වේදිකාවේ බෝම්බයක් ඉතුරුයි

ජනවාරි 10, 2019

‘හරි අපූරු දවසක්’, ‘හයිනා’, ‘මකරට’, ‘රජා මං වහලා’ ආදී වේදිකා නාට්‍ය රැසක් වේදිකාවට රැගෙන පැමිණි චාමික හත්ලහවත්තගේ නවතම වේදිකා නාට්‍යය ‘බෝම්බයක් ඉතුරුයි’ මෙම මස 13 හා 14 දෙදින ලයනල්් වෙන්ඩ්ට් රඟහලේදී පැවැත්වේ .වර්තමානයේ වේදිකා නාට්‍ය කලාවේ නියැළෙන තරුණ නාට්‍යකරුවන් අතර වේදිකාවට අලුත් යමක් කිරීමට උත්සාහ කරන ඔහුගේ මේ නවමු වෑයම ද ප්‍රේක්ෂකයාට නැවුම් අත්දැකීමක් වනු නියත ය. මේ පෙළ ගැසෙන්නේ වසර තිහකට වඩා කාලයක් අපේ රටේ පැවැති යුද්ධය මූලික කර ගෙන නිර්මාණය වූ මේ නව නිර්මාණය පිළිබඳ චාමික හත්ලහවත්ත සමඟ කළ සාකච්ඡාවකි.

බෝම්බයක් ඉතුරුයි’ වේදිකාවට නැඟෙන්නෙත් ඔබ සිදු කළ පර්යේෂණයක ප්‍රතිඵලයකින් ද?

මේ වේදිකා නාට්‍යයටත් පර්යේෂණය කියන කාරණය පොදුයි. එය නූතන ශාන්ති කර්මයක් ලෙසයි අර්ථ දැක්විය හැක්කේ. ශාන්ති කර්මය යන්න නූතන භාවිතයකින් යුක්තව ඉදිරිපත් කිරීමට ගත් උත්සාහයක් විදියටයි මා මේ නිර්මාණය දකින්නේ. ඒ සඳහා මා භාවිත කළේ සමකාලීන කතන්දරයක්. ඒ කියන්නේ සොල්දාදුවකුගේ කතන්දරයක්. ඔහු මූලික කර ගනිමින් ශ්‍රී ලාංකික ජන සමාජය වෙනුවෙන් ම කරන ශාන්ති කර්මයක් විදියටයි මේ නිර්මාණය හඳුන්වා දිය හැක්කේ.

ඔබ ඔය පවසන්නේ ‘බෝම්බයක් ඉතුරුයි’ වේදිකා නාට්‍යයේ කතාව ගොඩනැඟෙන්නේ සැබෑ සිදුවීමක් මූලික කර ගනිමින් බව ද?

මේ නාට්‍යයේ පිටපත ලියැවෙන්නේ සැබෑ කතාවක් මූලික කර ගනිමින්. මා දන්න මගේ සමීපතමයකුට සිදුවුණු සිදුවීමකුයි මා නිර්මාණයට පාදක කර ගත්තේ. ඔහු වෙනුවෙන් හා ඔහු මූලික කර ගත් ශ්‍රී ලාංකික ජන සමාජය වෙනුවෙනුයි මේ නිර්මාණය මා අතින් ලියැවෙන්නේ. ඊට අමතරව මගේ ජීවිතයේ සිදු වුණු සමහර සිදුවීම්, තවත් නොයෙක් සිදු වීම් රාශියක එකතුවකුත් ‘බෝම්බයක් ඉතුරුයි’ වේදිකා නාට්‍යය නිර්මාණයට පාදක වෙනවා.

යුද්ධය මඟින් නිර්මාණය වුණු ප්‍රචණ්ඩත්වය තවමත් අපේ සමාජයේ පවතිනවා නේද?

පශ්චාත් යුද ප්‍රචණ්ඩත්වය වගේ ම පීඩනය ගැනත් මා ‘බෝම්බයක් ඉතුරුයි’ වේදිකා නාට්‍යය මඟින් කතා කිරීමට උත්සාහ ගන්නවා. බොහෝ විට අපට සොල්දාදුවන් පෙනුණේ අත් හා කකුල් නැති වුණු ආබාධිත අය විදියට පමණයි. එහෙත් මානසික පීඩනයට ලක්වුණු සොල්දාදුවන් දහස් ගණනක් අප අතර සිටින බව අපට අමතක වෙලා. ඒ යුද පීඩනය නිසා පීඩාවට පත් වුණු ජන සමාජයකයි අප ජීවත් වන්නේ කියන කාරණය අප අමතක කරලා. මේ නිසා තවමත් ලේ ඉල්ලන, මරණ ගැන බලාපොරොත්තු වන ජන සමාජයකයි අප ජීවත් වන්නේ. එවැනි ජන සමාජයකට කරන ශාන්ති කර්මයක් විදියටයි ‘බෝම්බයක් ඉතුරුයි’ වේදිකාවට නැඟෙන්නේ.

මේ ශාන්ති කර්මයට සහභාගි වන ඒ පිරිස කවුරුන් ද?

ගිහාන් ප්‍රනාන්දු, සරත් කරුණාරත්න, උමයංගනා වික්‍රමසිංහ, ප්‍රවීන් රාමවික්‍රම, ජිතේන්ද්‍ර විද්‍යාපති, සිලිඳු රංවල කියන ශිල්පීන් ශිල්පිනියන්ගේ රංගනයෙන් මේ ශාන්ති කර්මය පැවැත්වීමට නියමිතයි. වේදිකා පසුතලයෙන් හා රංගා ලෝකයෙන් ප්‍රදීප් චන්ද්‍රසිරි, සංගීත නිර්මාණයෙන් ලහිරු මාඩිවිල, අංගරචනයෙන් ප්‍රේම් ජයන්ත කපුගේ, රංග වස්ත්‍ර නිර්මාණයෙන් දිනූෂිකා සෙනෙවිරත්න, රංග වින්‍යාස නිර්මාණයෙන් සරත් කරුණාරත්න, ප්‍රදීප් රාමවික්‍රම, ජිතේන්ද්‍ර විද්‍යාපති, වේදිකා පරිපාලනයෙන් මාධව චතුරංග, අකලංක ප්‍රභාෂ්වර, සුසංග කහඳවලආරච්චි, රෝහිත ජයකොඩි, නිෂ්පාදන කළමනා කරණයෙන් සුසිල් විජේසේකර යන ශිල්පීන් මේ කාර්යයේදී මට සහය වනවා. පිටපත් රචනය හා අධ්‍යක්ෂණය සිදු කරන ලද්දේ මා විසින්.

වේදිකා නාට්‍යයකට නිෂ්පාදකයකු සොයා ගැනීම පහසු කාර්යයක් වූවා ද?

‘බෝම්බයක් ඉතුරුයි’ වේදිකා නාට්‍යය නිෂ්පාදනය කරන නිරෝෂ් කවිරත්න මා විශේෂයෙන් සිහිපත් කළ යුතුයි. ඔහු මගේ මිත්‍රයෙක්. පළමු වරටයි ඔහු මෙලෙස වේදිකා නාට්‍යයක් නිෂ්පාදනය කරන්නේ. වේදිකා නාට්‍ය කලාවට තිබෙන ආදරය නිසාමයි ඔහු මේ නිර්මාණයට නිෂ්පාදකයකු ලෙස දායකත්වය දක්වන්නේ. මගේ පළමු නාට්‍ය ගුරුවරයා වුණු සුනන්ද පුෂ්පකුමාරගේ නිර්මාණවල ඔහුත්, මමත් රඟපෑවා. එකල ඔහුත් නාට්‍ය කළා. ඒ නිර්මාණවලත් මා රඟපෑවා. මේ වනවිට නම් ඔහු වේදිකා නාට්‍ය කරන්නේ නැහැ. මගේත්, ඔහුගේත් ගොඩනැඟී තිබුණු මිත්‍රත්වය මතයි ඔහු මේ කාර්යයට සහභාගි වන්නේ.

ශාන්ති කර්මවලදී භාවිත කරන වෙස්මුහුණු භාවිතය ඔබ ‘බෝම්බයක් ඉතුරුයි’ වේදිකා නාට්‍යය සඳහාත් භාවිතයට ගත්තේ ද?

මගේ දර්ශනපති උපාධියේදීත් මා හදාරන ලද්දේ ශාන්ති කර්ම පිළිබඳයි. ඒ මඟින් ලබා ගත්ත අත්දැකීම් සමඟ පාදක කර ගනිමිනුයි මා ‘බෝම්බයක් ඉතුරුයි’ වේදිකා නාට්‍යය නිර්මාණය කරන්නේ. නළු නිළියන් සැබෑ මුහුණෙන් වගේ ම භාගයට නිර්මාණය කරන ලද වෙස්මුහුණකුත් භාවිත කරන අවස්ථා තිබෙනවා.

ශාන්ති කර්මවලදී යටිපෙළෙන් දිවෙන හාස්‍යෝත්පාදක බව මේ නිර්මාණයේදිත් ඉස්මතු වනවාද? හාස්‍යත් මුසුවුණු ට්‍රැජඩියක් විදියටයි ‘බෝම්බයක් ඉතුරුයි’ වේදිකා නාට්‍යය මා හඳුන්වන්නේ.

වේදිකාවට වෙනස් විදියේ ආකෘති හඳුන්වා දුන් ඔබගේ අවධානය මෙවරත් යොමු වන්නේ එවැනි කාර්යයක් සඳහා ද?

වෙනස් ම ආකෘතියක්. ඒ වගේ ම රංග ශෛලිය, රං‍ග උපක්‍රම වෙනස් විදියකට භාවිත කිරීමටයි මා අදහස් කරගෙන සිටින්නේ.

ඔබ ශාන්ති කර්ම ආකෘතිය වේදිකාවට ගළපවා ගත්තේ කුමන ආකාරයකට ද?

ශාන්ති කර්මවල තිබුණු උපක්‍රම, භාවිතයන් යොදා ගනිමින් පැය එකහමාරක් ඇතුළේ සමකාලීන කතා ප්‍රවෘත්තියක් ඉදිරිපත් කිරීමටයි අප බලාපොරොත්තු වන්නේ. එය නැවුම් ආකාරයකට ඉදිරිපත් කරන්නේ කොහොමද? වර්තමානයේදී එය වේදිකාවට රැගෙන එනවා නම් එය රැගෙන එන්නේ කෙසේ ද? යන කාරණාවලට මූලිකත්වය ලබාදෙමින්, සාම්ප්‍රදායික ශාන්ති කර්මයෙන් බැහැරව අලුත් විදියට යමක් කිරීමට දැරුව උත්සාහයක් විදියටයි ‘බෝම්බයක් ඉතුරුයි’ වේදිකා ගතවන්නේ.

රජා මං වහලා’ වේදිකා නාට්‍යයේදී ඔබ සංගීතය හා ගායනය යන කාර්යයන් පාත්‍ර වර්ගයා මඟිනුයි ඉදිරිපත් කරන ලද්දේ. මෙවර ඒ කාර්යය වෙනස් වන්නේ කෙසේ ද?

මෙවරත් එලෙස ඒ කාර්යයන් නාට්‍යයේ නළු නිළියන් විසින් ම භාවිත කරන අවස්ථා බොහොමයි. ඊට අමතරව සංගීත භාණ්ඩත් වෙනම භාවිත කරනවා. මේ සියලු කාරණාවලට පරිබාහිරව පටිගත කළ සංගීතයත් වේදිකා නාට්‍යයේදී මා යොදා ගත්තා. එහිදි බෙරය යොදා ගැනීමත් සිදුවෙනවා. මේ සියලු දේ සිදුවන්නේ නූතන සංගීත භාවිතයක් ඇතුළේ වීමත් විශේෂත්වයක්. සංගීතය නිර්මාණය කරන්නේ ලහිරු මාඩිවිලයි. එහිදී ඔහු මෙහි පවසන ලද සියලු සංගීත ක්‍රම මිශ්‍ර කිරීමෙන් භාවිත කරන සංගීතය පදනම් වුණු වේදිකා නාට්‍යයක් ලෙසයි ‘බෝම්බයක් ඉතුරුයි’ නිර්මාණය කළේ. මෙහිදි සංගීතය වගේ ම නර්තනයත් බොහෝ සේ වැදගත් බව කිව යුතුයි.

ඔබ මේ නාට්‍යය ‘බෝම්බයක් ඉතුරුයි’ යන නාමයෙන් නම් කිරීමට විශේෂ හේතුවක් තිබුණා ද?

අපේ නාට්‍ය පුහුණු වීම් කරන කාලයේ මේ නම ලබා දුන්නේ ජෝර්ජ් කියන අපේ මිත්‍රයෙක්. එය සැබෑවට ම අපූරු නමක්. බෝම්බයක් කිව්වට පස්සේ බෝම්බයත් සමඟ බයත් තිබෙනවා. ඒ බව අපේ මතකයට නැඟුණේ ඔහු නම යෝජනා කළාට පස්සේ. බය වගේ ම විවිධ වූ අදහස් රැසක් මේ නම ඇතුළේ අන්තර්ගතයි. ඒ බව දැන ගැනීමට නම් ප්‍රේක්ෂකයන්ට මේ නාට්‍යය නැරැඹීමට ම සිදු වෙනවා.

ඔබ මේ නාට්‍යය නිර්මාණයට සහභාගි කර ගන්නේ අපේ රටේ ජනප්‍රිය වගේ රංගනය ගැන හදාරන නළු නිළියන් පිරිසක්. ඔවුන් සමඟ කටයුතු කිරීම පහසු ද? ඔවුන් මේ පුහුණු වීම්වල යෙදෙන්නේ බොහොම කැපවීමෙන් හා වෙහෙස මහන්සියෙන්. මාස හයක් තිස්සේ කරන මේ පුහුණු වීම් මේ දිනවල උදේ ආරම්භ කළාට පස්සේ අවසන් වෙන්නේ රාත්‍රි 10 යත් පසුවෙලා. රංගන කාර්යයට අමතරව රංග වින්‍යාසයට, අධ්‍යක්ෂණයට, පිටපත රචනයට බොහෝ සහයක් මට ඔවුන් ලබා දුන්නා. නාට්‍යය සංවර්ධනය පිණිස අප සියලුදෙනා ම එකතු වී කටයුතු කරනවා. ඒ අතර ඔවුන්ටත් විවිධ ඇබැද්දිවලට මුහුණ දීමට සිදු වෙනවා. මෙහිදි සිහිපත් කළ යුතුම කාරණය වන්නේ පසුගිය දවස්වල සිලිඳු රංවල මුහුණ දුන් රිය අනතුරයි. වසන්ති රංවල රංගන ශිල්පිනියගේ දියණිය වන සිලිඳු ගිය ත්‍රීරෝද රථය පෙරළුණා. ඇගේ කකුල කැඩුණා. ඒත් ඈ කොර ගහමින් පුහුණු වීම්වලට සහභාගි වුණා. මේ ගෙවන කාලය ඇතුළේ බොහොම විනෝදයෙන්, විහිළු තහළු කර ගනිමින්, සංවාද ඇති වෙමිනුයි සියලුදෙනාම පුහුණු වීම් කරගෙන යන්නේ.

‘රජා මං වහලා’ වේදිකා නාට්‍යය නිර්මාණය කර වසරක් ගත වී ඇතත්, ඒ සඳහා ලැබෙන ප්‍රතිචාරවල තවමත් අඩුවක් නොමැති බවයි පෙනෙන්නේ

තවමත් මේ නාට්‍යය වේදිකා ගත කිරීමට අපට ලැබෙන ඉල්ලීම් බොහොමයි. ඉදිරි මාස කිහිපයක් ම මේ වනවිටත් දින වෙන් වී අවසන්. මින් පසුව ‘රජා මං වහලා’ හා ‘බෝම්බයක් ඉතුරුයි’ යන වේදිකා නාට්‍යය දෙකම වේදිකා ගත වීමට නියමිතයි. ඒ වගේ ම මේ මාසයේ මගේ ‘රජා මං වහලා’ වේදිකා නාට්‍යය පැවැත්වීමට නියමිතව තිබුණේ 12 වැනිදා නුවර ධර්මරාජ විද්‍යාලයේ. ඒ දිනය පාසල් නිවාඩු දිනයක්. ඒ වේදිකා නාට්‍යය පාසල් දිනයක වේදිකා ගත කරන්නැයි කරන ලද පාසල් ළමයින්ගේ විශේෂ ඉල්ලීම මත මේ මාසයේ 31 වැනිදාට දිනය වෙනස් කිරීමට සිදු වුණා. එය සැමටම දැනුම් දීම සඳහා මෙය අවස්ථාවක් කර ගන්නවා. එහිදි 1.30 සිට සවස 3.30 වනතුරු උසස් පෙළ ළමයින්ට නාට්‍ය වැඩමුළුවක් පැවැත්වෙනවා. ඊට පසුවයි ‘රජා මං වහලා’ වේදිකා ගතවන්නේ.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
5 + 9 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.