සැරද සහෝදර මේ අරගලයක්

මාර්තු 21, 2019

කේ.සමන් තුෂාරගේ නවතම වේදිකා නාට්‍ය 'සැරද සහෝදර' හෙට (22) මීගමුව පුරහලේදී වේදිකා ගතවෙයි. නෙවිල් ද සිල්වාගේ ‘මනුසත්තු’ වේදිකා නාට්‍යයේ වේදිකා පරිපාලක සහායක ලෙස වේදිකාවට ගොඩවන සමන් තුෂාර ක්‍රමානුකූලව වේදිකාවේ පියවරෙන් පියවර ඉදිරියට පැමිණි නිර්මාණකරුවෙකි. ‘සීත මාලිඟා’, ‘දෙබිඩි’ යන වේදිකා නාට්‍යවලට රංගනයෙන් සහභාගි වන ඔහු නිර්මාණය කළ පළමු වේදිකා නාට්‍යය වන්නේ ‘ධර්ම සංග්‍රාමය’යි. සමන් ප්‍රේක්ෂක හමුවට ‘සැරද සහෝදර’ රැගෙන පැමිණෙන්නේ ඉන් වසර කිහිපයකට පසුව ය. පසුගියදා පැවැති රාජ්‍ය නාට්‍ය උලෙළේ දෙවැනි වටය දක්වා නියෝජනය කරන ‘සැරද සහෝදර’ පිළිබඳ හා සිය නාට්‍ය ජීවිතය පිළිබඳ සමන් තුෂාර ‘සරසවිය’ට සඳහනක යෙදුණේ මෙසේයි.

ඔබ නිර්මාණය කළ ‘සැරද සහෝදර’ වේදිකා නාට්‍යයට පාදක කර ගන්නේ කුමක් ද?

ඉඩම් අරගලය ගැන ඇති වන ගැටලුවක් සහ රජය විසින් සංවර්ධන ව්‍යාපෘති සඳහා යැයි පවසමින් ජනතාවගේ ඉඩකඩම් අත්පත් කර ගැනීමට එරෙහිව නැඟී සිටින වෛද්‍යවරයකු සිරගත කිරීම සම්බන්්ධව ලබන අත්දැකීම් පිළිබඳයි මේ නාට්‍යයට ඇතුළත් වන්නේ. ඒ වගේ ම ඒ සිරකඳවුරේ සිටින ජේලර්ගේ අත්දැකීම් ඇසුරෙනුයි මේ කතාව ගලාගෙන යන්නේ.

මේ වේදිකා නාට්‍යයට ඔබ සොයා ගන්න පිටපත ඔබට ලැබෙන්නේ ඉන්දියානු නවකතාවකින් ද?

ඉන්දීය ලේඛක අනිල් බර්වේගේ ලිව්ව ‘ඊඩචදඬ රධභ ර්ප. ට්තචඤ’ කියන නවකතාවේ සිංහල අනුවාදයක් කරලා තිබුණේ ඩොන් ප්‍රේමචන්ද්‍ර කියන නිර්මාණකරුවායි. ඒ ‘නක්සලයිට්වාදියකුගේ කතාවක්’ යනුවෙන්. එයයි මේ වේදිකා නාට්‍යයට පාදක කර ගන්න නවකතාව වන්නේ.

නවකතාව අනුවාදනය කළ ලේඛකයා නොවෙයි වේදිකා නාට්‍යය පිටපත ලියන්නේ

මේ නවකතාව මුලින්ම ලියැවෙන්නේ හින්දි භාෂාවෙන්. එය සිංහලට අනුවර්තනය වුණාට පස්සේ නාට්‍යයක් විදියට මෙහි පිටපත ලියන ලද්දේ අජිත් හැඩ්ලි පෙරේරා. ඔහු ඒ පිටපත තියාගෙන වසර පහක් පමණ කාලයක් සිටියා. ඒ අතරතුරුදියි මේ පිටපත පිළිබඳ දැනගෙන මා කියවා බලන්නේ. ඉන්පසුවයි එය වේදිකා නිර්මාණයක් ලෙස ‘සැරද සහෝදර’ නමින් වේදිකාවට පිවිසෙන්නේ.

ඉන්දියාවේ කතා කරන ඉඩම් අරගලය ඔබ අපේ රටට ඈඳා ගන්නේ කෙසේද?

අපේ රටේත් ඇතැම් ප්‍රදේශවල ජනතාවගේ ඉඩම් රජයට පවරා ගැනීම සිදු වෙනවා. ඒ විවිධ ව්‍යාපෘති සඳහායි. ඒ පවරා ගන්නා ඉඩම් නිසා ජනතාවට සාධාරණයක් නම් ඉටු වන්නේ නැහැ. ඒ මොකද පැවසුවොත් ඒ ඉඩම් සමහර වෙලාවට විකිණීම සිදු වන්නේ බහුජාතික සමාගම්වලටයි. අපේ රටේ දේවල් අපේ රටේ අයට භුක්ති විඳීන්න දෙන්නේ නැතිව, අපේ අනාගත පරපුරට යහපතක් විදියට යොදවන්න දෙන්නේ නැතිව පාවිච්චි කිරීමයි මට තිබුණු ප්‍රශ්නය වුණේ. ජනතාවට පෙන්වා තිබුණේ අපේ සමාජය බොහෝ විනෝදකාමී ලෝකයක් විදියටයි. ඒ නිසා මිනිස්සුගේ ජීවිතවල තිබෙන ගැටලු පිළිබඳ කතා කරන අවස්ථා අඩු වුණා. එවැනි පරිසරයකයි මා මේ වේදිකා නාට්‍යය නිර්මාණය කරන්නේ. ඒ ජනතාවගේ ගැටලුවක් බවට පත් වී ඇති කාරණා කිහිපයක් වේදිකා නාට්‍යයක් මඟින් කතා කිරීමටයි.

අපේ සමාජය බොහෝ විනෝදකාමී ලෝකයක් විදියට ජනතාවට පෙන්වා තිබුණත්, එහි සැබෑ තත්ත්වය දිනෙක ඉස්මතු වනවා. ඒ නිසා ඔවුන්ගේ ප්‍රශ්න පිළිබඳ කතා කිරීමට අද විවිධ සමාජජාලා රැසක් නිර්මාණය වී තිබෙනවා

ඒ මොන දේ නිර්මාණය වුණත් සමාජයේ ඇත්ත තත්ත්වය පෙනෙනවා අඩුයි. නිතරම පෙන්වන්නේ සුන්දර ලෝකයයි. මෙන්න මෙයයි මට තිබෙන ගැටලුව වන්නේ. ඒ නිසයි මා නිතරම පවසන්නේ අප කතා කළ යුත්තේ අපේ ඇත්ත තත්ත්වය බව. මොකක් ද මේ වෙන්නේ? සමාජය ඇතුළේ අවංක භාවය කොතැන ද තියෙන්නේ? මිනිසුන්ගේ ඇතුළාන්තය කොතැන ද තියෙන්නේ? මෙන්න මේ කාරණායි මා මේ වේදිකා නාට්‍යය මඟින් කතා කරන්නේ.

ඒ සඳහා ඔබ යොදා ගන්නා චරිත මොනවාද?

ජේලර් කියන චරිතය ඊට හොඳම උදාහරණයක්. ඔහුගේ ඇතුළාන්තය ගැනයි මා කතා කරන්නේ. ඔහු මනුෂ්‍යත්වය හා රාජ්‍ය නිලධාරීවාදය ඇතුළේ හිරවෙන තැන පිළිබඳයි මා කතා කරන්නේ. ඔහු ඉහළ නිලධාරීන්ට පක්ෂපාතී විය යුතුයි. එවිට මිනිසාගේ මානුෂිකත්වයට කුමක් ද වෙන්නේ? එය මැරිලා යන බව අපට පෙනෙනවා. මේ කාරණය ඇතුළෙයි මේ වේදිකා නාට්‍යය දිවෙන්නේ.

ඒ මිනිසුන්ගේ මැරුණු මානසිකත්වය ඔබ වේදිකාවට ගෙනෙන්නේ කුමන ආකාරයටද?

මෙහි ප්‍රධාන ජේලර්ට දියණියක් සිටිනවා. ඈ සිටින්නේ දරුවකු ප්‍රසූත කරන අවධියේ. ඇගේ දරුවා ප්‍රසූත කරන අවස්ථාව වන විට වෛද්‍යවරයකු සොයා ගැනීමට ඔහුට අපහසු වෙනවා. අවසානයේ බන්ධනාගාරගතව සිටින වෛද්‍යවරයායි ඔහුගේ දියණියගේ දරුවාව මේ ලෝකයට බිහි කරවන්නේ. මෙහි තිබෙන විශේෂත්වය වන්නේ ඔහු ජේලර්ගේ දියණියට සහය වන්නේ ඔහුව එල්ලුම් ගහට යවන්න තිබෙන තත්ත්පර කිහිපයක් ඇතුළේදි වීම. මෙතනදි ජේලර් පුදුම විදියට අපහසුතාවට පත්වෙනවා. ඒ වෛද්‍යවරයාව එල්ලුම් ගහට යවනව ද? තමන්ගේ දියණියව බේරා ගන්නව ද? කියන ගැටලුව උඩයි. ඔහු ඉහළ නිලධාරීන්ගේ අණත් ක්‍රියාත්මක කළ යුතුයි. මේ ආකාරයට දිවෙන ‘සැරද සහෝදර’ බොහොම සංවේදි කතාවක් වගේ ම ඇතුළාන්තය හදවතට දනවන කතාවක්.

‘සැරද සහෝදර’ වේදිකා නාට්‍යයට දායක වන පිරිස කවුරුන් ද?

මේ නිර්මාණයේ නිෂ්පාදන හා අධ්‍යක්ෂණ කටයුතු සඳහා මීගමුවේ සිටින කලාකරුවන් බොහෝ දෙනෙක් මට උදවු වුණා. සංගීත අධ්‍යක්ෂණයෙන් සෞම්‍ය මදුශංක හා වාදනයෙන් දහයක් පමණ පිරිසක් මේ නිර්මාණය සඳහා සහාය වනවා. වේදිකා පසුතල නිර්මාණයෙන් නෙවිල් ද සිල්වා, වේදිකා පරිපාලනයෙන් සමාධි ලේන්, සුදේශ් නිශාන්ත, ලහිරු, ප්‍රණීත්, ලක්ෂාන්, ශාෂිරංග, මංගල, සඳනි, තිළිණි, ඉෂුආරා, සඳරුවන්, චමාල්, නෙවිල් ගාමිණී, ශ්‍රීනාල්, ඉමාෂි, වේදිකා කළමනාකරණයෙන් ලහිරු වික්‍රමසිංහ, ආලෝකයෙන් ගාමිණී හේමචන්ද්‍ර, ඇඳුම් නිර්මාණයෙන් ශ්‍යාමා පෙරේරා, වේශ නිරූපණයෙන් සමන් හේමරත්න, වසන්ත විට්ටච්චිත් මේ නිර්මාණය සඳහා දායකත්වය දක්වන අනෙක් පිරිසයි. රංගනයෙන් නිරෝෂන් විජේසිංහ, උදේනි අල්විස්, ශාලිකා පෙරේරා, ප්‍රබෝධ බුද්ධි ප්‍රිය, සමාලි වාසනා, නාදන්, රාජසිංහ ලෝලුවාගොඩ, ඩබ්ලිව්. ගාමිණී, නිමාලි දිල්ශානි, ආකාශ් පෙරේරා, ලහිරු වික්‍රමසිංහ, ශමාල් දිලේන්, මංගල ඩයස් යන ශිල්පීන් හා ශිල්පිනියන් පිරිසයි ‘සැරද සහෝදර’ වේදිකාවට රැගෙන එන්නේ.

‘සැරද සහෝදර’ වේදිකා පසුතලය සෑම විටදිම වෙනස් වනවා. එය පහසු කටයුත්තක් නොවෙයි

මෙහි වේදිකා පරිපාලනය බොහොම දැවැන්ත කාර්යයක්. ඒ විදියට මේ වේදිකා නාට්‍යයේ වේදිකා පරිපාලනය සිදු නොකළා නම් මේ නිර්මාණය ටීටර් ගණයට වැටෙනවා. මේ නිසා වසර කිහිපයක් පමණ මේ නාට්‍යයේ පසුතල ගැන අප කතා කළා. අජිත් හා නෙවිල් ද සිල්වා හා මම. ඒ කතාබහට අනුවයි නෙවිල් ද සිල්වා මෙහි පසුතලය නිර්මාණය කරන්නේ. ඒ කටයුත්ත සඳහා සුදේශ්, ලහිරු, ප්‍රණීත්, ලක්ෂාන් වගේ අය බොහෝ දායකත්වය දැක්වූවා. මෙහි එන අවස්ථාවලට අනුව අවස්ථා හයක් විවිධ අවස්ථාවල පසුතල බවට පත් කළ යුතුයි. පැය එකහමාරක් වගේ කාලයක් ඇතුළේ නාට්‍යය නරඹන ප්‍රේක්ෂකයාගේ අවධානය බිඳෙන්නේ නැතිවයි අප එය කළ යුත්තේ. ඒ සඳහා දොළහකින් පමණ සැදුම්ලත් කණ්ඩායමක් ඉන්නවා. ඔවුන් එය සිදු කිරීමට විශාල කැප කිරීමක් කරනවා.

ඔබගේ නවතම වේදිකා නාට්‍යය ඔබ මෙවර වේදිකා ගත කරන්නේ විශේෂ කටයුත්තක් සඳහා නේද?

ඒ මීගමුව ජාත්‍යන්තර පාසලේ ආයුර්වේද විද්‍යා පරීක්ෂණාගාරයක් නිර්මාණය කිරීමේ අදහසින් ඊට අවශ්‍ය අරමුදලක් පිහිටුවීම සඳහායි. මෙහි විදුහල්පතිතුමා ‘සැරද සහෝදර’ වේදිකා නාට්‍යය මීට පෙර නැරැඹූ කෙනෙක්. ඒ වගේ ම ඒ නිර්මාණය ගැන බොහොම තෘප්තියකින් කතා කළ කෙනෙක්. ඒ නිසාම ඔහුගේ පාසලේ ළමයින්ට හා මවුපියන්ට පෙන්විය යුතුයි කියන අදහසේ ඔහු සිටියා. ඒ අනුවයි ‘සැරද සහෝදර’ මෙවැනි විශේෂ කාරණාවක් මූලික කරගනිමින් 22 වැනිදා මීගමුව පුරහලේදී වේදිකා ගත වන්නේ.

ඔබ නිර්මාණකරණයට පිවිසිලා කොපමණ කාලයක් ද?

මගේ නාට්‍ය ජීවිතයට වසර තිහක කාලයක්. වීදියේ, පන්සලේ, පල්ලියේ, කමතේ නාට්‍ය ජීවිතයක් ගත කළ මම අද වන විට හොඳ තැනක ස්ථාන ගත වී ඇතැයි සිතෙනවා. ඒ වගේ ම ඉදිරියේදිත් මීගමුවේ කණ්ඩායමකුත් එක්ක මා අදහස් කරගෙන ඉන්නේ අලුත් නිර්මාණයකට පිවිසෙන්නයි. මේ දවස්වල මා සිටින්නේ ඒ සඳහා අවශ්‍ය කරන පසුබිම නිර්මාණය කරමින්.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 2 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.