මම හිරගෙදර

අළුගෝසුවත් වුණා
සැප්තැම්බර් 5, 2019

කේ. ඩී. දයානන්ද

 

තිරය පිටුපස චරිත පිළිබඳ කතා කරන විට අහම්බෙන් මෙන් ඔවුන්ගේ විශේෂ දින මේ ලිපියට සමගාමීව යෙදීම සතුටට කරුණකි. පෙරේදා නැත්නම් 03 වැනිදා සිය 75වැනි උපන්දිනය සැමරූ කැමරා අධ්‍යක්ෂවරයකු අද අපේ කතා නායකයායි. ඔහු‌ගේ දරුවන් දෙදෙනා ඒ වෙනුවෙන් අනිද්දා (07) හිතවත් කලාකරුවන් සමඟ පියාණන්ට සතුටු විය හැකි සුහද හමුවක් සැලසුම් කර ඇති බවත් අපේ ආරංචි මාර්ග ඔස්සේ දැනගන්නට ලැබීම වඩාත් සතුටට හේතු වන්නේ මව්පිය දූ දරු සෙනෙහසට එය හොඳ නිදසුනක් සපයන බැවිනි. ‌ඒ ආදරය ලබන තාත්තා, ස්වාමි පුරුෂයා, සහෘද කලාකරුවා කේ.ඩී. දයානන්ද යි.

 

කේ.ඩී. අය්යා ලෙස අප ද ඔහු අමතන්නේ ඔහු කැමැතිම, ළෙංගතුම ආමන්ත්‍රණය එය බැවිනි. එවිට ඔහු අවස්ථාවේ හැටියට නංගී, මල්ලී හෝ දුවේ, පුතේ යන ආකාරවලින් පිළිතුරු දෙයි. වසර ගණනාවකට කලින් සුපුරුදු පරිදි ටීවීටී ආයතනයේ දී කේඩී අය්යාගේ කැමරාකරණය මා දුටුවේ වෙළෙඳ දැන්වීම් සඳහා කටයුතු කරද්දීය. අදටද ඔහුගේ ස්වරූපයේ විශාල වෙනසක් වී ඇතැයි මට නොසිතේ. ඒ මතකයන් සමඟ මම කතාව ඇරඹුවෙමි.

මොනවද කේඩී අය්යා මේ දවස්වල තොරතුරු?

'ගින්දරී 2 වැඩ. මුල්ම ගින්දරී කළේ පබෝධානේ. මේ සැරේ අලුත් සුන්දර යක්ෂණියෝ තුන්දෙනෙක් එක්ක තමයි ෂූටින් කළේ' ඔහු මාවද හිනස්සවමින් දිගටම කියයි.‍

'ඊට කලින් බන්ධනය, නිහඬ සෙවණැලි කළා, නවක අධ්‍යක්ෂවරයෙක් එක්ක. බහුබූතයෝ, සිනමාවේ පළමුවෙන්ම දළ සේයාපට නැතිව චිත්‍රපට කරන්න මීට අවුරුදු 19කට කලින් උදයකාන්ත (වර්ණසූරිය - සිනමා අධ්‍යක්ෂ) එක්ක පටන්ගත්තේ මම. ඊට පස්සේ භූත කතා දිගට ආවා. සමහර අම්මලා අකමැති වුණාට ළමයි ඒවට කැමති වුණා. ඒ අය බයත් නැහැ. අනෙක ඇනිමේෂන් කරපුවා බලන්න අද ප්‍රේක්ෂකයන් හරි කැමතියි.'

 

මේ වෙද්දි චිත්‍රපට කීයක කැමරාකරණය කරලා තියෙනවාද?

දැන් නම් 50 පැනලා. ඊට අමතරව වාර්තා චිත්‍රපට කළා. සිකුරු මාරුතය කියලා ටෙලි නාට්‍යයක් අධ්‍යක්ෂණය කළා. වෙළෙඳ දැන්වීම් නම් ගාණ මතක නැහැ. ලොකු තාත්තා සහ මල් වරුසා අධ්‍යක්ෂණය කළා. සුරේනි සෙනරත්ගේ තාත්තා පියරත්න සෙනරත් නිෂ්පාදකවරයා තමයි මට ඒ අවස්ථාව දුන්නේ. නාමිකව චිත්‍රපට දෙකක් කළා. '

ඔහු යමක් සඟවමින් කතාකරන බව පෙනෙන බැවින් මම විමසීමි. ඇයි නාමිකව කියන්නේ?

'මම බොහෝම දුරබැහැර ගමනක් බස් එකේ ගියා රංජිත් ජයසිංහ එක්ක ගිනිගත් හේනේ. දයා රාජපක්ෂගේ කතා වස්තුවක් ගත්තා අනූපමා. ඒකෙ තිර පිටපත ලියන්න රන්ජිත් ලාල් (නිම්වළල්ල අධ්‍යක්ෂ) ළඟට ගියා. ඒත් කම්මැලි කළා. ඒ වෙද්දි නිහාල්සිංහ මහත්තයත් එක්ක (ප්‍රවීණ සිනමාවේදී ඩී.බී. නිහාල්සිංහ) චිත්‍රපට පනහක හැටක සහාය කැමරාකරු වශයෙන් කටයුතු කරලා මට හොඳට අත්දැකීම් තිබුණා. ඒ නිසයි රංජිත් ජයසිංහ මට චිත්‍රපටයක් අධ්‍යක්ෂණය කරන්න කියලා බල කරමින් හිටියේ. මම තමයි ඒ කාලේ ලංකාවේ හිටිය හොඳම ෆෝකස් පුලර් (ජ්ධජභඵ නභතතඥප). ලංකාවේ ඉස්සර නාමාවලියේ දාන්නේ කැමරාව- ගපූර්, කැමරාව - ලෙනින් මොරායස් කියලා. මම ඒකට විරුද්ධව කතා කළා‍. මෙච්චර මහන්සිවෙලා වැඩ කරන මනුස්සයකුට කැමරාව කියලා විතරක් මදි නිසා තමයි නිහාල්සිංහ මහත්තයා සත්සමුදුරට දැම්මේ රූපරාමු කෝණ නිර්මාණය කියලා‍. ඒ උණ මටත් තිබුණා. මම හිතුවේ කවදා හරි කැමරා අධ්‍යක්ෂවරයෙක් වෙනවා කියලා. ඉතින් අනූපමා කතාවත් අරගෙන මම යද්දි අබේවර්ධන බාලසූරිය අහම්බෙන් හමුවුණා. ඒ පාර අබේ කියපු නිසා අපි සුනිල් (මහාචාර්ය සුනිල් ආරියරත්න) හම්බෙන්න ගියා. එතකොට කැම්පස් යන කොල්ලා. හැබැයි සින්දු ලියලා තියෙනවා. එයත් කීවා අනේ ම‌ට බෑ. මම ඕවා ලියන්න දන්නේ නැහැ කියලා. මම කීවා තමුන් ලියන්න පුළුවන් කෙනෙක්නෙ, මම හෙට එන්නම්කො කියලා. මගේ මල්ලි (කේ.ඩී. ප්‍රේමසිරි) ඒ චිත්‍රකතාවෙන් පොතක් හදලා තිබුණා. ඒකත් පෙන්නලා මම කීවා තිර රචනයක් කියලා හිතන්නේ නැතිව මේ කතාව බලාගෙන ඔයා වම් පැත්තෙ සිදුවීම් ටිකයි, දකුණු පැත්තේ දෙබස් ටිකයි ලියලා දෙන්නකො කියලා. අනූපමා තිරරචනය කෙරුණේ එහෙමයි. මේ කතාව සුනිල් පසු කාලෙක පත්තරේටත් කියලා තිබුණා.

ඒත් අර නිෂ්පාදක මඟහැරුණා‍. මම විජය (කුමාරණතුංග) අඳුනගෙන හිටියේ හොඳට. ප්‍රශ්නෙ කීවාම හෙට උදේ ෆ්ලැට් එකට එන්නකො කීවා. ඇලරික් ලයනල් ප්‍රනාන්දු අඳුන්නලා දුන්නා. ඒ එයාගේ පළමුවෙනි නිෂ්පාදනය‍. මාලනී (ෆොන්සේකා) අම්මට දැම්මා. සුවිනීතා (වීරසිංහ) දුවට. සුනිල් ආරියරත්න හිටියේ මගේ සහාය අධ්‍යක්ෂට. ඒත් විජය කීවා චිත්‍රපට කරලා පළපුරුදු කෙනෙක් සහාය අධ්‍යක්ෂට ගන්න කියලා. ෂර්ලි පී. විජේරත්න ගත්තා. සුනිල් අධ්‍යක්ෂ බවට පත් කළා. ඒක තමයි මගේ මුල්ම පරිත්‍යාගය.

මම සිනමාවට ආදරේ නිසා සෙව්වේ අධ්‍යක්ෂවරු නෙවෙයි, නිෂ්පාදකවරු. ඔහොම යද්දි දෙවැනි චිත්‍රපටයත් මට ලැබුණා. බඹා කෙටූ හැටි. ඊට පස්සේ කෝලම් කාරයෝ, පොඩි මල්ලි චිත්‍රපට දෙකත් ලැබුණා. ඉතින් මට තියෙන්නේම කැමරා අධ්‍යක්ෂ සිහිනය. ඒ නිසා අධ්‍යක්ෂණයට යොමු වුණේ නැහැ. අපි යාළුවෝ අට දෙනෙක් එකතුවෙලා සාරධා චිත්‍රපට සමාගම ගොඩනඟාගෙන තමයි පොඩි මල්ලි තිරරචනය තිස්ස අබේසේකරගෙන් ඉල්ලා ගත්තේ. ඒකෙත් අධ්‍යක්ෂණයට සුනිල්ව කැමති කර ගත්තා. එයාගෙ ඉල්ලීම පිට සංගීතය නන්දක්කාට (විශාරද නන්දා මාලිනි) දුන්නා. ඒ තමයි නන්දාගෙ පළමුවෙනි චිත්‍රපට සංගීත අධ්‍යක්ෂණය. ඒ පින්තූරෙ හොඳට දිව්වා.

නොඑල් එදිරිසිංහ කීවා අපි තව පින්තූරයක් හදමු කියලා. ධර්මසිරි (ගමගේ) අය්යලෑ ගෙදර ගියා. යස ඉසුරු හැදෙන්න මුල පිරුණෙ එහෙමයි. පින්තූරෙ හදද්දි තිර රචනය සම්පූර්ණ කරලා තිබුණේ නැහැ. ඒකෙත් මම කැමරා අධ්‍යක්ෂ වෙන හීනය නිසා අධ්‍යක්ෂධුරය ධර්මසිරි අය්යට පරිත්‍යාග කළා. චිත්‍රපටයක සම්පූර්ණ කතාව තිබුණොත් තමයි සාර්ථකව කැමරා කෝණ තීරණය කරන්න පුළුවන්. ධර්මසිරි අය්යා දෙබස් ලියන්නේ ඒ වෙලාවෙ. ඉතින් හරි අමාරුවෙන් තමයි පින්තූරෙ කැමරා කළේ. හැබැයි කතාව දිව්වා.' ඔහු ඉන් පසු වෙනත් කතාවකට ගියේය.

'පොඩි මල්ලි ෂූටින් කරද්දි ලෙස්ටර් මහත්තයාගේ කට්ටියක් ආවා. ඒ කාලේ ලෙන්සස් කීපයයි‌නේ තියෙන්නේ. ඉතින් අපි එක එක උපක්‍රම යොදලා තමයි සූම් (ඛධධථ) කරන්නේ. අර කට්ටිය ආවේ අලුතින්ම ගත්ත සූමින් ලෙන්ස් එක අරගෙන. අපේ චිත්‍රපටයේ ටෙස්ටින් කරන්න. ඒ අයගේ පට ටික යැව්වා. කාචය අනුමතයි. ඊට සතියකට පස්සේ මගේ රීල් ටික ආවේ. ඒකෙන් ගත්ත කොටස් ටික අම්මේ ලස්සන. ඔන්න ඔහොමයි සිනමා ස්කෝප් ලංකාවට පුරුදු වුණේ. මම සිනමා ස්කෝප් චිත්‍රපට කරන්න කලින් වැලිකතර විතරයි සිනමා ස්කෝප් කරලා තිබුණේ.'

මට අවශ්‍ය වූයේ මෙතරම් ගමනක් ඒමට කුඩා කල සිට කේඩී අය්යා සැරසුණේ කෙසේදැයි දැනගැනීමටය.

'මෙහෙමයි මම පොඩි කාලේ ඉඳන් ලස්සන පින්තූර දැක්කොත් ගෙනත් පොත් රාක්කෙ අලවනවා. සර්වෝදයේ ඒ.ටී. ආරියරත්න මහත්තයා දවසක් ඇවිත් අපි වැඩ කරනවා පින්තූර ගත්තා. මම ආසාවෙන් බලන් හිටියා මතකයි. අපේ මාමා කෙනෙක් පින්තූර ගහනවා. එයාගේ ඩාක් රූම් එකේ දොර ගාවට වෙලා මමත් ආසාවෙන් ඉන්නවා. මාමා මටත් අවස්ථාව දෙනවා පින්තූර හෝදන්න. එයාගෙ බැලෝ කැමරාව මට දෙනවා පින්තූර ගන්න. ඒ ආසාව හිත යට තිබුණා. එස්එස්සී කරලා ඉවර වුණාට පස්සේ අපට ඕන වුණේ ලයිනෝ ටයිපිස්ට්ලා වෙන්න. මගේ පන්තියෙ යාළුවාගේ තාත්තා ලේක්හවුස් එකේ කැමරා ශිල්පියෙක් හැටියට වැඩ කළා. ඒ මාර්ගෙන් ඉල්ලුම්පත් දෙකක් දැම්මට මාව තේරුණේ නැහැ.

අපේ තාත්තා ඒ කාලෙ වැඩ කළේ ත්‍රිවිධ හමුදාවටම එංගලන්තෙන් කෑම ගෙන්වන ආයතනයේ පරිපාලන නිලධාරියකු හැටියට. අපිත් කෑවේ ඒ කෑම නිසා තමයි අදටත් අපට හයිය තියෙන්නේ. ඒ ආයතන නිසා තාත්තා ඩී.බී. ධනපාල මහත්තයා අඳුනනවා. ම‌ට දැන් කොහොම හරි ලයිනෝ ටයිපිස්ට් වෙන්න ඕනා නිසා තාත්තා ධනපාල මහත්තයාගෙන් දවස පත්තරේ ඒ තනතුරක් තියෙනවාද ඇහුවා. ධනපාල මහත්තයා දැනට නම් ඒ තනතුරක් නැහැ කියලා සුරේ...(සුරනිමල) කියලා ගැඹරු හඬින් කතා කළා. මේ ගේබ්‍රියල්ගෙ පුතා ඔයාගෙ අංශයේ දැනට තියාගන්න කීවා. දවස පත්තරේ කර්තෘ මණ්ඩල ඡායාරූප අංශයට මම බැඳුණෙ එහෙමයි. මාස දෙකක් යද්දි මට ලයිනෝ ටයිපින් යන්න පුළුවන් කියලා කීවා. ධනපාල මහත්තයා ගාවට ඒ කාලෙ මැති ඇමැතිවරු පවා දෙකට නැමිලා එන්නෙ. අපිත් ගරු කළාට මම බය නැතිව කීවා, මට බැහැ සර්, මට හිටපු තැන හොඳයි කියලා. කෙළින් කතා කරපු නිසා මාව කැමරාකරු තනතුරේ ස්ථිර කළා. ඒ වෙද්දි මාමාගෙ වැඩවලට උදව් වෙලා මට පුහුණුවක් තිබුණා. මට සීනියර් විභාගෙන් චිත්‍රවලට සම්මානෙකුත් තිබුණා. දවස පත්තරේ ඩාක්රූම් එකේ ජේමිස් බාසුන්නැහේ මට උදව් කළා. මාමාගේ පොඩි තැන වගේ නෙවෙයි. ඒසී දෙකක් හයිකරපු ලොකු තැනක්. අතින් නෙවෙයි පින්තූර සුද්ධ කළේ ක්ලිප් එකෙන්. මම විසිතුර පත්තරේට එහෙම චිත්‍රපටවල ෆොටෝ අරගෙන දානවා. නම ගිය කැමරා ශිල්පීන් එක්ක පොඩි මම වැඩ කරද්දි සමහරු කැමති වුණෙත් නැහැ.

ඔහොම ඉද්දි දවසක් නිහාල්සිංහ මහත්තයා තාත්තාගෙන් (ඩී.බී.ධනපාල) පොඩි ලියුම් කෑල්ලකුත් අරගෙන ඩාක්රූම් එකෙන් වැඩක් කරගන්න කියලා මගේ ළඟට ආවා. මම ඉතින් කරලා දුන්නා. තවත් දවසක ෆිල්ම් කැමරාවකුත් අරගෙන එනවා චේන්ජිං බෑග් එක ගේන්න අමතක වෙලා, ඩාක් රූම් එක‌ට ගිහින් ලෝඩ් කරගන්න ඕනා කියලා. එතකොට නිහාල්සිංහ මහත්තයා තමයි මෙට්‍රො නිවුස් කළ කැමරාමන්. මට කරුවලේ වුණත් පේන ගතියක් තියෙනවා. ඒ නිසා බලන් හිටියා. කරපු දේ ඔළුවටත් ගත්තා. ඒ එක්කම ම‌ම කීවා මටත් ආසයි ෆිල්ම් වැඩ ඉගෙන ගන්න කියලා. නිහාල්සිංහ මහත්තයා කීවා ආ ඇත්තද මම ළඟදි චිත්‍රපටයක් කරනවා කියලා. මම කීවා එහෙනම් අපේ තාත්තට කියන්න කියලා.

නිහාල්සිංහ මහත්තයා ඉස්සෙල්ලම කළේ 'සමනළයෝ' කියලා චිත්‍රපටයක්. මම සහාය කැමරාකරණය‍. අධ්‍යක්ෂණය සුගතපාල සෙනරත් යාපා. හැබැයි පින්තූරෙ ඉවර වුණේ නැහැ. ඊටපස්සේ තමයි සත්සමුදුර පටන්ගත්තේ. එම්බී හේමපාල (තලේ) ගෙනාවේ ඒකට. ඊටපස්සෙ අතපත්තු කියලා කෙනෙක් ගෙනාවා. පස්සේ ජයනාත් (ගුණවර්ධන) කැමරා කරන්න ආසයි කීවාම මම තමයි උදව් කළේ සහාය කැමරා ශිල්පියෙක් වෙන්න. අද කොහොමද? චිත්‍රපටයකුත් අධ්‍යක්ෂණය කළා.

ඉස්සර කැමරා ඇසිස්ටන්ලා වාහනෙන් ගන්නේ නැහැ ඒ්ත් මාව ගෙදරින් ගන්නවා. මම නැත්නම් ෂූටින් කැන්සල් කරන තැනට ආවා. සමහර කැමරාමන්ලා බීලා වැඩේ මට පවරනවා. ඉතින් මට ඉබේම පුහුණුව ලැබුණා. මම, මට ඔ්නා ලෙන්ස් එක පාවිච්චි කරලා කැමරා කෝණය හැදුවාම ඩිරෙක්ටර්ලාට පුදුමයි. දේවේන්ද්‍ර, මස්තාන් වගේ අයත් එක්කයි මම වැඩ කළේ.

සනත්ගෙ පළමු චිත්‍රපටය සිටු කුමරියෝ පින්තූරෙ මාලනීගේ නළල ඉඹින්න තියෙනවා. එතකොට මාලිනී ජනප්‍රියම නිළියක්. සනත් බයේ වෙවුලනවා. ටේක් අටක් විතර ගියා. විජය ධර්මශ්‍රී අහිංසකයිනේ. මට කීවා ඉඹින්න කියන්න කියලා. මම ඒක කියපු තාලෙට එකපාරින් ඉම්බා. තාමත් සනත් මාව දැක්කාම ඉඹින්න උගන්නපු ගුරුතුමා එනවා කියලා මතක් කරනවා. කලංසූරියටත් ඒ ලෙඩේම තිබුණා. යසඉසුරු එකේ ගෝතමී පතිරාජ නංගි. විභාගෙ පාස්වෙලා කීවාම ‌ඉඹින්න ඕනා. ඒත් බයයි නෝනා මොනවා හරි හිතයි කියලා. අන්තිමට ඉම්බේ මගේ කීමට.

ධර්මසිරි ගමගේ මහත්තයාට යස ඉසුරු කරන්න දීපු නිසා කළගුණ සැලකීමක් හැටියට පූජා චිත්‍රපටයේ කැමරාකරණය කරන්න මට ආරාධනා කළා. 71න් පස්සේ අළුගෝසු තනතුර අහෝසි වුණාට, පූජා කරද්දි අළුගෝසුවා වුණේ මම. ෂූටින් යන අතර කලං එල්ලුම්ගහට ගේනවානේ. කමිෂනර් මගේ යාළුවා. එල්ලුම් ගහේ ලීවර් එක කිසිකෙනෙක් අදින්න එපා කියලයි අපට ෂූටින් කරන්න අවසර දුන්නෙ. එපා කීවොත් ඒකම කරන ලෙඩක් තියෙන නිසා මම කැමරාව තියාගෙන ඉන්න අතර නිකං අතවැදුණා වගේ ලීවරය පාත් කළා. හප්පේ. ඉස්සර ඒ පියන් දෙක ඇරිලා බිත්තිවල වදින හඬ බොරැල්ලේ හන්දියටත් ඇහෙනවලු. ඇත්තෙන්ම ඒ හඬට මමත් ගැස්සුණා. මුළු හිරගේම මගේ වැඩෙන් කලබල වෙලා දුවගෙන ආවා. ඊට පස්සේ මට හැමෝම කියන්න ගත්තා එළදෙනුන් දෙන්නකුගේ බඩයටින් රිංගන්න, අලියෙකුගෙ බඩයටින් රිංගන්න, හරකෙක් මුදාහරින්න කියලා. වස්වදීලු. මම කීවා අයහපත් චේතනාවකින් කරපු එකක් නෙවෙයිනේ කියලා. ෂූටින් කරලා යද්දි පිටිපස්සෙන් කෙට්ටු කොල්ලෙක් ඇවිත් අහනවා මාව අඳුරනවද කියලා. බලද්දි මම මාළිගාවත්තෙ දහම්පාසලේදි පාරක් ගහපු කොල්ලෙක්. අලුතින් අළුගෝසුවාගේ තනතුරට පත්වෙලා ඉන්නෙ එයා.

ආයෙ දවසක් මම විජය ධර්මශ්‍රී එක්ක ගියා ආර්.ප්‍රේමදාස මහත්තයාගේ ඉන්ටවිව් එකකට. ඉතින් පුටුවේ වාඩිවෙලා ඉන්න කෙනා ලයිටප් කරන්න එපැයි. ලේකම් වගේ කෙනා කීවා අනේ මහත්තයෝ ඕන එකක් විශේෂ පුටුවේ වාඩිවෙන්න එපා මගේ ජොබ් එකත් නැති වෙයි කියලා. මම කීවා එහෙනම් ජනාධිපතිතුමා ආවට පස්සේ ලයිට් වෙනස් වෙලා තිබුණොත් ඔයා ලයිට් කරන්න එපා කිව්වා කියන්නම් කියලා. අනේ අනේ මහත්තයෝ මම ටිකක් එහාට යන්නම් මහත්තයා ඕන දෙයක් කරගන්න කියලා මිනිහා ගියා. මම ඒ්කෙ වාඩි වුණා. විජය ධර්මශ්‍රී කිව්වා හනේ හනේ දයා උඔ තමයි දවසකටවත් කොල්ලා! කියලා. ‍

කෝච්චියක් වෙන් කරගෙන රේල්පාරේ අපි ෂූටින් කරනවා. ලූෂන් (බුලත්සිංහල) සිල්පර කොටඋඩ ඉන්නේ. මම කැමරාවෙ‍. මට තේරෙනවා කෝච්චිය ළං වෙන වේගෙ වැඩියි කියලා. මම කෑගැහුවා ජනා කැමරාව උස්සපන් කියලා. දුවලා ගිහින් ලූෂන්ව ඇදල ගත්තා. කෝච්චියේ බ්රේක් අවුලක් වෙලා තිබිලා නතර වුණේ ලූෂන් හිටපු තැන පහුකරගෙන ගියාට පස්සෙයි. මට දුර පිළිබඳ එහෙම ඉවක් තියෙනවා. හුඟක් කැමරා ඇසිස්ටන්ට්ලාට ටේප් එක නැතුව බැහැ. ඒත් මම දන්නනවා මගේ අත්දෙක දිගඇරියාම හරියටම අඩි 6යි. පොඩි කාලෙ ඉඳන් පුරුදු වුණ ඒ දේවල් නිසා මට කාච දාද්දි ටේප් නැතුව දුර ඉවෙන් කියන්න පුළුවන්. ඉන්දියන් කැමරා අය මට හරි කැමතිවුණෙත්, මම හොඳම ෆොකස් පුලර් කීවෙත් ඒ නිසා.

හැබැයි මම චිත්‍රපට සංස්ථාවේ කැමරා අධ්‍යක්ෂ විභාගයෙන් ෆේල්. ම‌ගෙන් අහගත්ත අය, ලියන්න පුළුවන් කම නිසා පාස්. නිහාල්සිංහ මහත්තයා තමයි සභාපති. මම ගියා කාමරේට. ලකුණු මදි නේද කියලා මගෙන් ඇහුවා. මම ඇහුවා සර්, පිටපත ගැන ප්‍රශ්නෙද? කාච ගැන ප්‍රශ්නෙද? බ්රේක්ඩවුන් එකටද ලකුණු මදි කියලා. නෑ නෑ අර සංගීතේ ගැන අහලා තිබුණු ප්‍රශ්නෙට කීවා. මම ඇහුවා සර්ද සංගීතේ ගැහුවේ වැලි කතරේ? කියලා. නිහාල්සිංහ මහත්තයා මුකුත් කීවෙ නැහැ. මම කීවා හරි එහෙනම් ම‌ට පොත් ටිකක් දෙන්නකො චිත්‍රපට අධ්‍යක්ෂ කෙනෙක් වෙන්න කියලා. සර් පොත් දුන්නා. මම කීවා හත් සැරයක් හරි අරගෙන විභාගෙ පාස් කරනවා කියලා. නිහාල්සිංහ මහත්තයා ලේකම්ට දැනුම්දීලා මාව ෂේප් කරගන්න කියලා. මොකද මම ගියොත් ඩීඑන්එෆ්සී එකේ වැඩ කරන්න කෙනෙක් නැහැ. පස්සේ මම කීවා එහෙම බයවෙන්න එපා කියලා. ඉතිරි වුණ ෆිල්ම් රීල් ටිකක් ඉල්ලගෙන ගිහින් 'දැව කලාව' කියලා කෙටි චිත්‍රපටයක් හදලා දුන්නා. වරකාගොඩ මහත්තයාලා එහෙම හිටියේ ඒක බලන්න. ඒ අය එකපාරින් අස්සන් කරලා දුන්නා ඔබ අධ්‍යක්ෂ විභාගෙ පාස් කියලා. වැඩේ කියන්නේ අවුරුදු තුනකට පස්සේ නිහාල්සිංහ මහත්තයා මට කැමරාව දුන්නා රෝමියෝ ජුලියට් පින්තූරෙ කරන්න. මොකද ඒ වෙද්දි මම කැමරා අධ්‍යක්ෂ විභාගෙත් පාස්.

අපේ පවුලේ 10යි සහෝදරියෝ හයයි. සහෝදරයෝ හතරයි. මම තමයි අක්කලා තුනකට පස්සේ කොල්ලා. මාව බේරගන්න බෑ කියලා තිබුණේ. ඇත්තටමත් මම හරියට අසනීප වෙලා. ඒත් අන්තිමට මුළු පවුලම ගොඩගත්තේ මම. මගේ බිරිඳ ජයන්ති ප්‍රනාන්දු. පුතා පණ්ඩුක රඟපාලත් තියෙනවා. එයාගෙ නෝනා තනූජා දිල්හානි. දැන් ඉන්නේ නවසීලන්තේ. දුව දුර්ගා රත්නවිහාරි. එයාගෙ මහත්තයා ජනනාථ ඒකනායක. මගෙ මුනුපුරා රෂ්මින් ඒ්කනායක.

මගේ අම්මාගේ (ඇග්නස් අල්මේදා) තාත්තා ඒ කියන්නේ සීයා (පොඩි සිඤ්ඤෝ අප්පුහාමි අල්මේදා) තමයි සිවම්මා ධනපාල කතාවෙ රුක්මනී දේවිගේ පෙම්වතා ධනපාල. සීයලා රඟපාලා ඉවරවුණාම මිනිස්සු රත්තරන් බඩු වේදිකාවට විසි කරනවාලු. ගාමිණි ම‌ට පාට් ඒකක් දාල ඕක කීවට පස්සේ හොඳටම යාළු වුණා‍.

මම සිනමාවට කොච්චර ආදරේද කීවොත් කවදාවත් දැකලා නැති ලොකේෂන් එකක් වුණත් යන්න කලින් දවසේ හීනෙන් හරි පේනවා. ලෙස්ටර් ජේම්ස් පීරිස් හැර ඒ පරම්පරාවේ සියලුම අධ්‍යක්ෂවරු එක්ක මම වැඩ කර තිබෙනවා. මම ලොකේෂන් ගිය ගමන් පිටපත අරන් කියවනවා. ඒකෙන් මට බොහෝ දේවල් පින්තූරෙට එකතු කරන්න පුළුවන්. අපේ ඉහළම පෙළේ අධ්‍යක්ෂවරු පවා මම කැමරාවට ආවාම උපදෙස් දෙන්න එන්නේ නැහැ. නිදහස දෙනවා. මට හමුවුණු හොඳම අධ්‍යක්ෂවරු ධර්මසේන පතිරාජ, ධර්මශ්‍රී කල්දේරා, විජය ධර්මශ්‍රී, උදයකාන්ත වර්ණසූරිය වගේ අය. මම නවකයන්ට දැනුම දෙන අතර ප්‍රවීණයන්ගෙන් දැනුම ලබාගන්නවා.'

මුලින්ම සම්මානයක් ලැබුණේ?

චූඩා මාණික්‍යයට. පස්සෙ යසඉසුරු, පූජා, හිමගිර, ගුරුගෙදර, රාජ්‍යසේවය පිණිසයි ඔයවගේ දිගටම ලැබුණා. ජනාධිපති, ස්වර්ණ සංඛ වගේම සරසවිය සම්මාන තුනකුත් මට ලැබුණා. මේ වසරේ මට පුරෝගාමී සම්මානයත් ලැබුණා. මම හරි තරහයි කැමරාවට වැලමිට තියාගෙන ෆොටෝ ගහනවාට. සිගරට් බිබී කැමරාව ළඟ ඉන්නවාට. මොකද අපි කැමරාවට ගරු කළ යුතුයි.'

ඔහු බොහෝ දේ කීවේය. දැන් මට අවශ්‍ය වෘත්තියමය වශයෙන් ඔහු තමන් ගැන සිතන ආකාරය දැන ගැනීමටයි. කැමරා අධ්‍යක්ෂවරයාගේ භූමිකාව මට කෙටියෙන් හඳුන්වන්න?

සමහරුන්ට මම අධ්‍යක්ෂ හොරු කියන්නේ ගෑනු ළමයි පෙනි පෙනි නැති කළනිසා. මට නිෂ්පාදනය බාර දිලා ඒ අය කාමරවලට යනවා. ඒවාට මම විරුද්ධයි.

අපි කැමරාව ඉගෙන ගත්තේ ප්‍රායෝගිකව. නිහාල්සිංහ මහත්තයාට පස්සෙ මම සුමිත්ත අමරසිංහ ළඟත් වැඩ කරලා ඒ ක්‍රමත් ඉගෙනගත්තා. පිටරට කැමරා අධ්‍යක්ෂ කියන්නේ මේ කෝණ සඳහා මේ ආලෝකකරණය යොදන්න ඕනා කියලා කියන අය. ඒත් අපේ කාලේ ලංකාවේ කැමරා අධ්‍යක්ෂ තමයි ඔක්කොම කියන්න ඕනා. කැමරාමන්ලා තමයි සිනමාව ඉහළට ගෙනාවෙ. චිත්‍රපට අධ්‍යක්ෂ හැමදේම විග්‍රහ කරගන්නේ, කතාවට අනුව මොනවගේ ආලෝකයක්ද ඕනා වගේ දේවල් කතා කරගන්නේ කැමරා අධ්‍යක්ෂ එක්ක. ඉතින් තවත් මොනවාද... සමහරු චිත්‍රපටයි ටෙලි නාට්‍යයි අතර වෙනස දන්නෙත් නැහැ. ගෙදර ගිහින් නිකං පෙන්වනවා නම් හරි දේ පෙන්වන්නම ඕනා මොකද පොඩි දරුවන් පවා බලන නිසා. ඒ කිසි දෙයක් නොදැනයි බොහෝ අය වැඩ කරන්නෙ. රූපරාමුවක් සකස් කරන හැටි තියා අම්ම තාත්තාට කතාකරන හැටිවත් සමහර අධ්‍යක්ෂවරු දන්නේ නැහැ. ඒ නිසා තමයි අද වෙළෙඳ දැන්වීම් පවා පිටරටින් ගේන්නෙ. ජේ ආර් ජයවර්ධන ජනාධිපතිතුමාගෙ කාලේ මම ජනාධිපති මාධ්‍ය ඒ්කකයේ කැමරා ශිල්පී හිටියා ඒ හැර ආයතනගත වුණේ නැහැ. සිනමාවට කොච්චර මම ආදරේද කීවොත්, චිත්‍රප‌‌ට සංස්ථාව පිහිටුවන්න පෝස්ටර් පවා ඇලෙව්වා මම 1972දි. සිනමාව නඟා සිටුවන්න කියල හිටිය ප්‍රධාන නළුවෙක් ඇතුළු එකතුවක් ඊට විරුද්ධව පෝස්ටර් ගහලා ඒවා ගලවන්නත් මට සිද්ධ වුණා. අපි ජීවත්වෙන්න ඕනා කාටවත් කරදරයක් නොකර. අපි මේ ක්ෂේත්‍රයේදී නිෂ්පාදකයා බේරාගත යුතුයි. සමහර නළු නිළියන් පවා නිෂ්පාදකයන් කෑවා.

ජීවිතේ ගැන හිතෙන්නෙ?

මම රාජකාරී මට්ටමෙන් නම් හරියට සතුටු වෙනවා. ප්‍රවීණ ගීත රචකයන් දෙදෙනකුත් සංගීත අධ්‍යක්ෂවරියකුත් සිනමාවට හඳුන්වා දීමට පුළුවන් වීම ගැන සතුටු වෙනවා. මේ ක්ෂේත්‍රය වගේම ජීවිතය දිනන්න නම් අපි අපේ හෘදය සාක්ෂියට එකඟව කටයුතු කළයුතුයි.

 

 

 

 

 

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
11 + 3 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.