පී‍්‍රතිමත් රාජ්‍යයක සිට...

සුමුදු මධුෂාන්
මැයි 9, 2019

ඔබගේ පාසල් කාලය ගෙවෙන්නේ කුමන ආකාරයකට ද?

මා මුලින්ම පාසල් යන්නේ කඹුරුපිටිය මධ්‍ය මහා විද්‍යාලයටයි. ශිෂ්‍යත්වය සමත් වීමත් සමඟ නාරන්දෙණිය ජාතික පාසලට ඇතුළත් වන මා එහි අධ්‍යාපනය ලබන්නේ ඕලෙවල් දක්වා පමණයි. ඊට පසුව මා ඒ ලෙවල් අධ්‍යාපනය ලබන්නේ තිහගොඩ ජාතික පාසලේදියි. ඒලෙවල්වලින් පස්සේ මා සෞන්දර්ය විශ්වවිද්‍යාලයට ඇතුළත් වෙනවා. එහිදියි මා නාට්‍යකරණය හදාරන්න පටන් ගන්නේ.

පාසල් කාලයේ ඔබ හැදෑරුවේ නර්තනය නේද?

මම මුලින්ම හදාරන්නේ චිත්‍ර විෂයයි. ඉන් පස්සේ මා තාල වාද්‍ය භාණ්ඩ වාදනය කිරීම ආරම්භ කරනවා. මේ කටයුතුවලින් පසුවයි මා වෙස් බඳීන්නේ. නර්තනය කරන අතරතුරදියි මා සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ නාලක අයියාත් සමඟ එහි පිවිසෙන්නේ. එහිදි ඔවුන් කටයුතු කරන අයුරු දැකලයි මා නැටුම් අතහැර නාට්‍යකරණයට පිවිසෙන්නේ. සෞන්දර්ය විශ්වවිද්‍යාලයේදී නාට්‍යකරණය තෝරා ගැනීමට ඒ විශ්වවිද්‍යාලයේ සිටින අයගේ ක්‍රියාකාරකම් මට බෙහෙවින් ඉවහල් වුණා.

ඔබ විශ්වවිද්‍යාලය කාලයේදියි සරච්චන්ද්‍රයන්ගේ හා හෙන්රි ජයසේනයන්ගේ නාට්‍ය කණ්ඩායම්වලට සම්බන්ධ වන්නේ ?

සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ පළමු වසරේ අවසානයේදියි මේ නාට්‍ය කණ්ඩායම්වලට ළමයි ගන්න බව අපට දැන ගන්නට ලැබෙන්නේ. ඒ අනුව අප තෝරා ගැනීමේ පරීක්ෂණයට සහභාගි වෙනවා. ඒ තෝරා ගැනීම්වලින් පස්සේ ‘සිංහබාහු’, ‘මනමේ’, ‘ඒකට මට හිනා හිනා’, ‘මඟුල් ප්‍රස්තාව, ‘වෙල්ලවැහුම්’, ‘අංගාරා ගඟ ගලා බසී’, ‘කුවේණී’, ‘සුරඟනක් බඳු පුරගනක්’, ‘මායා බන්ධන’, ‘මැක්බත්’, ‘සිංඤෝ’ ඇතුළු වේදිකා නාට්‍ය විසි හතක පමණ මා රංගනයෙන් වගේම වාදනයෙනුත් දායක වෙනවා. මෙහිදී වේදිකා පරිපාලකවරයකු විදියට මා මුලින්ම පිවිසෙන්නේ ‘අංගාරා ගඟ ගලා බසී’වේදිකා නාට්‍යයෙන්. මේ වනවිට හෙන්රි ජයසේනයන්ගේ ‘කුවේණී’ වේදිකා නාට්‍යයේ විජය රජුගේ චරිතය රඟපාන්නේත් මමයි.

ඔබව අධ්‍යක්ෂවරයකු බවට පත් කරන්නේ රඟපෑමෙන් ලැබුණු අත්දැකීම් ද?

මේ නාට්‍යවල රඟපෑමෙන් පස්සෙයි මගේ සිත පර්යේෂණ නාට්‍ය කිරීමට පෙලඹෙන්නේ. ඒ අනුවයි මා මුලින්ම නිෂ්පාදනය කරන ‘තත්ජිත් තොන්නම්’ කෙටි නාට්‍යය රචනය කරන්නේ. එය අපේ කැම්පස් එකේමයි වේදිකා ගත කරන්නේ. ඊට පසුව මා අතින් නිෂ්පාදනය හා රචනය වන්නේ ‘නිරායාසයෙන්’ කියන කෙටි නාට්‍යයයි. එයත් විශ්වවිද්‍යාලය ඇතුළු පිටස්තර වේදිකා කිහිපයකම රඟ දැක්වෙන අතර ඊළඟට නිෂ්පාදනය වන්නේ ‘කැරම්’ කෙටි නාට්‍යයයි. මෑත කාලයේ නිෂ්පාදනය වුණු මගේ අලුත්ම කෙටි නාට්‍යය වන්නේ ‘ප්‍රීතිමත් රාජ්‍යයක සිට’යි. එයයි මේ ළඟදි පැවැත් වුණු යෞවන සම්මාන හා රාජ්‍ය සම්මාන උලෙළ සඳහා ඉදිරිපත් කර සම්මාන ගන්නා ලද නිර්මාණය වන්නේ.

ඒ සඳහා හිමි වුණු සම්මාන මොනවා ද?

මෙවර පැවැත්වුණු යෞවන සම්මාන උලෙළේදී මේ කෙටි නාට්‍යය සඳහා මට හොඳම නිෂ්පාදනය, හොඳම අධ්‍යක්ෂණය, හොඳම රංග වින්‍යාසය, හොඳම නිළිය, හොඳම ආලෝකකරණය යන සම්මානයි ලැබෙන්නේ. එහිදි හොඳම නළුවා නිර්දේශ වනවා. ඒ වගේ ම මෙවර පැවැත්වුණු රාජ්‍ය නාට්‍ය උලෙළේදී අවසාන වටයට මේ කෙටි නාට්‍යය තේරී පත් වන අතරම එහිදී හොඳම වේශ නිරූපණයට සම්මානයක් හිමි වෙනවා.

‘ප්‍රීතිමත් රාජ්‍යයක සිට’ කෙටි නාට්‍යය මඟින් ඔබ කතාබහ කරන්නේ ප්‍රීතිමත් රාජ්‍යයක වත ද?

යම් ස්ථානයක ජීවත් වන මනුස්සයකුගේ කතාවයි ‘ප්‍රීතිමත් රාජ්‍යයක සිට සඳහා මූලික වන්නේ. ඔහු සිහින මවනවා. එක්තරා මොහොතක ඔහුට අතීතයේ කළ සිදු වීම් කිහිපයක් පෙනෙන්නට ගන්නවා. මෙහි රඟපාන මායා කියන චරිතය මඟින් ඉදිරිපත් වන්නේ ඔහුගේ අතීතයයි. ඔහු ආදරය කළ, ඔහු කතා කළ, ඔහු ආශ්‍රය කළ විවිධ චරිතයි ඒ මඟින් ඉදිරිපත් වන්නේ. එක් චරිතයක් එය ඉදිරිපත් කළත් විවිධ වේශයන්ගෙන් පැමිණෙන මේ චරිත මේ මිනිසාව පිස්සු වට්ටන්නට කටයුතු කරනවා. එහෙත් ඒ චරිත ඉදිරිපත් වීම මඟින් ඔහුගේ සිතේ ඇති වන්නේ ආශාවක්. අවසානයේදි ඔහු තේරුම් ගන්නේ තමා ආශා කළ දේවල අවසානය වන්නේ ශූන්‍යත්වය බවයි. නාට්‍යයේදී ශූන්‍යත්වය ඔහුට දැනෙන්නේ ප්‍රීතිමත්ජනක අවස්ථාවක් ලෙසයි. ඒ මනුස්සයා අත්පත් කරගෙන සිටින ශූන්‍යත්වයයි ප්‍රීතිමත් රාජ්‍යයක් ලෙස දකින්නේ.

මෙවන් අදහසක් නිර්මාණයක් කරා රැගෙන යා යුතුය කියන අදහස සිතේ පැන නැඟෙන්නේ කුමන මොහොතක ද?

විශ්වවිද්‍යාලයේ අවසන් වසරේ සිටින විට මට මේ නිර්මාණයේම රඟපෑමට ආරාධනා කරන්නේ තෙවැනි වසරේ සිසු - සිසුවියන් විසින්. ඔවුන්ගේ අධ්‍යයන කටයුත්තක් සඳහා වීඩියෝවක් ලෙසයි මේ නිර්මාණය යොදා ගැනෙන්නේ. එහෙත් මේ කෙටි නාට්‍යය පිටපත පරිවර්තනය කරන්නේ පියල් කාරියවසම් විසින්. ඒ එංගලන්ත ජාතික මාටින් ඇන්ඩ්‍රොව් ක්රිම්ප් (ථචපබඪද චදඤපඥඹ ජපඪථන) කියන නිර්මාණකරුවාගේ ‘ඪද බඩඥ පඥනභඡතඪජ ධට ඩචනනඪදඥඵඵ’ කියන දිගු නාට්‍යය ආශ්‍රයෙන්. මේ රචනයේ මා විශේෂත්වයක් දුටුවා. ඒ දුටු විශේෂත්වයයි මා අතින් ‘ප්‍රීතිමත් රාජ්‍යයක සිට’ දක්වා නිර්මාණය වන්නේ.

මේ නිර්මාණය අසම්මත රංග ශෛලිය ආශ්‍රයෙනුයි ඔබ ඉදිරිපත් කරන්නේ ?

අපේ රටේ මිනිස්සු නාට්‍යයක් කරන විට දෙබස් කියන එක මූලික කාරණයක් කර ගන්නවා. ඒ නිසා දෙබස් නැති, දෙබස් අඩු නාට්‍යයක් ගැන කතා කිරීමට අද විචාරකයන් පවා පෙලඹෙන්නේ නැහැ. සමහර අයට මෙවන් නාට්‍යය තෙරුම් ගන්න බැහැ. මම වඩාත් කැමැත්තක් දක්වන්නේ මෙවන් ඇබ්සර්ඩ් ගණයේ නාට්‍ය කරන්නයි. ඇබ්සර්ඩ් හෙවත් අසම්මත රංග ශෛලියේ නාට්‍ය සඳහා සියල්ලන්ම වෙහෙසිය යුතුයි. ඒ සඳහා නාට්‍යයේ අධ්‍යක්ෂ, නළු නිළියන්ගේ කාර්ය වගේ ම ප්‍රේක්ෂකයා පවා සිය මොළය වෙහෙසවායි නිර්මාණයක් නැරැඹිය යුත්තේ.

ඔබ ඔය පවසන්නේ ප්‍රේක්ෂකයන්ට ඉදිරිපත් කළ යුත්තේ වෙනස් විදියේ නිර්මාණ බව ද?

ඔවුන්ව නිර්මාණයක් නැරැඹීමෙන් සිතන්නට පුරුදු කළ යුතුයි. ඔවුන්ගේ ඔළුව වෙනස් කළ යුතුයි. ඔවුන් නාට්‍යයේ කොටසක් විය යුතුයි. මෙවන් නාට්‍ය කිරීම මා තෝරා ගන්නේ ඒ කාරණය මූලික කරගෙනයි. එහෙත් අද බොහෝ විට නිර්මාණකරුවන් ප්‍රේක්ෂකයාව පුරුදු පුහුණු කර තිබෙන්නේ නිර්මාණයකින් මෙන්න මේ දේ වෙනවා කියන දේ කතන්දරයක් මඟින් කියාදීමටයි. එහෙත් එය නොවිය යුතු දෙයක්. නාට්‍ය කියන්නේ එතැනින් එහාට ගිය නිර්මාණ වර්ගයක්. ඒ තැන සොයා ගැනීමටයි අප මේතරම් කට්ටක් කන්නේ.

ප්‍රේක්ෂකයා එවන් නිර්මාණ විකාරයක් ලෙස දැකිය හැකියි නේද?

හැමෝටම තේරෙන්න මට නාට්‍ය කරන්න බැහැ. එවිට වැඩි හරියක් ප්‍රේක්ෂකයන් මගෙන් ඈත් වේවි. සමහරු හිතන්නේ දෙබස් ටිකක් කියාගනෙ කියාගෙන ගිය පමණින්, නළුවන් දෙදෙනෙක්, නිළියන් දෙදෙනෙක් ගෙනැවිත් දෙබස් ටිකක් ලියලා දීලා, කියලා දීලා නිර්මාණයක් කර පමණින් එය නාට්‍යයක් වන බවයි. එහෙම වන්නේ නැහැ. ඒ නිසා මෙවන් නිර්මාණ කරන නිර්මාණකරුවන් පමණයි ඒ නිර්මාණ කිරීමේ වෙහෙස දන්නේ. ඒ නිසා මට අවශ්‍ය වන්නේ සියලු ප්‍රේක්ෂකයන්ට තේරුම් ගත හැකි අයුරින් නිර්මාණ කරන්නයි. එහෙම නැතිව මම දන්නෙ නැති ටිකක් එහෙම්ම පෙන්නලා, මම අමුතු දෙයක් කරනවා, එහෙමත් නැත්නම් තේරෙන්නේ නැති නාට්‍ය පෙන්නලා අපේ රටේ අමුතු තැනකට එනවා කියන පොරක් වීම මගේ අදහස නොවෙයි. මම හිතන්නේ ප්‍රේකෂකයාට තේරුම් නොයන ටික ඔවුන්ට තේරුම් කරන්නේ කොහොමද කියන කාරණයයි. තවත් අලුත් ප්‍රේක්ෂකයන් කිහිපදෙනකු හෝ මේ පැත්තට යොමු කර ගැනීමයි. ඒ මඟින් ඔවුන්ගේ සිතේ වෙනස්ම සිතුම් - පැතුම් ඇති කිරීමටයි. එහෙම වුණොත් ඔවුන් වෙනස් විදියට සිතාවි. එවන් දිනකදි අද මේ සමාජයේ තිබෙන ප්‍රශ්න ඇති වන එකක් නැහැ.

ඔබගේ ඉදිරි නිර්මාණ කටයුතු පෙළ ගැසෙන්නේ කොහොම ද?

මේ වන විට මා ‘මායා බන්ධන’, ‘කුවේණි’, ‘මාරක ළිඳේ සවාරියක්’ කියන නිර්මාණවල රඟපානවා. එහි දර්ශන රැසක් ම ඉදිරියේදි වේදිකා ගත වීමට නියමිතයි. ඊට අමතරව අලුත් කෙටි නාට්‍යය පිටපතක් මේ දවස්වල ලියමිනුයි ඉන්නේ. එය ඉදිරියේදී වේදිකා ගත කිරීමට අවශ්‍ය කටයුතු කරමින් කාලය ගත කරන ගමන්ම මගේ රැකියාවත් කරගෙන යනවා.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
5 + 5 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.