ඉෂාන් The smell සමඟ

ජූලි 11, 2019

ඉෂාන් කුලතිලකගේ ‘The smell’ කෙටි නාට්‍යය මේ මස 14 වැනිදා බණ්ඩාරගම මෛත්‍රිය රංග ශාලාවේදී වේදිකා ගතවෙයි. එය පසුගිය දිනවල පැවැති රාජ්‍ය නාට්‍ය උලෙළේදී සම්මාන කිහිපයක්ම දිනා ගැනීමට ද සමත් විය. ඉෂාන් උදයංග ඇතුළු නාට්‍ය කලාවේ වඩා ජවයකින් එහි නිරත වන තරුණ නාට්‍යකරුවන්ගේ නැඟිටීමක් පෙන්වන මේ අවධියේදී ඔහුගේ අදහස නාට්‍ය කලාව පැත්තෙන් දිගු ගමනක නිරත වන්නට ය. එවැනි ප්‍රාර්ථනා රැසක් හදවතට තුරුලු කරගත් ඔහු සිය කලා ගමනේ ආරම්භය පිළිබඳ සරසවිය සමඟ මෙසේ සඳහනක යෙදුණේය.

ඉදිරියේදි පැවැත්වෙන ‘ඊඩඥ ඵථඥතත’ දර්ශනය විශේෂ දර්ශනයක් ද?

මේ දවස්වල පැවැත්වෙන යෞවන නාට්‍ය උලෙළට මා මේ නාට්‍යයත් ඉදිරිපත් කළා. එහි දෙවැනි වටයට මේ කෙටි නාට්‍යයත් තෝරා ගැනුණා. ඒ නිසයි එදිනට 'The smell’ වේදිකා ගත වන්නේ. ප්‍රේක්ෂකයන් සාමාන්‍ය ප්‍රමාණයක් සමඟ දෙවැනි වටය සඳහා විශේෂ දර්ශනයක් ලෙසින් මේ නිර්මාණය එදිනට විනිශ්චය මණ්ඩලයක් ඉදිරියේදී වේදිකා ගත වේවි.

ඔබත් ගමෙන් නගරයට පැමිණි තරුණ නාට්‍යකරුවෙක් ද?

මම ගමක දුප්පත් කොල්ලෙක්. නාට්‍යකාරුවෙක් වෙන්න ඕන නිසාමයි මම කොළඹට එන්නේ. මම ඉපදුණේ රත්නපුරේ. ඕලෙවල් දක්වා ඉගෙන ගත්තේ පල්ලේබැද්දේ. ඒ කාලයෙත් මා නාට්‍ය කළා. ඊට පස්සේ ඒලෙවල් කරන්න මම එන්නේ රත්නපුරේ සෙන් ලූකස් විද්‍යාලයටයි. එතැනටත් ඇවිත් මා මගේ නාට්‍ය ගමන නැවැත්තුවේ නැහැ. එහි දිගටම නිරත වුණා.

ඒ කාලයේ ඔබ පාසල් නාට්‍ය තරගකරුවන්ට තරගයක් දුන්නා නේද?

ඒ කාලයේ පාසල් නාට්‍ය ඇතුළේ එක දිගට අවුරුදු දෙක, තුනක් ම සමස්ත ලංකා හොඳම නළුවා, ටවර්හෝල් හොඳම නළුවා, 2016 අභින උලෙළේ හොඳම නළුවා ආදි වශයෙන් ඒ කාලයේ පැවැත්වුණු නාට්‍ය උලෙළවල සිටි තරගකරුවන්ට හොඳ තරගයක් දුන්නු ශිෂ්‍යයෙක් වුණා.

ඒ ශිෂ්‍ය අවධියෙන් පසුව ඔබ කෙළින්ම කොළඹට පැමිණයි නතර වෙන්නේ?

නිලංක නාමල් උඩුමුල්ලගේ වේදිකා නාට්‍යයක් සමඟ කොළඹ අන්තර්ජාතික නාට්‍ය උලෙළට මා පැමිණෙන්නේ 2016 වසරේදියි. ඊට පස්සේ ඒලෙවල් කරලා කෙළින්ම ඇවිත් නතර වෙන්නේ එම්. සෆීර්ගේ ඉන්ටර් ඇක්ට් ආර්ට් නාට්‍ය කණ්ඩායමෙයි. ඒ කණ්ඩායමට ගෝලීය සම්බන්ධතා තිබෙන නිසා මට ලෝකය දකින්න පුළුවන් වුණා. ලෝකයේ තිබෙන නාට්‍ය කලාව අතපත ගාන්නට මට පුළුවන් වුණා. ඔන්න ඊට පසුවයි මට නාට්‍ය කරන්න ආසාවක් ඇති වන්නේ.

මුලින්ම 'The smell’ ලියැවෙන්නේ ඔය අතරතුර ද?

ඒ වන විටත් ‘ඊඩඥ ඵථඥතත’ කියන කෙටි නාට්‍යය මම ලියලයි තිබුණේ. එහෙත් සංකල්පමය වශයෙන් ඒ පිටපත සැරින්සැරේ වෙනස් වුණා. වෙනස්කම් ගොඩකට මැදි වුණා. ඒ විදියට වෙනස්කම් සමඟ නිර්මාණය වුණු මේ පිටපත මා මුලින්ම දැම්මේ ‘වේදිකාවෙන් මහ පොළවට’ කියන නාට්‍ය උලෙළටයි. එහිදි මෙහි රඟපෑවේ ජීවන්ති පෙරේරා සහ සුදර්ශන බණ්ඩාරයි. මෙහිදි සම්මාන ලැබුණේ නැහැ. ඒත් එහිදි හොඳම නිළිය කුසලතා සම්මානයක් හා හොඳම නළුවා කුසලතා සම්මානයක් මේ නාට්‍යයට ලැබෙනවා.

යළිත් ඔබ අතින් 'The smell’ නාට්‍යය පිටපත වෙනසකට ලක් වෙනවා?

ඔව්. මෙහිදි මම සාම්ප්‍රදායික නාට්‍ය කලාවට එහාට ගිහින් හිතන්න පටන් ගත්තා. එතැනදි සාමාන්‍යයෙන් පොඩි සෙට් එකක් තියලා නේ බොහෝ වෙලාවට අපේ රටේ නාට්‍ය කරන්නේ. ඒ අදහස වෙනස් කරමින් යම් යම් පොඩි වෙනස්කම් කිහිපයක් මේ නාට්‍යයට ගෙනාවා. ඒත් ඒ වෙනස්කම් කිරීම්වලදි වෙනස් ස්ටයිල්වලට හැඩ ගැහෙන්න වුවමනා වුණත්, ඒ සඳහා අවශ්‍ය විදියට අපේ වේදිකාව සකස් වෙලා තිබුණේ නැහැ. ප්‍රොසීනියම් වේදිකාව අතහැරලා වෙන වේදිකාවට යන්න වුවමනා වුණත් ඊට අවශ්‍ය විදියේ වේදිකාවක් අපට නැහැ. මෙන්න මේ කාරණා නිසා අවසානයේ ප්‍රොසීනියම් වේදිකාවට අවශ්‍ය විදියේ ඒ වෙනස් කිරීම්වලින් පසුවයි මා එය රාජ්‍ය නාට්‍ය උලෙළට ඉදිරිපත් කරන්නේ.

ඒ වන විට නාට්‍යයේ රඟපාන නළු නිළියන් පවා වෙනස් වෙනවා?

එහි රඟපෑ සුදර්ශන බණ්ඩාරගේ කාර්යබහුල වීමත් සමඟ ඔහු මේ චරිතයට යෝජනා කරන්නේ කසුන් ලියනගේවයි. ජීවන්ති හා කසුන් සමඟ මා පුහුණු වීම් කරන අතරම 'The smell’ රාජ්‍ය නාට්‍ය උලෙළේ අවසන් වටයට තේරෙනවා. ඒ කාලයේදි ප්‍රේක්ෂකයන්ගෙන් නාට්‍යයට හොඳ ප්‍රතිචාර ලැබුණා. එහි අදහසට, සාම්ප්‍රදායික කෙටි නාට්‍ය කලාවෙන් චුට්ටක් එහාට වෙනම පැත්තකට අඩියක් තියන්න කළ උත්සහයටයි ඒ ප්‍රතිචාර ලැබුණේ.

අවසාන වටයේදි 'The smell’ නාට්‍යයටත් සම්මාන ලැබෙනවා?

මේ සම්මාන උලෙළේදි හොඳම නළුවා ජූරියේ විශේෂ සම්මානයක් කසුන් ලියනගේටත්, හොඳම සංගීතය සඳහා හේෂාන් කුරුප්පුටත් සම්මානයක් ලැබෙනවා. මෙහි රංග භූමි අලංකරණය එම්. සෆීර්, වේදිකා පරිපාලනය බාස්කර් ක්‍රිශාන්, මාධව මඩවල, විරාජ් රණසිංහ, රංග වින්‍යාසය කසුන් ලියනගේ, අංග රචනය ශිරාන් ලක්ෂිත, නිෂ්පාදනය ඉන්ටර් ඇක්ට් ආට් ආයතනයත්, අධ්‍යක්ෂණය හා පිටපත මා විසිනුයි කරන්නේ.

'The smell’ නාට්‍යයේ භාවිත කරන නාට්‍ය ඡායාරූප වුණත් තරමක් වෙනස්. එවැනි ඡායාරූප ඔබ භාවිත කළේ නාට්‍යයේ ප්‍රචාරණය සඳහා ද?

නැහැ. මේ කතාව මම ලියන්නේ සමාජයේ තිබෙන ප්‍රශ්නයක් කේන්ද්‍ර කර ගෙනයි. ඒ කියන්නේ අපේ සමාජයේ දකින්නට ලැබෙන එක කොටසක් වන්නේ කාන්තාවන්ගේ යට ඇඳුම් සොරකම් කරන අයයි. මේ මිනිස්සුන්ට සමාජයෙන් නිතරම එල්ල වන චෝදනාව වන්නේ කුපාඩියා කියන නාමය. නැත්නම් වල් මිනිහෙක් කියන නාමය. ඒත් කිසිම වෙලාවක වත් අප ඒ අය එහෙම කරන්නේ ඇයි කියලා සොයා බලලා නැහැ. එහෙම වුණත් මම ඒ අය ගැන සොයන්න පටන් ගත්තා. ඔවුන් එහෙම කරන්නේ ඇයි කියලා සොයන්න පටන් ගත්තා. එතැනදි එහෙම කෙනෙක් මට මුණ ගැසෙනවා. ඒ ඔස්සේයි මේ නාට්‍යය නිර්මාණය වෙන්නේ. එහෙත් එහි රසවින්දනය සඳහා වෙනස් විදියේ දේවල් කිහිපයකුත් මේ නිර්මාණයට එකතු කිරීමට සිදු වුණා. මේ මඟින් මා අපේක්ෂා කළේ සමාජය කතා කරන්නට අකැමැති යම් යම් කාරණා පිළිබඳ යම් කතාබහක් ඇති කිරීමයි. ඒ වගේම අප මනුස්සයකුට යම් වැරැද්දක් පටවන්න කලින් එහෙම කළ යුත්තේ ඒ ගැන හොඳට හොයලා බලලා කියන කාරණයයි මෙහිදි ඉස්මතු කරන්නේ. ඒ වගේම කාන්තාව පිළිබඳත් යම් යම් කාරණා මේ ඔස්සේ ඉස්මතු කිරීමට මා උත්සාහ ගත්තා.

'The smell’ නාට්‍යයේ එන තරුණයාත් එවැනි කාන්තා යට ඇඳුම් සොරකම් කරන්නෙක්?

මෙහි සිටින තරුණයා සොරකම් කරන්නේ කාන්තාවන්ගේ උඩුකය යට ඇඳුම් පමණයි. බෝඩිමක සිටින ඔහුට ඔහුගේ තාත්තාවත්, අම්මාවත් නැහැ. විශ්වවිද්‍යාලයක ඉගෙන ගන්න ඔහු මධ්‍යම පාන්තික තරුණයෙක්. මේ තරුණයා වීඩියෝ දර්ශනයක් නරඹනවා. එය කාන්තාවක් උඩුකය යට ඇඳුම ගලවන්න හදන දර්ශනයක්. එහිදි ඔහු මේක කරන්නේ ගමටම ඇහෙන්නට කවි බණ දාගෙන සිටිමින්. මේ නරඹන අතරතුර ඔහුගේ නිවෙසට පැමිණෙන්නේ ඔහු නිතරම ඇසුරු කරන අක්ක කෙනෙක්. ඇය එතැනට එන්නේ වැස්සෙන් බේරීම සඳහායි. ඇය ඒ වන විටත් තරමක් තෙමිලයි ඉන්නේ. ඈ ඔහුගේ දොරට තට්ටු කරන විටම ඉඹ ඉඹ ඉන්න කාන්තා බ්‍රෙෂියර් ටික එතැනම තියන බැරල් එකට දමමින් එතැන ශුද්ධ පවිත්‍ර කරලයි ඇයට දොර අරින්නේ. ඔහු ඇයව ඇතුළට එක්කගෙන යනවා. ඒ එක්කම ඒ අක්කා ඔහුගෙන් ඉල්ලන්නේ ඇඳුම් මාරු කර ගැනීමටයි. ඒ තම තෙත ඇඳුම් පිටින් සිටිය හොත් දරුවා ලෙඩ වෙයි කියන කාරණය නිසයි. ඔහු පුතා ලෙඩවෙයි කියන කාරණයේදි අක්කාට උදව් කරන්න ඉදිරිපත් වන්නේ නොපැකිළවයි. මෙන්න මේ කාරණා මඟින් ඔහු මෙලෙස කිරීමට හේතු වන කාරණා එකින් එක නාට්‍යයේදි හෙළි වන්නට ගන්නවා. ඒ විතරක් නොවෙයි ඒ කාන්තාව පිළිබඳත් යම් යම් කරුණු හෙළි වෙන්නට පටන් ගන්නවා. ඒ වගේම ඒ මඟින් මේ තරුණයා ඒ යට ඇඳුම් හොරකම් කරන්නේ ඇයත් එක්ක සම්බන්ධතාවක් පවත්වා ගැනීමට නොවන බවත් හෙළි වන්නේ ඔවුන් දෙදෙනා අතර ඇතිවන කතාබහ මඟිනුයි. මේ ගැන දැන ගැනීමට නම් ප්‍රේක්ෂකයන්ට නාට්‍යය නැරැඹීමටම සිදු වෙනවා.

ඔබ මේ නිර්මාණ කටයුත්තට අමතරව මේ දවස්වල නියෙළෙන වෙනත් කටයුතු මොනවාද?

මීට පෙර මා ‘කැට් ඇන්ඩ් පෙඩා’ දිගු නාට්‍යයක් නිර්මාණය කළා. එය පරිවර්තනය කළේ ජයලත් එස්. ගෝමස් සහ එම්.සෆීර් විසින්. මේ දවස්වලත් ඒ වගේම ජර්මන් නාට්‍යය පරිවර්තනයක පුහුණුවීම් කරගෙන යනවා. එය දිගු නාට්‍යයක්. නම් කරලා තිබෙන්නේ ‘යූ ඇන්ඩ් මී’ නමින්. මේ නිර්මාණය මාසයක් පමණ කාලයකදි ප්‍රේක්ෂකයන් අතරට අරගෙන එන්නයි මගේ සූදානම වන්නේ. ඒ අතර ප්‍රවීණ නාට්‍යයකරුවකු වන ලූෂන් බුලත්සිංහලගේ ‘වෙස්මුහුණ ගලවන්න’ කියන නාට්‍යයේ ප්‍රධාන චරිතයකට පණ පොවනවා. ඉදිරියේදි නාට්‍ය අධ්‍යාපන කටයුතු සම්බන්ධයෙන් විදේශ ගත වීමටයි අදහස් කරගෙන සිටින්නේ.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
8 + 5 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.