ජේන්, පුරන්සිනා සහ වාසුකී

මාර්තු 4, 2021

මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ "මහාසාර" නාට්‍යයේ පළමුව දාසියගේ චරිතයත් ඉක්බිතිව නගරශෝභිනියගේ චරිතයත් රඟපෑමේ අවස්ථාව කුසුම් රේණුට ලැබිණ. මේ නිෂ්පාදනයේ ගාන්ධර්වයාගේ භූමිකාව ශ්‍රියන්ත මෙන්ඩිස් රූපණය කළේය. බිසවගේ මහාසාර පලඳනාව සොරා ගත් අය රාජ ආඥාවෙන් සොයා යද්දී බොහෝදෙනා ඉන් ගැලවෙනු පිණිස මුසා බස් පවසති. එහෙත් නගරශෝභිනිය අවංකව, සත්‍යගරුකව තම මතවාදය පැවැසීමට නිර්භය වන්නීය. ලාංකේය වේදිකා නාට්‍ය කලාවේ ස්ත්‍රී භූමිකා නිරූපණය විමසා බලද්දී වෛශ්‍යාවන්ගේ, නගරශෝභිනීයන්ගේ චරිත බොහෝ නාට්‍යවේදීන් ස්වකීය නිර්මාණවල නිරූපණය කොට ඇත්තේ අවංක, නිර්භය, අව්‍යාජ, මානවහිතවාදී භූමිකා ලෙස මානුෂික මුහුණවරකින් ඔවුන් සාධාරණීකරණයට ලක් කිරීමෙන් බැව් පෙනේ. "මහාසාර"නාට්‍යයේ කුසුම් රැඟු නගරශෝභිනියගේ චරිතයද ඊට දෘෂ්ටාන්තයකි.

සයිමන් නවගත්තේගමයන්ගේ "සුදු සහ කළු" නාට්‍යය ඇසුරෙන් පසුකලෙක ශ්‍රියන්ත මෙන්ඩිස් නිර්මාණය කළ "සුදු සහ කළු හෙවත් වර්ණ" නාට්‍යයේ එච්.ඒ.පෙරේරා රඟපෑ වෝස්ටර් නම් වූ පොලිස් නිලධාරියාගේ බිරිය ජේන් වෝස්ටර්ගේ චරිතය කුසුම්ට පැවැරිණ. මෙහි සුවිශේෂත්වය වූයේ මුළු නාට්‍යය පුරාම ඇයගේ වාචික අභිනය දෙබස් තුනකට පමණක් සීමා වීමය. ඒ දෙබස් ත්‍රිත්වය මෙසේය.

1. "අන්න ඩැඩී එනවා."

2."බලන්නකෝ ඩාලිං දූගේ විභාග තියෙන්න තියලා තියෙන්නේ ලබන මාසේ. විශ්වවිද්‍යාලවල කලබල නිසා විභාග කල් දාලා සරසවිය වහලා."

3."බලන්නකෝ ලෝරන්ස්, මම හැමදාම කියනවා පොලිසියට ටිකක් ඈතින් ගෙයක් ගමු කියල පදිංචියට. පොලිසියට අල්ලලා ක්වාටස් තිබුණාම කිසිම නිදහසක් නෑ. පොලිසියේ සද්දවලින් දවල් රෑ."

විවිධ කලා මාධ්‍යයන්හි මෑතකාලයේ ඓතිහාසික චරිත බහුලවමැ රඟපෑමේ අවස්ථාව ලැබුණු රංගන ශිල්පිනිය කුසුම් රේණු විය හැකි යැයි මම සිතමි. විජය නන්දසිරි නිර්මාණය කළ "ශශ්‍රී ගජබා" නාට්‍යයේ ගජබා රජුගේ (විජය නන්දසිරි) බිසව ලෙස ඇය රඟපෑ චරිතය ඊට තවත් නිදසුනකි. ගජබා බිසව වූ කලී ආත්මාර්ථකාමී අරමුණු සාධනය සඳහා ඕනෑම පහත් ක්‍රියාවක් කිරීමට පසුබට නොවන ගැහැනියකි.

රෝහණ දන්දෙණියගේ "පරාස්ස" නාට්‍යය ඇසුරෙන් ශ්‍රියන්ත මෙන්ඩිස් අධ්‍යක්ෂණය කළ "රාස්ස සහ පරාස්ස"නාට්‍යයේ "පුරන්සිනා"ගේ භූමිකාව කුසුම්ගේ රංගන දිවියේ මංසලකුණකි. නාට්‍යය තාත්වික වේවා කාව්‍යාත්මක වේවා ඒ ඒ ධාරාවන්ට ඖචිත්‍යපූර්වකව සුඛනම්‍ය කොටගත හැකි රූපණ ශෛලියක් සහ සිරුරක් ඇයට තිබිණ. ඉන් පෙර කුසුම්, මහාචාර්ය ආරියරත්න කළුආරච්චිගේ "ජසයා හා ලෙන්චිනා" නාට්‍යයේ ලෙන්චිනා ලෙස රඟපෑවාය."රාස්ස සහ පරාස්ස" ගැමි නාටක, ජනශ්‍රෑතිය ඇසුරින් නිර්මිත හාස්‍යෝත්පාදක නාට්‍යයකි. මෙහි ගමරාල (ප්‍රදීප් අරූගම) හා පුරන්සිනා (කුසුම් රේණු) යුවළ ලොකු යකා (තාරක උපේන්ද්‍ර) සහ කෝලමා (ශ්‍රියන්ත මෙන්ඩිස්) මෙල්ල කොට ඔවුන්ගෙන් වැඩගන්නා අයුරු අපූරුය. සැබැවින්ම රෝහණ දන්දෙණියගේ "පරාස්ස" ප්‍රවීණ රූපණවේදී ශ්‍රියන්ත මෙන්ඩිස්ගේ රංගන ජීවිතයේද සන්ධිස්ථානයකි. ධම්ම ජාගොඩ සූරීන් "පළිගු මැණිකේ" ටෙලි නාට්‍යයෙහි සූරසේනගේ භූමිකාව සඳහා ඔහු තෝරා ගත්තේ "පරාස්ස" නාට්‍යයෙහි කෝලමා ලෙස කළ රංගනය දැකීමෙනි.

බන්දුල විතානගේ අධ්‍යක්ෂණය කළ "රෝමය ගිනි ගනී" නාට්‍යයේ පසුකාලීන නිෂ්පාදනයට කුසුම් රංගනයෙන් දායක වූවාය. හාස්‍යෝත්පාදක චරිත නිරූපණයෙහිලා ඈ සතු රංගන කුසලතාව මෙබඳු නාට්‍ය නිර්මාණවලින් ඔප්නැංවිණ. මේ වූ කලී රේ කූනිගේ "අඋව් ජ්ර්‍ණඅ කර්‍ණඋඅ එධ්ජ්ඡ්" නම් වූ බ්‍රිතාන්‍ය ප්‍රහසනයේ අනුවර්තනයකි.

"කොමඩි යනු සැබෑ නොවූ මිනිසුන් සැබෑ අවස්ථාවලට මුහුණ දීමයි. ප්‍රහසනය යනු සැබෑ මිනිසුන් සැබෑ නොවූ අවස්ථාවලට මුහුණ දීමයි" යනු ජේම්ස් අගතේ, කොමඩි සහ ප්‍රහසනය අතර වෙනස විග්‍රහ කරමින් පැවසූ කියුමකි. ටැක්සි රියැදුරකු (ශ්‍රියන්ත මෙන්ඩිස්) සහ ඔහුගේ බිරිඳ (කුසුම් රේණු) මෙහි කේන්ද්‍රීය භූමිකාවෝ වෙති.මේ ටැක්සි රියැදුරාට අහම්බෙන් තරුණියක (ඉන්දිකා උපමාලි ) හමුවී ඔහු ඇයට පෙම් කරයි. මෙහිදී තම බිරිඳ සහ පෙම්වතිය අතරට මැදිවෙමින් ටැක්සි රියැදුරාට මුහුණපාන්නට සිදුවන සියලු හාස්‍යෝත්පාදක සිදුවීම්වලට ඉත්තකු බවට පත් වන්නේ ඔහුගේ සමීප මිතුරා (ජනක කුඹුකගේ)ය.

අජිත් මෙන්ඩිස්ගේ පිටපතට අනුව ශ්‍රියන්ත මෙන්ඩිස් අධ්‍යක්ෂණය කළ "පාදඩ අසපුව" (2000) නාට්‍යය වූ කලී කුසුම් රේණු රංගන ශිල්පිනියට තම සැමියා වූ ප්‍රවීණ රූපණවේදී ශ්‍රියන්ත මෙන්ඩිස්ගෙන් ලැබුණු උපන්දින ත්‍යාගයකි. 2000 ජනවාරි 30 ඇගේ උපන් දිනයදා මෙහි මංගල දර්ශනය පැවැත්විණ. ශ්‍රියන්ත මෙන්ඩිස් (නායක), කුසුම් රේණු (වාසුකි), ජනක කුඹුකගේ (ඉන්ද්‍රගුප්ත), වසන්ත විට්ටච්චි (විජායිනන්ද), රොඩ්නි වර්ණකුල (නිවේදක), ශශ්‍රීනාත් මද්දුමගේ (පාදඩ), කුමාර තිරිමාදුර (පූජක) යනාදීහු "පාදඩ අසපුව" ට රංගනයෙන් දායක වූහ.

 

ඉතිරි කොටස ලබන සතියේ...