මේ නාට්‍යයෙන් කියැවෙන දේ අපේ රටේ නැත්තෙම නැහැ

තරිඳු කාවින්ද ගමගේ
මාර්තු 7, 2019

තරිඳු කාවින්ද ගමගේ නිර්මාණය කරන ලද ‘ද ඕපන් කපල්’ වේදිකා නාට්‍යය අද දින (07 වැනිදා) සවස මරදාන එල්ෆින්ස්ටන් රඟහලේදී වේදිකා ගතවෙයි. මීට පෙර ‘වෙන මොකවත්ම නැද්ද’ කෙටි නාට්‍යය ඔස්සේ ප්‍රේක්ෂක හමුවට පැමිණි මේ තරුණයා විසින් ඒ නාට්‍යය වෙනුවෙන් 2004 රාජ්‍ය නාට්‍ය උලෙළේදී ජූරියේ විශේෂ සම්මානය දිනා ගැනිණි. ඒ හොඳම නිෂ්පාදනය වෙනුවෙනි. 2012 රාජ්‍ය නාට්‍ය උලෙළේදී ‘මගේ කාලයේ වීරයෙක්’ කෙටි නාට්‍යයට හොඳම සංගීතයට හිමි සම්මානය ලබා ගන්නා ඔහු මේ සූදානම් වී සිටින්නේ ඔහුගේ අලුත්ම වේදිකා නාට්‍යය නිර්මාණය වන ‘ද ඕපන් කපල්’ වේදිකා ගත කිරීමටයි. මේ ලිපිය සැකැසෙන්නේ ඒ නිර්මාණය පිළිබඳ තරිඳු කාවින්ද ගමගේ සරසවියට ලබාදුන් සාකච්ඡාවකිනි.

‘ද ඕපන් කපල්’ වේදිකා නාට්‍යය මේ දවස්වල රාජ්‍ය නාට්‍ය උලෙළ නියෝජනය කරනවා නේද?

ඔව්. එහි අවසන් වටයයි නියෝජනය කරන්නේ.

‘ද ඕපන් කපල්’ කියන්නේ පරිවර්තනයක් ද?

ඉතාලි ජාතික නාට්‍යයකරුවකු වූ දාරියෝ ෆෝගේ නිර්මාණයක් ඇසුරිනුයි මා ‘ද ඕපන් කපල්’ වේදිකා නාට්‍යය නිර්මාණය කරන්නේ. ඔහුගේ අතින් අසූව දශකයේ නිර්මාණය වූ මේ නිර්මාණයේ ඇන්ටෝනියෝගේ චරිතය නිරූපණය කර ඇත්තේ ඔහුගේ බිරිය වන ෆ්රන්කා රාමේ යි.

නාට්‍යකරුවන් අතර දාරියෝ ෆෝ නම් නාට්‍යකරුවාට විශේෂ ස්ථානයක් හිමි වෙනවා

මේ නිර්මාණය දාරියෝ ෆෝ අතින් ලියැවෙන්නේ දශක තුනකට කලින් ඉතාලි සමාජයේ තිබුණු ස්වභාවයයි. ඒ කාලයේ ඉතාලි සමාජයේ වෙසෙන්නන් ඉක්මනින්ම පශ්චාත් නූතනවාදය වැලඳ ගන්නවා. ඒ වැලඳ ගැනීමත් සමඟ සමාජයේ ඇති වුණු විවිධ තත්ත්වයයි දාරියෝ ෆෝ මේ නිර්මාණය මඟින් ගෙනෙන්නේ.

ඉතාලි සමාජයේ විසිරුණු පශ්චාත් නූතනවාදය සමඟ ඒ සමාජයේ සිදුවන්නේ කුමන වෙනස් වීම් ද?

පශ්චාත් නූතන වාදය ඒ සමාජය ඇතුළේ ව්‍යාප්ත වීමත් සමඟ ඔවුන් බොහෝ විවෘත මනසකින් යුතුවයි සිතන්න ගන්නේ. ඔවුන් පවුල් සංස්ථාවක් ඇතුළේ වුණත් ලිංගිකත්වය පිළිබඳව විවෘතව කතා කරනවා. ඒ වගේම සැමියා වෙනත් කාන්තාවක් සමඟත්, බිරිය වෙනත් පුරුෂයකු සමඟත් විවෘතව ඇසුරක් ඇති කර ගැනීමේදී පවුල් සංස්ථාවල ඇති වුණු ගැටලු ගැනයි මේ නාට්‍යකරුවා සිය නිර්මාණයෙන් කතාබහට ලක් කළේ.

මේ තත්ත්වය ඔබ අපේ රටට ගළප්පවා ගන්නේ කෙසේ ද?

වසර තිහකට කලින් මේ පශ්චාත් නූතනවාදී ලක්ෂණ ඉතාලියේ තිබුණත්, ඒ ලක්ෂණ වර්තමානය වන විටයි ආසියාතික රටවලට පැමිණෙන්නේ. පශ්චාත් නූතනවාදී ලක්ෂණ වර්තමානයේදියි අපේ රටේ වැඩි වශයෙන් භාවිත වන්නට පටන් ගන්නේ. ඒ නිසයි මා ‘ද ඕපන් කපල්’ වගේ නිර්මාණයක් මේ කාලයේදි නිර්මාණය කළේ. එහිදි අපේ රටේ මධ්‍ය පාන්තික පවුල් සංස්ථාවල අද මේ තත්ත්වය ඇති වී තිබෙන අයුරු මා දුටුවා. ඒ ගැන මට අත්දැකීම් තිබුණා. මා දන්න මගේ යහළුවන් මේ අදහස්වලට හැඩ ගැසී සිටියත් පසුව ඔවුන් අතරත් විවිධ ගැටලු ඇති වුණා. ඔවුන් විවෘත ජීවිත ගත කළත් ඔවුන් අතරත් විවිධ ගැටලු ඇති වූ බව මා දන්නවා. එතැනදියි මට හිතුණේ මේ නිර්මාණය අපේ රටට වඩාත් ගැළපෙන බව.

ඔබ ඔය පවසන්නේ ලිවින්ටු ගෙදර් සංකල්පය ගැන ද?

අපේ සමාජයේත් වර්තමානය වන විට මේ සංකල්පයට අනුව ජීවත් වන අය ඕනෑ තරම් ඉන්නවා. ඒ ලක්ෂණ අපේ සමාජයේ ව්‍යාප්ත වෙමින් යනවා. ඒ පශ්චාත් නූතනවාදී ලක්ෂණ ඇතුළේ ජීවත් වීමට යද්දි ඒ මඟින් ඇති කරන සංස්කෘතිකමය ගැටලු රාශියකටයි ඔවුන්ට මුහුණ දීමට සිදුවන්නේ. අප මෙතෙක් කල් ජීවත් වුණු සමාජයේ තිබෙන සංස්කෘතියත්, මෙන්න මේ පශ්චාත් නූතනවාදී ලක්ෂණ ඇතුළේ ජීවත් වීමට යෑමේදි මතුවන සංස්කෘතිමය ඝට්ටනයත් පිළිබඳයි මේ වේදිකා නාට්‍යයෙන් කතාබහට ලක් කරන්නේ.

පශ්චාත් නූතනවාදයේ පැමිණෙන එක් ලක්ෂණයක් ගැන කතා කිරීමට ඔබ තෝරා ගන්නේ සමාජයේ කුඩාම ඒකකයයි

මේ මතුවන ගැටලු ගැන කතාබහ කිරීමට මා තෝරා ගත්තේ මැදි වයසක ජීවිතය ගෙවන දෙදෙනෙක්. වයස හතළිස් පහක් පමණ වයසැති සැමියා හා බිරියට සිටින්නේ එක් ළමයෙක් පමණයි. එහෙත් ඔවුන් දෙදෙනා ඒ කාලයේදි ඔවුන් දෙදෙනාගේ ජීවිත විවෘත කිරීමට ගන්නා තීරණය මඟිනුයි මේ කතාව දිවෙන්නේ. සැමියා බිරියට පවසන්නේ ඇයට කැමැති කෙනකු සමඟ යන්නටයි. ඒ අදහස ගෙනෙන්නේත් සැමියාමයි. ඔහු වෙනත් කාන්තාවන් ඇසුරු කරන අතරදියි බිරියට එවැනි සම්බන්ධකමක් ඇති කර ගැනීමට අවසර ලබාදෙන්නේ. මෙවැනි අවස්ථාවකදි සිය බිරිය වෙනත් පුරුෂයකු සොයා ගැනීම ඇතුළේ පුරුෂයාගේ සිතේ ඇති වන ගැටලුයි මේ නිර්මාණයෙන් මා කතාබහට ලක් කරන්නේ. ඔහු අවසානයේ සියදිවිහානි කර ගැනීමේ තත්ත්වයට පවා පෙලඹෙන අයුරුත් මා ‘ද ඕපන් කපල්’ මඟින් තවදුරටත් කතා කරනවා.

දාරියෝ ෆෝ නාට්‍යකරුවාට මේ නිර්මාණය වේදිකා ගත කිරීමේදී ඒ සමාජය ඇතුළේ විවිධ ගැටලු වලට මුහුණ දීමට සිදුවනවා

මේ මාතෘකාව සම්බන්ධයෙන් ඔහු කළ නිර්මාණය වේදිකා ගත කිරීමට ඔහුට පහසු වන්නේ නැහැ. පශ්චාත් නූතනවාදය අදහන ඉතාලියේ මිනිස්සුම මේ වේදිකා නාට්‍යය දාරියෝ ‍ෆෝට එහි වේදිකා ගත කිරීමට දෙන්නේ නැහැ. මේ වේදිකා නාට්‍යයේ මංගල දර්ශනය දවසේදී බිම් බෝම්බයක් ගැසීම පවා සිදුවන්නේ ඒ නිසයි. දාරියෝ ෆෝ ඔහුගේ නිර්මාණවලින් කතාබහ කළේ ඉතාලි සමකාලීන සමාජයේ තිබුණු ප්‍රශ්න ගැනයි. වරෙක ඔහුගේ නිර්මාණයකින් පාප් වහන්සේ කරන දේ ගැන ඔහු ප්‍රශ්න කළා. තවත් වරෙක පොලිසිය ගැන ඔහු ප්‍රශ්න කළා. ඔහුගේ නිර්මාණ මඟින් මධ්‍යම පාන්තික මිනිස්සුන්ට දේශපාලනය බලපාන්නේ කොහොමද? ඔවුන් විශ්වාස කරන දේවල් ඔවුන්ගේ ජීවිතවලට බලපාන්නේ කොහොමද? කියන කාරණා පිළිබඳ කතා කළා. මේ නිර්මාණයට වුණත් ඒ කාරණය පොදුයි. අපේ රටේත් වෙනත් නිර්මාණකරුවන් අතින් දාරියෝ ෆෝගේ නිර්මාණ ඕනෑ තරම් නිර්මාණය වී තිබෙනවා. ඒ නිසා දාරියෝ ෆෝ කියන්නේ අපේ රටේ නාට්‍ය ප්‍රේක්ෂකයන්ට ආගන්තුක නිර්මාණකරුවකු නොවෙයි.

මේ නිර්මාණය නිසා ඔබටත් විවිධ ගැටලුවලට මුහුණ දීමට සිදු වුණා ද?

මේ වන විට ‘ද ඕපන් කපල්’ වේදිකා නාට්‍යය ඉදිරිපත් කර තිබෙන්නේ රාජ්‍ය නාට්‍ය උලෙළේ දෙවැනි වටයටයි. එහිදී ප්‍රේෂකයන්ගෙන් ලැබුණු ප්‍රතිචාර සතුටුදායකයි. දාරියෝ ෆෝගේ මේ නිර්මාණය මීට පෙර අපේ රටේ නිෂ්පාදනය වී නැහැ. මේ නිසා මේ නාට්‍යය නැරැඹූ ප්‍රේක්ෂකයන්ට ‘ද ඕපන් කපල්’ කියන්නේ අලුත් අත්දැකීමක් වුණා. ඔවුන් ඒ ගැන සතුටින් කතා කළා. මෙවැනි නිර්මාණත් දාරියෝ ෆෝ නිර්මාණය කර තිබෙනවා ය කියන අදහසයි ඔවුන්ට වැදගත් වුණේ.

එහෙත් අපේ රටට පශ්චාත් නූතනවාදය පැමිණෙන්නේ බොහෝ කලකට පසුවයි

ය කණ්ඩායම මඟිනුයි පශ්චාත් නූතනවාදය අපේ රටට පිවිසෙන්නේ. යම් කිසි අදහසක් පැමිණියාට පසුව අපේ මිනිස්සු ඉන් ගන්නේ වැදගත් නොවන කොටසයි. ඔවුන් එහි සැබෑම හරය ගන්නේ නැහැ. ඔවුන් නිතරම ඉන් ගන්නේ තමන්ට වාසි වන ටික පමණයි. මේ වේදිකා නාට්‍යයෙත් පුරුෂයා තමන්ට වෙනත් කාන්තාවන් සමඟ යෑමට ලැබෙන අවස්ථාවයි තමා සතු කර ගන්නේ. එහෙම නැතිව සැමියා හා බිරියට තිබෙන සමානත්වය කියන කාරණය නොවෙයි ඔහු මූලික කර ගන්නේ. ඒ නිසා මේ මඟින් නිර්මාණය වන ගැටලු පිළිබඳයි නාට්‍යයේදි කතාබහට ලක් කරන්නේ. යම් අදහසක් වැරැදි ආකාරයට ගැනීම නිසා ඇති වන ප්‍රතිඵලයයි අප මේ සාකච්ඡා කරන්නේ. උදාහරණයක් විදියට අද බෞද්ධ දර්ශනය වුණත් අපේ මිනිස්සු අරගෙන තිබෙන්නේ වැරැදි විදියටයි. සමාජ වාදයට වුණත් මේ කාරණය පොදුයි.

ඔබ දාරියෝ ‍ෆෝට මේ තරම් පෙම් බැ¼දීමට බලපෑවේ ඔහුගේ නිර්මාණවල තිබුණු වෙනසම පමණක් ද?

එදා පටන්ම මා දාරියෝ ෆෝගේ නාට්‍යවලට ගොඩක් උනන්දුයි. ඒ සඳහා පළමු වැනි හේතුව නිර්මාණය වන්නේ මගේ මාමා නිසයි. මගේ මාමා එච්. ඒ. පෙරේරායි. මා කුඩා කාලයේ ඔහු කළ වේදිකා නාට්‍යය ‘වරෙන්තු’යි. එය දාරියෝ ෆෝගේ. ඒ දවස්වල පටන්මයි මගේ සිතේ දාරියෝ ෆෝ කියන නාට්‍යකරුවා ගැන උනන්දුවක් ඇති වුණේ. ඒ ඇති වුණු උනන්දුවයි මා දාරියෝ ෆෝගේ නිර්මාණ සොයාගෙන කියැවීමට පෙලඹෙව්වේ.

ඔබට මේ නිර්මාණය මුණ ගැසෙන්නේ ඒ කියැවීමේ ප්‍රතිඵලයක් ලෙස ද?

මා ඒ කියැවූ නිර්මාණ අතරට ගැනුණු මේ නිර්මාණය ඒ වන විටත් අපේ රටේ පරිවර්තනය වී තිබුණේත්, නිෂ්පාදනය වී තිබුණේත් නැහැ. ඒ වන විට මා වේල්ස් කුමර විදුහලේ නාට්‍ය හා රංග කලා ගුරුවරයා ලෙසයි සේවය කරමින් සිටියේ. කුඩා කල සිට මගේ ශිෂ්‍යයකු වුණු එහි 13 වසරේ ඉගෙනුම ලබමින් සිටි නල මුදු සමරසිංහ කියන ශිෂ්‍යයාගේ දක්ෂතාව පිළිබඳ මගේ සිතේ තිබුණේ විශ්වාසයක්. ඒ විශ්වාසය අනුවයි මේ කෘතිය පරිවර්තනය කිරීමේ කාර්යය ඔහුට භාර දුන්නේ. අප දෙදෙනාත් සමඟම කෘතිය පිළිබඳ විවිධ සාකච්ඡා කරමින් ඔහු දාරියෝ ෆෝගේ මේ කෘතිය පරිවර්තනය කළා. එහි භාෂාව තරමක් ගැඹුරුයි. ඒ නිසා එය තරමක් සරල කර ගැනීමට සිදු වුණා. ඊට පසුව වසර හතරක් වැනි කාලයක් මේ පිටපත පිළිබඳ මමත්, නල මුදුත්, මෙහි චරිතයක් රඟපාන මිහිරිත් දීර්ඝ අධ්‍යයනයක නිරත වුණා. විවිධ වේදිකා නාට්‍ය නැරැඹුවා. ඊට පසුවයි මා මේ වේදිකා නාට්‍යය නිෂ්පාදනය කිරීම ආරම්භ කළේ.

‘ද ඕපන් කපල්’ වේදිකා නාට්‍යය සඳහා සහභාගි වන අනෙක් පිරිස කවුරුන්ද?

ප්‍රධාන නළුවා හා නිළිය වන්නේ කෝරළගේ සමන් හා මිහිරි ප්‍රියංගනී යාපායි. එහි සිටින මහාචාර්යවරයාගේ චරිතය රඟපාන්නේ උදිත ලියනගේ. ඇඳුම් නිර්මාණය ලංකා බණ්ඩාරනායක. නාට්‍ය පිටපත නලමුදු සමරසිංහ. වේදිකා පරිපාලනය නාමල් ගමගේ. සංගීත අධ්‍යක්ෂණය ලහිරු මාඩිවෙල. අංගරචනය ශක්ති ලක්නාත්. රංග වින්‍යාසය අනුරාධ මල්ලවාරච්චි. රංගාලෝකය රංග සමරකෝන්. ඔවුන් සියලු දෙනාගේ සහයෝගය ඇතුවයි මා ‘ද ඕපන් කපල්’ වේදිකා නාට්‍යය වේදිකා ගත කරන්නේ.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
3 + 2 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.