1960 කෙටි නාට්‍යයේ විප්ලවයක් ?

මාර්තු 28, 2019

නාට්‍ය කලාවට බෙහෙවින් කුඩා කල පටන්ම ආදරය කරන නාලක හපුආරච්චි බොහෝ දෙනා අතර කතාබහට ලක් වන්නේ ‘ඩාක්රූම්’ වේදිකා නාට්‍යයෙනි. ‘ඩාක්රූම්’වලින් පසුව ඔහු මේ සැරැසෙන්නේ නවතම වේදිකා නාට්‍යයක් ඔබ හමුවට රැගෙන එන්නට ය. ඒ ‘1960’ නම් වූ කෙටි නාට්‍යයයි. මේ කෙටි නාට්‍යයක් මඟින් නාට්‍ය කලාව වෙනස්ම මානයකට රැගෙන යා යුතු යැයි අදහස් කරන නාලක හපුආරච්චි සිය නවතම නිර්මාණය පිළිබඳ ‘සරසවිය’ට කළ සංවාදයකි.

 

ඔබත් ගමෙන් නගරයට පැමිණි තරුණයෙක් ද?

රත්නපුරය කලවාන ගමේ ඉපදුණ මා පාසල් ගියේ දෙල්ගොඩ ජාතික පාසලටයි. ඒ පාසලට යන කාලයේදිමයි මට වුවමනා වුණේ නාට්‍ය කලාව ගැඹුරින් ඉගෙන ගන්න. ඒ නිසාමයි මම කොළඹට පැමිණෙන්නේ. ඒ ඇවිත් මා නාට්‍ය කිහිපයකම වැඩ කළා. එහි මූලික අදියර විදියට ආනන්ද එස්. විජේසිරි මහත්තයාගේ ‘දෙව්ලොව යනකං’, ‘පුරවර සුන්දරී’, ‘නෙත් අඳ බිසව්’ කියන වේදිකා නාට්‍යවලට මගේ රංගන දායකත්වය ලබා දුන්නා. ඊට පස්සේ එවැනි නිර්මාණ දහසයකට පමණ මා රංගනයෙන් වගේ ම වේදිකාවේ අනෙක් අංශවලට ද සහය දැක්වූවා.

*රංගනයෙන් පසුව ඔබගේ භූමිකාව වෙනස් වෙනවා ද?

රංගනය කරන අතරතුරදියි අධ්‍යක්ෂවරයකු වීමේ අදහස මගේ සිතට පිවිසෙන්නේ. ඒකට හේතුව වුණේ මා රඟපාන විට මට අවශ්‍ය චරිතම නොලැබී යෑමයි. මේ නිසා මට වුවමනා වුණේ මා කවුරුන් ද යන්න හඳුනා ගැනීමටයි. එහි මූලික පියවරක් විදියටයි මා අධ්‍යක්ෂණයට පිවිසෙන්නේ.

‘ඩාක්රූම්’ ඔබගේ පළමු වේදිකා නාට්‍යය නොවේ ද?

මගේ පළමු වේදිකා නාට්‍යය ‘බමන මඳු’ නිර්මාණය වන්නේ 2015 වසරේ අග භාගයේයි. ඒ වේදිකා නාට්‍යය නිෂ්පාදනය කරන්නේ ගල්වැවේ විමලකාන්ති හිමියන්. ඊට වසර එකහමාරකට පසුවයි මා ‘ඩාක්රූම්’ වේදිකා නාට්‍යය අධ්‍යක්ෂණය කරන්නේ. ඒ 2016 වසරේ. මේ වේදිකා නාට්‍ය දෙකම දිගු නාට්‍යයයි.

‘ඩාක්රූම්’ වඩාත් කතාබහට ලක් වන්නේ විශ්වවිද්‍යාල ළමයින් අතරයි

මේ වේදිකා නාට්‍යය මා රාජ්‍ය නාට්‍ය උලෙළට ඉදිරිපත් කළා. ඒ සඳහා දෙසිය හතළිස් අටක ලකුණු ප්‍රමාණයක් ලැබුණා. සම්මාන නම් ලැබුණේ නැහැ. ඒත් මා එතැනින් ‘ඩාක්රූම්’ වේදිකා නාට්‍යයේ ගමන නැවැත් වූයේ නැහැ. මට හැකි අයුරෙන් මා විවිධ දර්ශන රැසක්ම සංවිධානය කළා. ඒ අනුවයි ‘ඩාක්රූම්’ විශ්වවිද්‍යාලයට පිවිසෙන්නේ. එහිදි එය නැරැඹූ විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් හා ශිෂ්‍යාවන්ගෙන් ලැබුණු ප්‍රතිචාර බොහොමයි. ඔවුන් අතර මේ වේදිකා නාට්‍යය පිළිබඳ යම් කතාබහක් ඇති වුණා. ඒ කතාබහ මා වැනි අලුත් නාට්‍යකරුවකුට ජීවය සපයන්නක්. ඔවුන් ඇතුළු නාට්‍යය නැරැඹූ ජනතාවගෙන් ලැබුණු ජනතා සම්මානය මට අනෙක් සම්මානවලට වඩා බොහෝ වැදගත්.

ඔබ නිෂ්පාදනය කරන නවතම වේදිකා නිර්මාණය වන්නේ ‘1960’ කෙටි නාට්‍යයයි

‘1960’ වේදිකා නාට්‍යයේ මංගල දර්ශනය වේදිකා ගත වන්නේ හෙට එනම් 29 වැනිදා හෝමාගම බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේදියි. එහි ‘1960’ වේදිකා නාට්‍යය පවත්වන්නේ මහා ශිෂ්‍ය සංගමයේ සංවිධානයෙන්. මෙහි රංගනයෙන් නිශාන්ත කුලරත්න, දිනිඳු ඒකනායක, විජිත හෙට්ටිගේ, උපේක්ෂා ගමගේ සහය වන අතර අංග රචනය සදීර දිනේෂ්ගේ. වේදිකා පරිපාලනයෙන් මනෝජ්, රංගාලෝකයෙන් මිහිඳු සහය වෙනවා. නාට්‍ය පිටපත නිෂ්පාදනය හා අධ්‍යක්ෂණය, වේදිකා පසුතල මගේ නිර්මාණයක්. ඒ වගේ ම මේ කෙටි නාට්‍යය අපේ රටේ වෙනසක් ඇති කරන නාට්‍යයක් වේවි කියන බලාපොරොත්තුවත් මගේ හිතේ තිබෙනවා.

ඔබ එවැනි බලාපොරොත්තුවක් තබා ගැනීමට හේතු වූ කාරණය කුමක් ද?

මේ කෙටි නාට්‍යය මා කරන ලද්දේ මහත් වෙහෙසක් වගේ ම වියදමක් දරලයි. ඒ සඳහා මා වේදිකා පසුතල භාවිත කළේ වෙනස්ම විදියකටයි. වෙනස් විදියකට හිතන කෙනකු විදියට ඒ මඟින් ප්‍රේක්ෂකයන්ට වෙනස්ම අත්දැකීමක් ලබා දෙන්නයි මා අදහස් කළේ. ප්‍රේක්ෂකයන්ට හොඳ රසවින්ඳනයක් ලබා දෙන්නයි මට වුවමනා වුණේ. ඒ මඟින් සමාජයේ වෙසෙන මිනිසුන්ට ආමන්ත්‍රණය කරන්නටයි මට වුවමනා වුණේ. මේ ආමන්ත්‍රණය මඟින් එක්වරම සමාජය වෙනස් කරන්නට අපට නොහැකි වේවි. ඒත් සමාජයේ යම් චලනයක් නිර්මාණය කළ හැකි ය යන මතයේ මා සිටිනවා.

‘1960 කෙටි නාට්‍යයේ පසුතලය නිර්මාණය වුණේ කොහොම ද?

වෙනස්ම ආකාරයේ පසුතලයකුයි මා මේ සඳහා නිර්මාණය කළේ. වේදිකා නාට්‍යයේ පිටපතට අනුව මෙහි ක්ලබ් එකකුයි නිර්මාණය කළේ. ක්ලබ් එකක් තිබිය යුතු සියලුම දේවල් මෙහි තිබෙනවා. කොයිතරම් දර්ශන වාර ගණනක් මේ නිර්මාණය අරගෙන යන්න හැකි වේවි දැයි මා නම් දන්නේ නැහැ. වේදිකා නාට්‍යයක් එලෙස අරගෙන යෑමේ වගකීම රැ¼දී තිබෙන්නේ ප්‍රේක්ෂකයන් අතරයි. ඔවුන් අතර තිබෙන මේ ගනුදෙනුව කුමන ආකාරයක ගත්තත්, මා නිර්මාණ කරුවකු විදියට, මා කරන නිර්මාණය නිර්මාණයක් විදියට කිරීමටයි නිතරම උත්සාහ ගන්නේ. මේ නිර්මාණ කිරීමෙන් මා බලාපොරොත්තු වන්නේ සම්මාන ලබා ගැනීම නොවෙයි; උගත් සමාජයක් බිහි කිරීමට යම් දායකත්වයක් ලබා දීමයි.

එලෙස වියදමක් දරා කෙටි නාට්‍යයක් කළ බවක් නම් අප අසා නැහැ. ඔබ එවැනි වෙනසක් කිරීමට තැත් කළේ වෙනසක් ඇති කළ බව පැවැසීමට අවශ්‍ය නිසා ද?

අපේ රටේ නාට්‍ය කලාවේ වෙනසක් ඇති කිරීම මා ආරම්භ කළේ ‘ඩාක්රූම්’ වේදිකා නාට්‍යයෙන්. එය නැරැඹූ ප්‍රේක්ෂකයනුයි මට ඒ බව පැවැසුවේ. ඒ නිසා මා නිතරම උත්සාහ ගන්නේ එකම තේමාවක් ඇතුළේ හිරවෙනවාට වඩා වෙනස් විදියේ නිර්මාණ කිරීමටයි. ඒ මඟින් ප්‍රේක්ෂකයාව වේදිකා නිර්මාණවලට ආකර්ෂණය කර ගැනීමටයි.

‘1960’ කියන්නේ මොන වගේ කෙටි නාට්‍යය නිර්මාණයක් ද?

මේ කතාව පොළොවේ හැතැප්ම මෙපමණැයි කිව හැකි මහාචාර්යවරයකු වටා ගෙතුණු කතාවක්. ඔහු නිතරම සමාජය ගැන ඉන්නේ අවදියෙන්. මෙහි තිබෙන ක්ලබ් එකට යන ඔහු ඉල්ලන්නේ 1960 අවධියේ පානයක්. එහෙත් ඒ පානය මේ කල්බ් එකේ නැහැ. ඒ පානය සමාජය, සමාජ පීඩනය, සංස්කෘතිය හා ගෙතුණු කතාන්තරයක්. 1960 දශකයේ බිහි වී තිබෙන්නේ බුද්ධිමත් මිනිස්සු පිරිසක්. ඒ දශකයේ භෞතික සම්පත් අතින් වුණත් මිනිස්සු බොහෝ පොහොසත්. එවැනි කාලයක ජීවත් වන කෙනකු වන මේ දොස්තර ක්ලබ් එකට පැමිණ ඉල්ලන්නේ මේ තිබෙන යාන්ත්‍රික සමාජය නොවෙයි. ඔහු ජීවත් වූ සමාජයයි. ඒ නිසා ‘1960’ කෙටි නාට්‍යය කුමක්ද යන්න තීරණය කිරීමට නම් මේ නාට්‍යය නැරඹීමට ප්‍රේක්ෂකයාට සිදු වේවි.

ඔබ නිර්මාණ කිරීමේදී වඩාත් ප්‍රිය කරන්නේ ස්වතන්ත්‍ර නිර්මාණවලට ද? පරිවර්තන නිර්මාණවලට ද?

මම වඩාත් ප්‍රිය බවක් දක්වන්නේ ස්වතන්ත්‍ර නිර්මාණවලටයි. පරිවර්තනවලට වැඩි ඇල්මක් මගේ සිතේ නැහැ. හරියට පරිවර්තනයක් කරනවා කියන්නේ කොහේ හරි රටක තියෙන නිර්මාණයක්, ඒ කියන්නේ හරියටම පාන් ගෙඩියක් ගෙනැවිත් බෙදා හරිනවා වගේ වැඩක්. ඒත් ස්වතන්ත්‍ර නිර්මාණකරුවා එහෙම නොවෙයි. ඇලපිලි පාපිලි ගොතලා, ඒක නාට්‍ය අනුසාරයකට ගෙනැවිත්, වස්තු බීජයක් ලෙස එළියට දැමීමයි සිදු කරන්නේ. අපට පරිවර්තනයක් පිළිබඳ කතාබහ කිරීමට සිදුවන්නේ ලෝක නාට්‍ය මඟින්. ඒ නිසා ඔවුන් පරිවර්තන නොකළ යුතු බවක් මා පවසන්නේ නැහැ. එහෙම වුණත් එවැනි පරිවර්තන කළයුතු ද? කියන ප්‍රශ්නයයි මගේ සිතේ පැන නැඟෙන්නේ. මේ තරම් දැවෙන ප්‍රශ්න අපේ රටේ තියෙද්දි කොහේවත් නැති ප්‍රශ්නයක් අප ඔළුවට අරගත යුතු ද? යන සිතුවිල්ලයි මගේ සිතේ පැන නැඟෙන්නේ.

ඒ කියන්නේ ඔබ පරිවර්තන බැහැර කරනවා?

එහෙම නොවෙයි. උදාහරණයක් විදියට විලියම් ශේක්ස්පියර්ගේ ‘හැම්ලට්’ නාට්‍යය ගත්තොත් එහි සිදු වන්නේ අම්මා බාප්පාත් සමඟ සම්බන්ධතාවක් පැවැත්වීමයි. එහෙත් දේශීය නාට්‍යකරුවකු එවැනි කතා තේමාවක් කළොත් වාරණය දමනවා. හැම්ලට් වගේ නාට්‍යයක් අපේ රටට අනුගත වනවා නම් ඇයි අපේ නිර්මාණවලට වාරණයක් දමන්නේ. අපේ නාට්‍යවල හැම වචනයක්මත් බලනවා. සිංහල භාෂාවට උචිත වචනයක් තිබුණත් මේ මණ්ඩලය ඒකත් කපන්න කියනවා. ඒ ප්‍රශ්න පරිවර්තන නාට්‍යවලට ඇත්තේ නැහැ. යම් විදියකින් මේ රටේ නාට්‍ය කිරීමේදි ඒවා සමාජ ගත කිරීමට ගිහින් අපට දවසක නාට්‍ය කලාව අතහැර යන්න වුණොත් සුදුසුම දේ අපේ රට අතහැර යෑමයි. ඒ වගේ ම අද වනවිට නාට්‍ය කරන තරුණයන් වටා විවිධ ප්‍රශ්න නිර්මාණය වී තිබෙනවා. මේ තරුණයන්ගේ නාට්‍ය නැරැඹිය යුත්තේ තරුණයන් විසින්. එහෙම නැතිව යල්පැන ගිය විනිශ්චය මණ්ඩලයක් මඟින් නොවෙයි. මෙන්න මෙවැනි ප්‍රශ්න රැසකුයි අපේ නාට්‍ය කලාවේ ඇතුළේ නිර්මාණය වී තිබෙන්නේ.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
4 + 14 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.