වේදිකාවේ ප්‍රේක්ෂාව

උසස් පෙළ නාට්‍ය හා රංග කලාව විෂය නිර්දේශය අනුව ලියැවෙන ලිපි මාලාවක්
පෙබරවාරි 4, 2021

නාට්‍යයක වාග් විලාසය මෙන්ම සංගීතයද එහි ප්‍රකාශනය හා සම්බන්ධ වේ. නාට්‍යයක යෙදෙන සංවාද මෙන්ම සංගීතයද පෙළ මතුපිට ඉක්මවා විවිධ අරුත් වෙත අප කැඳවා යන්නකි. කාව්‍ය ශාස්ත්‍රයේදී ඇරිස්ටෝටල් ශොකෝත්පාදකය නිරන්තර යොදන රිද්මය, ස්වර මාධූර්ය, පද්‍ය යන යෙදුම්වලින් සංගීතයේ අවශ්‍යතාව අවධාරණය කරයි. ආනන්දජනක අංගෝපාංග සහිත භාෂාවක් ඔහු ඉල්ලා සිටියි. එය රිද්මයේ ද, ස්වර මාධූර්යයේ ද, ගීතයේ ද සුසංයෝගයෙන් යුක්ත විය යුතුය. ගීතයෙන් ස්ථිර ලෙස ම කියවෙන්නේ සංගීතයයි. 

ප්‍රේක්ෂාව ශෝකෝත්පාදක ආකෘතියේ වැදගත් අංගයකි. ගී‍්‍රක රඟ මඩල මත පසුබිම් චිත්‍ර, යන්ත්‍රෝපකරණ භාවිතා කළ බවට සාක්ෂි ඇත. ශෝකෝත්පාදකය යම් විචිත්‍රත්වයක් සහිතය. සුවිශේෂී වූ මිනිස් චරිත, දෙවියන්ගේ චරිත, වර්ණවත් සංකේතීය ඇඳුම් සහ වෙස්මුහුණු විසින් මෙම රංග විචිත්‍රත්වය මතු කරයි. ප්‍රේක්ෂාව වූ කලී නාට්‍ය පෙළ වෙත කවියා නැතහොත් රචකයා හෝ නළුවාට වඩා වේදිකාවේ ආහාර්යය අභිනය විසින් එකතු කරන ගාම්භීර විචිත්‍රත්වයකි. මෙම විචිත්‍රත්වය වඩාත් සංකීර්ණ වූයේ එළිසබතියානු සහ ජකොබියානු යුගයන් හී ශේක්ස්පියර් සහ ක්රි ස්ටොෆර් මාලෝ වැන්නන් අතිනි. 19 සහ 20 ශතවර්ෂවලදී සිනමාව සහ ඡායාරූප කලාව කලාත්මක වේදිකා ආලෝකකරණය විසින් යථාර්ථවාදී විචිත්‍රත්වයක් ශෝකෝත්පාදකයකට එකතු විය. ප්‍රේක්ෂාව විසින් පෙළ වෙනස්ම වූ අර්ථකථනයන්ට යොමු කළේය. මෑත යුගයේ ලංකාවේ පුනර් නිෂ්පාදනය වූ ට්‍රෝජන් කාන්තාවෝ (Trojan Women),, රතු වෙස්මුහුණු (Oudipus ReX)  සහ අද වගේ දවසක ඇන්ටිගනී (Antigone) වැනි නාට්‍යයක දී ප්‍රේක්ෂාව ඉතාමත් නූතන අර්ථ කථනයන්ට ලක් කිරීමෙහිලා ප්‍රේක්ෂාව ඉතා වැදගත් විය. අරිස්ටෝටල්ගේ ‘‘කාව්‍යය ශාස්ත්‍රය“ වූ කලී භරතමුණිගේ “නාට්‍යය ශාස්ත්‍රය“ මෙන් අංග සම්පූර්ණ සෛද්ධාන්තික රචනාවක් නොවන බැවින් ද ඇරිස්ටෝටල් ශෝකෝත්පාදකයේ අන්තර්ගතය පිළිබඳ වැඩි අවධානයක් යොමු කොට ඇති බැවිනුත් එහි ප්‍රේක්ෂාව පිළිබඳ ගැඹුරු විශ්ලේෂණයක් නැත. 

ප්‍රේක්ෂාව ශෝකෝත්පාදකයක භය සහ කාරුණ්‍යයක මතු කිරීමේ ලා වැදගත් සාධකයකි. එහි ශෝකීය බව ප්‍රේක්ෂක ඇසට අවධාරණය කිරීමෙහිලා ප්‍රේක්ෂාව විසින් සකස් කරන වේදිකා චිත්‍රය වැදගත් වේ. වඩා වැදගත් වනුයේ නාට්‍යයේ ව්‍යුහය හා සිද්ධි (කතා වින්‍යාසය) භය සහ කාරුණ්‍යයේ මතු කර ගැනීමයි. ප්‍රේක්ෂාවද ඒ සඳහා ගැඹුරු භාවමය ස්වභාවයකින් යුක්තව සකස් කරගත යුතුය. නමුත් ශෝකෝත්පාදකයේදි වැඩි වැදගත්කමක් හිමි වන්නේ කතා වින්‍යාසය මඟින් ඇති කරන භය සහ කාරුණ්‍යට ය. ප්‍රේක්ෂාව ප්‍රධාන කොට භය සහ කාරුණ්‍ය මතු කිරීමට උත්සාහ ගතහොත් ශෝකෝත්පාදකය අති නාටකයක් බවට පත්වේ. භය සහ කාරුණ්‍ය ඇති වන පරිද්දෙන් කතා වින්‍යාසය සකස් කළ යුතුය. ශෝකෝත්පාදකය දෙස නොබලා එය ඇසීමෙන් වූ අපේක්ෂිත භාව විශෝධනය සිද්ධ විය යුතුය. ප්‍රේ‍ක්ෂාව මඟින්ම හැඟීම් ජනනය කිරීම, රස ඇති කිරීම උසස් දෙයක් නොවේ. ශෝකෝත්පාදකය එවිට අතිනාටකයක් බවට පත්වේ. සුඛාන්තය ප්‍රහසනයක් බවට පත්වේ. ප්‍රේක්ෂාව මඟින් හුදෙක් භයානක වූ ද, භය ඇති කිරීමට හේතු නොවන්නා වූ ද භාව ඉදිරිපත් කිරීම අනවබෝධය නිසා සිදුවන්නකි. අරිස්ටෝටල් ප්‍රේක්ෂාව විග්‍රහ කිරීමෙහිලා අවධානය යොමු නොකළ ද නාට්‍යයකරුවෝ ඒ පිළිබඳ අවධානය යොමු කළහ. නාට්‍යය පොදු ජන කලාවක් බැවින්ද, තරගකාරී උත්සවයක කොටසක් නිසා ද, ප්‍රේක්ෂකාර්ෂණය බලාපොරොත්තු වූ නිසාද නාට්‍යයකරුවෝ ශෝකෝත්පාදකයේ ගැඹුරු සන්නිවේදනය ආරක්ෂා කරගනිමින් ප්‍රේක්ෂාව, එහි විචිත්‍රත්වය නාට්‍යය සඳහා යොදා ගත්හ.

පසුකාලීනව ශෝකෝත්පාදක නාට්‍යයේ කතා වින්‍යාසය, චරිත, චින්තනය හා තරමටම ප්‍රේක්ෂාව අවධානයට ලක් විය. වාග් විලාශය හා සංගීතය ද එහි මුඛයේ කොටසක් විය. එහෙම කොටස්ය මේ අංග තුනම ප්‍රේක්ෂාව යටතට පත්විය. එළිසබතන් නාට්‍යයකරුවා චිත්තාකර්ෂණීය විචිත්‍රත්වය ද නූතන නාට්‍යයකරුවා යථාර්ථවාදී විචිත්‍රත්වය ද ශෝකෝත්පාදකයට එකතු කළේය.

වර්ණාලේප දර්ශන තල, චිත්‍ර හා රංග වස්ත්‍රවල දීප්තිමත් බව ගී‍්‍රකයේ දීම එකතු විය. චරිත බාහුල්‍ය හා චරිතවල විවිධත්වය සංකීර්ණ වීමෙන් ද මධ්‍යකාලීන ප්‍රදර්ශනාත්මක විසිතුරු බව විසින්ද එළිසබතන් ශෝකෝත්පාදකය ආකර්ෂණීය විය. ඊස්කිලස් නාට්‍යයට සාම්ප්‍රදායික දීප්තිමත් වස්ත්‍ර, අඩි උස පාවහන් ශෝකෝත්පාදකයට හඳුන්වා දුන්නේ ප්‍රේක්ෂාව එහි ‍ඓන්ද්‍රිය කොටසක් බවට පත් කිරීමටය. ගී‍්‍රක වේදිකාවේ කවාකාර ආකෘතිය ද, මධ්‍යයේ ඇති පූජාසනය ද, කඳු බෑවුමේ කවාකාර වේදිකා ආකෘතිය ද, අතිවිශාල ප්‍රේක්ෂක පිරිසකට නැරඹිය හැකි ලෙස සකස් කිරීමේ අභියෝගය විසින්ද නාට්‍යයකරුවන් හට ප්‍රේක්ෂාව පිළිබඳ අවධානයක් යොමු කළේය. ගී‍්‍රක රංග භූමියේ ස්වභාවික පරිසරය විසින්ද පිහිටීම විසින්ද දෙවිවරුන්ට පැමිණීමට සකස් කළ යන්ත්‍රාදිය විසින් ද ස්වාභාවිකවම අපූරු ප්‍රේක්ෂාවක් ගී‍්‍රක රංගනයට ලැබුණි. ඇරිස්ටෝටල් අවධානය යොමු නොකළ ද අන්තර්ගතය විසින් ද අතිවිශාල ප්‍රේක්ෂාගාරයේ අවශ්‍යතාව විසින් ද ගී‍්‍රක නාට්‍යකරුවන් ප්‍රායෝගිකව රංගයේ ප්‍රේක්ෂාව වෙත අවධානය යොමු කළ අතර නූතනයේ දී නම් ඕනෑම නාට්‍ය ආකෘතියක් සඳහා ප්‍රේක්ෂාව ඉතා වැදගත් කාර්යභාරයක් ඉටුකරයි. නාට්‍යයේ ශ්‍රව්‍ය දෘශ්‍ය කලාවක් වීම ඊට හේතුවයි. විශේෂයෙන්ම නාට්‍යයේ දෘශ්‍ය පක්ෂය යනු මේ ප්‍රේක්ෂාව වේ.