නාට්‍යකරුවෝ හැටියට අපි වෙන මොනවා කරන්නද?

වෙරෝනිකා සමඟ ආපසු එන බුද්ධික දමයන්ත
දෙසැම්බර් 13, 2018

බුද්ධික දමයන්ත හා වේදිකාව පෑහෙන්නට පටන්ගෙන වසර විසිපහක් පමණ වේ. ඒ කාලය අතුරතුරදී බන්සි මැරිලා නෑ, පුංචි ආදර බලකිරීමක්, තුන් මෝල්ලු, පුතා එනකම්, 6457, හැම්ලට්, සිංදු කිරිල්ලි ආදී නාට්‍ය ගණනාවක් ඔහු වේදිකාවට ගෙනාවේය. එළඹෙන පහළොස්වැනිදා බුද්ධිකට විශේෂය. ඒ ඔහුගේ නවතම වේදිකා නාට්‍යය වූ වෙරෝනිකා ආපසු ඇවිත් හි මංගල දර්ශනය පැවැත්වෙන නිසාය. එදින සවස බොරැල්ල පුංචි තියෙටර්හිදී එය වේදිකා ගතවනු ඇත.

වෙරෝනිකා ආපසු ඇවිත්? කවුද මේ වෙරෝනිකා?

ඇය හිටියේ මගේ සිංදු කිරිල්ලි වේදිකා නාට්‍යයේ. වෙරෝනිකා ගමෙන් නගරයට යනවා තමාගේ අරමුණ සාක්ෂාත් කර ගැනීමට. ගායන තරුවක් වෙන්නයි ඇයට වුවමනා. නමුත් ඒ අභිප්‍රාය එලෙස සිදු වන්නේ නැහැ. වෙරෝනිකාට ආයෙත් ගමට එන්න වෙනවා. ඇය එන්නේ හිස් අතින් නෙවෙයි, දරුවකු ද සමඟ. තවත් රහසක් ඇය සතුව තියෙනවා. ගමට යළි ආව වෙරෝනිකාගේ කතාව තමයි මං වෙරෝනිකා ආපසු ඇවිත් නමින් වේදිකාවට ගෙන එන්නේ.

ඒ කියන්නේ මෙය සිංදු කිරිල්ලි නාට්‍යයේ දිගුවක්?

ඔව්. එහි දෙවැනි කොටස හැටියට මේක හඳුන්වන්න පුළුවන්.

වෙරෝනිකා ආපසු ඇවිත් පරිවර්තන නාට්‍යයක්. වෙනත් රටක නිර්මාණයක් මෙරටට උචිත අන්දමින් වේදිකා ගත කිරීම තරමක අභියෝගයක්?

තරමක නෙවෙයි ඒක විශාල අභියෝගයක්. හොඳ නිර්මාණයක් කරන්න හොඳට වියදම් කරන්න ඕන. කෝ ඒකට පිරිස. එතනදි කොයි නාට්‍යකරුවත් අසරණයි. ඒ කතාව පැත්තකින් තියමුකෝ. මේක දකුණු අප්‍රිකානු නාට්‍යයක්. අතෙල් ෆුගාඩ්ගේ කමිං හෝම් තමයි ඔරිජිනල් නාට්‍ය. මං එහි දේශපාලන චින්තනය ගත්තේ නැහැ. කතාව පමණයි වැදගත් වුණේ.

නාට්‍ය කෙරුවාව එපා වෙලා නැද්ද?

එපා වෙලා තියෙන්නේ. ඒත් කරන්න දෙයක් නැහැ. අවුරුදු විසි පහකට කලින් නාට්‍ය කරන්න එද්දි තිබුණ පරිසරයමයි තවමත් තියෙන්නෙ. නැහැ . . . ඊටත් අඩුයි. මට වෙලාවකට හිතෙනවා නාට්‍යය කෙරුවාවෙන් මොනවද ලැබිලා තියෙන්නෙ කියලා. ඒත් කරන්න දෙයක් නැහැ. අපි දැන් කුලී වැඩක් කියලා කරන්නද, බැහැනෙ. උඹලා පත්තරකාරයො හැටියට පත්තරවල ලියනවා නම් චිත්‍රපටකාරයො චිත්‍රපට හදනවා නම් නාට්‍යකාරයෝ හැටියට අපි නාට්‍ය හදනවා මිසක වෙන මොනවා කරන්නද?

ඔබ තුළ සිටි සම්මානනීය නළුවා කෝ?

නළුකම යට ගිහින්. නාට්‍ය කෙරුවාවයි නළුකමයි කරන්න බැහැ. නාට්‍යයක් කරද්දී ගැඹුරින් අධ්‍යයනයක යෙදෙන්න ඕන. ඒකට වෙලාව ගත වෙනවා. මේවා සුළු කොට තකන්න පුළුවන් දේවල් නෙවෙයි. නාට්‍යය සඳහා වැඩි බරක් දෙද්දී ඉබේම නළුකම යටපත් වුණා. හැබැයි මෙහෙම දෙයක් තියෙනවා. මගේ නාට්‍යවල මං සුළු චරිතයක් හෝ රඟපානවා. ඇතැම් විට ඒක කැපී පෙනෙන්නේ නැතුව ඇති.

නාට්‍යය පෙන්වන්න රංග ශාලා නැහැ කියලා නාට්‍යකරුවෝ මැසිවිලි නඟනවා?

කෙහෙද රංග ශාලා තියෙන්නේ. ඒවා සේරම අලුත්වැඩියා කරන්න වහලනෙ. තව කොච්චර කාලයක් එහෙම තියේවිද කියලා කියන්න බැහැ. සමහර රංග ශාලා අවුරුද්දකට ආසන්න කාලයක් බුක් කරලා. අපි ගන්න හැදුවම පොතක් පෙන්වනවා 'මෙන්න මහත්තයෝ බුකිංස්' කියලා. නමුත් බ්ලැක් මාර්කට් එකෙක් ඒවා විකිණෙනවා. එහෙම ගන්නත් වෙනම අය ඉන්නවා. අපි නිරන්තරයෙන්ම අදාළ පාර්ශව දැනුම්වත් කළා.

කොළඹින් පිට නාට්‍යයක් ප්‍රදර්ශනය කිරීමේ තත්ත්වය කෙබඳුද?

කොළඹ තත්ත්වේ මෙහෙම නම් කොළඹින් පිට කවර කතාද. රැස්වීම් ශාලාවක හෝ මඩුවක තමයි නාට්‍යය පෙන්වන්න වෙන්නේ.

අපි ආයෙත් වෙරෝනිකා ආපසු ඇවිත් නාට්‍යය ළඟට එමු. මොන වගේ ප්‍රේක්ෂක කණ්ඩායමක් ද ඔබ මෙවර ඉලක්ක කර ගත්තේ?

මගේ නාට්‍යයක් නරඹන්න වෙනමම ප්‍රේක්ෂකයන් කණ්ඩායමක් ඉන්නවා. ඒ අය කොහොමත් එනවා. ඔවුන් මේ මේ වගේ කාණ්ඩවලට අයත් පිරිසක් කියලා මට කියන්න අමාරුයි. වෙරෝනිකා ආපසු ඇවිත් නාට්‍යය නරඹලා මතු පිටින් තේරුම් ගන්නත් කෙනෙකුට පුළුවන්. ඒවගේම මෙහි අන්තර්ගතය ගැන ගැඹුරින් හිතලා නාට්‍යය තේරුම් ගන්නත් තවත් ප්‍රේක්ෂක කණ්ඩායමකට පුළුවන්.

නාට්‍යයේ නළු නිළි පිරිවර මතක කළොත්?

චන්ද්‍රසෝම බිංදුහේවා, ෆර්නි රෝෂිනි, ජයනාත් බණ්ඩාර, දැහැමි අග්බෝ සහ සාලින්ද අරම්පත්

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.