සඳුන් ලක්ෂාන් නයිට් ඩියුටි මැද

ජූලි 4, 2019

සඳුන් ලක්ෂාන්ගේ ‘නයිට් ඩියුටි’ කෙටි නාට්‍යයට රාජ්‍ය නාට්‍ය උලෙළේ හිමිවන්නේ තෙවැනි ස්ථානයයි. ඊට අමතරව සම්මාන රැසකටම උරුමකම් කියන මේ තරුණ නාට්‍යකරුවා ඒ සියලු සම්මාන ලබා ගන්නේ සිය පළමු නිර්මාණයෙනි. නාට්‍යකරණය වැඩිදුරටත් හදාරමින් ඒ මඟින් සිය ජීවිතය හැඩගස්වා ගැනීමට සිතන සඳුන් ලක්ෂාන් ‘නයිට් ඩියුටි’ පිළිබඳ අප සමඟ මෙවැනි කතාබහක යෙදුණේය.

ඔබ පාසල් කාලයේ හොඳ නාට්‍යකරුවෙක් ද?

මුලින්ම මම පාසල් යන්නේ ඉසිපතන විද්‍යාලයට. එහිදි මම නාට්‍ය ගැන ඉගෙන ගන්නේ බණ්ඩාර සර්ගෙන්. ඊට පස්සේ මම ඇතුළත් වෙන්නේ කොළඹ මහානාම විද්‍යාලයට. මගේ පාසල් නාට්‍ය ජීවිතය ආරම්භ වන්නේ මේ පාසලෙන්. ඒ පද්මිණී ගමගේ ගුරුතුමිය යටතේ. පාසල් කාලයේ කළ හැදෑරීමෙන් පස්සේ මම කරන්නේ තව දුරටත් නාට්‍ය කලාව ගැන හැදෑරීමට යොමුවීමයි. ඒ සඳහා මා තෝරා ගන්නේ ජාතික තරුණ සේවා සභාවයි. 2015 වසරේදි මා එහි නාට්‍ය හා රංග කලා පාසලට ඇතුළත් වෙනවා. එහි ඩිප්ලෝමාව හැදෑරීමෙන් පස්සේ ටවර් හෝල් රඟහලේ නාට්‍ය උපාධිය කරනවා. එහි උසස් ඩිප්ලෝමාව අවසන් කරලා මේ දවස්වල මා බලාපොරොත්තුවෙන් ඉන්නේ මගේ අධ්‍යාපනවේදි උපාධිය සඳහා විවෘත විශ්වවිද්‍යාලයට ඇතුළත් වීමටයි. මගේ නාට්‍ය ගමන ගැන මතකයට නඟද්දි පුබුදු ගමගේ සර්වත් මතකයට නැඟිය යුතුයි. ඔහු ඇතුළු සම්පත් පෙරේරා, සමන් සොයිසා අනෙක් අයගෙන් ලැබුණු සහයෝගය නිසයි මා අද නාට්‍යවලින් ඉදිරි ගමනක් ඇවිත් ඉන්නේ.

‘නයිට් ඩියුටි’ කියන්නේ ඔබගේ පළමු නාට්‍යයයි?

රාජ්‍ය නාට්‍ය උලෙළට ඉදිරිපත් කරන පළමු නාට්‍යය වගේම මා අධ්‍යක්ෂණය කරන පළමු කෙටි නාට්‍යය ‘නයිට් ඩියුටි’යි. අනෙක් සියලු නාට්‍ය මා කරන ලද්දේ පාසල් කාලයේදියි.

‘නයිට් ඩියුටි’ සඳහා ලැබුණු සම්මාන මොනවා ද?

හොඳම නළුවාට හිමි සම්මානය ලැබෙන්නේ ‘නයිට් ඩියුටි’ රඟපෑ නළුවා වන දුමින්ද සඳරුවන්ටයි. හොඳම වේදිකා පරිපාලනය වෙනුෂ්ක රවිහාන්, හොඳම රංග පසුතලය හා හොඳම අධ්‍යක්ෂණය තෙවැනි ස්ථානය මටත්, රංගනය සඳහා කුසලතා සහතියක් සංජීව දිසානායකටත්, හොඳම නාට්‍ය රචනය දෙවැනි ස්ථානය සුරේෂ් මධුෂාන්ටත්, හොඳම නාට්‍ය අතර තෙවැනි ස්ථානය ‘නයිට් ඩියුටි’ සඳහාත් හිමි වෙනවා.

‘නයිට් ඩියුටි’ පිටපත ලියන්නේ වෙනත් කෙනෙක්?

මේ පිටපත ලියන්නේ සුරේෂ් මධුෂාන්. ඔහු ලියූ මේ පිටපත මට ලැබෙන්නේ මීට වසර තුනකට කලින්. ඒ අනුව මුලින්ම 2017 වසරේදියි මම මේ නාට්‍යය පුහුණු වීම් ආරම්භ කරන්නේ. ඒ රාජ්‍ය නාට්‍ය උලෙළට ඉදිරිපත් කිරීම සඳහායි. ඒත් පුහුණු වීම් කටයුතුවල අපහසුතාවක් නිසා නාට්‍යය පුහුණු වීම් නවතා දැමීමට අපට සිදු වෙනවා. යළිත් එහි පුහුණු වීම් කටයුතු ආරම්භ කරන්නේ 2019 වසරේ. එහිදි මේ නාට්‍යය මා රාජ්‍ය නාට්‍ය උලෙළට ඉදිරිපත් කරනවා.

මෙය කරළියට අරගෙන එන්නට ඔබය සහය වන්නේ කවුරුන් ද?

ප්‍රවීණ රංගන ශිල්පියකු වන සංජීව දිසානායකයි විජේරත්න මහත්තයාගේ චරිතය රඟපාන්නේ. නාට්‍යයේ ප්‍රධාන චරිතය වන තරුණයාගේ චරිතය රඟපාන්නේ දුමින්ද සඳරුවන්. පෙරේරා නම් පොලිස් නිලධාරියාගේ චරිතය රඟපාන්නේ දුලාංජ දිල්ෂාන්.

‘නයිට් ඩියුටි’ නාට්‍යයෙන් කියවෙන්නේ තවත් නයිට් ඩියුටියක් ගැන ද?

මිනිස්සුන්ට ජීවත් වෙන්න සල්ලි වුවමනායි. ඒත් ඔවුන්ට ජීවත් වෙන්න සල්ලි නැහැ. පවතින රාජ්‍යයේ පරිපාලන මට්ටමයි, ධනවතුන් වැඩි වීමයි නිසා නිර්ධන පාන්තිකයන්ට ජීවත් වෙන්න විදියක් නැහැ. ඒ නිසා කුමන විදියකට හෝ ලැබෙන විදියකට ඔවුන් ජීවත් වෙන්න හුරු වෙනවා. මේ නාට්‍යයේ කතා තේමාව වෙන්නේ ‘ජීවත් වෙන්න නම් මොනව හරි කරන්න ඕන’ යන්නයි. මෙහි සිටින තරුණයට මිනී පෙට්ටියක් හමු වෙනවා. ඔහු එය විකුණන්නේ පොලිස් නිලධාරින් දෙදෙනෙකුටයි. ඒ පොලිස් නිලධාරීන් මිනී පෙට්ටිය අරගෙන යන අතරතුර ඔවුන්ගේ බයිසිකලය විකිණීමටයි මේ තරුණයා තීරණය කරන්නේ. මෙවැනි සිද්ධි දාමයක් ඔස්සේයි කතාව දිග හැරෙන්නේ. තරුණයා කුමක් කරන්නේ දැයි බැලීමට නම් ප්‍රේක්ෂකයන්ට නාට්‍යය නැරැඹීමටම සිදු වේවි.

කුණු කන්ද ‘නයිට් ඩියුටි’වලට සම්බන්ධ වෙන්නේ කොහොම ද?

කුණු කන්ද කඩා වැටීම නිසා මේ තරුණයාට ලොකු අසාධාරණයක් සිදු වෙනවා. ඒ ඔහුගේ අම්මයි, තාත්තයි දෙන්නම නැති වෙන්නේ කුණු කන්ද නිසා. ඒ නිසා ඔහු මෙය අවස්ථාවක් කර ගන්නේ ජීවත් වීමටයි. ඒත් නාට්‍යයේ මුල් අවස්ථාවේ ඒ කාරණා ප්‍රේක්ෂකයා විශ්වාස කළත් අවසානයේදී සිදු වන්නේ වෙනස් ම දෙයක්. මෙහි සිටින පොලිස් නිලධාරීන් වුණත් ජීවත් වන්නේ දඩකොළ වෙනුවට ටිකට් විකුණලයි. ඔවුන් පොලිසියේ තිබෙන පැදුරු සාජ්ජයේ ටිකට් ටික විකුණන්නේ දඩ ගැසීමෙන්. දඩකොළය වෙනුවට ඒ එන අය ටිකට් එකක් ගත යුතුයි. හැමෝටම මුදල් අවශ්‍යයයි. ඒත් ඒ මුදල් සොයා ගැනීමට ක්‍රමයක් නැහැ. ඒකයි ‘නයිට් ඩියුටි’වලින් කතා කරන්නේ.

මේ පවතින ආර්ථික ක්‍රමය අපේ සිහින බොඳ කළ බව ද ඔබ පවසන්නේ?

පුංචි කාලයේ පටන් අප ඉගෙන ගන්න දේ, උගන්වන දේත්, අප ආසාවෙන් ඉගෙන ගන්න දේත් කියන්නේ දෙකක්. ඒ නිසා කුමන මොහොතක හෝ මේ පවතින තත්ත්වය අපේ ආසාවන්වලට කිසිම දවසක යන්න ඉඩදෙන්නේ නැහැ. පාසල් කාලයේ පටන් විශ්වවිද්‍යාලය දක්වාත්, ඊට පසුවත් අපට අප කැමැති දෙයක් කරන්න ඉඩක් නැහැ. කවුරු හෝ ඔබ්බවන දෙයක් කරන්නයි අපට තිබෙන්නේ. එහෙම නැතිව මට නාට්‍ය කරන්න වුවමනා නම් නාට්‍ය කරන්නත්, මට ගායකයකු වෙන්න වුවමනා නම් ගායකයකු වෙන්නත්, මට අවශ්‍ය චිත්‍ර, මූර්ති කරන්න නම් ඒ සඳහාත් අපට කිසිම අවස්ථාවක් එළැඹිලා නැහැ. ළමයාගේ කාලේ ඉඳගෙන අපව හුරු කරලා තිබෙන්නේ උඹ විය යුත්තේ දොස්තර කෙනෙක්. නැත්නම් ඉංජිනේරුවෙක්. එහෙම කිව්වත් හැමෝටම ඒ අය වෙන්න බැහැ. එහෙමනම් තමන්ගේ ආසාවන් අනුවයි මේ රටාව බිහි විය යුත්තේ. ඒ විදියට වුණා නම් මෙවැනි ප්‍රශ්න අද සමාජයේ ඇති වන්නේ නැහැ. මේ නිසා පවතින, පැවතුණු, පවතින්න තියෙන සෑම ආර්ථික රටාවක්ම මේ කාරණය සඳහා බලපාන බවයි පෙනෙන්නේ. මීට ප්‍රධාන වගකිව යුත්තා වන්නේ රාජ්‍යයයි.

ඔබ මේ නාට්‍යයට ‘නයිට් ඩියුටි’ කියන නම තියන්නේ ඇයි?

මේ නාට්‍යය ඇතුළේ පොලිස් නිලධාරීන්වවත්, තරුණ පරපුරවත් පීඩාවට පත් කරලා නැහැ. ඔවුන්ව විහිළුවටවත්, අසාධාරණයටවත් ලක් කරලා නැහැ. මේ සිදු වීම සිදුවන්නේ අලුයම 3.00ත්, 4.00ත් වගේ වෙලාවක. නයිට් ඩියුටි කරන්නේ පොලිස් නිලධාරින්. පාන්දර වැඩමුරය පවා කරන්නේ ඔවුන්. ඒ නිසා ඒකට අපි නයිට් ඩියුටි කියන නම යෙදුවා.

ඔබ නාට්‍යය කරන්නේ රාජ්‍ය නාට්‍ය උලෙළ අලළා බවයි පෙනෙන්නේ ?

මම නාට්‍ය කරන්නේ සම්මාන බලාගෙන නොවෙයි. මම මේ නාට්‍යයේ ඉන්න අනෙක් ශිල්පින්ටත් කිව්වේ “අපි නාට්‍යයක් ඉදිරිපත් කරනවා. ඒත් සම්මාන බලාගෙන නොවෙයි. පැසසුම් බලාපොරොත්තුවෙන් කියන කාරණය”. ඒ කියන්නේ නාට්‍යය නරඹලා දෙන අදහස් පෙළ ලබා ගන්න මම කැමැතියි. “ඒක මරු නාට්‍යයක්. ඒ නාට්‍යයේ මෙතන නම් හොඳ නැහැ. මෙතන නම් හොඳයි.” ඒ වගේ අදහස්වලින් යම් ප්‍රතිපෝෂණයක් නිර්මාණකරුවකුට තිබිය යුතුයි. එයයි මට අවශ්‍ය වන්නේ.

ඔබගේ ඉදිරි කටයුතු පෙළ ගැසෙන්නේ කුමන අයුරින් ද?

මගේ අධ්‍යාපන කටයුතු අවසන් කරලා නාට්‍ය කලාවේ නියැළෙන එකයි මගේ ඉදිරි කටයුත්ත වන්නේ. ඊට අමතරව මේ දවස්වල ටවර් නාට්‍ය හා රංග කලා පාසලේ කරන සමන් සොයිසාගේ ‘සගිරි දියවර’ නාට්‍යයේ කාශ්‍යපගේ චරිතයේ පුහුණු වීම් සිදු වෙනවා. ඒ වගේම නිලංක නිසලාංජනගේ ‘අතරමැදියා’ නාට්‍යයේ වේදිකා පරිපාලන කටයුතු සිදු කරනවා. ඒවා ළඟදිම වේදිකා ගත වීමට නියමිතයි.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
3 + 10 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.