මේ වේදිකාවේ හොඳම නළුවා

සංජීව උපේන්ද්‍ර
අප්‍රේල් 11, 2019

පසුගියදා පැවැති රාජ්‍ය සම්මාන උලෙළේදී හොඳම වේදිකා නාට්‍යය නළුවා ලෙස සම්මානය ලබන්නේ සංජීව උපේන්ද්‍රයි. ඔහුට ඒ සම්මානය හිමි වන්නේ ‘ෆී‍්‍රඩම්’ වේදිකා නාට්‍යයේ සිදු කළ රංගනය වෙනුවෙනි. දශක තුනක කාලයක් වේදිකාවේ සැරිසරමින් අධ්‍යක්ෂවරයකු ලෙස, නළුවකු ලෙස ඔහු ලැබූ අත්දැකීම් රාශියකි. ඔහු රිදී තිරයේ මෙන්ම පුංචි තිරයේ ද සැරිසරන්නෙකි. ඒ සියලු කැප කිරීම්වල එකතුවක් වූ මේ සම්මානය පිළිබඳත්, ‘ෆී‍්‍රඩම්’ පිළිබඳත් සංජීව උපේන්ද්‍ර සමඟ සරසවියට කළ සංවාදයකි.

 

ඔබ වේදිකාවේ සම්මාන ලබන පළමු අවස්ථාව මෙය නොවෙයි නේද?

මේ මගේ නළු ජීවිතයේ මා ලැබූ තුන්වැනි සම්මානයයි. මීට පෙර මා 2004 වසරේදී ‘කළු සමනල්ලු’ හා 2008 වසරේදී ‘ලී හාවි ඔස්වල්ඩ්’ කියන වේදිකා නාට්‍යවලටයි සම්මාන ලබන්නේ. ඊට අමතරව යෞවන සම්මාන උලෙළවලදි සම්මාන ලබනවා. 2012 වසරේ ඕසීඅයිසී සම්මාන උලෙළේදිත් මා හොඳම ටෙලි නාට්‍ය නළුවා බවට පත් වනවා. මේ ලැබුණු සම්මානය ගැන කතා කරද්දි මට හිතෙන්නේ මෙතෙක් මා රඟපෑව වේදිකා නාට්‍ය චරිතවලින් මේ නාට්‍යයේ චරිතය යම් බරක් තිබෙන චරිතයක් බවයි. ඒ බර චරිතයට මට ලැබුණු මේ සම්මානය අනෙක් ලැබුණු සම්මාන අතරින් මගේ සම්මාන රාක්කයට බර වැඩිම සම්මානය බවයි මගේ විශ්වාසය වන්නේ.

මෙවර රාජ්‍ය නාට්‍ය උලෙළේ විනිශ්චයන් සමාජ ජාල වෙබ් අඩවි ඔස්සේ විවිධ කතාබහට ලක් වුණා. ඔබ හොඳම නළුවා බවට පත් වුණු ඒ සම්මානයට මෙවර නිර්දේශිත නාම ඉදිරිපත් වුණේ නැහැ. ඔබ මේ කාරණය ගැන දරන්නේ කුමන අදහසක් ද?

සාමාන්‍යයෙන් ලෝකයේ සමහර තරගකාරි අංශවලදි නිර්දේශිත නාම නැතිව එහෙම හොඳම නළුවා හෝ වෙනයම් ඇගයීම් තිබිය හැකියි. මෙහිදී මට පෙනෙන ආකාරයට ප්‍රශ්නයක් මතු වී තිබෙන්නේ විනිශ්චයන් සම්බන්ධවයි. එහෙම නැතිව සම්මානය ලැබුව පුද්ගලයා ගැන නොවෙයි. මට හිතෙන විදියට මගේ පැත්තෙන් ගත්තොත් එක්තරා ආකාරයක අහිංසක සංතෝෂයක් මගේ සිතේ තියෙනවා. මට අභියෝග කළ හැකි නළුවන් කිසිවකුත් සිටියේ නැහැ කියන එකයි ඒ විනිශ්චවලින් අදහස් කරන්නේ. එනමුත් මාව විශ්වාස කරන විදියට මා නැරැඹූ සමහර වේදිකා නාට්‍ය ගත්තොත් හොඳම නළුවාට හෝ නිළියට කවුරු හෝ තුන්දෙනෙක් නිර්දේශ වුණොත් එක් කෙනකුට පමණයි සම්මානය හිමි වන්නේ. ඒත් එහි වටිනාකම තුන්දෙනාටම තිබෙනවා. එහෙත් එක් එක් නාට්‍යවල රංගන ගත්තට පස්සේ ඔවුන් අද්විතීයයි. ඔවුන්ගේ රංගන කාර්යය හොඳීන් ඉටු කර තිබෙනවා. විනිශ්චය මණ්ඩලයයි හොඳම නළුවන් තවත් නැහැ කියන අදහස ඉදිරිපත් කර ඇත්තේ. නිර්මාණවල චරිත ගත්තොත් චරිතයන් චරිතයන්ට අභියෝග වීමට හැකියාවක් ඇත්තෙත් නැහැ. අනෙක් නාට්‍යයකදි ඒ නළුවාට කරන්න තිබෙන කාර්යය වෙනස්. මට කරන්න තිබෙන කාර්යය තව එකක්. තවත් නළුවකුට කරන්න තිබෙන කාර්යය තව එකක්. මා දුටුවා සමහර පත්තරවල විනිශ්චය මණ්ඩලයේ සාමාජිකයන් ම කියලා තිබුණා සමහරුන්ගේ පෞද්ගලික මතය තමයි නිර්දේශිත කළ හැකි නළුවොත් මෙහි සිටියා කියන කාරණය. ඒ නිසා මගේ අදහස නම් සම්මාන උලෙළකදි එවැනි දේවල් විය හැකියි.

‘ෆ්‍රීඩම්’ වේදිකා නාට්‍යය නව නිෂ්පාදනයක් ද?

මීට වසර පහළොවකට පෙර මේ වේදිකා නාට්‍යයම බුද්ධික දමයන්ත ‘අපේ පන්ති කාමරය’ නමින් නිෂ්පාදනයක් කළා. ඊට පස්සේ සරත් කරුණාරත්න කියන නිර්මාණ ශිල්පියා ‘ආමන්ඩ්ලා’ නමින් මේ වේදිකා නාට්‍යයම යොවුන් නාට්‍ය උලෙළට නිෂ්පාදනය කළා. ලංකාවේ වේදිකා නාට්‍ය කලාවට ඒ වේදිකා නාට්‍ය හඳුන්වා දුන් බුද්ධික දමයන්තට මා මුලින්ම ස්තුතිය පුද කළ යුතුයි. මොකද මේ වේදිකා නාට්‍යය යළිත් නිෂ්පාදනයක් විදියට කළ යුතුය කියන සිතුවිල්ල ඔහුගේ නාට්‍යය නැරැඹීමෙන් ඇති වුණු රසයේ ප්‍රතිඵලයක්. එය කාලයක පටන් මගේ සිතේ පැසවමිනුයි තිබුණේ. ඊට තිබුණු එකම බාධාව වුණේ නිෂ්පාදයකයකු නොමැති වීමයි. මීට කලකට පෙර මෙහි පුහුණු වීම් ආරම්භ කළත් නාට්‍යය මඟ නැවතුණේ මුදල් නොමැති වීම කියන කාරණය නිසයි. මේ සියලු කාරණාවලින් පසුවයි අශෝක වීරතුංග සමඟ එකතු වී මට මේ වේදිකා නාට්‍යය යළිත් ආරම්භ කිරීමට ලැබෙන්නේ.

‘ෆී‍්‍රඩම්’ ලංකාවේ වේදිකාවට අලුත්ම වේදිකා නිර්මාණයක් නොවෙයි

නිෂ්පාදනය අලුත් වුණාට මේ වේදිකා නාට්‍යය අපේ රටේ ප්‍රේක්ෂකයන්ට අලුත් නිර්මාණයක් නොවෙයි. අනෙක් කාරණය මේ නිර්මාණය පරිවර්තන නාට්‍යයක්. ඒ අතුල් ෆොගාඩ් කියන දකුණු අප්‍රිකානු නාට්‍යකරුවාගේ ‘මයි චිල්රන්ඩ් මයි ඇෆි‍්‍රිකා’ කියන නිර්මාණයයි. අතුල් ෆොගාඩ් කියන නිර්මාණකරුවා ලංකාවේ වේදිකාවට නුහුරු අයකු නොවෙයි. මට මතකයි ගිය වසරේදිත් හොඳම නළුවාට හිමි සම්මානය ලබා ගන්නේ අතුල් ෆොගාඩ් කියන නිර්මාණකරුවාගේ නිර්මාණයකටයි.

වෙනත් පරිවර්තන ඕනෑ තරම් තිබෙද්දි ඔබ අතුල් ෆොගාඩ් වැනි නාට්‍යකරුවකුගේ නිර්මාණයකටම විශේෂ ඇල්මක් දක්වන්නේ ඇයි?

මේ වනවිට මේ පිටපත හැරෙන්නට වෙනත් පිටපත් රැසක් මා ළඟ තිබුණා. ඒත් මෑත කාලය වන විට ලංකාවේ වේදිකාවට වගේ ම ලංකාවේ පොළොවට ගැළපෙන නිර්මාණයක් විදියට මා දුටුවේ මේ නිර්මාණයයි. අපේ රටේ තිබෙන අධ්‍යාපනය ක්‍රමයත් සමඟ ගත්තට පස්සේ ඒ පිළිබඳ ප්‍රශ්න කරන නිර්මාණයක් විදියටයි මා ‘ෆී‍්‍රඩම්’ දුටුවේ. ඒ මඟින් දැවැන්ත කම්පනයක් ඇති කළ හැකි බවයි මට හැඟුණේ. එකල මා බුද්ධිකගේ නාට්‍යය නිෂ්පාදනය නරඹද්දිත් බෙහෙවින් කම්පනයට පත් වුණා. ඒ වගේ ම අනෙක් නිර්මාණයකට වඩා මේ නිර්මාණය මඟින් ඇති කරන කම්පනය බොහෝ බරපතළ බව මට හැඟී ගියා. ඒ නිසා ඒ නිර්මාණය මාව කම්පනයට පත් කිරීමේ ප්‍රතිඵලයක් විදියටයි යළිත් මේ වේදිකා නිර්මාණය වේදිකා නාට්‍යයක් ලෙස මා අතින් නිෂ්පාදනය වන්නේ. ඒ නිසයි දිගු කාලයක පටන් කළ අධ්‍යයනයකින් පසුව මේ වේදිකා නිර්මාණයම අධ්‍යක්ෂණය සඳහා මා තෝරා ගැනීමට හේතුව වුණේ.

ඔබ ‘ෆී‍්‍රඩම්’ වේදිකාවට රැගෙන එන්නේ මීට පෙර නිෂ්පාදනය වූ වේදිකා නිර්මාණ දෙකටම වඩා වෙනස් අයුරින් ද?

ඒ වේදිකා නාට්‍යය දෙකටම වඩා හාත්පසින්ම වෙනස් රංග රීතියකුයි ‘ෆී‍්‍රඩම්’ වේදිකා නාට්‍යයේදී මා අනුගමනය කරන්නේ. මේ වේදිකා නාට්‍යයේ වඩාත් ප්‍රබලත්වයට පත් වන්නේ පසුතලයවත්, ඇඳුම්වත්, රංගාලෝකයවත් නොවෙයි. එහි එන ලියැවිල්ල හා චරිතයි ප්‍රබලත්වයට පත් වන්නේ. ඒ නිසා මට වුවමනා වුණේ ඒ චරිතවලට වැඩි ගැඹුරක් එක් කිරීමට හා ඒ පිටපතට වඩා සාධාරණයක් ඉටු කිරීමටයි. එය ඉටු වුණු බව මට හැඟෙන්නේ මේ නිෂ්පාදන තුනම නැරැඹූ ප්‍රේක්ෂකයන් මා සමඟ කතා කළ නිසයි. ඔවුන් පැවසුවේ අනෙක් නාට්‍ය නිෂ්පාදන දෙකට වඩා ‘ෆී‍්‍රඩම්’ මඟින් කතා කළ යුතු කාරණාව ඉස්මතු වූ බවයි.

‘ෆී‍්‍රඩම්’ වේදිකා නාට්‍යයට අධ්‍යක්ෂවරුන් දෙදෙනෙක්. ඒ ඇයි?

ඇත්තටම මට වුවමනා වුණේ මේ වේදිකා නාට්‍යයේ මා රඟපාන නිසා තවත් කෙනකුන් එළියේ සිටිය යුතු බවයි. මාව දකින්න කවුරු හෝ කෙනකු සිටිය යුතු බව මා සිතුවා. අනෙක් කාරණය නම් රංගනයේ යෙදෙමින් අධ්‍යක්ෂණය කරනවා කියන කාරණය ලංකාවේ වේදිකාවේ ටිකක් අපහසු කාර්යයක්. ලංකාවේ විතරක් නොවෙයි මේ කාරණය ලෝකයෙත් එහෙමයි. ඒ වගේ ම මේ චරිතය ගැන මට තිබුණේ විශාල කෑදරකමක්. මේ කාරණා සියල්ල ම නිසා තවත් හවුල්කරුවකු සිටිය යුතු බව මා තීරණය කළා. ඒ අනුවයි අශෝක කියන අපේ මිත්‍රයව මේ වේදිකා නාට්‍යයට සහභාගි කර ගන්නේ.

‘ෆී‍්‍රඩම්’ නාට්‍යයේ ඔබ සම්මාන දිනූ මිස්ටර් එම් ප්‍රතිනිර්මාණය කරන්නේ කොහොම ද?

මේ චරිතය බරසාර චරිතයක්. මගේ නාට්‍ය දශක තුන ඇතුළේ මට හමුවුණු බරපතළ ම චරිතයකුයි මිස්ටර් එම් කියන්නේ. මට වුවමනා වුණා මේ චරිතය හොයාගෙන ඇතුළට ම යන්න. නළුවකු විදියට මා බොහොම කෑදරයි විවිධ චරිත කරන්න. එවැනි චරිතයකුයි මිස්ටර් එම් කියන්නේ. ඒ නිසා ඒ චරිතයට අසාධාරණයක් නොකළ යුතුයි කියන අදහසේ මා සිටියා. මේ අනුව ඒ ගුරුවරයාගේ චරිතය කෙසේ කළ යුතු දැයි මා සෙව්වා. ඒ අධ්‍යයන ඔස්සේයි මේ චරිතය වඩාත් වර්ධනය වුණේ.

‘ෆ්‍රීඩම්’ වේදිකා නාට්‍යයේ කතාව දිග හැරෙන්නේ කුමන කාරණයක් අරඹයා ද?

මුල් නාට්‍ය වුණු ‘මයි චිල්රන්ඩ් මයි ඇෆි‍්‍රිකා’ සිංහලට පරිවර්තනය කළේ ඩබ්ලිව්.එස්. විජේසිංහ කියන ප්‍රවීණ පරිවර්තකයායි. මෙහි දිනූෂා ලක්ෂානි හා ධනුෂ්ක වන්නිනායක යන දෙදෙනායි අනෙක් චරිත දෙක නිරූපණය කරන්නේ. මේ නාට්‍යකරුවා තම උපන්දිනයේදී පැවැති වර්ණ භේදවාදය නිසා හටගත් ඛේදජනක සිද්ධි සම්බන්ධයෙන් තම විරෝධය පෑම උදෙසායි මේ වේදිකා නාට්‍යය කරනු ලබන්නේ. එහිදි ඔහු වෙන් වෙන් වශයෙන් බෙදි පැවැති කළු සුදු වැසියන් වෙසෙන කුඩා නගරයක. එක්තරා කළු ජාතික ගුරුවරයකු එක්තරා අප්‍රිකානු අර්බුදයන්ට විසඳුම අධ්‍යාපනය මිසක් හිංසනය නොවන බව තරුණයකුට අවබෝධ කිරීමට වෑයම් කිරීම සංවාදයකටයි ලක් කරන්නේ. මේ කතාව දේශපාලන කතන්දරයක් හා පුද්ගල ඛේදාන්තයක් අතර දෝලනය වන නාට්‍යයක්.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
10 + 9 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.