පා පැදියෙන් ගමන් යන උතුරුමැද පළාත් නාට්‍ය උලෙළේ ප්‍රථම ස්ථානය දිනූ පෙදරේරු නාට්‍යකරුවා

දෙසැම්බර් 27, 2018

උතුර මැද පළාත් කලා උලෙළේ පිට පිට දෙවරක් ප්‍රථම ස්ථානය දිනූ නාට්‍ය දෙකක නිෂ්පාදකවරයා ඔහුය. අධ්‍යක්ෂවරයා ඔහුය. පිටපත් රචකයා ද ඔහුය. පළාතේ හොඳම නාට්‍යකරුවා වූ ඔහු වෘත්තීයෙන් පෙදරේරුවෙකි. ගමන් බිමන් යන්නේ පාපැදියෙනි. නාට්‍ය පුහුණු වන කාලය පුරාම ප්‍රධාන නළුවා පා පැදියේ තබාගෙන රාත්‍රී 10.00 ට අනුරාධපුර සිට මිහින්තලේට සයිකල් පදින මේ පෙදරේරු නාට්‍යකරුවා දවස් කුලියට ගෙවල් හදන මේසන් බාස් කෙනෙකි. ඔහු නමින් සරත් රණතුංග නම් වන්නේය.

වසර 23 ක් පුරා උතුරු මැද කලා උලෙළ සඳහා කෙටි හා දිගු නාට්‍ය ඉදිරිපත් කරමින් හෙළ නාට්‍ය කලාව වෙනුවෙන් දහදිය කඳුළු හෙළු මේ නාට්‍යකරුවා තමන් උපයන දෛනික සොච්චමෙන් දරු පවුල ද නඩත්තු කරමින් නාට්‍යකරණය සඳහා යන වියදම් දරමින් කර ඇති කැප කිරීම ගැන කවුරුත් දන්නේ නැත. අනුරාධපුර වලිසිංහ හරිස්චන්ද්‍ර විද්‍යාලයේ ආදි සිසුවෙකු වූ සරත් පාසැල් වේදිකාවට පිවිසෙන්නේ නළුවකු වශයෙනි. දහම් පාසලේ බෞද්ධ නාට්‍ය හා කතෝලික පල්ලියේ නත්තල් නාට්‍ය තුළින් සිය කුසලතා වර්ධනය කරගත් සරත් රජරට සේවය තුළින් ද නිර්මාණකරණයට ආලෝකයක් ලබා ගත්තේය. 1995 කෙටි නාට්‍යයකින් ඇරඹි ඔහුගේ නාට්‍යකරණය පශ්චාත් කුවේණි, ධවල සන්නිය, දුර්ජනයාගය, මං මාකස්, මාගතෝ, බල්ලොත් සමඟ ආදි නාට්‍ය රැසකින් උතුරු මැද කලා උලෙළ අර්ථවත් කළේය. 1997 ඔහුගේ නාට්‍යයට රාජ්‍ය නාට්‍ය උලෙළේ පළමුවටය නියෝජනය කිරිමට හැකි විය. ඔහු ඉදිරිපත් කළ නාට්‍යවලින් කුමන හෝ සම්මානයක් ලද මේ කලාකරුවා වසර 23 ක් පුරාම සිය ප්‍රයත්නය අත්හැරියේ නැත. 'අනේ අනේ සරත්ට නන් කවරදාවත් නාට්‍ය අංශයෙන් ගොඩ ඒමක් නෑ' සරත් මේ කුලියට මේසන් වැඩ කර කරා නාට්‍යවලට වියදම් කරන්නේ කොහොමද? ආදී වශයෙන් රජරට ඇතැම් නාට්‍යකරුවන් සරත් උපහාසයට ලක් කරද්දී ඔහු නිහතමානීව එම අභියෝගයට අඛණ්ඩව මුහුණ දුන්නේය. මේ වන විට කෙටි නාට්‍ය 12 හා දිගු නාට්‍ය 10 ක් නිෂ්පාදනය කොට අධ්‍යක්ෂණය කර ඇත.

සරත් මෙවරද සිය නාට්‍ය සඳහා උතුරු මැද පළාත් ප්‍රථම ස්ථානය දිනාගෙන ඇත. පා පැදිය පැද පැද මහ රාත්‍රියේ සිය නාට්‍යයේ නළුවන් ගෙවල්වලට ඇරලමින් පසු දින මේසන් හැන්ද අතට ගන්නා මේ නාට්‍යකරුවා උදේ සිට රෑ වනතුරු සිමෙන්ති හා ගල් ගොඩවල් සමඟ පොර බදියි. මාධනී මල්වත්ත වැනි ප්‍රවීණ නිළියන් වේදිකාවට දායාද කළ මේ නිර්මාණකරුවා නිහඬව නිසසල නිරහංකාර ජීවිතයක් ගත කරයි. හැන්දෑ කරුවල සමඟ බදාම තාච්චියෙන් ඈත් වන සරත් ඊළඟට වාඩි වෙන්නේ පොත් මේසයටය. එතැන් සිට ලිවීම අරඹන සරත්ට තේ එක බත් පිඟාන ළඟට එන්නේ චමිලා ජිනාදරී නම් වූ සිය බිරිඳ අතිනි. දරු දෙදෙනකුගේ පියෙකු වන සරත් කුටුම්භ සන්තර්පණයට වඩා කලා සන්තර්පණයට පළමු තැන දෙන්නේය.

සරත්ගේ නිර්මාණ කාර්යේදී පරිවර්තන නාට්‍ය පමණක් නොව ස්වතන්ත්‍ර නාට්‍ය රැසක්ම දැකිය හැකි වෙයි. හෙතෙම පරිවර්තන නාට්‍යකරණයේදී කතාවේ අනුභූතිය පමණක් ගෙන එය දේශීය මුහුණුවරකින් වේදිකාවට ගෙන ඒම ඔහුගේ නාට්‍යකරණයේ සුවිශේෂි ලක්ෂණයක් වී ඇත. 2017 දී ඔහු කළ මාගාතෝ අනුවර්තනයක් වූ අතර 2018 වසරේ හොඳම නාට්‍ය වශයෙන් තේරුණ බල්ලෙක් සමඟ නාට්‍ය සම්පූර්ණයෙන්ම ස්වතන්ත්‍ර නිර්මාණයකි. සරත්ගේ නිර්මාණ සඳහා බොහෝ විට ප්‍රවීණ රංගන ශිල්පීන් වෙනුවට නවක නළු නිළියන් යොදා ගැනීම විශේෂත්වයකි. ඉහළ වියදමක් දරා සියලු පහසුකම් සලසා රංග ශිල්පීන් යොදවා ගැනීමට තරම් ආර්ථික මට්ටමක් ඔහු සතු නොවීම ඊට හේතුවයි. එහෙත් සරත්ගේ නාට්‍යවලින් බිහිවන නවක නළු නිළියන්ගේ කුසලතා ඔප මට්ටම් කිරීම සම්බන්ධයෙන් සරත්ට ඇත්තේ නිසඟ කුසලතාවයකි. මේ හේතුව නිසාම සරත්ගේ බොහෝ නාට්‍ය තුළින් බිහිවන ආධුනික නළු නිළියන් රැසක් අද වන විට නාට්‍ය ක්ෂේත්‍රයේ කුසලතා පූර්ණ රංගන ශිල්පීන් ලෙස නමක් දිනාගෙන ඇත. සරත් ගැන කවුරුත් කතා නොකළාට කවුරු හෝ ඔහු ගැන නොලිව්වාට කවුරුත් ඔහු අගය නොකළාට මේ නිර්මාණකරුවා පහළම මට්ටමේ සිට උතුරු මැද පළාත් මට්ටම දක්වා පැමිණි ගමන අතිශය දුක්ඛදායකය. කවදා හෝ ජාතික වේදිකාවේ ජය කෙළි නැංවීමේ පරම අභිලාශයෙන් යන සරත්ගේ ගමන් මඟට අපි සුභාශිංසන පිරිනමමු.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 1 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.