විශේෂ අවශ්‍යතාවක් සමඟ වේදිකාවේ පෙරළියක්

දමිත් අලුත්ගම
පෙබරවාරි 21, 2019

වේදිකා නාට්‍ය කලාවට තරුණයන්ගේ පිවිසීම මෑත කාලයේදී සිදු වන්නේ වේගයෙනි. ඒ අතරට පැමිණ සිටින දමිත් අලුත්ගම තරුණ නිර්මාණකරුවාට නාට්‍ය උණ වැලඳෙන්නේ පාසල් කාලයේදීම ය. ඒ නිසාම රංගනය සොයාගෙන විශ්විද්‍යාලයට පිවිසෙන ඔහු සිය විශ්වවිද්‍යාල සගයා රංග මනුප්‍රිය සමඟ එකතු වී ‘චෙරි උයන’, ‘සුරගනක් බඳු පුරඟනක්’ ඇතුළු සම්මානනීය වේදිකා නාට්‍ය රැසක් ම වේදිකාවට රැගෙන එයි. එතැනින් නොනවතින මේ තරුණයා නන්වර්බල් තියටර් නම් නව ආකෘතියක් මඟින් වේදිකාව පෝෂණය කිරීමට මේ දිනවල සූදානම් වෙයි. මේ පෙළ ගැසෙන්නේ දමිත් අලුත්ගමගේ රංගන ගමනත්, වේදිකාවට රැගෙන පැමිණීමට සැරසෙන මේ නව ආකෘතිය හා බැඳුණු කටයුත්තත් පිළිබඳත් ඔහු සමඟ ‘සරසවිය’ට කළ කතාබහකි.

ඔබ නාට්‍ය කලාවට ආදරය කරන්නේ පාසල් යන කාලයේ පටන්ම ද?

මා පාසල් ගියේ කන්තලේ ගන්තලාව මහා විද්‍යාලයටයි. එහිදී මුණ ගැහෙන ප්‍රසන්න උඩගේආරච්චි කියන ගුරුතුමායි මගේ නාට්‍ය ජීවිතය එළිය කරන්නේ. මුලින් ම ඔහුගේ නාට්‍ය වැඩමුළුවලට සහභාගි වනවා. ඒ මඟිනුයි මගේ සිතේ නාට්‍ය කළ යුතුය කියන හැඟීම ඇති වන්නේ. ඒ නිසාම මා උසස් පෙළ විෂයයක් විදියට එතෙක් කළ නර්තනය විෂය සමඟ නාට්‍ය හා රංග කලාවත්, භූගෝල විද්‍යාවත් හදාරනවා.

පාසල් කලයේදිම විවිධ නිර්මාණ සොයාගෙන ඔබ කොළොම්පුරවරයට පිවිසෙනවා

ඒ කොළඹ පැවැත්වෙන චිත්‍රපට හා ටෙලි නාට්‍යවල විවිධ සම්මුඛ පරීක්ෂණ සඳහා. ඒ සම්මුඛ පරීක්ෂණවලින් නොතේරුණත් මා ගමට යන්නේ යම්කිසි බලාපොරොත්තුවක් හිතේ තියාගෙනයි. කොහොම වුණත් ඒ පැමිණි එක් දවසක සුදත් රෝහණ මහත්තයාගේ ‘උතුවන් කන්දේ සරදියෙල්’ ටෙලි නාට්‍යයේ සරදියෙල්ගේ ළමා කාලයේ යහළුවකුගේ චරිතයකට මාව තෝරා ගත්තා. සරදියෙල්ගේ ළමා කාලයේ චරිතය රඟපෑවේ රුක්මල් නිරෝෂ්. ඔහුගේ යහළුවා විදියටයි මට එහි රඟපාන්නට ලැබුණේ. ඊට පස්සේ චිත්‍රපටයකත් ළමා චරිතයක් රඟපෑමට මට අවස්ථාව හිමි වුණා. මේ විදියට නිර්මාණ කිහිපයකටම රංගනයෙන් දායක වීමට මට හැකියාව ලැබෙනවා. ඒ කාලයේදිම සිදු වන අනෙක් සිදු වීම වන්නේ සමස්ත ලංකා ටවර්හෝල් නාට්‍ය පාසල් තරගයේදි කුසලතා සම්මානයක් ලැබීමයි.

ඔබගේ සිතේ තිබුණ නාට්‍ය කිරීමේ අදහසට පාසලේදී ලැබෙන්නේත් සහයෝගයක් නේද?

මට තිබුණ නාට්‍ය උණ කොයිතරම් ද කිව්වොත් පාසලේදි මමම නාට්‍යය පිටපතක් ලියාගෙන ළමයින් ටිකක් යොදාගෙන නාට්‍යයක් නිර්මාණය කරනවා. ඒ කාලයේ සිටි කලාසේන, විජේරත්න කියන විදුහල්පතිවරු ඒ නිර්මාණය වේදිකා ගත කිරීමට මට උපරිම සහයෝගය දෙනවා. එහිදී සෑම පාසල් වාරයකටම පස්සේ පාසල අවසාන වීමට විනාඩි කිහිපයකට කලින් අපේ පන්තියෙන් ළමයින්ට මා නිර්මාණය කරන නාට්‍යය වේදිකා ගත කරලා පෙන්වනවා. මෙහෙම නාට්‍ය කරමින් සිටින අතරතුරදියි මට සෞන්දර්ය විශ්විද්‍යාලයට පිවිසීමට අවස්ථාව ලැබෙන්නේ. ඒ සඳහා මා පිවිසෙන්නේත් රංගනයට පිවිසීමේ මූලික අරමුණ සිතේ හිරකර ගෙනයි.

විශ්වවිද්‍යාල පසුබිම ඇතුළේදි ඔබගේ නාට්‍ය සිහිනය වර්ධනය කර ගැනීමට ලැබෙන්නේ මොන වගේ සහයෝගයක් ද?

එහිදියි මට ප්‍රසන්නජිත් අබේසූරිය, සෞම්‍ය ලියනගේ, ඉන්දික ෆර්ඩිනැන්ඩු, පියල් කාරියවසම් කියන ගුරුවරුන් මුණ ගැසෙන්නේ. මුලින් ම ප්‍රසන්නජිත් අබේසූරියගෙන් මගේ නාට්‍ය කිරීමේ සිහිනය සැබෑ කර ගැනීමට ලැබෙන සහයෝගය මෙහිදී සිහිපත් කළ යුතුයි. ඔහුගෙන් ලැබෙන ඒ සහයෝගය නිසාමයි පළමුවෙන්ම මමත්, රංග මනුප්‍රිය කියන මගේ යහළුවගේ එකමුතුවෙනුත් රංජිත් ධර්මකීර්ති නාට්‍යකරුවාගේ ‘චෙරි උයන’ නාට්‍යය පිටපත වේදිකා ගත කරන්නේ. අපගේ අධ්‍යක්ෂණයෙන් යුතුව විශ්වවිද්‍යාලයේ ළමයින් ම රඟපාමින් එය විශ්වවිද්‍යාලයේ නිෂ්පාදනයක් ලෙසයි වේදිකා ගත වන්නේ. ඒ වේදිකා නාට්‍යය මාස තුනක් පමණ පුහුණු වීම් කරනවා. ඒ අතර කාලයේදි ප්‍රසන්නජිත් අබේසූරිය සර් අපත් සමඟ කාලය ගත කරනවා. මේ අතරදියි අපේ නාට්‍යය 2013 සම්මාන උලෙළෙට ඉදිරිපත් කරන්නේ.

ඒ පළමු නිෂ්පාදනයේදිම ඔබගේ නිර්මාණය ඇගයීමට ලක්වෙනවා

ඒ නාට්‍ය උලෙළේදි අපේ නිර්මාණය සම්මාන කිහිපයක් ම හිමිකර ගන්නවා. හොඳම නිෂ්පාදනය දෙවැනි ස්ථානය, හොඳ සහය නළුවා, හොඳම රංග වස්ත්‍රාභරණ, හොඳම වේදිකා පරිපාලනය ඇතුළුව සම්මාන හතක් හිමිකර ගැනීමට අප වාසනාවන්ත වෙනවා. ඒත් සමඟම ඒ වේදිකා නාට්‍යය රාජ්‍ය නාට්‍ය උලෙළටත් ඉදිරිපත් කරනවා. එතැනදි හොඳම නාට්‍ය නිෂ්පාදනය විදියට නිර්දේශිත නම් අතර අපේ නාට්‍යයත් ඇතුළත් වීම විශේෂත්වයක්. ඒ නාට්‍ය උලෙළේදිත් හොඳම රංගවස්ත්‍රාභරණ හා හොඳම සහය නළුවා කියන සම්මාන දෙක අපේ වේදිකා නාට්‍යයට හිමි වෙනවා. මේ වැඩකටයුතුවලින් පසුවයි මට ජයම්පති ගුරුගේ කියන සුවිශේෂ පුද්ගලයා මුණ ගැසෙන්නේ.

ඔහුගේ මුණ ගැසීම ඔබගේ සිත වෙනත්ම මානයකට අරගෙන යන්නට උදවු වෙනවා ද?

ඔහු විශ්වවිද්‍යාලයේ අවසාන වසරේ ශිෂ්‍යයෙක්. මුලින් ම ඔහුගේ ‘මුජරි’ කියන නිර්මාණයේ මා රඟපානවා. එහි දිගුවක් විදියටයි ‘වෝකින් පාත්’ නමින් පසුකාලීනව වේදිකාවට නන්වර්බල් තියටර් කියන ආකෘතිය පිවිසෙන්නේ. ඔහුත් සමඟ ඒ වැඩවලට සහයෝගය ලබාදීමෙදියි මේ කියන නන්වර්බල් තියටර් කියන ආකෘතියට වෙනම මගේ සිතේ කැමැත්තක් ඇති වීමේ පළමු පියවර නිර්මාණයේ වන්නේ. ඒ නිර්මාණත් එක්ක සංවාද රහිත නිර්මාණාත්මක වැඩක් කළ යුතු යැයි මා නිතරම සිතූ කාරණයක්. මේ විදියට නන්වර්බල් වැඩක් කළ යුතු යැයි සිතමින් ඉන්නා අවස්ථාවෙදියි රංග මනුප්‍රිය නාට්‍යයක් කරමු කියන යෝජනාව යළිත් රැගෙන එන්නේ. ඒ 2014 වසරේ. එහිදියි මහාචාර්ය තිස්ස කාරියවසම්ගේ පරිවර්තන පිටපතක් වුණු ‘සුරඟනක් බඳු පුරඟනක්’ කියන නිර්මාණය අපගේ ඇස ගැටෙන්නේ. විශ්වවිද්‍යාලයේ වගේම ඉන් පිටත නළු නිළියන් කිහිපදෙනකුත් ඒ නිර්මාණයට දායක වෙනවා. ඒ වසරේදිත් යෞවන නාට්‍ය උලෙළේදී ‘සුරඟනක් බඳු පුරඟනක්’ වේදිකා නාට්‍යයත් හොඳ නිෂ්පාදනය, හොඳම නිළිය, හොඳම සහය නිළිය ඇතුළුව සම්මාන හතරකට හිමිකම් කියනවා.

මේ කටයුතු නිසා ඔබට නන්වර්බල් තියටර් කියන ආකෘතිය අමතක වී යනවා ද?

එහෙම වෙන්නේ නැහැ. ඒ පිළිබඳ යම් අධ්‍යයනයක නිරත වීමේ කාර්යයේ මා දිගින් දිගට ම නියැළී සිටියා. එහි ප්‍රතිඵලයක් විදියටයි මා නන්වර්බල් තියටර් නිෂ්පාදනයක් වන ‘නේකඩ්’ නිර්මාණය කරන්නේ. ඒ 2015 වසරේදියි. එහිදී එක සංවාදයක් වත් නැතිව පැය එකහමාරක පමණ කාලයක් ‘නේකඩ්’ වේදිකාවේ රඟ දැක්වෙනවා.

නන්වර්බල් තියටර් කියන ආකෘතිය ඇතුළේ නිර්මාණකරණයේ නියැළෙන්නේ ඔබ පමණක් නොවෙයි

නන්වර්බල් තියටර් කියන ආකෘතිය ඇතුළේ මට මතක විදියට තිබුණු පළමු නිර්මාණය වුණේ ‘වර්කින් පාත්’. ඊට පස්සේ ‘නේකඩ්’. ඒත් එක්කම වගේ පැමිණෙන්නේ එස්. අයි. සමරක්කොඩිගේ ‘ලව් ඇන්ඩ් ලයිෆ්’ කියන නිර්මාණය. ඒක නන්වර්බල් වුණත් ඔහු එහි ආකෘතිය බොහෝ දුරට වෙනස් කරලයි තිබුණේ.

ඔබ විශ්වවිද්‍යාලයෙන් ඈත් වීමත් සමඟ යළිත් ගම් පියසට පිවසෙනවා

විශ්වවිද්‍යාලය අධ්‍යාපනය හදාරා අවසන් කරලා ගමේ ගිහින් ඉන්න විටයි මට චන්ද්‍රපාල කියන ගුරුතුමා මුණ ගැසෙන්නේ. විශේෂත්වය වෙන්නේ ඔහු අන්ධ කෙනෙක්. ඔහු කන්තලේ මොල්ලිපතාන විද්‍යාලයේ ඇස් පෙනෙන අයට බෞද්ධ ශිෂ්ටාචාරය උගන්වනවා. ඔහු නාට්‍ය ගැන බොහොම උනන්දු කෙනෙක්. ඔහුත් සමඟ කරන කතාබහේදි නිර්මාණයක් කරමුද කියන මගේ පැනයට ඔහු දක්වන ප්‍රතිචාරය බොහොම වැදගත්. ඒ ප්‍රතිචාරයත් සමඟ අප ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ දෙනෙත් නොපෙනෙන හතර දෙනෙක්ව හා මේ වන විට ඒ දිස්ත්‍රික්කයේ ගුරුවරු විදියට පත් වීම් ලැබී සිටින අයව රඟපාන අය විදියට අරගෙන පහළොස් දෙනකුගේ කණ්ඩායමක් හදා ගත්තා. ඔවුන් සමඟ එක්ව ‘ඉමීඩියට්ලි ෆෝ පොසිටිව් රිලේෂන් ෂිප් නීඩඩ්’ කියන නන්වර්බල් ආකෘතිය යටතේයි මේ නිර්මාණය කළේ. මුලින්ම එහි මංගල දර්ශනය කළේ කන්තලේමයි. එහිදී එය නැරැඹු ප්‍රේක්ෂකයන්ගෙන් විවිධ වූ ප්‍රතිචාර අපට ලැබුණා. ඒ සියල්ල අප බොහොම මේ කාර්යය කෙරෙහි උනන්දු කරවන සුළු වීම විශේෂයි.

යළිත් ඔබ කිරීමට සැරසෙන මේ නව නිර්මාණයත් කලින් සඳහන් කළ නන්වර්බල් ආකෘතිය යටතේ නිර්මාණය වූවක් ද?

අප මේ ආරම්භ කිරීමට සැරැසෙන නිර්මාණය වන්නේ ‘ඉමීඩියට්ලි ෆෝ පොසිටිව් රිලේෂන් ෂිප් නීඩඩ්’ කියන නිර්මාණයේ දිගුවක් විදියට යන නිර්මාණයක්. ඇස් පෙනෙන්නේ නැති, කන් ඇහෙන්නේ නැති, අත්පා අහිමි කියන වර්ග කිරීමට අයත් විශේෂ අවශ්‍යතා ඇති අය දහසය දෙනෙක් සමඟයි මේ නිර්මාණය කරන්නේ. වේදිකාවෙන් පසුපස ඉන්නේ සාමාන්‍ය අයයි. රඟපාන අය සියල්ලන්ම විශේෂ අවශ්‍යතා ඇති අයයි. එහි පිටපත් නිර්මාණය කරලා මේ වනවිට අවසානයි. ඒ සඳහා නිෂ්පාදකයකු සොයමිනුයි මේ දිනවල ගත කරන්නේ. මේ සඳහා යම් අයකු අපට උදව් කිරීමට සිටිනවා නම් ඔහුට ඒ සඳහා අවස්ථාව සලස්වා දෙන්න අප සූදානම්. මොකද මෙවැනි අයත් සමඟ කටයුතු කිරීමේදි අපට සාමාන්‍යයෙන් නාට්‍ය නිර්මාණයක් කරනවා වගේ ඒ වැඩේට අත තියන්න බැහැ. සැලසුමක් ඇතිවයි ඒ කටයුත්ත කළ යුත්තේ.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.