The Lover විවාහයට ප්‍රශ්නයක්

තිළිණි රුවන්දිකා
පෙබරවාරි 14, 2019

පළමුවරට පේ‍්‍රක්ෂක හමුවට පිවිසෙන තිළිණි රුවන්දිකාගේ ‘ද ලවර්’ වේදිකා නාට්‍යය මේ මස 17 වැනිදා බොරැල්ල නාමෙල් - මාලිනී පුංචි තියටර්හි වේදිකා ගතවෙයි. වේදිකා නාට්‍ය ලෝකයට පිවිසෙන නවක අධ්‍යක්ෂවරියක වන තිළිණි රුවන්දිගේ ‘ද ලවර්’ යන මේ නාට්‍යය පසුගියදා පැවැති යෞවන සම්මාන උලෙළේදී හොඳම නිළිය, හොඳම නළුවා ඇතුළු සම්මාන කිහිපයකටත් උරුමකම් කීමට සමත් විය. මේ පෙළ ගැසෙන්නේ මේ නවක අධ්‍යක්ෂවරියගේ වේදිකා ආගමනයත්, ‘ද ලවර්’ වේදිකා නාට්‍යය පිළිබඳත් සරසවියට කළ කතාබහකි.

වේදිකා නාට්‍ය කලාවට ඔබ පෙම් බඳීන්නේ පාසල් කාලයේ පටන්ම ද?

මගේ ගම ගාල්ල හබරාදූව. මා පාසල් ගියේ ගාල්ල සවුත්ලන්ඩ් බාලිකා විද්‍යාලයටයි. එහි සිටි කාලයේ 2007 වසරේදියි පාසල් වේදිකාවෙන් මා නාට්‍යකරණයට පිවිසෙන්නේ. ඒ මගේ ගුරුතුමා වන රණසිංහ අධිකාරී නිසයි. විලියම් ශේක්ස්පපියර්ගේ ඔතෙලෝ වේදිකා නාට්‍යය සඳහායි මා රංගනයන් දායක වන්නේ. ඒ රංගනය සඳහා මා තබන පළමු අඩියයි. ඊට පස්සේ ‘ට්‍රොජන් කාන්තාවෝ’, ‘හුණුවටය’ ආදි වේදිකා නාට්‍ය ගණනාවකටම රංගනයෙන් දායකත්වය ලබාදී හොඳම නිළිය ලෙස මා සම්මාන ලබන්නේ 2009 වසරේදියි. ඒ පාසල් සමස්ත ලංකා රංග කලා උලෙළේදී. ඒලෙවල් කිරීමෙන් පසුව කැලණිය විශ්වවිද්‍යාලයට නාට්‍ය හා රංග කලාව ශාස්ත්‍රවේදී විශේෂ උපාධි පාඨමාලාව ඉගෙන ගැනීමට පැමිණෙන්නේ 2010 වසරෙදියි.

විශ්වවිද්‍යාල ජීවිතයේදී පාසල් කාලයේදී වැලඳුණු නාට්‍ය උණ තවත් වර්ධනය වෙනවා ද?

විශ්වවිද්‍යාලයේ සිටින කාලයේදියි මට නාට්‍ය හා රංග කලාව ඔස්සේ ගොඩක් ක්ෂේත්‍ර අධ්‍යයනය කිරීමට ලැබෙන්නේ. එහිදී සමහර නිෂ්පාදන සඳහා රංගනයෙන් දායකත්වය ලබාදීමටත් මට අවස්ථාව හිමි වෙනවා. ඊට අමතරව වේදිකා පරිපාලනය, රංග වස්ත්‍ර නිර්මාණය, රංග වින්‍යාසය ආදි අංශ කිහිපයකට ම දායක වීමට ලැබීම නිසා මගේ නාට්‍ය දැනුම පෝෂණය වෙනවා. ඒ සියලු දේ මඟින් ලැබෙන බොහෝ අත්දැකීම් රාශිය මගේ නාට්‍ය දැනුම පුළුල් කිරීමට සමත් වෙනවා. මේ අතරදියි රණසිංහ ගුරුතුමා ‘ඉල්මනයිට්ස්’ නමින් යළිත් වේදිකා නාට්‍යයක් නිෂ්පාදනය කරන්නේ. එහිත් රංගනයෙන් දායකත්වය දැක්වීමට මට අවස්ථාව හිමි වෙනවා. එය 2012 වසරේදී රාජ්‍ය නාට්‍ය උලෙළට ඉදිරිපත් කිරීමත් සමඟ මට රංගනය සඳහා රංගන කුසලතා සම්මානයක් හිමි වීමත් විශේෂයි. ඒ සම්මානයයි රාජ්‍ය නාට්‍ය උලෙළකදි මා ලබාගත්ත පළමු ඇගයීම වන්නේ.

ඔබ අධ්‍යක්ෂණයට පිවිසෙන්නේ විශ්වවිද්‍යාලය ඇතුළේදීමයි

මගේ ශාස්ත්‍රපති උපාධියේදියි ඒ කටයුත්තට මුල පුරන්නේ. එහිදී මා කරන්නේ මෙතෙක් රංගන කටයුත්තේ නියැළුණ නිසා අධ්‍යක්ෂණයේ කාර්යභාරයට පිවිසීමට අවස්ථාවක් ලබා ගැනීමයි. ඒ නිසා මා උපාධියේ නිබන්ධනය වෙනුවෙන් නාට්‍ය නිෂ්පාදනයකුයි එළිදක්වන්නේ. මෙහිදී අපේ විශ්වවිද්‍යාලයේ සිටින කථිකාචාර්ය ලක්ෂ්මන් ප්‍රනාන්දු ඒ ගැන පැවසුවාට පසුවයි ඔහු ලියන ලද හොඳ නාට්‍යයක පිටපතක් පිළිබඳ මට දැන ගැනීමට ලැබෙන්නේ. මට එහි රඟපෑම පිළිබඳ යම් ඉඟියකුත් ලබාදෙන ගමන්මයි ඔහු ‘ද ලවර්’ පිටපත මා අතට පත් කරන්නේ. ඒ නිර්මාණයේදි මට වුවමනා වුණේ රඟපෑමට නොවෙයි. අධ්‍යක්ෂවරයාගේ කාර්යභාරය කිරීමට පමණයි. එහෙත් නාට්‍යය පිටපත කියෙව්වට පස්සේ වගේ ම මේ පිටපත අනෙක් අයට දුන්නත් ඒ සඳහා නිළියක් තෝරා ගැනීමට යම් අපහසුතාවක් මතු වුණා. මෙහි එන ඒ නිළි චරිතය තරමක් අභියෝගාත්මකයි. ඒ වගේම මා නාට්‍ය ලෝකයට අලුත් කෙනෙක් නිසා ප්‍රවීණ නිළියක් සොයා ගැනීමේ දුෂ්කරතාවකුත් මතුව තිබුණා. මෙන්න මේ කාරාණා නිසා අවසානයේ මම ම මේ චරිතය රඟපානවා කියන අදහසට පැමිණියා. ඊළඟට තිබුණේ ප්‍රධාන නළුවා තෝරා ගැනීමයි. මේ වේදිකා නාට්‍යයේදි ඔහුට චරිත දෙකක් රඟපෑමට සිදු වෙනවා. නාට්‍ය ගත්තොත් ඔවුන් දෙදෙනාටම අවම වශයෙන් චරිත හයක්වත් රඟපෑමට සිදු වීම මේ නාට්‍යයේ තිබෙන විශේෂත්වයක්. ඒ සඳහා මා තෝරා ගත්තේ යසන්ත බුද්ධිකයි. කිරිකාරයා කියන සුළු චරිතය රඟපාන්නේ ලක්ෂිත සංකල්පයි. ඒ චරිතය හැරෙන්නට මේ මුළු නාට්‍යයම දිවෙන්නේ ඒ ප්‍රධාන චරිත දෙක ආශ්‍රයෙන්. නිෂ්පාදනය, ආලෝකකරණය හා පසුතල නිර්මාණයෙන් ලෙනින් ලියනගේත්, ඒ වගේ ම ආලෝකකරණයට සහය වන ඩිලාන් එදිරිසිංහත්, රංගවස්ත්‍ර නිර්මාණය හා රංග වින්‍යාසයෙන් මහේෂ් උමගිලියත්, වේශ නිරූපණයෙන් ලක්ෂිත සංකල්පත්, වේදිකා පරිපාලනයෙන් චේතනා ඉලංගරත්න, දසුන් ඩයස්, සංගීතයෙන් සජිත අනුත්තර ඇන්තනීත්, වයලීන් වාදනයෙන් යසස් යන අයත් මේ නිර්මාණයට සහය වෙනවා.

විශ්වවිද්‍යාලවලින් බිහි වන බොහෝ නාට්‍ය විශ්වවිද්‍යාලයට පමණක් සීමා වන කාලයක ඔබ ඒ නිර්මාණය ප්‍රේක්ෂකයන් අතරට ගෙනෙනවා නේද?

මගේ විභාගයට පස්සේ ‘ද ලවර්’ වේදිකාවට නොගෙනේවි කියායි බොහෝ දෙනෙකු සිතුවේ. ඒත් මා ‘ද ලවර්’ අධ්‍යක්ෂණය කළේ ඉදිරියටත් ඒ කටයුත්ත කරගෙන යනවා කියන අධිෂ්ඨානයත් සමඟයි. ඒ වගේ ම ඒ කාලයේ රාජ්‍ය නාට්‍ය උලෙළේ පිටපත් කැඳවමිනුයි තිබුණේ. මා මේ උලෙළට මගේ වේදිකා නාට්‍යය ඉදිරිපත් කරන්නේ ඒ අනුවයි. වාසනාවකට වගේ දෙවැනි වටයෙන් අවසන් වටයට තේරුණා කියන ලිපිය මගේ අතට පත් වුණා. එහිදී විනිශ්චය මණ්ඩලය ලබාදී තිබුණු ලකුණු මට්ටම අනුව මගේ සිතේ ඇති වුණේ සතුටක්. මොකද මා ආධුනික නාට්‍යකාරිනියක්. ඒ වගේ ම මේ නාට්‍යය මගේ කුලුඳුල් නිර්මාණයයි. විනිශ්චය මණ්ඩලයට ඒ නිර්මාණය දැනිලා තිබුණා. මා මේ නිර්මාණයට සම්මාන නම් කොහෙත්ම බලාපොරොත්තු වුණේ නැහැ. එහෙත් එය නැරැඹූ ප්‍රවීණ නිර්මාණකරුවන්ගෙන් ලැබුණු අදහස් පෙළ නම් බොහොම ප්‍රශංසනීයයි. ඒ වගේ ම රාජ්‍ය නාට්‍ය උලෙළ පැවැත් වුණු දවසේ හොඳම නළුවා, හොඳම නිළිය, හොඳම අධ්‍යක්ෂණය, හොඳම නිෂ්පාදනය කියන ප්‍රධාන පෙළේ සම්මාන හතරටම මේ නාට්‍යය නිර්දේශිත වීම ම විශේෂත්වයක්. සම්මාන නොලැබුණත් ඒ ආකාරයෙන් නිර්දේශ වන්නේ ප්‍රවීණ නාට්‍යකරුවන් රැසකගේ නිර්මාණ සමඟ වීම ඊට හේතුවයි.

ඔබගේ ‘ද ලවර්’ වේදිකා නාට්‍යයට සම්මාන හිමි වන්නේ කුමන සම්මාන උලෙළකදී ද?

ඒ රාජ්‍ය නාට්‍ය උලෙළෙන් පස්සේ මා ‘ද ලවර්’ වේදිකා නාට්‍යය 2018 වසරේ යෞවන සම්මාන උලෙළටත් ඉදිරිපත් කරනවා. එහිදී අපට හොඳම නිෂ්පාදනය තුන්වන ස්ථානය. රංගාලෝකයට ජූරියේ විශේෂ සම්මානයක්, රංග වින්‍යාසයට කුසලතා සම්මානයක් හා හොඳම නිළිය විදියට මටත්, හොඳම නළුවා විදියට යසන්තටත් සම්මාන ලැබෙනවා. මෙවර යෞවන සම්මාන උලෙළෙන් ලැබුණු ඒ සම්මාන අපේ මහන්සියට හා කැප කිරීමට ලැබුණු හොඳම තෑග්ගක් ලෙසයි මා සිහිපත් කරන්නේ.

වර්තමානය වනවිට රිදී තිරය, පුංචි තිරය වගේ ව වේදිකාවෙත් නිර්මාණකරණයට පිවිසෙන අධ්‍යක්ෂවරියන්ගේ තිබෙන්නේ අඩුවක්. එවැනි කාලයක ඔබ අධ්‍යක්ෂවරියක වීමට සිතුවේ ඇයි?

මා ඇසුරු කළ පිරිසත් සමඟයි එවැනි තීරණයකට මා පිවිසෙන්නේ. පාසලේ නාට්‍ය හා රංග කලාව ඉගැන්වූ ගුරුවරයාටයි මා මුලින් ම ස්තුති කරන්නේ. ඔහු නිසයි මා නාට්‍ය කියන්නේ මොකක්ද කියලා හඳුනා ගත්තේ. ඒ වගේ ම නාට්‍ය කලාව වෙනුවෙන් කොයිතරම් කැප විය යුතු ද? වේදිකාවට නඟිනවා නම් මා කොයිතරම් විනයානුකූල විය යුතු ද? යන කාරණා ඉගෙන ගත්තේ ඔහුගෙන්. අනෙක් කාරණය නම් චරිතයක් දිය යුතු නියමිත කෙනාටම ඔහු චරිතය ලබා දුන්නා. කුඩා චරිතයක් වුණත් රඟපාවන්න ඔහු බොහොම මහන්සි වුණා. එතැනින් පසුව මා විශ්වවිද්‍යාලයට පිවිසියාට පස්සේ එහි සිටි අයියා කෙනකුගේ ‘රාවණ’ කියන නිර්මාණයට සහභාගි වෙනවා. ඒ මඟින් වෙනම අත්දැකීමකුයි මගේ ජීවිතයට ලැබෙන්නේ. විශ්වවිද්‍යාලය ඇතුළේ ඉදිද්දි ප්‍රියංකර රත්නායකයන්, ගයාන් රන්ධීරයන්, මලින්ද ජයවර්ධන අයියා ඇතුළු විශේෂ පිරිසක් සමඟයි මට නාට්‍ය හා රංග කලාව ගැන හැදෑරීමට අවස්ථාව ලැබෙන්නේ. ඒ වෙනසම මාව වෙනස් මඟකට අරගෙන යනවා. ඔවුන් සමඟ නිර්මාණවලට දායක වීමේදී ඔවුන් අධ්‍යක්ෂණය කරන අයුරු මා හොඳට බලාගෙන සිටියා. එහිදී ‘ජෝන්ගේ සත්තුවත්ත’ නිර්මාණය මතකයට නැඟිය යුතුයි. එහි පෙළමතක් කරන්නිය මමයි. ඒ වේදිකා නාට්‍යය වේදිකා ගත වුණු දර්ශන වාර පනහ ඇතුළතදිම ගයාන් සර් අධ්‍යක්ෂණය කළ අයුරු මා බලාගෙන සිටියේ බොහොම අවධානයෙන්. නළුවන් රඟපාන ආකාරය හොඳට අධ්‍යයනය කළා. මේ කරුණු කාරණා සමඟයි මා අධ්‍යක්ෂණයට පිවිසීමට තීරණය කරන්නේ. ඒ වගේ ම විභාගය අවසානයේ නිකම්ම නිකම් පිළිතුරු පත්‍රයක් ලියලා නිවෙසට එන්න වුවමනා වුණෙත් නැහැ. ඉගෙන ගත්ත දෙයින් යමක් කිරීමටත් මට වුවමනා වුණා. එහි ප්‍රතිඵලයක් ලෙසයි මා අධ්‍යක්ෂවරියක් බවට පත්වන්නේ.

හැරල්ඩ් පින්ටර් නාට්‍යකරුවාගේ නිර්මාණ අපේ රටේ ප්‍රේක්ෂකයන්ට තරමක් දුරස්තයි. ඔබගේ නිර්මාණයකට ඔහුම තෝරා ගැනීමට විශේෂ හේතුවක් තිබෙනවා ද?

විශ්වවිද්‍යාලය ඇතුළේදි මේ සෑම නාට්‍යකරුවකු පිළිබඳවම අපට ඉගෙන ගැනීමට අවස්ථාව ලැබෙනවා. ඔහුගේ කෘති පරිශීලනය කිරීමට මට ලැබෙන්නේ මේ ‘ද ලවර්’ වේදිකා නාට්‍යය පිටපතත් සමඟයි. අසම්මත නාට්‍යය නිර්මාණය ලෙහෙසි පහසු නැහැ. හැරල්ඩ් පින්ටර් නාට්‍යකරුවාගේ බොහෝ නිර්මාණවල තිබෙන්නේ ජීවිතයේ ඛේදවාචකයයි.

‘ද ලවර්’ වේදිකා නාට්‍යයෙන් කතාබහ කරන්නේ කුමන කාරණයක් ගැන ද?

‘ද ලවර්’ වේදිකා නාට්‍යයෙන් කතාබහ කරන්නේ විවාහ සංස්ථාව ගැනයි. බටහිර බොහෝ විවෘතව කතා කරන පෙරදිග හංගගෙන කතා කරන මාතෘකාවයි ලිංගිකත්ව හා විවාහ සංස්ථාව කියන්නේ. පෙරදිග කාන්තාව හා පුරුෂයා බොහොම කැමැත්තෙන් රාමු ගතවෙද්දි අපරදිග පුරුෂයා හා කාන්තාව බොහොම විවෘතව ඒ රාමුව කඩා ගන්නවා. අපරදිග ඒ ලිංගිකත්වය බොහොම විවෘතව කතා කරද්දි අපේ රටේ එය හංගා ගෙන කතා කිරීම නිසා සමාජයේ අද බොහෝ ගැටලු මතු වෙලා. ඒ අතර දිවිනසා ගැනීම්, අනියම් සබඳතා, දික්කසාද වීම් ආදී දේ කාරණා කිහිපයක් පමණයි. මගේ නාට්‍යය ඇතුළේ කතා කරන්නේ බිරිය හා සැමියා ඔවුන්ගේ ජීවිතයේ යම් තීරණයක් ගැනීම පිළිබඳයි. ඒ තීරණය වන්නේ එහි සිටින පුරුෂයා තවත් ස්ත්‍රියක් ළඟටත්, ස්ත්‍රිය තවත් පුරුෂයකු ළඟටත් පිවිසීමයි. ඒ ප්‍රේමය ගැන ඔවුන් දෙදෙනා විවෘතව කතා කිරීම මෙහි තිබෙන විශේෂත්වයයි. එහෙත් එක්තරා ඉමකදි මේ අනියම් පෙම්වතා හා පෙම්වතිය වන්නේ ඔවුන් දෙදෙනාම බව ප්‍රේක්ෂකයාට වැටහෙන්නේ යම් උත්ප්‍රාසයකින් ද යුතුවයි. අපට කරන්නට නොහැකි වූ දේත් එයමයි. එහෙත් පින්ටර් කරන ලද්දේත් එයමයි. මිනිසුන්ට ඇතිවන හැඟීම් කොළයකට, අත්සනකට පමණක් සීමා කිරීමට බැහැ. පින්ටර් උත්සාහ කළේ ස්ත්‍රිය හා පුරුෂයා සිතේ හිරකරගෙන සිටින ෆැන්ටසිය යථාර්ථයක් කර නිවෙසටම රැගෙන ඒමයි. එහි සැබෑ තත්ත්වය දැක ගැනීමට නම් ඔබට ‘ද ලවර්’ නරඹන්නට සිදු වේවි. ‘ද ලවර්’ මේ කාලයට මේ සමාජය වඩාත් ම ඔබින නාට්‍යයක් ලෙසයි මා දකින්නේ. නාට්‍යය අතරදි එහි වන දේවල්වලට සිනහ නඟන ඔබට ඒ ඒ දේවල් පිළිබඳ සිතෙන් විමසද්දී ඒ සිනහවේ අර්ථය වැටහෙනු නියතයි. එයයි මේ නිර්මාණයේ තිබෙන වෙනස වන්නේ.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
15 + 3 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.