සරත් කුලාංග ගෙදර කට්ටිය එක්ක නාට්‍යයක් හදලා

මාර්තු 14, 2019

සරත් කුලාංගගේ නවතම වේදිකා නාට්‍යයේ මංගල දර්ශනය ‘ඊගාව ගේ’ හෙට දින (15 වැනිදා) බොරැල්ල නාමෙල් - මාලිනී පුංචි තියටර්හි වේදිකා ගතවෙයි. මේ පෙළ ගැසෙන්නේ ‘දෙයියොත් දන්නේ නෑ’ වේදිකා නාට්‍යය අධ්‍යක්ෂණය කර වසර හතකට පසුව වේදිකාවට රැගෙන එන ‘ඊගාව ගේ’ පිළිබඳ සරත් කුලාංග සමඟ සරසවියට කරන ලද සාකච්ඡාවකි.

දවසින් දෙකින් නාට්‍ය පිටපත් බිහිවන කාලයකයි ඔබ ‘ඊගාව ගේ’ වේදිකාවට රැගෙන එන්නට මේ තරම් කාලයක් ගත කරන්නේ ඇයි?

මේ වේදිකා නාට්‍යය පිටපත ජනප්‍රිය ජයසිංහගේ. ඔහුගේ මේ පිටපත සංශෝධනය කරමින් මට වුවමනා විදියට වේදිකා නාට්‍ය පිටපතක් බවට පත් කිරීමට මට වසර තුනක කාලක් ගත වුණා. පසුව චින්තක පීරිස් මේ පිටපත වේදිකා නාට්‍යයකට උචිත විදියට වර්ධනය කළා. ඉන් පසුවයි අප පුහුණු වීම් කිරීමට පටන් ගන්නේ. පිටපත හරි නම් නාට්‍යයක කටයුතුවලින් සියයට හැත්තෑවක් අවසානයි. රංගන ශිල්පියකු වශයෙන් කටට හුරු දෙබස කුමක් ද? ඒ දෙබස් ඇතුළේ කියැවෙන ඇතුළත් වන ධ්වනිතාර්ථ මොනවා ද? එක් ජවනිකාවක් අවසන් වෙලා අනෙක් ජවනිකාව පැමිණෙද්දි කාලය කළමනාකරණය කරගෙන ඇඳුම් වෙනස් කරන්නේ කොහොමද? කියන මේ අංශවල සියලු කටයුතු අවසන් වුණාට පස්සේ නිර්මාණයේ කටයුතු බොහෝ ප්‍රමාණයක් අවසානයි. ඒ මඟින් පිටපතේ කටයුතු බොහෝ ප්‍රමාණයක් අවසානයි. ඒ නිසයි මා පිටපතට දිගු කාලයක් වැය කරන්නේ.

දක්ෂ සංගීත අධ්‍යක්ෂවරයකු වන ඔබ මෙහි සංගීතය අධ්‍යක්ෂණය නොකිරීමට හේතුව කුමක් ද?

මෙහි සංගීතය අධ්‍යක්ෂණය කරන්නේ ගයාන් ගණකධාරයි. ප්‍රථම වරටයි මගේ නිර්මාණයකට සංගීතය අධ්‍යක්ෂණය කිරීමට මා වෙනත් කෙනකුට භාර දුන්නේ. එසේ මා කරන ලද්දේ වෙනස් අත්දැකීමක් ලබා ගැනීමටයි. කොහොමත් මා ගයාන් ගණකධාරගේ සංගීතයට කැමැතියි. ඔහු වැනි තරුණයකු මෙවැනි කාර්යයක් අතින් තවත් ඉදිරියට යා යුතු බවයි මගේ හැඟීම වන්නේ. මේ වේදිකා නාට්‍යයේ සංගීත කටයුතු ඔහුට භාර දීමට හේතු වුණු අනෙක් කාරණය වන්නේ මෙයයි.

‘ඊගාව ගේ’ වේදිකා නාට්‍යයට රංගනයෙන් හා අනෙක් කටයුතුවලින් සහය දක්වන්නේ කවුරුන් ද?

මෙහි රඟපාන්නේ තිලක් කුමාර රත්නායක, අංජුලා රාජපක්ෂ, ධනුෂ්කා ජයරත්න, මල්කි ප්‍රනාන්දු සහ මමයි. ඒ වගේ ම මේ වේදිකා නාට්‍යයේ සියලුම අනුශාංගික අංග නිර්මාණය කරනු ලබන්නේ මගේ බෑනා විසින්. ඒ සරසවිය සම්මානලාභී විදුර ශානකයි. මෙහි නිෂ්පාදන කටයුතු සිදු කරන්නේ මගේ බිරියයි.

මේ නාට්‍යය පවුලේ නිෂ්පාදනයක් වගෙයි අපට හැඟෙන්නේ. ඔබ එහෙම කරන්නේ මෙයින් ලැබෙන මුදල් පවුලෙන් පිට අය අතට යන එක වළක්වන්න ද?

මගේ බිරිය මේ දවස්වල ඉන්නේ විශ්‍රාම සුවයෙන්. ඈ අතට පසුගිය දිනවල මුදල් ටිකක් ලැබුණා. ඒ නිසා වේදිකා නාට්‍යයක් කරමුයි කියන යෝජනාව ගෙනෙන්නේ ඇයයි. අප නාට්‍යකරුවන් නිසා වෙන දෙයකට මුදල් ආයෝජනය කරන්න දන්නේ නැහැ. අප දන්නේ මේ කලාව පමණයි. මේ නිසා වේදිකා නාට්‍යයක් නිර්මාණය කිරීමට අප මුල පිරුවා. මගේ දියණිය නාට්‍ය හා රංග කලාව උපාධිධාරිණියක්. බෑනාත් සම්මානලාභී වේශ නිරූපණ ශිල්පියෙක්. ඉතින් නිවෙසෙම සම්පත් තියෙද්දි ඇයි මා වෙනත් අයව නිර්මාණයකට ගත යුත්තේ.

මේ වේදිකා නාට්‍යය මඟින් ඔබ කතාබහට ලක් කරන්නේ පවුල් පසුබිම පිළිබඳයි

ඔව්. වර්තමානයේ ජීවත් වන පවුල් දෙකක් මූලික කරගෙනයි මේ කතාව ගලා ගෙන යන්නේ. එක් පවුලක් බොහොම සාම්ප්‍රදායික විදියට ජීවත් වන අතරම අනෙක් පවුල ජීවත් වන්නේ නොයෙක් හැලහැප්පීම් මැද නිතර ගැටුම් ඇති කර ගනිමින්. ඒත් මේ සිදු වන මොන දේ අතර වුණත් ඔවුන් ජීවිතය විඳීනවා. මේ නිර්මාණය මඟින් කියැවෙන්නේ අපේ සමාජය අනෙකා වීමට යෑමේදී සිදු වන ඛේදවාචකයයි.

අනෙකා වීමට යෑමේ සිදු වන ඛේදවාචකය කුමක් ද?

අපේ රට වාණිජකරණය වූ රටක්. අපේ අය බොහොම කැමැත්තක් දක්වන්නේ රූපවාහිනියේ පෙන්වන ආකාරයට අනෙක් අය කරනදේවල් කරන්නයි. එලෙස ක්‍රියාත්මක වීමේදී සිදු වන ඛේදවාචකයකුයි මේ වේදිකා නාට්‍යයෙන් කියැවෙන්නේ. එය ඛේදවාචකයක් වුණත් අප ඉදිරිපත් කරන්නේ බොහොම හාස්‍ය හා උපහාසය සමඟින් වීම මෙහි තිබෙන අනෙක් විශේෂත්වයයි. ඒ වගේ ම මේ වේදිකා නාට්‍යයෙන් කතාබහට ලක් කරන අනෙක් කාරණය වන්නේ ස්ත්‍රිත්වයයි.

ස්ත්‍රිත්වය ගැන කතා කිරීමට ඔබ වඩාත් උනන්දුවක් වන බවක් පෙනෙනවා

මගේ ‘දෙයියොත් දන්නේ නෑ’ වේදිකා නාට්‍යයෙන් කතා කළේ ගැහැනිය පිළිබඳයි. එහිම දිගුවක් විදියටයි මා මේ වේදිකා නාට්‍යය නිර්මාණය දකින්නේ. මේ වේදිකා නාට්‍යයේ කාන්තාවන් තිදෙනෙක් ඉන්නවා. මෙහිදී ඔවුන් පිළිබඳ මා කතාබහ කරනවා. මම එහි එකතැනක සඳහන් කරන කාරණයක් තිබෙනවා. ඒ “අපේ පවුලේ දොළහක්. පිරිමි නවයයි. ගැහැනු තුනයි. අපේ අම්මා අපි දොළොස් දෙනා හදන්න අඩුම ගණනේ අවුරුදු විසි පහක්වත් ගත කරන්න ඇති. අවුරදු විසිපහක් කියන්නේ එයාගේ තරුණ ජීවිතේ හොඳම කාලේ. අවුරදු විසිපහක්. ඒක ලෙහෙසි වැඩක් නම් නොවෙයි. ඒකම ඇති කාන්තාවන්ට ආදරය කරන්න; ගෞරව කරන්න.”යනුවෙන්.

‘දෙයියොත් දන්නේ නෑ’ නාට්‍යයේ දිගුවක් විදියට මේ වේදිකා නාට්‍යයේ ස්ත්‍රිත්වය ගැනෙන්නේ කොහොම ද?

කාන්තාව නැතිනම් මේ ලෝකය සමබර කරන්න බැහැ. කාන්තාව කියන්නේ ජනිත කරනියක්. ඵලදාව දරන්නියක්. ඒ සඳහා හොඳ අත්දැකීම් රැසක් මගේ ජීවිතයේ වුණත් තිබෙනවා. අපේ පවුලෙත් දොළහක්. අපේ අම්මාට මා ආදරය කරනවා. යමකු අම්මට ආදරය කරනවා කියන්නේ සමස්ත ස්ත්‍රී සංහතියටම ආදරය කිරීමක්. ගරු කිරීමක් විදියටයි මා දකින්නේ. කාන්තාවකට ගෞරව කරන, ආදරය කරන, ‍කරුණාව දක්වන සමාජයක් ඉතා දියුණු සමාජයක් ලෙසයි මා සලකන්නේ.

එවිට නිවෙස් දෙකක් ආශ්‍රයෙනුයි එය කතාබහට ලක් කරන්නේ. ඒ සංසන්දනය ඉදිරිපත් කරන්නේ කුමන ආකාරයෙන් ද?

මා කලාකරුවකු විදියට සාම්ප්‍රදායික නිවෙස නිවැරැදි කිරීමටවත්, ගැටුම්කාරී නිවෙස වැරැදී යැයි කීමටවත් උත්සාහයක නිරත වන්නේ නැහැ. මා කරන්නේ ඒ දෙක ගැටීමට සැලැස්වීමයි. ඉන් කියැවෙන තුන්වැනි අදහසයි ප්‍රේක්ෂකයන් අතරට පිවිසෙන්නේ. මේ ඇතිවන ගැටුම ඇතුළෙයි කාන්තාව පිළිබඳ කතා කරන්නේ. ඒ නිසා මේ වේදිකා නාට්‍යය ජෝඩු ජෝඩු නරඹනවා නම් වඩාත් හොඳ යැයි මා පවසනවා. එවිට ඔවුන්ට දැනේවි මේ කතා කරන්නේ අපේ ප්‍රශ්නයක් නේද කියලා.

ඔබ මේ නිර්මාණය අධ්‍යක්ෂණය කරන ගමන්ම රඟපානවා. ඒ කාර්යය පහසු ද?

එහෙම අපේ රටේ තමන්ම අධ්‍යක්ෂණය කරමින් රඟපාන නිර්මාණකරුවන් අඩුයි. මම නිවෙසෙදී නාට්‍යයේ හෝම් වර්ක් කරගෙනයි පුහුණු වීම්වලට එන්නේ. පිටපත සම්පූර්ණ කළාට පස්සේ මේ නිර්මාණයේ චිත්‍රය මගේ සිතේ ඇඳීලා අවසානයි. හෝම්වර්ක් කරලා ආවට පස්සේ කුමක් විය යුතුයි ද කියා මා දන්නවා. ඒ නිසා කල් ඇතිව, විවේකීව, කාලය කළමනාකරණය කර ගනිමින් මාස තුනක් ඇතුළත මෙහි පුහුණු වීම් කටයුතු අවසන් කර ගත්තා. දැන් මේ වනවිට මට කිරීමට තිබෙන්නේ අවසානයට තිබිය යුතු රංගාලෝක පුහුණුව පමණයි.

අංජුලා වැනි ජනප්‍රිය ධාරාවේ සිටින දක්ෂ නිළියකගේ වේදිකාවේ ආගමනය ඔබ යොදා ගත්තේ නිර්මාණය ප්‍රේක්ෂකයන් අතර ජනප්‍රිය කිරීමේ අදහසක් ඇතිව ද?

අංජුලා ප්‍රථම වතාවටයි වේදිකා නිර්මාණයක රඟපාන්නේ. ඇයට ලොකු අභියෝගයක් වුණේ ටෙලි නාට්‍යවල රඟපාලා වේදිකා නාට්‍යයක දෙබස් හැසිරවීමේදියි. ඊට අනුගත වීමට ඈ මහත් උත්සාහයක් දැරැවා. ඈ මේ නාට්‍යය මඟින් ප්‍රේක්ෂකයන්ගේ මතකයේ රැඳෙන චරිතයක් වේවි. ඇත්තටම නාට්‍යයක් කරලා නිවෙසේ තියාගන්න විදියක් නැහැ. ඒ වගේ ම අපේ මිනිස්සු කැමැතියි ජනප්‍රිය චරිතයක් දෙකක් දැක ගන්න. අංජුලා වගේම තිලක්, ධනුෂ්කාව වුණත් බොහෝ දෙනෙක් දන්නවා. මමත් වේදිකාවේ යමක් කරලා තිබෙනවා. එහෙම අයව දැක ගන්න බොහෝ දෙනා කැමැතියි. ඒ කාරණය අප වෙළෙඳ පොළ ආර්ථිකයටත් යොදා ගත්තා. 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
8 + 3 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.