ඉන්දියාවෙන් කරළියට එන UNTOUCHED

ජනවාරි 30, 2020

අද ඔබට අප පවසන්න යන්නේ සිංහල වේදිකා නාට්‍යයක් ගැන නොවේ. ඉංග්‍රීසි වේදිකාවට පිවිසෙන ඉංග්‍රීසි වේදිකා නාට්‍යයක් ගැන ය. ඒ සුජීව පතිනිසේකරගේ ‘UNTOUCHED’ නාට්‍යයයි. එහි මංගල දර්ශන දෙකක් පැවැත්වෙයි. ඒ පෙබරවාරි 25 වැනිදා එක්සත් එමීර් රාජ්‍යයේ කුජෙයිරා අන්තර්ජාතික නාට්‍ය උලෙළේ සහ 29 වැනිදා ඉන්දියාවේ පැවැත්වෙන කල්කටාවේ නාට්‍ය උලෙළේදී ය.

ඔබ මෙහි මංගල දර්ශන පවත්වන්නේ එක්සත් එමීර් රාජ්‍යයේ හා ඉන්දියාවේදී. ඒ ඇයි?

මෙවැනි කටයුත්තක් එහිදි සිදු කරන්න කැමැති වුණේ අපේ රටේ ඉංග්‍රීසි නාට්‍යයක් පිටරටක රංග ගත කළ යුතු යැයි මා කලක පටන් කළ තීරණයකට අනුවයි. අන්තර්ජාතික තලයකට අපේ නාට්‍යය රැගෙන යන්නයි මට වුවමනා වුණේ.

‘UNTOUCHED’ ඔබගේ සිතේ පිළිසිඳ ගන්නේ කොහොම ද?

මා බොහෝ චිත්‍රපට හා ඉංග්‍රීසි පොතපත කියවනවා. ඒ නිර්මාණ මඟින් මගේ සිතේ පිළිසිඳ ගත්ත අදහසක් මූලික කරගෙනයි ‘UNTOUCHED’ ලියැවෙන්නේ. ඒ පොතපත හා චිත්‍රපටවල ලැබූ ආභාසය ඔස්සේයි මේ නාට්‍යය පිටපත ලියැවෙන්නේ. එය මා ලියන්නේ ඉංග්‍රීසි භාෂාවෙන්.

මේ නිර්මාණය විහිදෙන්නේ යුරෝපා සමාජ ජීවිතය අදාළ කරගනිමින් නේද?

මේ නාට්‍යය පිටපත ලියලා තිබෙන්නේ බටහිර සමාජය අලළායි. එවැනි සන්දර්භයක් තිබුණු නිසා ම මා අදහස් කළේ මේ නිර්මාණය ඉංග්‍රීසි වේදිකාවට රැගෙන යා යුතු බවයි.

ඔබ සිතන්නේ බටහිර සමාජයට අදාළ වූ කාරණයක් අපේ සිංහල වේදිකාවට නොගැළපෙන බව ද?

එහෙම නැහැ. එවැනි සන්දර්භයක් සහිත නාට්‍යයක් සිංහල වේදිකාවේ පෙන්වීමට නම් එයට උචිත අයුරින් යම් යම් වෙනස්කම් කිහිපයක් සිදු කළ යුතුයි. එහෙම නොවුණොත් ඒ නාට්‍යය සිංහල වේදිකාවේ ප්‍රේක්ෂකයන්ට තේරුම් ගැනීමට අපහසු වේවි.

ඒ නාට්‍ය පිටපත විහිද යන්නේ කුමන ආකාරයට ද?

සැමියකු හා බිරියක් අතර මතුවන ගැටලුවක් මූලික කර ගනිමිනුයි කතාව විහිද යන්නේ. දොස්තර සැමියාගේ කාර්යබහුල වීමත් සමඟ බිරියට ඇති වන රික්තය පිරවීමට ඔවුන් අතරට පැමිණෙන තුන්වැන්නකු සමඟයි කතාව ගලාගෙන යන්නේ. පුරා විද්‍යාඥයකු වන ඔහු සමඟ දොස්තරගේ බිරිය අතර ඇති වන ආදරය හෙළි වීමත් සමඟ කාන්තාව තනි වීමයි සිදු වන්නේ. මා උත්සාහ කරන්නේ මෙහිදී ඔවුන් අතර වන මානුෂික කාරණා විග්‍රහ කිරීමටයි. ආදරයකදී ගැහැනියට එය මුළු ජීවිතය වුණාට පුරුෂයාට ඔහුගේ ජීවිතයේ එක් කොටසක් පමණ බවයි මා මෙහිදී කතාබහට ලක් කරන්නේ. ඔහු ආදරය කරන වෙලාවට ආදරය කරනවා. වැඩ කරන වෙලාවට වැඩ කරනවා. මෙවැනි මානුෂික කරණායි මා ‘UNTOUCHED’ මඟින් විග්‍රහ කරන්නේ.

අද ප්‍රේක්ෂකයන් වැඩි පිරිසක් සිංහල වේදිකාවේ කොටු වෙලා. ඔවුන් ඉංග්‍රීසි නාට්‍යය නැරැඹීමට අකැමැත්තක් දක්වන එක ම කාරණය භාෂා ප්‍රශ්නය බවයි හැඟෙන්නේ?

අපේ රටේ සිංහල ප්‍රේක්ෂකයන් ඉංග්‍රීසි වේදිකාවට යම් බියක් දක්වන ගතියක් තිබෙනවා. ඒක හොඳටම මට හැඟුණේ මේ නිර්මාණයට රංගන ශිල්පිනියක් හොයන්න ගිය අවස්ථාවේදියි. ඒ චරිතයට කිහිපදෙනකු අප තීරණය කළත් ඔවුන් මේ නිර්මාණයේ රඟපාන්න භය වුණා. ඒ මෙය ඉංග්‍රීසි නාට්‍යයක් වීම නිසයි. නළුවොත් ඒ චරිතවලට පස්ස ගැහුවා. ඔවුන් එහෙම කළත් මේ වේදිකා දෙක අතර පරතරයක් නොතිබිය යුතුයි. මේ වේදිකා දෙක එකිනෙක සමපාත විය යුතුයි. ඒ එකිනෙක පෝෂණය විය යුතුයි.

‘UNTOUCHED’ නාට්‍යයේ රංග භාණ්ඩ වගේම පසුතලය ලෙස යොදා ගන්නේ නෙට් රෙද්දක්?

රංගන ශිල්පිනිය රඟපාන්නේ නෙට් එකක් ඇතුළේ ඉඳීමින්. එහි ඉඳීමින් ඈ අත ඉස්සුවත්, දැඟලුවත් නෙට් එකේ පැටලෙනවා. ඒ කරදරයත් එක්කයි රංගන ශිල්පිනිය රඟපාන්නේ. මේ මඟින් මා අදහස් කළේ බැඳීිම ගැන පෙන්වීමටයි. එහිදී මුලින්ම ඈ සිය සැමියාට බැඳෙන බැඳීිම ඇතුළෙයි ඉන්නේ. ඉන් පසු ඒ බැඳීිම ඉවත් කර ඈ එළියට එනවා. ඒ ලවර්ව මුණ ගැසීමටයි. ඈ ඔහුව මුණ ගැසෙන්නේ ඒ නෙට් එකේ ඉඳීමිනුයි. එළියට පැමිණියත් ඈ පැටලෙනවා. ඇගේ ජීවිතයම ගෙවෙන්නේ පැටලිල්ලෙනුයි. ඇගේ පැටලිලි සහගත ජීවිතයයි නෙට් එකෙන් පෙනෙන්නේ.

එහෙත් විවිධ සමාජවල කාන්තාවන් ක්‍රියා කරන්නේ වෙනස් ආකාරයෙන්?

විවිධ සමාජවල සිටින කාන්තාවන්ට ඒ ඒ සමාජවලදි මුහුණ දීමට සිදු වී තිබෙන්නේ වෙනස් විදියටයි. ඇයට ඈ සිටින සමාජයේ තිබෙන ආර්ථික, සංස්කෘතික, ආගමික, දේශපාලනික බැඳීිම්වලින් තෙරපෙමිනුයි ජීවත් වන්නේ. එය එක් එක් සමාජවල සිදු වන්නේ එක් එක් අන්දමටයි. අපේ සමාජයේ වෙසෙන කාන්තාව එක ක්‍රමයකටයි ජීවත් වන්නේ. යුරෝපයේ වෙසෙන කාන්තාව ජීවත් වන්නේ තවත් ක්‍රමයකටයි. එහෙත් මා කරන්නේ කාන්තාවක් විදියට පොදුවේ ඒ අයගේ සිතිවිලි විග්‍රහ කිරීමයි.

කුමන කාන්තාවක් වුණත් පොදු වූ ලක්ෂණ ඈට තිබෙන බවයි ඔබ පවසන්නේ?

කුමන රටක කාන්තාවක් වුණත් පුරුෂයකු සමඟ බැඳුණාට පසු ඒ බැඳීිම සිතේ තිබෙනවා. ඒ බැඳීිමයි මා මේ නාට්‍යයෙන් අදහස් කළේ. කිසිවකුටත් ඒ බැඳීිම එක්වර කඩා දමමින් තවත් කෙනකු වෙත ඉවත්ව යා නොහැකියි. එහෙම ගියත් සියයට සියයක්ම ඒ කෙනා සමඟ ඈට බැඳීය නොහැකියි. ඈ සිටින්නේ අතරමැද අවස්ථාවකයි. එයයි මේ නාට්‍යයෙන් මට කියන්න වුවමනා වුණේ.

ඔබ රැකියාව කරන්නේ රෙගුවේ. ඒත් කලාවට බොහෝ ආදරය කරන්නෙක්? 

මගේ උපන් ගම වෙන්නප්පුව. පාසල් යන කාලයේදි මගේ සිතේ කලාව ගැන ආසාවක් තිබුණත් ඒ කටයුතුවල නියැළීමට තරම් අවස්ථාවක් ලැබුණේ නැහැ. විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය අවසාන වීමත් සමඟයි මට කලාවට යොමු වීමේ අවස්ථාව ලැබෙන්නේ. මුලින් ම මා නිෂ්පාදනය කරන්නේ මහාචාර්ය තිස්ස කාරියවසම් මහත්තයාගෙන් ලබාගත්ත කෙටි නාට්‍ය දෙකක්. ‘පරස්ථාව’ හා ‘පෝරිසාදයා’ නමින්. එය නිෂ්පාදනය වන්නේ මගේ ශාස්ත්‍රපති උපාධිය සඳහායි. මෙහිදී ‘පෝරිසාදයා’ කියන නාට්‍යය මා නිෂ්පාදනය කරනවා පමණක් නොවෙයි එහි රඟපෑමේන් ද සහභාගි වීමත් විශේෂයි.

මේ සියලු දේ කිරීමට පෙර ඔබ නාට්‍ය හා රංග කලාව හදාරනවා?

මා 1994 පටන් 2004 වගේ කාලය දක්වා ඔබිනා මුණි ගාමිණී සිල්වා මහත්තයාගේ ශේක්ස්පියර් කේන්ද්‍රයත් සමඟ එකතු වී නාට්‍යකරණය හා රඟපෑම ගැන හදාරනවා. ඉන් පස්සේ මා ශාස්ත්‍රපති උපාධිය හැදෑරීමට තෝරා ගන්නේ ද නාට්‍ය හා රංගකලාවයි. මේ කටයුතුවලින් පස්සේ 2012 වසරේදියි මට ශේක්ස්පියර්ගේ ‘කින් ලියර්’ කියන නාට්‍යය ‘ලියර් රජු’ නමින් සිංහලයට පරිවර්තන නාට්‍යයක් ලෙස කරන්න අදහසක් පහළ වන්නේ. ඒ නිර්මාණයෙන් පසු මා නිෂ්පාදනය කරන්නේ ‘අපි නරකයි තමයි’ කියන සෆීර්ගෙන් ලැබුණු ජර්මන් පිටපතක්. එහිත් නළුවකු නැති වීම නිසා මා නිෂ්පාදනයෙන් වගේ ම රඟපෑමෙනුත් සහභාගි වෙනවා. ඒ නිෂ්පාදනය කරන්නේ 2014 වසරේ. මේ නිර්මාණයෙන් පසුයි මා ‘UNTOUCHED’ කියන මගේ නවතම වේදිකා නාට්‍යය නිෂ්පාදනය වේදිකාවට ගෙනෙන්නේ.

මෙහි රංගනයෙන් සහභාගි වන නළු නිළි පිරිස කවුරුන් ද?

‘UNTOUCHED’ නාට්‍යයේ He, She, Lover  කියන චරිත අතරයි කතාව ගලාගෙන යන්නේ. මේ අතුරින් ඵඩඥ කියන චරිතය පමණයි වේදිකාව උඩ ඉඳගෙන රංගනයේ නියැළෙන්නේ. අනෙක් දෙදෙනාගේ හඬවල් ඇසෙන්නේ හඬක් විදියට පමණයි. එහි ඵඩඥ කියන චරිතය සඳහා රංගනයෙන් සුබුද්ධි ලක්මාලි කියන රංගන ශිල්පිනිය සහභාගි වෙනවා. රංග වින්‍යාසය හා වේදිකා පසුතල නිර්මාණයෙන් එම්. සෆීර්, සංගීත නිර්මාණයෙන් වින්දක වීරසිංහ සහය වුණා.

‘UNTOUCHED’ ඉදිරි දිනෙක සිංහල වේදිකාවේ ප්‍රේක්ෂකයන්ටත් නැරැඹිය හැකි වේවි ද?

මේ පිටපත සිංහල වේදිකාවට සරිලන අයුරින් වෙනස් කර සිංහල ප්‍රේක්ෂකයන්ට පෙන්වීමේ අදහසක් තිබෙනවා. එය ඉදිරි කාලයේදී සිදුවේවි.

තිලානි ශානිකා විතානාච්චි

Add new comment