ධර්මසිරි බණ්ඩාරනායක

අතීතයෙන් වර්තමානයට
සැප්තැම්බර් 5, 2019

 

තුසිත ජයසුන්දරගේ විමසීමක්

 

 

ඔබට සිනමා විචාරකයකු හා ගත් කතුවරයකු බවට පත්වන්නට නිමිත්ත?

මට පොත් ලියන්න උත්තේජනයක් සැපයුවේ ගුණසිරි සිල්වා. ඔහු 80 දශකයේ සිනමාව ගැන ලියද්දි අපේ රටේ සිනමා සාහිත්‍යයක් නොතිබුණු තරම්. ඊට පෙර පරම්පරාවේ අමරනාත් ජයතිලක, බෙනඩික් දොඩම්පේගම, එඩ්වින් ආරියදාස වගේ අය පොත් ලීවාට ගුණසිරිලාට සමකාලීනයන් බිහි වී සිටියේ අතළොස්සක් පමණයි. ඒ අතරින් අපට ළං වෙන්න පුළුවන් වුණ විචාරකයා ගුණසිරි සිල්වා. ඔහුගේ තිබුණු නිර්දය, දේශපාලනික, දැඩි කියවීම් නිසා අපි උත්තේජනය වුණා. 90 දශකය වනවිට මටත් හිතුණා ඔහුගේ සහායත් ඇතිව පොත් ලියන්න පුළුවන් නම් හොඳයි කියලා. ඒ වගේම සිනමා විචාර කාර්යය මුද්‍රිත මාධ්‍ය ඔස්සේ එදා සිට අද දක්වාම නියැළෙන්න මට පුළුවන් වුණා.

 

ඔබ වෘත්තීය වශයෙන්?

මම රජයේ සේවකයෙක්. සිනමාවට කිසිම සම්බන්ධයක් නැති ආයතනයක.

 

ඔබ ධර්මසිරි බණ්ඩාරනායක සිනමාකරුවා තෝරා ගැනීමට හේතුව?

සිනමා සාහිත්‍යය අන්තර්ජාතික මට්ටමින් හෝ දේශීය මට්ටමින් ගත්තත් සෑහෙන ඉදිරියට ඇවිත් තිබෙනවා. අද සාහිත්‍ය කතිකාවලදී සිනමා සාහිත්‍යයක් තිබෙන බව අඩුම ගාණෙ සලකා බලනවා. සිනමා සාහිත්‍යය විවිධ පැතිවලට යොමුවෙලා තිබෙනවා. සිනමා ඉතිහාසය, නළු නිළියන්, සිනමාකරුවන් හා නිර්මාණ, මතවාද, විවිධ සිනමා ශානර, තාක්ෂණය ආදිය ඔස්සේ ඒ සාහිත්‍යය දැන් අපේ රටේ වැඩෙමින් පවතිනවා. මෑත කාලයේ අපට වැඩි උනන්දුවක් දැකගන්න පුළුවන් සිනමාකරුවන් හා ඔවුන්ගේ නිර්මාණ පිළිබඳ දීර්ඝ වශයෙන් සාකච්ඡා කිරීම සම්බන්ධව. එහිදී මගේ අවධානය වැඩියෙන් යොමු වුණේ වර්තමානයේ එක්තරා දුරකට මඟහැරී ගිය නැතහොත් නොතකා හරින ලද සිනමාකරුවන් පිළිබඳ කතා කිරීමට. එය මම විතරක් නොවේ, නුවන් නයනජිත් කුමාර, අජිත් ගලප්පත්ති, ජීවන්ත දයානන්ද වැන්නන් පවා කරන්න උත්සාහ කළ දෙයක්. හේතුව ඒ නිර්මාණකරුවන් වර්තමානයේ කතාබහට ලක් නොවූවත් අපේ සිනමාවේ සන්ධිස්ථාන බිහිකළ සිනමාකරුවන්. ඒ අනුව මම ධර්මසේන පතිරාජ, වසන්ත ඔබේසේකර, ජී.ඩී.එල්. පෙරේරා, පරාක්‍රම සිල්වා, එච්.ඩී. ප්‍රේමරත්න වගේ සිනමාකරුවන් පිළිබඳ පොත් ලීවා. අමතරව සම්මත සිනමා විචාරයෙන් බැහැර කරන විනෝදාත්මක සිනමාකරුවන් වන ලෙනින් මොරායස්, නීල් රූපසිංහ සහ යසපාලිත නානායක්කාර පිළිබඳ පොතක් ලීවා. එහි අලුත්ම අවස්ථාව ධර්මසිරි බණ්ඩාරනායක. ඔහු අද වනවිට ශාස්ත්‍රීය සිනමා කතිකාවතේදී අවධානයට ලක් නොවුණ සිනමාකරුවෙක්. ඔහු අතීතයට අයිති කලාත්මක සුරුවමක් බවට පත් කර තිබෙනවා. ඔහුගේ වෘත්තාන්ත සිනමා කෘති පිළිබඳ අද කතාකරන්නේ අතීතයට සාපේක්ෂව මිස වර්තමානයට ගළපා නොවෙයි. ඒ නිසා ඔහුගේ සිනමා භාවිතයට සිනමා සාහිත්‍යයෙන් කළ හැකි සාධාරණය කුමක්ද යන්න සොයා බැලීම වෙනුවෙනුයි මේ පොත ලීවේ.

 

කුටුම්භය ලිංගිකත්වය හා දේශපාලනය කියන කරුණු තුන පමණක් මූලික කරගන්න විශේෂ හේතුවක් තිබෙනවාද?

ඔව්. 2006 දි මම ධර්මසේන පතිරාජගේ චිත්‍රපට සලකද්දි ඔහු මුළුමනින්ම දේශපාලනික සිනමාකරුවෙක් බව මට පැහැදිලි වුණා. මගේ වසන්ත සිරිත පොතේ වසන්ත ඔබේසේකරගේ කෘති දහතුනක සිනමා භාවිතයේ මම දැක්කේ තාරුණ්‍යය, ස්ත්‍රිය, මනුෂ්‍ය සම්බන්ධතා සහ ආගන්තුකබව. ඒ වගේ ධර්මසිරි බණ්ඩාරනායකගේ වෘත්තාන්ත චිත්‍රපට පහ වන හංසවිලක්, තුන්වෙනි යාමය, සුද්දිලාගේ කතාව, බවදුක, බවකර්ම සලකන විට මම දුටුවේ ඔය මාතෘකා තුනයි. ඒවා මුල්කරගෙන මම ඔහුගේ සිනමා භාවිතය පොදුවේ සලකා බැලුවා. ඒ කවුළු තුනෙන් තමයි මම ඔහුගේ කෘතිවලට අදාළ වෙනත් කරුණුත් සාකච්ඡා කරන්නෙ.

 

මේ වනවිට අපේ සිනමා විචාර කලාව හැසිරෙන්නේ කොයි ආකාරයෙන්ද?

ලංකාවේ සිනමා විචාර කලාව චිත්‍රපට කේන්ද්‍රීය පිළිවෙතකයි හැසිරෙන්නේ. ඒ කියන්නේ ප්‍රදර්ශනයට එකතු වුණු චිත්‍රපටයක් මුල් කරගෙන කරන කියවීම් පමණයි දකින්නේ. ඒ නිසා යම් හුදෙකලා වීමක් වියුක්තබවක් තිබෙනවා. ඒ චිත්‍රපටය බිහිවෙන්න හේතු වුණු කරුණු කාරණා මඟහැරීම නිසා සිනමාවේ සමස්තය හසුකරගන්න පුළුවන් වුණාද යන්නත් ප්‍රශ්නයක්. එය මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍ය සියල්ලේම ඌනතාවක් හා ජයගතයුතු තත්ත්වයක් ලෙසයි මම දකින්නේ. අනෙක තවමත් අපේ සිනමා විචාරය පැරැණි විදිහට හිතලා කලාත්මක, සම්භාවනීය හා විවාදාත්මක ලක්ෂණ සහිත චිත්‍රපට ගැනම සහ ඒ මඟට පිවිසුණ සිනමාකරුවන්ගේ නිර්මාණ ගැන පමණයි පුන පුනා කතා කරන්නේ. ඒත් සිනමාව කියන්නේ ඒ චිත්‍රපට පමණක් නොවෙයි. ලෝකෙ පුරා රජයන්නේ තවමත් විනෝදාත්මක සිනමාව. එය වෙළෙඳ ව්‍යාපාරයක් නිසා කර්මාන්තය තහවුරු වන්නේ ඒ මඟින්. හැබැයි සමහර චිත්‍රපට තිබෙනවා අපි මොනවද ඒවා ගැන කතා කළ යුත්තෙ කියලාවත් හිතාගන්න බැරි. මම කියන්නේ ඒ මට්ටමේ චිත්‍රපට නෙවෙයි. ප්‍රමිතියෙන් ඉහළ කෘති ගැනයි.

 

ඔබ ඇතුළු විචාරකයන් භාවිත කරන මිනුම්දඬු අන්තර්ජාතිකව සසඳනවිට කොතරම් දුරට සාර්ථකද?

ඒ අතර ලොකු පරස්පරයක් තිබෙනවාය කියා මම හිතන්නේ නැහැ. මොකද අන්තර්ජාතිකව පිළිගන්නා අපේ කෘති පිළිබඳ අප කරන විචාර සහ අන්තර්ජාතික මට්ටමේ විචාර ගෙන බලද්දි බොහෝ සාම්‍යයක් දැනෙන නිසා. ප්‍රශ්නකිරීම් නැතුවා නොවේ. ඒ නිසා මේ වනවිට අපේ රටේ සිනමාවට සාධාරණයක් ඉටු කරන පිළිවෙතක් තිබෙනවා.

 

අපි තවමත් සිනමාව විචාරය කරන්නේ ගද්‍ය පද්‍ය සාහිත්‍ය කෘතියකට අදාළ ආකාරයෙන් බවයි මට හිතෙන්නේ?

එයට හේතුව චිත්‍රපට කේන්ද්‍රීය විචාරය කියලයි මම දකින්නේ. අපේ සිනමාවට අවුරුදු 70 පැන්නත්, තවමත් නිෂ්පාදනය හා ප්‍රදර්ශනය අතර විශාල පරතරයක් තිබෙනවා. බොරදිය පොකුණ, ධීවරී වගේ චිත්‍රපට අවුරුදු 10-15ට පස්සේ ප්‍රදර්ශනය වෙලා සම්මාන ලැබීමයි හොඳම උදාහරණ. අනෙක වෘත්තාන්ත චිත්‍රපටයකදි ඒ කතාපුවත මුල්කරගෙන එහි රිද්මය, අවස්ථා සම්බන්ධය, විශ්වසනීයත්වය ආදිය ගැන තමයි කතා කරන්නෙ. මම හිතනවා ඊට වඩා චිත්‍රපටයේ ආකෘතික ලක්ෂණ පිළිබඳ කතා කෙරෙනවා අඩුයි. සිනමා රූපය නූතන හා දිනෙන් දින වැඩෙන ශ‍්‍රව්‍ය දෘශ්‍ය මාධ්‍යයක් බව අවබෝධ කරගත යුතුයි. ඒත් ගැටලුව ඒ සඳහා තිබෙන අවකාශයයි. ඒ නිසා සිනමා විචාරකයන්ට නිරන්තර අරගලයක නිරත වන්න සිදු වෙනවා.

 

ඔබේ ඊළඟ තේරීම වනු ඇත්තේ?

කිසියම් සිනමාකරුවකු පිළිබඳ එක් අයකු විචාරයට ලක්කරන කෘතියක් පරමාදර්ශී කෘතියක් වන්නෙ නැහැ. එනිසයි විවිධ අය විවිධ ආකාරයෙන් එකම කෙනා ගැන ලියන්නෙ. මම කියන්නේ නැහැ තවත් ලිවිය යුතු සිනමාකරුවන් නැහැ කියලා. අනෙක සිනමාව කියන්නේ කොයි තරම් ප්‍රබල මාධ්‍යයක්ද කියන දේ තේරුම්ගන්න පුළුවන් අදටත් සිනමා තරු මිස ටෙලිතරු නැති වීමෙන්. ඒ වගේම අද ඕනෑම කෙනෙකුට සරල උපකරණයක් භාවිතයෙන් ලේසියෙන් සිනමාකරුවකු වන්න පුළුවන් වෙලා තිබෙන නිසා ප්‍රමිතිය පිළිබඳ විශාල අර්බුදයක් තිබෙනවා. ඉතින් විචාරය සඳහා පුද්ගලයකු හෝ කෘතියක් තෝරා ගැනීමත් යම් අභියෝගයක්. ඒ වගේම මෙය සෑහෙන සංකීර්ණ, වෙහෙසකර, පර්යේෂණාත්මක කාර්යයක්. ඒ නිසා මුලින්ම මහන්සි ඉවර කරලා ඕනා ආයෙත් ලියන්න හිතන්න.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
7 + 3 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.