සැලී ආන්ටිගේ සිට මහා ප්‍රජාපතී ගෝතමිය දක්වා

පෙබරවාරි 18, 2021

 

පූර්වයෙහි ම විසින් සඳහන් කරන ලද "හිම කුණාටුව" නාට්‍යයෙහි මෙන්ම අභියෝගාත්මක චරිතයක් ස්වකීය නව යොවුන් වියෙහිදීම කුසුම්ට ලැබිණ. ඒ ලක්ෂ්මන් ආරච්චිගේ සහ සුනිල් ලියනාරච්චි නිෂ්පාදනය කළ "මන්දාරම් වැහි" (1982) නාට්‍යයෙහි සැලී ආන්ටිගේ භූමිකාවය. 21හැවිරිදි වියෙහි සිටි ඇය මෙහිදී වයස 70 ක පමණ මහලු වියැති කාන්තාවකගේ චරිතයක් නිරූපණය කරමින් තම රංග කුසලතා විදාරණය කිරීමට සමත් වූවාය. මෙහි කුසුම් රඟපෑ සැලී ආන්ටිගෙ චරිතය උදෙසා පාදක වූයේ එවක රජයේ මුද්‍රණාලය සමීපයේ බුලත්විටි විකිණූ සැබෑ ගැහැනියකගේ චරිතයකි. ඇය මේ සැබෑ චරිතයේ චර්යාවන්ගෙන්ද කතාබහ කරන විලාසයෙන්ද ආභාසය ලැබ මේ භූමිකාව මැනවින් ප්‍රතිනිර්මාණය කළාය. එවක කලා ලොව නවකයන් වූ පාලිත සිල්වා සහ රොජර් සෙනෙවිරත්නද මීට රංගනයෙන් දායක වූහ. පැන්සන් මහත්තයා ලෙස රඟපෑ සුනිල් ලියනාරච්චි ද ජේන් ලෙස රඟපෑ සුරම්‍යා මාපිටියද මේ නාට්‍යයේ කැපී පෙනුණාහ.

 

පසුගිය ලිපියට මා හට ලැබුණු අගනා සහෘද පාඨක ප්‍රතිපෝෂණය (ජ්ඥඥඤඡචජඬ) හේතු කොට පෙර මවිසින් විග්‍රහ කරන ලද "ආයෙත් එන්නෙ නෑ" නාට්‍යයේ වෙසෙස් ලක්ෂණ පිළිබඳ වැඩිදුරටත් විමසා බැලීමට අවස්ථාව ලැබිණ. ලාංකේය ඉංග්‍රීසි වේදිකා නාට්‍ය කලාවේ දැවැන්තයකු වූ ජෙරොම් ද සිල්වාගේ ප්‍රථම සිංහල නාට්‍යය මෙය වේ. මෙහි අධ්‍යක්ෂණය මතු නොව නර්තන වින්‍යාසය, වේදිකා සැලසුම් සහ ඇඳුම් නිර්මාණය ද ජෙරොම් ද සිල්වාගෙනි. මේ නාට්‍යය සඳහා මුල්වරට වේදිකාවේ ජලය භාවිත කළ බව මම පසුගිය ලිපියේ දී පෙන්වා දුන්නෙමි.එපමණකුදු නොව ගින්දරද මුල්වරට වේදිකාවේ භාවිත වූයේ මේ නාට්‍යයෙහිය.

මේ නාට්‍යය ආරම්භ වනුයේ පුටු කීපයකට ගිනි තබන ජවනිකාවකිනි. මෙරට වේදිකා නාට්‍ය කලාවේ පසුතල නිර්මාණයෙන් සහ ආලෝකකරණයෙන් දැවැන්ත කාර්යභාරයක් ඉටු කළ මහින්ද ඩයස් කලාකරුවාණගේ පුත් තුෂාන් ඩයස් මේ නාට්‍යය නිෂ්පාදනය කළේ ජූඩ් ශ්‍රීමාල් සමඟිනි. දයානන්ද ගුණවර්ධන සූරීන්ගේ "බක්මහ අකුණු"(1963) නාට්‍යය උදෙසා ලංකාවේ මුල්වරට කැරකෙන වේදිකාවක් (අඥමධතමඪදඨ ඵබචඨඥ) නිර්මාණය කරන ලද්දේ මහින්ද ඩයස් විසිනි. ඔහුගේ පුත් තුෂාන් ඩයස් ලාංකේය වේදිකාවට මුල්වරට ඩිජිටල් ආලෝකකරණය හඳුන්වා දුන්නේය. ඒ ලලිතා සරච්චන්ද්‍රගේ "යෙර්මා"(1999) නාට්‍යය උදෙසාය. එහෙත් තුෂාන්ගේ ඩිජිටල් ආලෝකකරණයේ ප්‍රශස්ත ලකුණ සනිටුහන් වූයේ "ආයෙත් එන්නෙ නෑ" නාට්‍යය ඔස්සේය. මෙහි සියලු නළු නිළියෝ කළු පැහැති වස්ත්‍රවලින් සැරසී සිටියහ.

රාජ්‍ය නාට්‍ය උලෙළේ දී මේ නාට්‍යය උදෙසා කුසුම් රේණු හොඳම සහාය නිළියගේ සම්මානයට නිර්දේශ විය. නිහාල් ප්‍රනාන්දු, කුසුම් රේණු, දීපානි සිල්වා, රොෂාන් පිලපිටිය, ශ්‍රීනාත් මද්දුමගේ, නිල්මිණි බුවනෙක, සම්පත් ජයවීර, වත්සලා රණසිංහ, අනූෂා දිසානායක, රෝහිණි වික්‍රමආරච්චි, දීපා විල්ලර ආරච්චි, නිපුනි පේදුරුආරච්චි, දිලිනි පේදුරුආරච්චි, අශාන් ෆොන්සේකා, ජීවනි නිරූපා කුමාරි, නිලානි පෙරමුණ ආරච්චි, චමින්ද ප්‍රසාද්, එල්.බී.කේ. බාලසූරිය, අරුණ දිසානායක, අංජන නුවන්, ශාන්ත උදය කුමාර, ජීවන්ත චමීර පෙරේරා "ආයෙත් එන්නෙ නෑ" නට්‍යයේ රංගනයෙන් දායක වූ අතර මෙහිදී පූජකවරයකු ලෙස රඟපෑම හැරුණු විට සහය අධ්‍යක්ෂණයෙන් ප්‍රශස්ත කාර්යභාරයක් ශ්‍රීනාත් මද්දුමගේ ඉටු කළේය.

කුසුම් රේණුගේ රංගන ජීවිතයේ මඳ විරාමයකින් පසුව ප්‍රවීණ නාට්‍යවේදී කේ.බී. හේරත්ගේ "යශෝධරා"(2002) නාට්‍යයට ඇය රංගනයෙන් දායක වූවාය. එහි මහා ප්‍රජාපතී ගෝතමියගේ උතුම් භූමිකාව නිරූපණය කිරීමේ භාග්‍යය ඇයට ලැබිණි. අනෙක් සියලු නිර්මාණ පසෙක තබා කුසුම් ඒ වෙනුවෙන්ම කැප වූවාය.මේ නාට්‍යය ආරම්භ වනුයේ මහා ප්‍රජාපතී ගෝතමිය බුදුන් වහන්සේ හමු වී උතුම් පැවිදි ජීවිතයට පිවිසීමේ අපේක්ෂාවෙන් කාන්තාවන් 500 ක් සමඟ පියමනින ජවනිකාවෙනි. මෙහි "සිදුහත් කුමරු ගිහි ගෙයින් නික්ම පැවිදි දිවියට එළැඹුණු බව" පවසමින් ඡන්න ඇමැති සිදුහත් කුමරුගේ වස්ත්‍ර මහා ප්‍රජාපතී ගෝතමියට පිරිනමන ජවනිකාව මේ නාට්‍යය නැරැඹූ කිසිදු ප්‍රේක්ෂකයකුට අමතක නොවේ. කුසුම් රේණුගේ රංගන ප්‍රතිභාව වඩාත් ඉස්මතු වූ ජවනිකාව මෙය වේ. දරාගත නොහැකි කම්පනයෙන් ඇය නෙතින් ගලා යන කඳුළු ප්‍රේක්ෂක සහෘද බහුතරයකගේ නෙත්වලටත් සහානුභූතිය ක් හෙවත් අනුප්‍රවේශයක් බවට පත්වේ. මේ නිර්මාණය ප්‍රේක්ෂක විෂයෙහි ජනිත කළ කම්පනය කෙසේද යත් වරක් නාට්‍යය නිම වීමෙන් පසුව කම්පාවට පත් ප්‍රේක්ෂකයෙක් වේදිකාවට පැමිණ ඊට දායක වූ ශිල්පීන්ට සුබ පතා මෙසේ ඇසුවේය.

 

"මං යන්නේ හොරණට. කවුරු හරි හොරණට යන කෙනෙක් ඉන්නවා නම් මගෙත් එක්ක යන්න පුළුවන්.ඇත්තම කියනවා නම්, මේ නාට්‍යයෙන් මං කොතරම් කම්පා වුණාද කියනවා නම් මට කාරය තනියම පදවා ගෙන හොරණට යා නොහැකි තත්ත්වයක් ඇති වුණා. ඒ නිසායි තනිකමට කවුරු හරි එක්ක යන්න හැදුවේ."

 

නාට්‍ය කලාව ශුර නාට්‍යවේදීන් හරවත් ලෙස භාවිත කරන කල්හී ඉන් කෙතරම් නම් කම්පනයක්, ගැඹුරු ජීවිතාවබෝධයක් සහෘද මනස් හී ජනිත කළ හැකිද ? යන්න පෙන්වා දෙන සිදුවීමකි එය.

මෙහි යශෝධරා ලෙස ඉන්දිකා උපමාලිත්, සුද්ධෝදන රජු ලෙස ප්‍රසන්නජිත් අබේසූරියත් රාහුල කුමරු ලෙස කසුන් හරින්ද්‍රත් රංගනයෙන් දායක වූහ. සිදුහත් කුමරුගේ භුමිකාව මෙහි නිරූපණය වූයේ අවශේෂ පාත්‍රයන්ගේ සංවාද ඔස්සේය. ඒ හැරැණුකොට සිදුහත් කුමරුගේ භුමිකා නිරූපණයක් නාට්‍යයේ නොතිබිණ. සිදුහත් කුමරු අභිනිෂ්ක්‍රමණය කළ පසුව ප්‍රභූ පවුලක උතුම් කාන්තාවක ලෙස යශෝධරා දේවියට බිලිඳු රාහුල කුමරු සමඟ මුහුණපෑමට සිදුවන ගැටලු මේ නාට්‍යයේ විවරණය කෙරේ. ස්වකීය ස්වාමි පුරුෂයා ගිහි ගෙය හැර යෑමෙන් පසුව සිදුහත් කුමරුගේ පවුලේ සාමාජිකයන් සේම තම පවුලේ සාමාජිකයන්ද නැඟූ ප්‍රශ්නවලට තනිවම පිළිතුරු සැපයීමට සිදු වූයේ ඇයටය. විවාහය යනු කායික එක්වීමක් නොව ආධ්‍යාත්මික බැඳීමක් බව ඇය ඔවුන් සැමට අවධාරණය කරන්නීය. යශෝධරාගේ චරිත නිරූපණය ඉන්දිකා උපමාලිගේ රංගන ජීවිතයේ කඩඉමකි. එසේම විවිධ තරුණයෝ යශෝධරාවන්ගේ ප්‍රේමය පතා ඇය පසුපස ඇදී ආහ. කේ.බී. හේරත් නාට්‍යවේදියා මෙහිදී මහානාම (වසන්ත දුක්ගන්නාරාල රඟපෑ) නමැති තරුණයාගේ චරිතය නිර්මාණය කරනුයේ යශෝධරාවන්ගේ ප්‍රේමය පතා එන තාරුණ්‍යය සංකේතවත් කිරීමටය. මේ නාට්‍යය අරභයා විචාරයක් ලියූ ආචාර්ය මයිකල් ප්‍රනාන්දු මෙහි මහා ප්‍රජාපති ගෝතමිය ලෙස රඟපෑ කුසුම් රේණුගේ රංගන ප්‍රතිභාව බෙහෙවින් අගය කළේය

 

ඉතිරි කොටස ලබන සතියේ...