කලිගියුලා එදවස ද මෙපරිද්දෙනි

ජගත් බණ්ඩාර
පෙබරවාරි 7, 2019

පාසල් කාලයේදීම වේදිකා නාට්‍ය කලාවට පිවිසෙන ජගත් බණ්ඩාර පළමුව යෞවන සම්මාන නාට්‍ය උලෙළටත්, සරත් කුමාරගේ ‘ගිනි’ ඇතුළු වේදිකා නාට්‍ය කිහිපයකමත් රඟපායි. ඒ අතරදී ඔහුගේ අවධානය වඩාත් යොමු වන්නේ රඟපෑමට වඩා රංගනය හැදෑරීමටත්, අධ්‍යක්ෂණය හැදෑරීමටත් ය. එහිදී ඔහුගේ මුල්ම නාට්‍ය ගුරුවරයා වන්නේ මංගල සේනානායක ය. ඊට පසුව සලමන් ෆොන්සේකා යටතේ රංගනය හදාරන ජගත් බණ්ඩාර විශ්වවිද්‍යාලයේ සිය ශාස්ත්‍රීය අධ්‍යයන කටයුතුවලට යොමු වීමත් සමඟ ඒ සියල්ලගෙන් ටික කලකට ඈත් වෙයි. ඔහු පළමුව වේදිකා නාට්‍යයක් අධ්‍යක්ෂණය කරන්නේ 2011 වසරේදී ය. ඒ ‘බෝනික්කි ගෙදර’ නිමිනි. ‘කලිගියුලා’ ඔහුගේ දෙවැනි නවතම වේදිකා ආගමනයයි. ඒ නිර්මාණය මේ මස 10 වැනිදා ලයනල් වෙන්ඩ්ට් රඟහලේදී වේදිකා ගත වෙයි.

වසර අටකට පසුවයි ඔබ යළිත් වේදිකාවට පිවිසෙන්නේ. යළිත් නිර්මාණයකට පිවිසීම සඳහා ඒ තරම් කාලයක් ගැනීමට යම් හේතුවක් තිබුණා ද?

මා වේදිකාවට පිවිසෙන්නේ මෙතෙක් ශාස්ත්‍රීය කටයුතු කිරීමෙන් පසුව යම් යම් දේවල් සම්බන්ධයෙන් මගේ සිතේ ඇති වන ප්‍රකාශන ගෙනෙන්නට වුවමනා හොඳ ම මාධ්‍යය වේදිකාව බව දන්න නිසයි. ‘බෝනික්කි ගෙදර’ වේදිකා නාට්‍යයෙන් පස්සේ වසර අටක කාලයක් වේදිකා නාට්‍යයක් වේදිකාවට රැගෙන පැමිණීමට ප්‍රමාද වන්නේ, කලක් මා මගේ අධ්‍යාපන කටයුතු වෙනුවෙන් විදේශ ගත වීමත් සමඟයි. ඒ කාලය ඇතුළේ දිගින් දිගටම මා සිටියේ මගේ පර්යේෂණ කටයුතුවල නියැළෙමින්. විශ්වවිද්‍යාල ආචාර්යවරයකු විදියට මගේ කාර්යය වන්නේ පර්යේෂණ කිරීම සහ ඉගෙන්වීමයි. ඒ වෙනුවෙනුයි මගේ කාලයෙන් වැඩිපුර කාලයක් වෙන් වී තිබෙන්නේ. එහෙත් මේ අතර වාරයේ ඉඩ ලැබෙන අයුරින් කලාවත් සමඟ වැඩ කිරීමටත් මා අමතක කරන්නේ නැහැ.

ඉන් අදහස් කරන්නේ ඔබ සම්පූර්ණයෙන් ම වේදිකාව අමතක කර තිබෙනවා කියන කාරණය නොවේද?

එහෙම සම්පූර්ණයෙන් ම මා වේදිකා නාට්‍ය කලාව අතහැර නැහැ. වේදිකා නාට්‍ය නරඹන අතරතුරු, ඒ පිළිබඳ හදාරමින්, කියවමින් සිටින්නට මා පසුගිය කාලයේ උත්සාහ දැරුවා. ඒ අතරේ සමාජයේ යම් යම් දේ පිළිබඳ සංවේදී වන විට වගේ ම යම් තැනකදි අපට යම් යම් දේ ප්‍රකාශ කරන්නට වුවමනා යැයි දැනුණ විට, විශේෂයෙන් ම ගුරුවරයකු විදියට පන්තිවලින් පරිබාහිරව කලා මාධ්‍යක් විදියට වේදිකාවත් සමඟ ගනුදෙනු කළ යුතු බවයි මගේ අදහස වන්නේ.

ඔබ පර්යේෂණ කටයුතුවල නියැළෙන බව පැවසූයේ වේදිකා නාට්‍ය සම්බන්ධයෙන් වන පර්යේෂණ කටයුතුවල ද?

මගේ විෂය ක්ෂේත්‍රය මානව විද්‍යාව. මා මානව විද්‍යාඥයෙක්. කොළඹ විශ්වවිද්‍යාලයේයි මා ඉගැන්වීම් කරන්නේ. මූලික වශයෙන් ම පර්යේෂණ ක්ෂේත්‍රය විදියට මගේ අවධානය යොමු වී තිබුණේ මේ වන විට විසිරී සිටින ශ්‍රී ලාංකික සංක්‍රමණිකයන් පිළිබඳයි. එයයි මගේ පර්යේෂණ ක්ෂේත්‍රය වන්නේ.

ඔබගේ නව වේදිකා නාට්‍යය නිර්මාණය ‘කලිගියුලා’, පරිවර්තනයක් ද?

මේ නිර්මාණය ඇල්බෙයා කැමූගේ ‘කලිගියුලා’ නාට්‍යයේ ම පරිවර්තනයක්. මේ පරිවර්තනය කරන්නේ ජී.ඩබ්ලිව්. නන්දිසේන. එය විශිෂ්ට පරිවර්තනයක් විදියටයි මා දුටුවේ. මේ නිර්මාණය ම හැත්තෑව ගණන්වල හා 90 වසරේදිත් නිර්මාණය කර තිබුණත්, ජී. ඩබ්ලිව්. නන්දිසේනගේ පරිවර්තනයෙන් යුතු පිටපත පාදක කරගෙනයි මා මේ වේදිකා නාට්‍යය නිර්මාණය කරනු ලබන්නේ.

ඔබ ‘කලිගියුලා’ වේදිකා නාට්‍යය පිටපත ලියවා ගන්නේ ජී. ඩබ්ලිව්. නන්දසේන නම් පරිවර්තකයාට මේ නිර්මාණය ගැන පවසා ද?

නැහැ. ජී. ඩබ්ලිව්. නන්දිසේන මේ වේදිකා නාට්‍යය පිටපත ලියන්නේ අසූව ගණන්වලදී. ඔහු එය පරිවර්තනය කළා පමණක් නොවෙයි, එය එකල තිබුණේ මුද්‍රණයේ. ඒ කාලයේදියි මට මේ වේදිකා නාට්‍යය පිටපත කියැවීමට ලැබෙන්නේ. ඒ කියැවීමේදි මට දැනුණු කාරණය නම් මේ නිර්මාණය දැවැන්ත වැඩක් බවයි. එහෙත් ඒ නිර්මාණය වේදිකා නාට්‍යය නිර්මාණයක් ලෙස ගෙන ආ යුතු යැයි මා සිතුවේ එකලමයි.

මේ සඵල වන්නේ ඒ අදහස ද?

ටිකෙන් ටික ඒ අදහස මගේ සිතේ වැඩෙන්නට ඉඩ සැලැස්සුවා. මගේ අනෙක් කටයුතුත් සමඟ මේ ගැන සිතමින්ම කාලය ගත වී ගියා. ඒ අතර මේ නිර්මාණය මා පළමුවෙන්ම කරන්නට උත්සාහ කළේ 2013 වසරේදී කොළඹ විශ්වවිද්‍යාලය සමඟයි. එහි ව්‍යාපෘතියක් විදියට ආරම්භ වුණු මේ කටයුත්ත එකල සාර්ථක වූයේ නැහැ. ඊට පසුව මා ලංකාවෙන් ගියා. එහෙම වුණත් මේ නිර්මාණය ගැන අදහස මා අතහැර තිබුණේ නැහැ. ඒ ගෙවුණු කාලයේ මේ නිර්මාණය පිළිබඳ අදහස මගේ සිතේ දිනෙන් දිනම මේරුවා. මේ නිසා ඒ නිර්මාණය පිළිබඳ අදහස එළියට පිවිසෙන්නට සුදුසුම කාලය ලෙස මා අදහස් කළේ වර්තමානය බවයි.

ඔබ ඇල්බෙයා කැමූගේ ‘කලිගියුලා’ වේදිකා නාට්‍ය පිටපතම වේදිකා ගත කිරීමට තෝරා ගැනීමට තිබෙන විශේෂ හේතුව කුමක් ද?

අප දන්නවා ඇල්බෙයා කැමූ කියන්නේ විශිෂ්ට සාහිත්‍යකරුවෙක්. දාර්ශනිකයෙක්. සමස්ත සාහිත්‍ය ව්‍යාපාරයේ ම කැමූ සාකච්ඡා කරන ප්‍රධාන ප්‍රශ්නයක් තිබෙනවා. ඒ මනුෂ්‍යයාගේ පැවැත්ම සහ නිදහස පිළිබඳ කාරණයයි. එහිදි ඔහුගේ මැදිහත් වීම බොහොම දේශපාලනිකයි. ‘කලිගියුලා’ කියන්නේ ඒක විශිෂ්ට ලෙස නිරූපණය වන වේදිකා නාට්‍යයක් විදිටයි මා දැක්කේ. විශේෂයෙන් ම මේ සමාජයේ ඇති වෙලා තියෙන විවිධ දේශපාලනික කාරණ හමුවේ ඒවා බිහි කළ ප්‍රතිඵලයි; ඒවා හේතු කරගෙන අප මනුෂ්‍යයන් විදියට මේ සමාජයේ මුහුණදී සිටින ඉරණමයි මා දැක්කේ. ඒ අතර කොහොම ද අප එවැනි සන්දර්භයක් ඇතුළේ මානවයා විදියට අපේ නිදහස තහවුරු කර ගන්නේ. අපට යන්න තිබෙන මාවත මොකක්ද කියන කාරණයයි ප්‍රධාන වශයෙන් සාකච්ඡා කිරීමට ඔහු උත්සාහ ගන්නේ.

ඇල්බෙයා කැමූව බොහෝ දෙනෙක් හඳුන්වන්නේ සාංදෘෂ්ටිකවාදියකු වශයෙන් නේද?

කැමූගේ දර්ශනයේ තිබෙන විශේෂ ලක්ෂණය වන්නේ ඔහු සාංදෘෂ්ටිකවාදී දාර්ශනිකයෙක්. අභූතරූපී අසම්මත වාදියෙක්. එහෙත් කිසිවිටෙකත් ඔහුව සාංදෘෂ්ටිකාවාදියෙක් විදියට හඳුන්වන්නේ නැහැ. එනමුත් අප ඔහුව, ඔහුගේ ගුරුකුලය, ඔහුගේ අදහස් සලකා සාංදෘෂ්ටිකවාදියකු විදියට සලකනවා. එහෙත් ඔහු අසම්මත වාදී චින්තන දහරාවක් තිබුණු කෙනෙක්. හැමදේකම තිබෙන අර්ථ විරහිත භාවයයි ඔහු සාකච්ඡා කරන්නේ. ඒ වගේ ම ඔහු ශුන්‍ය වාදයට ගමන් කරන්නේත් නැහැ. ඔහු පවසන්නේ ඉහත කොන්දේසි ඇතුළේදී පවා මිනිසා ඒ මොහොතේ තමාගේ අරගලය අරගෙන යන බවයි.

ඔබ ඔය කියන කාරණා අසම්මත රංග ශෛලිය මඟින් ගෙනෙන්නට උත්සාහ කරන්නේ ඇයි?

අපේ රටේ රංගනයේ සහ වේදිකා නාට්‍ය ඇතුළේ අසම්මත වාදය කියන කාරණය තේරුම් අරගෙන තිබෙන්නේ මිනිසුන්ට බලාගෙන ඉන්න බැරි, හෙමින් හෙමින් කතා කරන, හෙමින් හෙමින් ඇවිදින, එකකට එකක් සම්බන්ධ නැති දෙබස් කියන වගේ නිර්මාණ ක්‍රමවේදයක් හැටියටයි. එය අසම්මත වාදය නෙවෙයි. ඇත්තටම කැමූ අසම්මත වාදය ලෙස දකින්නේ අපේ ජීවිතයම අසම්මත විදියටයි. අද්භූතයි. අද්භූතවාදී ලක්ෂණයකුයි ගැබ් වන්නේ. ඒකට හේතුව වන්නේ මේ පවතින සමාජ කොන්දේසි හා විවිධ කාරණා යටතේ අනිවාර්යයෙන්ම අභූතරූපී තැනකයි මිනිසා හා මිනිසාගේ හැසිරීම ගොඩනැඟී තිබෙන්නේ. ඒකයි ඔහු ගවේෂණය කරන්නේ. එය රංග රීතියක් ලෙස පැමිණෙන්නේ ඉන්පසුවයි. මම ‘කලිගියුලා’ වේදිකා නාට්‍යය ස්ටැනිස් ලවුස්කිගේ මෙතඩ් ඇක්ටින් වගේ වඩාත් ස්වාභාවික රංගනයට සමීප රංගනයක් ඇසුරිනුයි රඟ දැක්වන්නේ.

‘කලිගියුලා’ වේදිකා නාට්‍යයට සහභාගි වන නළු නිළි පිරිස සහ අනෙක් අය කවුරුන් ද?

මෙහි ප්‍රධාන චරිතයට පණ පොවන්නේ ජෙහාන් ශ්‍රීකාන්ත අප්පුහාමි. ගංගා ජීවනී වැලිවත්ත, උදේනි අල්විස්, මයුර කාංචන, චාමල් රණසිංහ, අජිත් සිරිමාන්න, ජයන්ත අමරසිංහ වගේ වේදිකා නාට්‍ය කලාවේ අසූව අනූව දශකයේ පටන් නාට්‍ය කලාවට එක්ව සිටින අය වගේ ම වර්තමානය වනවිට වේදිකාවේ සැරිසරන තරුණ පිරිසක්. සංගීතය කරන්නේ ගයත්‍රි කේමදාසයි. ඇගේ මැදිහත් වීමත් මේ නිර්මාණයට ආලෝකයක්. වේශ නිරූපණයෙන් පසන් මල්ශාන්, වේදිකා පරිපාලනයෙන් ශර්ලි සමරසිංහ, සනත් ජානක සහ මාධව මඩවල, ඇඳුම් නිර්මාණයෙන් චමිලා මංගලගම, පසුතලය චමිල ගමගේ, නර්තන වින්‍යාසය නිලාන් මලිගස්පේ, ආලෝකකරණයෙන් සංජීව උපේන්ද්‍රත් මේ වේදිකා නාට්‍යයට සහයෝගය දක්වනවා.

ගයත්‍රි වේදිකා නාට්‍යයකට සංගීතය නිර්මාණය කරන පළමු වතාව ද?

මේ වනවිට ඈ චිත්‍රපටවලට සංගීතය නිර්මාණය කරලා සම්මාන අරගෙන තිබුණත් වේදිකාවත් සමඟ සම්බන්ධ වූ අවස්ථා ඇත්තේත් නැති තරම්. ගයත්‍රි වේදිකා නාට්‍යයක දැවැන්තව සම්බන්ධ වන පළමු වතාව විදියටයි මා මේ අවස්ථාව දකින්නේ. ඈ සමඟ කතාබහෙන්, සහයෝගයෙන් කළ ඒ සංගීත නිර්මාණය මඟින් නිර්මාණය ඇතුළේ අපට ගොඩනඟන්න වුවමනා දේ හරියට ම කළ බවයි මට හැඟෙන්නේ.

වේදිකා පසුතලය නිර්මාණය කිරීමේදී ඔබ සැලකිලිමත් වූ කාරණා මොනවාද?

වර්තමානයේ වේදිකා නාට්‍ය කලාවේ තිබෙන විවිධ ප්‍රශ්න පිළිබඳ සාකච්ඡා කරමින්, ඒවා ගැන සලකා බලමිනුයි අප වේදිකා පසුතලය නිර්මාණය කරන්නේ. පිට පළාත්වලට ගෙන යන ආකාරය ගැන සිතමින් නම් අපට පසුතලය නිර්මාණය කරන්න බැහැ. ඒ වගේ ම රෝම ගෘහ නිර්මාණ ශිල්පය හා ඒවාත් සමඟ ඇති දේ පිළිබඳ අධ්‍යයනයක් කරමින් අප මේ වේදිකා නාට්‍යයේ වේදිකා පසුතලය නිර්මාණය කළා.

වේදිකා පිටපතේ තිබෙන කාරණා සර්වකාලීන බවක් දැනෙනවා. එහි විහිද යන කතාව නිර්මාණය වන්නේ කවුරුන් මූලික කර ගෙන ද?

මේ වේදිකා නාට්‍යයට පදනම් වන්නේ රෝමයේ හිටපු තුන්වැනි සීසර් කියන රජුයි. ඔහු ලෝකයේ සිටි දරුණු ම හා බිහිසුණු පාලකයන් අතරින් කෙනෙක්. තුන්වැනි සීසර්ගේ කතාවයි ‘කලිගියුලා’ වේදිකා නාට්‍යයට පදනම් වන්නේ. ඔහු රාජ්‍ය බලයට පත්වීමේ සිට කෙටි කාලයක් ඇතුළත ඔහුගේ රාජ්‍ය අතුළේ සිදු වන විනාශය සහ කැලඹීමයි මෙහි මූලිකව සාකච්ඡා වන්නේ.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
4 + 11 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.