාට්‍යකරුවෝ ලෙස හමුවෙති. ඇරිස්ටොෆනිස් ගේ සාමය (Peace) කි‍්‍ර‍. පූ. 421 දි නාට්‍ය තරගයේ දී දෙවැනි ස්ථානය දිනා ඇත. ලංකාවේද වැඩිම වතාවක් සිංහලයට පරිවර්තනය වී හා නිෂ්පාදනය වී ඇති නාට්‍යකරුවා ඇරිස්ටොෆනීස්ය. ඔහුගේ Frog නාට්‍ය මණ්ඩුකයෝ (පරිවර්තනය මහාචාර්ය වෝල්ටර් මාරසිංහ) ලයිසිස්ට්‍රාටා විසේකාරියෝ නමින් පි‍්‍රයංකර රත්නායක ද, ගැහැණු වැඩ අරඹති නමින් ධර්මපි‍්‍රය ඩයස් ද ප්‍රතිනිර්මාණය කොට ඇත. ඔහුගේ Women in parliament නාට්‍යය සංජීව ගුණරත්න විසින් ආදරවන්තියන්ගේ පාර්ලිමේන්තුව නමින්ද නිර්මාණය කොට ඇත. මහාචාර්ය වෝල්ටර් මාරසිංහ සහ මර්වින් පීරිස් ආදීන් සුඛෝත්පාදක නාට්‍ය ගණනාවක් සිංහලයට පරිවර්තනය කොට ඇත.

ගී‍්‍රක නාට්‍ය ආකෘතිමය හා අන්තර්ගතය පිළිබඳ ශෝකෝත්පාදකය පිළිබඳ අරිස්ටෝටල් ආදීන් දක්වන විග්‍රහයන් සුඛෝත්පාදක කෙරෙහි ද අදාළ වේ. සුඛෝත්පාදකය හා හාස්‍යය උත්පාදක නාට්‍ය ලෙස සිදුවී ඇති පරිවර්තනය Comedy Plays නාට්‍යයක විග්‍රහ කිරීම සඳහා උචිත නොවේ. එහි අර්ථය හුදෙක් හාස්‍ය මතු කිරීමම නොවේ. නාට්‍යයක් ශෝකෝත්පාදකයක් ද සුඛෝත්පාදකයක් ද යන්න අවබෝධ කරගත හැක්කේ අරමුණ හෙවත් ඉෂ්ටාර්ථ සිද්ධිය අනුවය. කොමඩි නාටකය ද ශෝකෝත්පාදකය මෙන් ගැඹුරු චරිත විග්‍රහයක් සහිතය. නමුත් ශෝකෝත්පාදකය මෙන් අධ්‍යාත්මික ගැටලුවලට වඩා බාහිර ගැටලු, සමාජ ප්‍රශ්න කෙරෙහි සුඛෝත්පාදකය නැඹුරුවෙයි. කතානායකයාගේ හෝ නායිකාව (ලයිසිස්ට්රා ටා වැනි නාට්‍යයක) නැතහොත් දෙදෙනාගේම (Midsummer night's Dreams)  වැනි නාට්‍යයක දී ඉෂ්ටාර්ථ සිද්ධිය සිද්ධවීම සුඛෝත්පාදකයක ප්‍රධාන ලක්ෂණයක් වේ. නාට්‍යයක ආකෘතිය ගැඹුරු වන්නේ ප්‍රධාන පාත්‍රයන්ගේ හෝ පාත්ර‍ යාගේ අර්ථාන්විත ප්‍රයත්නය අනුවය. ලයිසිස්ට්‍රාටාගේ ප්‍රයත්නය උදාර එකකි. ප්‍රයත්නය එම පරිශ්‍රමය විසින් මතු කරන ඥානාන්විත ප්‍රවේශය රසවින්දනය ඉක්මවා පවතින්නකි. සුඛෝත්පාදකය හමුවන්නේ එතැනදීය. එය හුදු විනෝදාස්වාදයෙන් පමණක් නවතී නම් එවිට එය ප්‍රහසනයක් බවට පත්වේ. 

අපට හමුවන පැරණිතම නාට්‍ය ප්‍රවේශය අපරදිග ගී‍්‍රසියේ උපන්නකි. පෙරදිග රටවල පරිපූර්ණ නාට්‍ය ප්‍රවේශයක් ඇතිවන්නේ ක්‍රි. පූ. 2 දී පමණ සංස්කෘත නාට්‍ය ප්‍රයුංජනය සමඟිනි. පෙරදිග රටවල නාට්‍ය අතර (ඉන්දීය, ජපන් සහ චීන) ශෝකෝත්පාදක ආකෘති හමුවන්නේ කලාතුරකිනි. සංස්කෘත, කබුකි, බෙයිජිං ඔපෙරාව සහ නෝ නාට්‍ය හැමවිටම අවසන් වන්නේ බලාපොරොත්තු සහගත අවසානයකිනි. වේදිකාව මත හෝ පිටතින් සිදුවන කථානායකයාගේ මරණය එහිදී හමු නොවේ. කතානායකයාගේ බලාපොරොත්තු ඉටුවීම පුරාොප්‍රත්‍යාසා, නියතාප්ති සහ ඵලාගම යන ආකෘතික ලක්ෂණයන්ගෙන් පරිපූර්ණ වේ. ප්‍රත්‍යාසශා යනු බලාපොරොත්තු ඉටු වේද? නොවේද? යන අවිනිශ්චිත බවයි. නියතාප්ති යනු නියත අවසානයක් කරා ළඟා වීමයි. ඵලාගම යනු ඵලය හෙවත් කතානායකයාගේ අරමුණු ඉටුවීමයි. ශාන්ත, හාස්‍ය, වීර, ශෘංගාර රස එහි මුඛ්‍ය රස වේ. ශෝකය, බිය සහ කාරුණ්‍ය මුඛ්‍ය වන්නේ නැත. පෙරදිග නාට්‍යවල මේ බලාපොරොත්තු සහගත අවසානයට පෙරදිග රටවල ආගම්වල එන දාර්ශනික අරමුණු බලපාන්නට ඇත. හින්දු බෞද්ධ හෝ සෙන් ආගම්හි දී මරණය හෝ ව්‍යසනය නැතිනම් ශෝකය ජය ගැනීම මිස ඊට යටත් වීමක් නැත. පෙරදිග රටවල දාර්ශනික ආගම් ද ගැමි ආගම්ද නාට්‍යවල ආකෘතිය හා අන්තර්ගතය කෙරෙහි නිරන්තර ව බලපෑම් කරන්නට ඇත. විවිධ රස එකට කැටි කොට නව නළු රසය උත්පාදනය පෙරදිග ප්‍රාසංගික කලාවන්ගේ අරමුණු වේ. එහෙත් අපරදිග රටවල ප්‍රාසාංගික කලාවන් විවිධ රස අවශ්‍ය තා සඳහා ඊට උචිත ආකෘතීන් නිර්මාණය කොට ගෙන ඇත. ඒ එක් එක් රස ප්‍රවේශයන්ට ආවේණික න්‍යායන් හා සිද්ධාන්ත පවති. ඒවා එකිනෙක මිශ්‍රව නොකර ගැනීමට ගැනීමට ඔවුහු උත්සාහ කරති. ශෝකෝත්පාදකය, සුඛෝත්පාදකය සහ සටූර මුල්කාලීන ආකෘතීන් වෙති. වර්තමානයේ Romantic, Adventure, Horror, Musical, Drama, Action සහ Thriller ආදී ලෙස ව්‍යවහාරයන් ඇත්තේ විවිධ රසයන්ට කැමති අයට ඒ ඒ රසයන්ට අනුකූලව චිත්‍රපටයක් නාට්‍යයක් රස විඳීම තෝරාගත හැකි බැවිනි.

කෙසේ වෙතත් සුඛෝත්පාදකය පෙරදිගට ද අපරදිගට ද අයත් රංග කලාවේ දක්නට ලැබෙන රංග ශෛලියකි. පෙරදිග රටවල සුඛෝත්පාදකය නමින් වචනයක් නොතිබුණද එහි බොහෝ ලක්ෂණ පෙරදිග රටවල රංග ආකෘතියේ දක්නට ලැබේ. 

සුඛෝත්පාදකයේ උත්පත්තිය හා ගැඹුරු භාවිතය ගී‍්‍රසියේ දී සිදුවුව ද ක්‍රි. පූ. 3 වන ශත වර්ෂයෙන් පසු සුඛෝත්පාදකයේ ගැඹුරු භාවිතය බැහැර වූ පසු ඇතිවන ප්‍රහසනය රෝම නාට්‍යයේ කලාවත් සමඟ ඇතිවිය. රෝම නාට්‍ය බොහෝ අය සුඛෝත්පාදක නාට්‍යයට හෙවත් ඛ්ධථඥඤර ලෙස හැඳීන්වුවද රෝම නාට්‍යයේ අයත් වන්නේ ප්‍රහසන නාට්‍යයද ගණයටය. ප්ලෝටස් (කි‍්‍ර. පූ. 254 - 184) පබ්ලියස් ටෙරන්ස් ( කි‍්‍ර‍. පූ. 195 - 159) ආදීන් ගී‍්‍රක සුඛාන්තය ඇසුරු කොට ගත්තද ඔවුන්ගේ නාට්‍ය අයත් වන්නේ සුඛෝත්පාදක (Comedy) ගණයට නොව ප්‍රහසන ආකෘතියට ය. ඒවා හාස්‍ය මතු කිරීමට වඩා සිනහව මතු කිරීමට උත්සාහ ගත්තේය. හාස්‍ය හා සිනහව එකක් නොව දෙකකි. හාස්‍යයේ රසය ඇතුළතින් භාව වින්දනය කිරීමකි. සිනහව යන වින්දනය පිටතට ප්‍රකාශ කරන ආකාරයකි.