සංකීර්ණ මිනිස් දිවියෙහි ඉසියුම් ලකුණු

දෙසැම්බර් 31, 2020

එකිනෙකට හාත්පසින්ම වෙනස් වූ අනේක විධ භූමිකා නිරූපණය කිරීමට රංගන ශිල්පීන්ට අවස්ථාව ලැබීම ඔහුගේ හෝ ඇයගේ භාග්‍යයකි.දාරක සමයේ සිට ප්‍රශස්ත මට්ටමක පැවති ලාංකේය ටෙලි නළු කලාව ඉක්බිතිව 90 දශකයේ මැද භාගයේ සිට "මෙගා වසංගතය", "ඉන්දියානු ග්‍රාම්‍ය සෝප් ඔපෙරා අනුකරණය" නම් වූ ව්‍යාධීන් ද්වයට ගොදුරු වීමෙන් අවරට ගමන් කළේය.

දුෂ්කරතා, අභියෝග, කම්කටුලු මධ්‍යයේ වුවත් ලාංකේය වේදිකා නාට්‍ය කලාව මෙවැනි වහන්තරාවන්ට තවමත් ගොදුරු නොවී සිටීම වාසනාවක් මැයි. රංග ශිල්පීන්ගේ සහජ ප්‍රතිභාව, ව්‍යුත්පත්තිය මුවහත් වනුයේ අනේකවිධ සංකීර්ණ භූමිකා වේදිකාව මත නිරූපණයෙන් ලැබෙන්නාවූ සතතාභ්‍යාසයෙනි. මේ ලිපි පෙළෙහි මා වරින්වර සනිදර්ශන ලෙස විග්‍රහ කළ නළු නිළියන්, විශේෂයෙන්ම ලිපි පෙළේ ප්‍රස්තුතය අනුව වේදිකා නාට්‍ය කලාවේ එදා මෙදා ස්ත්‍රී භූමිකා නිරූපණය සහ වෙසෙස් ලකුණු පෑ රංගන ශිල්පිනීන් අනුව එකී සත්‍යය සහෘද ඔබට වැටහෙනු ඇත. රත්නා ලාලනියද විවිධ භූමිකා නිරූපණය කිරීමට භාග්‍යය ලැබූ නිළියක වූ බැව් මා විසින් මෙතෙක් කරන ලද විග්‍රහයෙන් සුපැහැදිලි වේ. මේ අතර ඇතැම් නාට්‍ය කෙටි කලක් වේදිකාගත කිරීම හේතු කොට කාලයේ ඇවෑමෙන් යටපත් වේ. එහෙත් එබඳු නිර්මාණවල ඉතා හොඳ රැඟුම්, තිරපිටපත් ,අත්හදා බැලීම්, නිර්මාණශීලී ගුණාංග, ප්‍රශස්ත ආනුෂංගික අංග තිබෙන්නට පිළිවන. එහෙයින් මේවා යළිත් ඉස්මතු කොට විග්‍රහ කිරීමෙන් නාට්‍ය හා රංග කලාව හදාරන විද්වතුන්ට, විද්‍යාර්ථීන්ට විපුල ඵල අත් වේ.

90 දශකයේ සමන් පුෂ්පකුමාර නිර්මාණය කළ "මහල්ලා සහ" නාට්‍යය එවැන්නකි. "මහල්ලා සහ" කිවූ සැණින් අපට සිහිපත් වනුයේ අර්නස්ට් හෙමිංවේ ගේ "The old man and the sea"  නවකතාවෙහි සිංහල පරිවර්තනයට යෙදූ "මහල්ලා සහ මුහුද" යන නාමකරණය යි. එහෙත් "මහල්ලා සහ" යන නාට්‍යයට මේ විශ්ව සාහිත්‍ය කෘතියෙහි කිසිදු සම්බන්ධතාවක් නොමැත. මේ නාට්‍යය මුඛ්‍ය චරිත ත්‍රිත්වයක් කේන්ද්‍ර කොටගෙන ගොඩනැඟී ඇත. එච්.ඒ. පෙරේරා මහල්ලා ලෙසත් රත්නා ලාලනී මෙහෙකාරිය ලෙසත් සරත් කුලාංග පික්පොකට්කාරයකු ලෙසත් මෙහි රඟපෑහ. අතවරයට ලක්වන මෙහෙකාරියක් නිවසෙන් පැන ගොස් පිළිසරණ සොයා යාචක පැල්පතක ලැගුම් ගන්නීය. මෙහි සිටින්නේ මහල්ලෙකි. මුලින් ඔහුට ඇය රුස්සන්නේ නැත. එහෙත් පසුව ඇයට දරුවකු ලැබීමට සිටින බවද මහල්ලා වටහා ගනී. ඔහුගේ අනුකම්පාව ඇයට හිමිවේ. මේ අතර අවට සිටින පික්පොකට් කරුවෙක් ඇය දෙස අවධානයෙන් සිටී.ඔහු මාන බලනුයේ ඇය ගණිකා වෘත්තියට ඇද දැමීමටය. එහෙත් ඇය ඊට එකඟ නොවූවාය. තම දරුවා හදාවඩා ගෙන හොඳීන් ජීවත් වීම ඇයගේ අභිප්‍රායය වේ. මේ දරුවාට නාමිකව හෝ පියකු සිටිය යුතුය. ඇය මහල්ලා වෙත සමීප වීමට එයද එක් හේතුවකි. බාහිරව බැලූ කල්හි පියකු සහ දියණියක ලෙස දිස්වන මේ මහල්ලා සහ තරුණිය අතර ක්‍රමිකව මානසික බැඳීමක් ගොඩනැඟෙන බැව් පෙනේ. ඔහුගේ මරණයෙන් පසුව හුදෙකලාව ඇයගේ ජීවිතය වෙලා ගනී. මේ භූමිකාව උදෙසා රත්තා ලාලනීට රාජ්‍ය නාට්‍ය උලෙළේ කුසලතා සම්මානය පිරිනැමිණ. සරත් කුලාංගගේ සංගීත නිර්මාණයද "මහල්ලා සහ" නාට්‍යයෙහි අගය වැඩි කළේය.

කාලයේ ඇවෑමෙන් එලෙසින්ම යටපත් වූ තවත් නාට්‍ය‍යකි, ලලිත් රාජපක්ෂගේ "අන්තිම කොළය"(1983). මේ වූ කලී ඕ.හෙන්රිගේ"The last leaf"  නමැති කෙටි කතාව ඇසුරෙන් නිර්මාණය වූ නාට්‍යයකි. වත්මනෙහි අප දෙස මතු නොව මුළු ලොවමැ කොවිඩ් වසංගතයට ගොදුරු වී ඇත."The last leaf"  (1907) කෙටි කතාවෙහි දක්නා ලැබෙන්නේ නියුමෝනියා වසංගතය පැතිර ගිය යුගයකි. ග්‍රීන්විච් ගම්මානයේ වෙසෙන බර්හ්මන් නම් මහලු චිත්‍ර ශිල්පියකු හා ඔහුගේ නිවසට උඩුමහලේ නිවසක සූ නම් යෙහෙළිය සමඟ වාසය කරන ජොන්සි නමැති යොවුන් චිත්‍ර ශිල්පිනියක කේන්ද්‍ර කොට ගෙන මේ අනර්ඝ කෙටි කතාව නිර්මාණය වී ඇත. ජොන්සි නියුමෝනියා රෝගයෙන් පීඩිතව මරණාසන්නව සිටින්නීය.නියුමෝනියාවෙන් පෙළුණත් එය නොතකන මහලු චිත්‍ර ශිල්පියා ඇයට මියදෙන්නට නොදී දිරිමත්ව ජීවත්වීමට හැකි සෑම අනුබලයක්ම ලබාදෙයි. ඇය මඤ්ච පරායණව සිටින කාමරයට අයිවි වැලක් දිස් වේ. ක්‍රමයෙන් සරත් සෘතුවෙන් ශීත ඍතුවට පිවිසෙත්ම මෙහි කොළයෙන් කොළය දිනෙන් දින හැලී යනු සයනයෙහි සිටින ඇයට පෙනේ. මෙහි අවසන් කොළය හැලී යන දිනට තමා මිය යනු ඇතැයි ඈ සිතන්නීය. කොළ හැලී අවසන් කොළය පමණක් දැන් ඉතිරි වී ඇත. පුදුමයකි. අවසන් කොළය නොහැලී දින ගණනාවක් පවතිනු පෙනේ. ඇය සුවපත් වේ. කතාව අවසානයේ අපට සූචනය කෙරෙනුයේ කුමක්ද ? මහලු චිත්‍ර ශිල්පියාට අවැසි වනුයේ තම ජීවිත කාලයේ නිර්මාණය කෙරුණු පතිකෘතිය (Masterpiece) බඳු සිතුවම බිහි කිරීමටය. ඔහු ඒ උදෙසා දිගු කලක් වැය කළ ද එය සාර්ථක නොවුණි. තරුණිය නොමැරී සුවපත් කිරීමට අවැසි මානසික සවිය ලබාදුන් අයිවි වැලේ අවසන් කොළය නොහැලුණේ මන්ද ? අවසන ඇයට දක්නට ලැබුණේ සැබෑ අයිවි වැලේ අවසන් කොළය නොව මහලු චිත්‍ර ශිල්පියා ඇය ජීවත් කරනු පිණිස යථාර්ථවාදීව සිතුවම් කළ කොළයයි. ශීත කාලයේ එළිමහනේ ඇවිදිමින් තෙමීම හේතුකොට අවසන මේ මහලු චිත්‍ර ශිල්පියා මියයයි."අන්තිම කොළය" නාට්‍යයේ ගුඩ් මහත්තයා (කෙටිකතාවේ දක්නා ලැබෙන බර්හ්මන් නම වෙනුවට නාට්‍යයේ මේ චරිතය උදෙසා භාවිත කෙරෙනුයේ ගුඩ් මහත්තයාය.) නමැති මහලු චිත්‍ර ශිල්පියා ලෙස මහේන්ද්‍ර පෙරේරාත් ජොන්සි නම් වූ තරුණ චිත්‍ර ශිල්පිනිය ලෙස රත්නා ලාලනිත් රංගනයෙන් දායක වූහ."අන්තිම කොළය" නාට්‍යය නිර්මාණය කළ ලලිත් රාජපක්ෂ දීර්ඝ කාලයක් වේදිකා නාට්‍ය රංගනය පයුරුපාසනය කළ නිහඬ, ප්‍රවීණ, කෘතහස්ත රූපණවේදියෙකි, නාට්‍යවේදියෙකි. ඔහු කිසිදා ප්‍රචාරය පසුපස හඹා නොගිය අව්‍යාජ කලාකරුවෙකි. ඔහු ආචාර්ය සාලමන් ෆොන්සේකා සූරීන් යටතේ නාට්‍ය හා රංග කලාව, විශේෂයෙන් කොන්ස්ටන්ටින් ස්ටැනිස්ලව්ස්කිගේ තත්විධ රූපණ න්‍යාය (Theory of method acting)  හදාළේය."අන්තිම කොළය"නාට්‍යය ඕ.හෙන්රිගේ කෙටි කතාවෙහි අනුවර්තනයකි. මෙහිදී ලලිත් කෙටි කතාවෙහි නොදක්නා ලැබෙන අයිවන් නමැති භූමිකාව නාට්‍යයට එක් කළේය. ඒ චරිතය නිරූපණය කරන ලද්දේද ඔහු විසිනි. දුම්රියකදී හමුවන ජොන්සි හා අයිවන් අතර හට ගන්නා ප්‍රේම සම්බන්ධතාව හේතුකොට ඇය මුහුණ දෙන ගැඹුරු මානසික පරිපීඩනය මේ නාට්‍යයට නැවුම් බවක් ගෙන එමින් කෙටි කතාවේ නොමැති ආධ්‍යාත්මික මානයක් වෙත සමීප කරවන අයුරු දැක්ක හැකිය. ලලිත් තම ගුරු ආචාර්ය සලමන් සේවනයෙන් ලත් මහඟු ඵල නාට්‍යයේ දිස් වනුයේ මෙතැන්හිදීය. ආකෘතියෙහි මෙන්ම අන්තර්ගතයෙහිද නව්‍ය ස්වරූපයක් මේ නාට්‍යයෙහි දිස් විය. "The last leaf in sinhala මැයෙන් එදා "අන්තිම කොළය" නාට්‍යය අරහයා Sunday times  පුවත්පතට (1983) විචාර ලිපියක් ලියූ මහාචාර්ය සුනන්ද මහේන්ද්‍ර එහි සඳහන් කළේ "මහේන්ද්‍ර පෙරේරා දීප්තිමත් අනාගතයක් ඇති ඉදිරියේ මේ රටේ බලාපොරොත්තු තැබිය හැකි දක්ෂ රූපණවේදියකු වන බවය". "කලාකරුවන්ගේ කාර්යභාරය පිළිබඳ සියුම් විග්‍රහයක් ගෙනෙන නව්‍යවාදී නාට්‍යයක් ලෙස එදා පසන් කොඩිකාරයෝ මෙය දුටුවෝය. ආචාර්ය පේ‍්‍රමසිරි කේමදාසයන්ගේ ස්වර සංරචනයද මෙහිදී අමතක කළ නොහැකිය.

 

 

ඉතිරි කොටස ලබන සතියේ...