ශෝකජනකයේ ආකෘතිය හෙවත් බාහිර පෙනුම

උසස් පෙළ නාට්‍ය හා රංග කලාව විෂය නිර්දේශය අනුව ලියැවෙන ලිපි මාලාවක්
ජනවාරි 28, 2021

ශෝකජනකයේ ඇතුළාන්තය, ගැඹුරු, සංකීර්ණ බව හෝ අප හඳුනා ගන්නේ කතා වින්‍යාසය, චරිත හා චින්තනය විමසා බැලීමෙනි. මෙම අන්තර්ගතය ප්‍රේක්ෂකයා අබිමුවට ගෙන යන ආකාරය හෙවත් ආකෘතිය තේරුම් ගත හැක්කේ වාග් විලාසය, සංගීතය සහ ප්‍රේක්ෂාව ඇසුරෙනි. පේ‍්‍රක්ෂාව නම් ආහාර්ය අභිනයයි. නළු කාර්යය ගතහොත් නළුවාගේ අභ්‍යන්තර කය මූලික කරගත් වාචික, සාත්වික සහ ආංගික අභිනයෙන් අන්තර්ගතය ද ආහාර්ය අභිනයෙන් ආකෘතියද තේරුම් ගන්නේ යැයි කිව හැකිය. 

රංගය සාමාන්‍ය ජීවිතයට වඩා වෙනස් බසකින් කතා කරයි. ඉතිහාසය විස්තර කරනුයේ ගද්‍ය භාෂාවෙනි. නමුත් ඉතිහාසය පදනම් කොටගෙන අර්ථකථනය වෙන, ප්‍රතිනිර්මාණය වන කාව්‍ය , නාටක පද්‍යයෙන් රචනා වේ. එබැවින් නාට්‍යයට යථාර්ථවාදී විය හැකි වුවත් ස්වාභාවික විය නොහැකිය. කලාවේ අනුකරණය කරනුයේ සාමාන්‍ය ජීවිතය වුවත් කලා කෘතිය තුළ දැකිය හැක්කේ කාව්‍යයමය වූත්, යථාර්ථවාදී වූත්, ශෛලිගත වූත් ජීවිතයකි. කැඩපතින් බැලූ විට අපට පෙනෙන්නේ අප ම වුවත් ඒ අප ම නොවේ. කැඩපත වෙනස් වන විට පිළිබිඹුවද වෙනස් වේ. කලාව කරනුයේ සැබෑ ජීවිතයට කැඩපතක් අල්ලා බැලීමකි. එවිට පෙනෙන පිළිබිඹුව ඇස දකින පිළිබිඹු ට සමාන හෝ වෙනස් විය හැක. ඉතිහාසය අපට සිදුවූ දෑ විස්තර කරන අතර කලාව අපට සිදුවිය හැකි දෑ පවසයි. එම නිසා ඉතිහාසය වාර්තා කරන්නාට වඩා කවියා (නාට්‍යකරුවා) දාර්ශනික වේ. එය ඉතිහාස වාර්තාවට වඩා උසස් වේ. ඇරිස්ටෝටල්ට අනුව කාව්‍යයෙන් සාර්වික සත්‍ය ප්‍රකාශ කරයි. ඉතිහාසය නියත සිද්ධි පිළිබඳ කරුණු දක්වයි. ඉතිහාසකරුවාට කවියා මෙන් ප්‍රබන්ධ කළ නොහැකිය. සිද්ධි පිළිබඳ තම අර්ථකථනය ප්‍රකාශ කළ නොහැකිය. සාර්වික සත්‍යය යනු යම් නියමිත අවස්ථාවක යමකු විසින් ඒ අවස්ථාවේදී අපේක්ෂා කළ හැකි පරිදි පවසන හෝ කරනු ලබන දේය. උචිත බව එහි වැදගත් අංගයකි. චරිත වෙනස් වෙනස් නම්වලින් හඳුන්වන්නේ වුවත් නාට්‍යයක අරමුණ සාර්විකභාවයයි. ශෝකජනකයේ හමුවූණ කාව්‍යයමය බව නිසා එහි එන සිද්ධි ස්වභාවික නැත. ශෝකෝත්පාදකයක සිටින සෑම චරිතයක් ම සිටිනුයේ උච්චතම භාවාත්මක අවස්ථාවකය. දුක්ඛාන්තය හෝ සුඛාන්තය අවසන් වන්නේ මානසික ආතතිය දැඩි මොහොතේ සිට තීරණාත්මක මොහොතකට අවතීර්ණ වීමෙනි. එය සාමාන්‍ය ජීවිතයේ සිදු විය හැකි නමුත් දුර්ලභ හා අසාමාන්‍යය අවස්ථාවකි. ඊඩිපස් සියතින්ම දෑස් අන්ධ කරගැනීම, ඇන්ටිගනී ගෙල වැලලා ගැනීම, කොස්තයා දිවි නසා ගැනීම සහ නෝරා නිවස හැර දමා යාම එවැනි උච්චතම මොහොතවල් ය.

මෙම කාව්‍යමය බව, අසාමාන්‍ය වූ පීඩනකාරී අවස්ථා හේතුකොටගෙන චරිතවල යටි සිතෙහි, චිත්ත සන්තානයේ ඇති විශේෂ වූ ගුණාංග ඉවතට පැමිණේ. ඛේදනීය අවසානය එළඹෙන්නේ එහි ප්‍රතිඵලයක් ලෙසිනි. මේ නිසා චරිතවල කථාබහ අමුතු වේ. විශේෂි වේ. සංගීතය විශේෂ වේ. ආහාර්ය අභිනයෙන් මවන පසුබිම හා ප්‍රේක්ෂාව සුවිශේෂි වේ. එබැවින් ශෝකජනකය ආස්වාදනයෙහිලා වාග් විලාශය, සංගීතය සහ ප්‍රේක්ෂාව ඉතා වැදගත් වේ. කාව්‍ය ශාස්ත්‍රයේ දී ඇරිස්ටෝටල් මෙම අංග තුන විස්තරයෙහිලා අඩු අවධානයක් යොමුකර ඇති නමුත් තාක්ෂණය දියුණු වූ නූතනයේ පැරණි ශෝකෝත්පාදක නව අර්ථකථනයන්ට භාජනය වන විට ආකෘතියෙහි මෙම අංග කෙරේ වැඩි අවධානයක් යොමුවිය. සංවාද ශෛලීය, සංගීතය, රංග වස්ත්‍ර සහ පසුතල නව දැක්මකින් යුතුව ඉදිරිපත් කිරීම එළිසබතන් නාට්‍ය යුගයේදී මෙන්ම 20 වන ශතවර්ෂයේ පින්තූර රාමු වේදිකාව මත ප්‍රතිනිර්මාණය වන ශෝකෝත්පාදකයන් හී වැදගත් ලක්ෂණයකි. විශේෂයෙන්ම පැරණි එළිමහන් (ගී‍්‍රක සහ රෝම යුගවල) වේදිකාව වෙනස් වී ගෘහස්ත වේදිකාව තුළ නාට්‍යය නිර්මාණය පුළුල්වීමත්, 16 සහ 17 ශතවර්ෂවලදී නළුවා මුල් කොට ගනිමින් හා 19 සහ 20 ශතවර්ෂවලදී අධ්‍යක්ෂවරයා මූලික කොටගත් නාට්‍යය නිෂ්පාදනය ඇරඹීමත් සමඟ ශෝකජනකයේ කතා වින්‍යාසය, චරිත හා චින්තනය තරමටම මෙන්ම එම අංග වඩාත් ගැඹුරු හා ප්‍රාසංගික ලෙස ඉදිරිපත් කිරීමේහිලා වාග් විලාශය, සංගීතය හා ප්‍රේක්ෂාව වඩා වැදගත් විය. නූතනයේ නාට්‍යයක අන්තර්ගතය මෙන්ම ආකෘතිය ද වැදගත් කොට සලකයි. පැරණි ශෝකජනක නිෂ්පාදනයේ දී වැදගත් වූ වෙස්මුහුණ, සංකේතීය ඇඳුම්, ඒකාකාරී පසුතල, විශාල කරන ලද රංග භාණ්ඩ වෙනුවට වඩාත් යථාර්ථවාදී විවිධ අර්ථකථනයන්ට බඳුන් කළ හැකි සංගීතය, ආහාර්ය අභිනය, වාග් විලාශයන් භාවිතය වර්තමානයේ දී උත්සුක වීම ඊට හේතුවයි.

මෙහිදී වාග් විලාශය නම් කථනයේ යෙදෙන ආකාරයයි. ස්වරූපයයි. නැතහොත් කාව්‍යයේ එන සංවාද නැතහොත් වචන අර්ථ ප්‍රකාශනය සඳහා භාවිත කිරීමයි. නාට්‍යයක සංවාදයක පෙළෙහි ලිඛිතව පවතින විට එහි සැබෑ අර්ථයක් නැත. වචනයක් උච්චාරණය කරන ආකාරය, එහි නැවතුම් විරාම ආදී ලක්ෂණ යෙදීම් උච්චාරණයට අනුව අර්ථ නැගේ. ‘‘ඔව්” යන්නෙහි එහි මතුපිට අර්ථයක් ‘‘නෑ” යන්නෙහි එහි මතුපිට අර්ථයක් ද නැත. ඇවැසි නම් ඔව් යන්නෙන් නැත යන අර්ථයත්, නෑ යන්නේ ඇත යන අර්ථයත් මතු කළ හැකිය. ‘‘සන්තෝෂය“ ප්‍රකාශ කිරීමෙහිලා ‘‘සිනහව ද” දුක්ක ප්‍රේකාශනයෙහි ලා ‘‘කඳුළ ද” අදාළ නොවේ. කෙනෙක් සතුට ප්‍රකාශනයෙහි ලා හැඬීම ද, දුක ප්‍රකාශ කිරීමෙහි ලා සිනහව ද භාවිත කළ හැක. වාග් විලාශය යනු සංවාදයක සැඟවී ඇති යටිපෙළ අර්ථය සොයා ගැනීමයි. සංවාදය ගද්‍ය වුව පද්‍ය වුව අර්ථ ප්‍රකාශ සිදුවන්නේ වාග් විලාසය අනුව ය. එනම් උච්චාරණය අනුවය.

සංගීතය යනු භාව ප්‍රභෝදන ශක්තියක් ඇති කලා මාධ්‍යයකි. සංවාදයක අර්ථය වාග් විලාශය ට හෝ වෙනත් ආහාර්ය අභිනයකින් අරුත්ගන්වා ගත නොහැකි වීමක් මොහොතකදී මතුවිය හැකිය. සංගීතයේ ඇති භාව ප්‍රබෝධන ශක්තියට පමණක් හසු කරගත හැකි අරුත් දෘශ්‍ය කාව්‍යයක පවතී. රඟපෑම මෙන්ම නළුවන් ද නොමැතිව ශෝකජනකයේ අපේක්ෂිත අරුත් මතුකරගත නොහැකිය. නමුත් රංගයක් සංස්කෘතික, සමාජීය, දේශපාලන හෝ මනෝ විශ්ලේෂණාත්මක අර්ථයකින් නව අර්ථකථනයකට බඳුන් කිරීමේ හැකියාව සංගීතයේ නාද රටා, රිද්ම වල ඇත. ශෝකජනකයේ හැමවිටම ඛේදනීය අවසානයකට යොමුවේ. එය ඛේදාත්මක වුවද ඛේදාන්ත වීරයා ගේ අර්ථයෙන් සුඛාන්තයකි. මන්ද තම අරමුණ ජය ගැනීමේ අරගලයෙන් වීරයා ජය ලබා ඇත. හැම්ලට් නාට්‍ය අවසන් වන්නේ හැම්ලට් ගේ මරණයෙන් වුව ඔහුගේ අරමුණු ජය ගැනීමෙනි. ඊඩිපස් තම ඇස් බිහිසුණු ඉරණමකින් අන්ධ කර ගත්තද ඔහුගේ මනැස අවදි වී ඇත. ‘‘මට දැන් හොඳීන් පෙනේ“ යැයි ඔහු පවසන්නේ එබැවිනි. ඔහු ප්‍රත්‍යභිඥානය ලබා ඇත. ප්‍රේක්ෂකයාගේ පැත්තෙන් භාව විශෝධනය වීමද එවන් ජයග්‍රහණයකි. සාමාන්‍යයෙන් ශෝකජනක රංගයක අවසන සිදුවන වේදනාත්මක සිද්ධි, අත්දැකීම් නිසා අවසානයේ අපට ඇසෙන්නේ වේදනාත්මක සංගීතයකි. නමුත් සර්ජි ප්‍රකොෆිව් නම් සංගීතඥයා හැම්ලට් නිෂ්පාදනයේදී යොදාගත් සංගීත භාවිතය පී‍්‍රතිමත් බවක් එකතු කළේය. එවන් පී‍්‍රතිමත් සංගීතයක් නාට්‍යය අවසානයේදී යොදාගැනීම අලුත් අර්ථකථනයකි. ඔහුගේ අදහස වූයේ නාට්‍ය අවසානයේ ප්‍රේක්ෂකයා යා යුත්තේ හැම්ලට් ගේ මරණය පිළිබඳ වේදනාවෙන් නොව නාට්‍ය විසින් අත්පත්කර දුන් ගැඹුරු ජීවන අත්දැකීමේ ප්‍රහර්ෂයෙන් බවයි. එම සංගීත භාවිතය හැම්ලට් නම් ශෝකජනකය දෙස විසංයෝජනීය කියැවීමක් ලෙස දැක්විය හැකිය.