නාට්‍යය පුරාම වයින් කළ මැෂිමක්

දෙසැම්බර් 24, 2020

නීතිඥ ඩග්ලස් සිරිවර්ධනගේ ‘සුභ සැන්දෑවක්’ (1982) හී ලීසාගේ භූමිකාව රත්නා ලාලනීගේ රංගන දිවියෙහි සන්ධිස්ථානයකි. මේ නාට්‍යයෙහි දක්නා ලැබුණේ ලීසා නම් වූ එකම එක කාන්තා චරිතයක් පමණකි. ඇය අබිසරු ලියකි. ලීසා නම් වූ එකම ස්ත්‍රී චරිතය කේන්ද්‍ර කොට ගෙන මෙහි පුරුෂ භූමිකා රාශියක් දක්නට ලැබේ. එච්.ඒ.පෙරේරා, සම්පත් තෙන්නකෝන් (මාක්), කිංස්ලි ලෝස්, වසන්ත විට්ටච්චි, ජනක් ප්‍රේමලාල්, අජිත් ලොකුගේ, ගාමිණි හෙට්ටිආරච්චි, ලාල් කුලරත්න මෙහි රංගනයෙන් දායක වූ රංග ශිල්පීන් අතර මා මතකයට නැඟේ.

‘සුභ සැන්දෑවක්’ වූ කලී ෂාන් පෝල් සාත්‍රෙගේ ‘THE RESPECTFUL PROSTITUTE’ (1946) නම් වූ ප්‍රංශ නාට්‍යය ඇසුරින් නිර්මාණය වූ නාට්‍යයකි. මුල් කෘතිය ගොඩනැඟුණේ ඇමරිකානු සමාජයේ ජාතිවාදය, සුදු කළු භේදය පසුබිම් කොටගෙනය. එහි ලීසා යනු සුදු ජාතික අබිසරු ලියකි. කෲර ලොවක මානව නිදහස අහිමිවීම පිළිබඳව ‘THE RESPECTFUL PROSTITUTE’ නාට්‍යයෙන් විවරණය කෙරේ. මේ නාට්‍යය නිර්මාණය කිරීමේදී සාත්‍රෙ සත්‍ය සිදුවීමක් පාදක කොට ගත් බැව් ඇතැම් විචාරකයෝ පෙන්වා දෙති. එනම් 1931 සිදු වූ ස්කොට්ස්බොරෝ සංසිද්ධියයි.

ඇලබාමා හරහා දුම්රියකින් ගමන් කරමින් සිටි සුදු ජාතික අබිසරුලියෝ දෙදෙනා කළු ජාතික ගැටවරයන් නව දෙනෙකුගෙන් තමන් දූෂණයට ලක් වූ බවට චෝදනා කළහ. සාත්‍රෙගේ ‘THE RESPECTFUL PROSTITUTE’ පාදක වුවත් ‘සුභ සැන්දෑවක්’ නාට්‍යයේදී එය ඩග්ලස් සිරිවර්ධන ලාංකේය සමාජයට බද්ධ කරමින් ඖචිත්‍යපූර්වක වෙනස්කම්වලට ලක් කළේය. තම පටු දේශපාලන අවශ්‍යතාව මත බලයේ රැඳුණු දේශපාලනඥයකු ඒ සඳහා ජාතිවාදය වපුරන ක්‍රියාදාමයට ලීසා ගොදුරු වන ආකාරය ‘සුභ සැන්දෑවක්’ හිදී විවරණය කෙරේ. දේවිකා මිහිරාණි රත්නාට පූර්වයෙහි මෙහි ලීසාගේ චරිතය නිරූපණය කළාය.

ආචාර්ය ඩී. බී. නිහාල්සිංහයන් මෙරට මෙන්ම දකුණු ආසියාවේ පළමු ප්‍රාසංගික ටෙලි නාට්‍යය වූ ‘දිමුතු මුතු’ (1983) උදෙසා දේවිකා තෝරා ගැනීමට ‘සුභ සැන්දෑවක්’ නාට්‍යයේ ඇයගේ චරිත නිරූපණය ද ඉවහල් වූ බැව් පෙනේ. ඇය ‘දිමුතු මුතු’ ටෙලි නාට්‍යයෙහි රඟපෑම හේතු කොට ලීසාගේ භූමිකාව සඳහා වෙනත් නිළියක සොයා යෑමට ඩග්ලස් සිරිවර්ධනට සිදු විය. ඔහු (සුගතපාල ද සිල්වා සූරීන් සමඟ) යොවුන් නාට්‍ය උලෙළේ විනිශ්චය මණ්ඩලයේ ක්‍රියා කළේය. එහිදී යොවුන් නාට්‍ය උලෙළ සඳහා ඉදිරිපත් වූ නාට්‍යවල දක්ෂ ලෙස කැපී පෙනුණු රත්නා ලාලනී නමැති යොවුන් නිළිය පිළිබඳ ඩග්ලස්ගේ අවධානය යොමු විය.

මෙහිදී විශේෂයෙන් ඔහු කෙරෙහි බලපෑ නාට්‍ය ද්වයක් තිබිණි. ස්ත්‍රියකගේ ගුඪ සංකීර්ණත්වය අරභයා කියවෙන අන්දභුත ජාතකය ඇසුරෙන් සුනන්ද සිල්වා නිර්මාණය කළ ‘පාරාජිකා’ (1982) ඉන් එක් නාට්‍යයකි. මෙහි සුසංගතා නම් සේවිකාවගේ භූමිකාව රත්නා රඟපෑ අතර ඒ වෙනුවෙන් ඇයට යොවුන් නාට්‍ය උලෙළේ හොඳම නිළිය (ශෛලිගත) සම්මානය පිරිනැමිණ. ජය ශ්‍රී චන්ද්‍රජිත් සහ සන්ධ්‍යා මල්ලවාරච්චි මෙහි ප්‍රධාන චරිත රැඟූහ. රොහාන් වැලිවිට නිර්මාණය කළ ‘ඉරට අඬති’ නාට්‍යය (1982)දෙවැන්න වේ. ‘පිරිමි 26 ක් සමඟ ගැහැනියක්’ මැයෙන් මේ නාට්‍යය ප්‍රකට විය. එලෙසින් පුරුෂ චරිත 26 ක් සමඟ මෙහි එකම ස්ත්‍රී භූමිකාව රත්නා ලාලනී නිරූපණය කළාය.

ඒ වැඩබිමක දිරිය කාන්තාවක ලෙසිනි. ශ්‍රීමාල් සත්‍යජිත් වෙඩිසිංහ මෙහිදී ඇය සමඟ ප්‍රධාන චරිතය රඟපෑවේය. ‘පාරාජිකා’ හා ‘ඉරට අඬති’ නාට්‍ය ද්වයෙහි රත්නා පෑ ප්‍රතිභාව හේතු කොට ඩග්ලස් ‘සුභ සැන්දෑවක්’ හි ලීසාගේ භූමිකාවට ඇය තෝරා ගත්තේය. මේ නාට්‍යයේදී පැය එක හමාරක ධාවනය කාලය පුරාම ලීසා වේදිකාවේ අඛණ්ඩව රැඳී සිටිය යුතු වීම වෙසෙස් අත්හදා බැලීමකි. පුරුෂ පාත්‍රයෝ පමණක් වරින්වර පැමිණෙති, ආපසු යති. ඇය ඔවුන් හා සංවාදයෙහි, තර්ක, විතර්ක විසංවාදයෙහි යෙදෙමින් වරෙක ගැටෙන්නීය.

විටෙක වෙඩි පහරට ලක් වී මරණයට ද ගොදුරු වේ. එවක පාසල් සමයෙහි සිටි දැරිවියක වූ රත්නාට ලීසා අභියෝගාත්මක චරිතයක් මැ විය. ඇය මෙහි පුහුණුවීම් සඳහා පැමිණියේ ද පාසල් නිල ඇඳුමෙනි. පුහුණුවීමේදී ඇය සමඟ සියලු පිරිමි චරිත රඟපෑවේ නාට්‍යයේ නිර්මාණකරුවා වූ ඩග්ලස් සිරිවර්ධනයන්ය. මෙහි එක් පිරිමි චරිතයකට ඇය වේදිකාවේ ඔසවා ගෙන කරකැවීමට තිබෙන අතර ඒ ජවනිකාව පමණක් මේ කුඩා දැරිවිය සමඟ පුහුණුවීමට තමා මැළි වූ බව ඩග්ලස් සිරිවර්ධනයෝ මට පැවසූහ.

එවක ඉතා සුප්‍රකට නිළියක ලීසාගේ චරිතය රඟනු වෙනුවට රත්නා වැනි යොවුන් නවක නිළියක මේ සඳහා ඉතා උචිත බව ඔහු සිතුවේය. නාට්‍යයෙහි ලීසා තම මවට ලබා ගත යුතු වෛද්‍ය ප්‍රතිකාර සඳහා මුදල් ගෙවා ගත හැකි නොවී අවසන තම සිරුර අලෙවි කිරීමට පෙලඹෙන තරුණියකි. සම්පත් තෙන්නකෝන් ඉන් පෙර දේවිකා මිහිරාණි සමඟ රඟපා තිබූ මෙහි කාල්ගේ චරිතය ඉන් පසුව රත්නා නමැති මේ යොවුන් නිළිය සමඟ රඟපෑමට මුලින් අදිමදි කළ බව ඩග්ලස් සිරිවර්ධනයෝ මා හට කීහ. ඊට හේතු වූයේ ලීසාගේ චරිතය මේ නවක නිළිය හරිහැටි පුහුණු වූයේ ද යන සැකය සම්පත් තුළ තිබූ බැවිනි. කෙසේ හෝ රත්නාගේ රංගන ප්‍රතිභාව ඔහුට වටහා ගැනීමට වැඩි වේලාවක් ගත නොවුණි.

වේදිකාවේ ඇය ඔසවා ගෙන කර කැවීමට තිබුණේ ද ඔහුටය. මේ නාට්‍යයෙහි බොහෝ වාර ගණනක් ‘අපි කසාද බඳිමුද?’ යැයි මාක් (සම්පත් තෙන්නකෝන්) ලීසාගෙන් (රත්නා ලාලනී) විමසයි. නාට්‍යයේදී හරිහැටි නොදුන් එහි පිළිතුර සැබෑ ජීවිතයේදී ඇය ඔහුට ලබා දුන්නී ‘සුභ සැන්දෑවක්’ නාට්‍යයෙහි රඟපාන අතරතුරදීය. ‘සුබ සැන්දෑවක්’ නාට්‍යයෙහි රංගනය වෙනුවෙන් ඔවුන්ට කිසිදු සම්මානයක් නොලැබුණත් මේ නාට්‍යයෙන් සැබෑ ජීවිතයට වටිනා සම්මාන දෙකක් ඔවුන් එකිනෙකාට හිමි වූ බව ඩග්ලස් සිරිවර්ධනයෝ කීහ.

‘සුභ සැන්දෑවක්’ නාට්‍යයෙහි ඇය ලීසාගේ චරිතය නිරූපණය කළ ආකාරය බොහෝ විචාරකයෝ අගය කළය. ‘මුළු නාට්‍යය පුරාම ඇය වයින් කළ මැෂිමක් සදිසිය’ යැයි පැවසුවෝ ද ඒ අතර සිටිති. ඩග්ලස් සිරිවර්ධනගේ ‘හිට්ලර්’ (1986) නාට්‍යයෙහි ඇය ක්‍රිස්ටිනා නමැති කම්කරු ස්ත්‍රියගේ භූමිකාව රැඟුවාය. ජනක් ප්‍රේමලාල් මෙහි කම්කරුවකු ලෙස රඟපෑ අතර ඔහුගේ බිරිය ක්‍රිස්ටිනාය.

ඔවුන්ගේ පුත්‍රයන් ලෙස අජිත් ලොකුගේ සහ ජගත් බෙනරගම රඟපෑහ. එච්. ඒ. පෙරේරාගේ රැඟුම් අතර ද මෙහි ඔහු නිරූපණය කළ හිට්ලර්ගේ ප්‍රධාන භූමිකාව සන්ධිස්ථානයකි. සම්පත් තෙන්නකෝන් මෙහි රැඟූ භූමිකාව ද කැපී පෙනිණ. මෙහි හිට්ලර්ගේ පිරිස මේ කම්කරු යුවළගේ (ජනක් ප්‍රේමලාල් හා රත්නා ලාලනී) බාල පුත්‍රයාට (ජනක් බෙනරගම) වස දී මරා දමන ජවනිකාව සහෘද ප්‍රේක්ෂකයාට අමතක නොවේ. හිට්ලර් නාට්‍යයේ චරිත නිරූපණය යථාර්ථවාදී රංග රීතියකින් ඉදිරිපත් කිරීමට ඩග්ලස් උත්සුක වූයේය. කි‍්‍රස්ටිනාගේ චරිතයෙහි ඉසියුම් මමෝභාවයන් රත්නා ශූර ලෙස නිරූපණය කළ අයුරු මෙහිදී දැක්ක හැකිය. පුතුගේ මරණයේ ජවනිකාව රත්නා මෙන්ම ජනක් ප්‍රේමලාල් ද යථාර්ථවාදී රීතියෙන් ශූර ලෙස රඟපෑ ආකාරය ‘හිට්ලර්’ එදා නැරඹූ කිසිදු ප්‍රේක්ෂකයකුට අමතක විය නොහැකිය.

ඉතිරි කොටස ලබන සතියේ...