බිහිසුණු චරිත

උසස් පෙළ නාට්‍ය හා රංග කලාව විෂය නිර්දේශය අනුව ලියැවෙන ලිපි මාලාවක්
ජනවාරි 7, 2021

ශෝකෝත්පාදකයේ අරමුණ වනුයේ බිහිසුණු චරිත ලක්ෂණ ඇති අය ඔවුන්ගේම දුක්ඛ වේදනාවලට දක්වන ප්‍රතිචාරයන් පිළිඹිබු කරමින් බුද්ධිමය තත්වයකට හෙවත් ප්‍රත්‍යාභිඥානයකට පත් කිරීමයි. මේ නිසා ශෝකෝත්පාදකයේ සැමවිට ඇත්තේ උත්තම පුරුෂ හා ඔවුන් වටා සිටින චරිත ආශි‍්‍රත දුක්ඛවේදනා සහ අවාසනාවන්තභාවය පිළිබඳ කතාන්දරයකි. එය අවසන ඇන්ටිගනි, හැම්ලට් මෙන් ඛේදජනක මරණයක් විය හැකිය. නැතහොත් ඊඩිපස් ට මෙන් ඛේදජනක අනතුරක් විය හැක. නැතහොත් කොලොනස්හී ඊඩිපස්ට මෙන් දිව්‍යමය මරණයක් විය හැකිය. එසේත් නොවේ නම් ක්‍රයෝන් (ඇන්ටිගනී), අර්කදිනා (මුහුදු ලිහිණියා), නෝරා (බෝනික්කි ගෙදර) සහ රැනවෙස්කයා (චෙරි උයන) මෙන් ඛේදජනක ලෝකයක හුදකලාවීමක් විය හැකිය.

කායික මරණයක් හෝ ආධ්‍යාත්මික මරණයක් විය හැකිය. කෙසේ වුව ඔවුන් පත්වන තත්ත්වය අතිශ්‍යයින් කටුක හා දුක්ඛිත එකකි. එහෙත් මේ සියලු කටුක අමිහිරි වේදනාත්මක මරණ හෝ හුදකලාවීමේ අත්දැකීම් මැද තික්ෂණ බුද්ධිය හා ඥානය සහිත සත්‍යාවබෝධයක් පසක් කරගනිමින් ඔවුහු සියල්ල විඳදරා ගැනීමේ සහ ඉවසීමේ චිත්ත ස්වභාවයක් අත්පත් කර ගනිති. ඔවුන්ගේ මේ දරාගැනීමේ අප්‍රතිහත ශක්තිය විසින් ප්‍රේක්ෂකයා තුළ තමා කෙරෙහි බියක් ද ඔවුහු කෙරෙහි කාරුණ්‍යද ජනිත කරයි. සියතින්ම තම දෑස් අඳ කරගන්නා ඊඩිපස් ‘‘ දැන් මට හොඳීන් පෙනෙයි”‘ යනුවෙනුත්, ඇන්ටිගනී නාට්‍ය අවසන ක්‍රයෝන් ‘‘පැහැදිලියි දැන් සියල්ල දේව නියමය අනුවමයි මිනිසා ජීවත් විය යුතු” යැයි පවසන්නේත් ඔවුන් ප්‍රත්‍යක්ෂ කරගත් ඥානය විසිනි. ක්‍රයෝන් පවසන දේව නියමය නම් පුහු විඥානවාදි ආකල්පයක් නොවේ. ස්වභාවධර්මයේ නියමයන් ට ඇති අවනතභාවයයි.

මනුෂ්‍යයාට තමා වෙනුවෙන් සකස් කරගත් නීතීන් වෙනස් කරගත හැකිය. නමුත් ස්වභාවධර්මයේ ඉරණමේ නීති වෙනස් කළ නොහැකිය. එය වෙනස් කිරීමට භෞතිකව ගන්නා සෑම උත්සහයක් විසින්ම ඊඩිපස් සහ ක්‍රයෝන් මෙන් මනුෂ්‍යයා එහි ගොදුරක් බවට පත්වේ. ශෝකෝත්පාදකයේ එන වීරයා සැමවිට අනෙකා වෙනුවෙන් තම ජීවිත ආශාව ඉවතහල අයෙකි. ඇන්ටිගනී, හැම්ලට් එවැන්නෝය. ඔවුහු තම ඉරණම ශක්තිමත් ආත්මයකින් යුක්තව බාරගනියි. ජීවිතාශාව ඉවතහල ඔවුහු අපවන් අය වුව අපට වඩා උසස් හා වෙනස් වේ.

එක්තරා උමතු ස්වභාවයක් ඔවුන් තුළ දිස්වේ. ඊඩිපස්ගේ ඇස් අන්ධ කරගැනීම, හැම්ලට් ගේ උමතුව, ඉඩම අහිමි වෙත්දි රැනවෙස්කයා බාලක් නැටීම, අර්කදිනා පුතුගේ අහිමිවීම දැන කාඩ් සෙල්ලටම එකතුවීම මේ උමතු බවෙහි ලක්ෂණයකි.

ශෝකෝත්පාදකයේ චරිත සෑම විටම අනුකම්පා විරහිත ලෝකයක් ඉදිරියට පමුණුවනු ලැබ සිටියි. ඔවුන් වටා සිටින. ඔවුන්ට ආදරය කරන සෙසු චරිතද එම අනුකම්පා විරහිත ලෝකයේ ගොදුරු වේ. මව සමඟ යහන් ගතවීමේ (පියා මරා) ඉරණම ඊඩිපස් ට උරුම වුවා සේම තම ස්වාමියාගේ මරණයේ වේදනාව දරාගෙන තම පුතු හා යහන්ගත වීමේ (නොදැන හෝ) වේදනාත්මක ඉරණමෙහි ‘‘යොකස්ටා” ද ගොදුරකි. පියාගේ මිනීමරුවාගෙන් පළිගැනීමේ ඉරණම මෙන්ම තම ස්වාමියාගේ ඝාතකයා හා යහන් ගත වීමේ ඉරණම ඉදිරියට හැම්ලට් ද ඔහුගේ මව (ග්රූට්රට් බිසව) ද අභිමුඛවී සිටියි. චෙරි උයන විනාශ වීම රැනවෙස්කයා මෙන්ම ලොපකින්ට ද වේදනාවකි.

ඔවුන්ගේ ගමන් මග අනතුරුවලින් ද, වේදනාත්මක සිත් රිදවීම්වලින් ද, බිහිසුණු මළපුඩුවලින් ද පිරි ඇත. නාට්‍යයේ ආරම්භයේ ඔවුහු සුඛිත මුදිත ඉරණමක් දරා සිටියි. මොහොතකින් ඔවුහු අප ඉදිරියේම අපිරිමිත සතුටින් පරාර්ථකාමි අරගලයකට අවතීර්ණ වෙති. එම පරාර්ථකාමී අරගලය විසින් ඔවුන්ගේ ආධ්‍යාත්මයේ පත්ල දක්වාම බරපතළ තුවාල හා ව්‍යසන ඇති කරති. ඔවුන්ගේ ගැලවීමට ඇති සෑම මාර්ගයක්ම ව්‍යසනවලින් පිරීයයි. ගැලවීමට හෝ විසඳුම් සෙවීමට ගන්නා සෑම ක්‍රියාවක් විසින්ම ඔවුන්ගේ ආත්මීය ව්‍යසනයක් සඳහා ප්‍රතිකි‍්‍රයා ඇති කරයි. ඔවුහු ව්‍යසනයක් වෙත ගමන් කරන බව ඔවුහු නොදනි. සෙසු චරිත ද ප්‍රේක්ෂකයා ද දනී.

අන් චරිත ඔවුහු ඉන් මුදාගැන්මට ගන්නා කි‍්‍රයාමාර්ග ශෝකෝත්පාදක වීරයා වරදවා වටහා ගන්නා බැවින් ඒ කි‍්‍රයාමාර්ග ප්‍රතිඵල රහිත වේ. ව්‍යසනය නවතාලිය නොහැකි මෙන්ම ව්‍යසනය ඉක්මන් කරන කි‍්‍රයා මාර්ග බවට පත්වේ. ශෝකෝත්පාදක වීරයාගේ ව්‍යසනයෙහි සෙසු චරිතද වගඋත්තරතරුවන් වෙති. මේ සෙසු චරිත යොකස්ටා (ඊඩිපස් රජ), ග්රූට්රඩ් (හැම්ලට්) සහ යුරිඩිස් බිසව (ඇන්ටිගනී) මෙන් මරණයට පත්වේ.

ඇරිස්ටෝටල්ට අනුව ශෝකෝත්පාදකයේ දී කි‍්‍රයාවේ යෙදී සිටින පුද්ගලයන් අනුකරණය කරන නිසා ඔවුන් සැබෑ ජීවිතයේ දී අප දන්නා පුද්ගලයන්ට වඩා හොඳ හෝ උසස් නැතහොත් නරක හෝ පහත්, එසේත් නැත්නම් සාමාන්‍ය තත්ත්වයේ ගතිගුණ ඇති අය විය යුතුය. මනුෂ්‍යයන් වුව දෙවිවරුන් වුව (ප්‍රො‍මිතියස් මෙන්) එසේ විය යුතුය. චරිත සකස් විය යුත්තේ මේ ගතිගුණ සහිතවය. සෑම මිනිස් චරිතයක්ම යහපත් හෝ අයහපත් ගතිගුණ නිසා එකිනෙකට වෙනස් වේ.

චරිතයක් තවත් චරිතයක් අතර ගැටෙන සුළුවිය යුතුය. ඔවුන් එකිනෙකා හා සම්බන්ධ වන තරමටම පරස්පර වේ. චරිත අතර සන්සන්දනය (Comparison) මෙන්ම විසන්සන්දනය (Contrast) තිබිය යුතුය. ශෝකෝත්පාදක නාට්‍යයේ පුද්ගලයා හා පුද්ගලිකත්වය (Individual) සහ ඉරණම අතර සම්බන්ධය විදහා දැක්වෙන ක්‍රමය චරිතවල මිණුම් දණ්ඩ වේ. ඉරණම අනුව පුද්ගලයාට සිදුවන දේට වගකිව යුත්තේ ඒ පුද්ගලයාමය. පුද්ගලයා වූ කලී ඉරණම හා සමඟ ස්වශක්තියෙන් තරඟයක යෙදෙන්නකි.

එබැවින් ඔහු ස්වාර්ථවාදියෙකි (Individualism) සියුස් දෙවියන්ට එරෙහිව ගිය ප්‍රොමිතියස් බන්ධනය නාට්‍යයේ ප්‍රොමිතියස් දෙවියන්ට එරෙහිව මනුෂ්‍යයා වෙනුවෙන් කළ කැප කිරීම (ගින්දර ලබාදීම) නිසා අත්පත් කරගත් දුක්ගැහැට තනියම විඳදරා ගත්තේ එබැවිනි. ඔහු සිය ඉරණමට තනියම මුහුණ දුන්නේය. ඊඩිපස් රජ ද තම ඉරණම තමා විසින්ම විසඳාගත්තේය. ශෝකෝත්පාදකයේ වීරයාගේ චරිතයේ ප්‍රධාන ලක්ෂණය වන්නේ දහසක් දුක්විඳ ඉරණම කරා ගමන් කිරීමයි. ඉරණම සමඟ ස්වශක්තියෙන් සටන් වැදීමයි. ශෝකෝත්පාදක නාට්‍යයක හරය නම් චරිත සහ ඔවුන්ගේ අරමුණු අතර ඝට්ටනයත් එම ගැටුම නිරාකරණය වීමත් ය.

නාට්‍යයේ කි‍්‍රයා එහි චරිත මෙහෙයවන යම් යම් අරමුණුවලට යටත් වේ. එම ක්‍රියාවල ඇත්තේ ඔවුන් එකිනෙකා වෙත දක්වන්නා වූ ප්‍රේමයත්, ආදරය, තම මාතෘ භූමියට දක්වන ගෞරවය ආදී බලවේගයන්ය. නාට්‍යයක ප්‍රධාන චරිතය බලගතු විය යුතුය. ඔහු දුක්කම්කටුලුවලට නොබියව මුහුණ දිය යුතුය. අපරදිග ශෝකෝත්පාදකයේ කථානායකයාගේ ගැටුම තුළ සමකාලීන සමාජ දෘෂ්ටියේ බලපෑම වැදගත් වේ. දුක සැප දෙකටම ප්‍රධාන වශයෙන් මුල්වන්නේ පරලොව අභිප්‍රායන් නොව පුද්ගලයාගේ ස්වභාවයයි යන්න එකල මුල්බැසගත් සමාජ විශ්වාසයයි.

ශෝකෝත්පාදකයේ වීරයා හෙවත් මනුෂ්‍යා දෙවියන් හා තනිව සිටින්නෙකි. ඉරණම ට වඩා මනුෂ්‍යයා කොතෙක් දුර්වලදැයි කිව නොහැකි වේ. කොතරම් දුර්වල වුවද අප්‍රතිහත ශක්තියකින් යුක්තව තමාට එරෙහි බලවේග සමඟ සටන් කිරීමට අප්‍ර‍මාණ ශක්තියක් චරිතවල ආධ්‍යාත්මය තුළ ඇත. ගැටුම දැඩි නිසාම චරිත මඟින් ජීවිතයේ සංකීර්ණත්වය පෙන්විය හැකිය. ප්‍රේක්ෂකයා තුළ කම්පනයද දැඩි වන්නේ එහෙයිනි. චරිතවල දැඩි ප්‍රයත්නයන්ගෙන් තම අරමුණු ඉටුනොවන විට ප්‍රේක්ෂක අනුකම්පාව ප්‍රබල වේ. ප්‍රධාන චරිතයෝ කිසිවිටකත් ඉරණමට යටත් නොවෙති. තමන් වෙත හිසමත පත් විපත් ඉරණමට භාරදීමට උත්සහ දැරීම ඔවුන්ගේ ගතියකි. ඉරණම හෝ දේව කෝපය නුරුස්සන ඔවුහු ලෝකය පාලනය වෙන්නේත් කරන්නේත් යුක්ති ධර්මය විසින් බව අදහති.

ශෝකෝත්පාදකයේ චරිත නිරූපණය වනුයේ දේව බලයට හෝ දෛවයට වඩා සමාජ බලවේග පිළිබඳ විශ්වාස යයි. ඉරණමට අවනතව ඒ හා දැඩිව නොගැටෙන චරිත මඟින් කතා වින්‍යාසය සංකීර්ණ නොවේ. තම උත්සහයෙන්ම ස්වඅභිමතාර්ත ඉටුකර ගැන්ම ගුණ නුවනින් පොහොසත් ඊඩිපස්, හැම්ලට්, ක්‍රයෝන් වැන්නන්ගේ කාර්යයභාරය වේ. ඉරණමට ඉඩ දෙන්නා තුළ නොව චරිතයක සංකීර්ණත්වය ප්‍රබලව මතුවන්නේ ඒ සමඟ ගැටෙන්නා තුළය. එම ගැටුම නිසා සිදුවන්නේ ඔහුගේ අභ්‍යන්තර සිතුවිලි කැලඹී වේගයෙන් එහා මෙහා වීමයි. ඔහුගේ අයහපත්කම් සහ දුබලකම් මතුවන්නේ ද මේ සිතුවිලිවල වේගවත් චලනයන්ගෙනි.

දැඩි ව්‍යසනයකට මුහුණ දෙන්නා ඊට එරෙහි නොවුවහොත් ඔහුගේ චිත්තාවලිය ගැඹුරු නොවේ. එවැනි චරිත පාදක කරගත් නාට්‍යයකින් ගැඹුරු ජීවන දෘෂ්ටියක් හෙළිනොවේ. ප්‍රහසනය හෝ අති නාටක එවැනි වේ. එහෙත් ශෝකෝත්පාදකය හෝ සුඛෝත්පාදකය එසේ නොවේ. උසස් නාට්‍යයක් නම් චරිතවල දැඩි ප්‍රයත්නය ගැඹුරින් නිරූපණය විය යුතුය. ශෝකෝත්පාදකයේ චරිත සටනකින් තොරව යටත්වීම පිළිනොගනී. ඔහු ව්‍යසනවලින් මිදෙන්නේ ව්‍යසනය සමඟ පොරබැදීමෙනි. හුදෙක් ස්වකීය ඉරණමට ඉඩදුණි නම් සහෘද අනුකම්පාව නොලැබී කරුණ රසය හීන වේ. ඊඩිපස් රජු හෝ හැම්ලට් හෝ තම ඉරණම් අරගලයේ දී පෙන්වන උදාර ගුණය නිසා ඔවුන් අනභිභවනීය වේ. අරගලයකට පසු ඇතිවන ඛේදනීය තත්වය අපව කම්පනය කරන සුලුය.