ජූඩ් ශ්‍රීමාල් හතළිහ කියන්නේ වයසක් ද?

අගෝස්තු 15, 2019

ජූඩ් ශ්‍රීමාල් කියන්නේ නාට්‍ය සංවිධායකවරයෙක් වග අමුතුවෙන් කාටවත් කිව යුතු නැහැ. ඒ නිසා ඔහු බොහෝ දෙනාගෙන් අහන බැණුම්වලටත් සීමාවක් නැති තරම්. මොන මොන දේවලට ඔහු බැණුම් ඇහුවත් ඔහුගෙන් නාට්‍යයක් නරඹන්න ෆ්‍රී ටිකට් එකක් ගන්න එක පහසු දෙයක් නම් නොවෙයි. ඔහු ගැන අප මෙහෙම කිව්වත් ඔහුගේ ක්‍රියා ඔහුව හොඳ නාට්‍ය සංවිධායකවරයකුගේ භූමිකාවක පිහිටෙව්වා. අප එහෙම කියන්නේ ඔහු නාට්‍ය සංවිධායකවරයෙක් විදියට වේදිකා නාට්‍ය කලාවට නැවුම් හැඩයක් ගේන්න වුණු මහන්සිය සිහිපත් වුණු නිසා. මිලකට අලෙවි කළ නොහැකිව තිබුණු වේදිකා නාට්‍ය කලාවට මිලක් ඇති කිරීමේ මහඟු පියවරක් ඇති වෙන්නේ ඔහුගේ උත්සාහයේ යම් යම් පියවර සමඟ. එය කොයිතරම් ජනප්‍රිය මාධ්‍යයක් බවට ඔහු පත් කළා ද කිවහොත් තවත් නාට්‍ය සංවිධායකවරු කිහිපදෙනකු බිහි කරන්න තරම් ඔහුගේ නාට්‍ය සංවිධායක ගමන ශක්තිමත් වුණා. අද එදාට වඩා වේදිකා නාට්‍ය කලාව යම් තැනක තිබෙනවා ද ඒ ගමනට ඔහුගෙන් ලැබුණු දායකත්වය අප කවුරුත් අගය කළ යුතුයි. ඒ අගය කිරීම සඳහායි මේ තරම් ඉඩහසරක් ජූඩ් ශ්‍රීමාල් නම් නාට්‍ය සංවිධායකවරයා වෙනුවෙන් වෙන් කිරීමට අප සිතුවේ.

ඒ ශක්තිමත් ගමන ආරම්භ කරලා මේ වන විට ඔහුට වසර හතළිහක්. ඒ හතළික් වසරක අතීතය සිහිපත් කරමින් ‘මට තාම හතළිහයි’ නමින් ඔහු නාට්‍ය උලෙළක් පවත්වන්නයි මේ සූදානම් වෙන්නේ. 19 වැනිදා පටන් 25 දක්වා පැවැත්වෙන මේ නාට්‍ය උලෙළේ නාට්‍ය හතක් වේදිකා ගත වෙනවා. ඒ සවස් වරුවේ ලයනල් වෙන්ඩ්ට් රඟහලේ. මේ නාට්‍ය උලෙළට ලංකාවේ වේදිකා නාට්‍ය කලාවේ සංදිස්ථාන ලෙස නම් කෙරුණු නාට්‍යය කිහිපයකුත් අයත් වෙනවා. ඒ වගේ ම බොහොම කලකට ඉහත ප්‍රේක්ෂකයන්ට දකින්න ලැබුණු මෑතක දකින්න නොලැබුණු නාට්‍යවල නව නිෂ්පාදන කිහිපයකුත් ඇතුළත්.

වසර හතළිහක මේ සා දුරක් ආව ජූඩ් ශ්‍රීමාල්ගේ නාට්‍ය ගමන ආරම්භ වෙන්නේ මීගමුවේ කුරණ ඉඳලා. එදා පටන් අද දක්වා ආව මේ ගමනේ විවිධ හැලහැප්පීම් වගේ ම සොඳුරු බවකුත් නැතිවුණා ම නොවෙයි. මේ අතීත ගමනේ ඒ සිදු වුණු බොහෝ දේ ඔහු සිහිපත් කළේ මෙහෙමයි.

ඒ කාලය වන විට ජූඩ් කඳාන ද මැසනඩ් විද්‍යාලයේ දොළහ පන්තියේ ඉගෙන ගන්න ශිෂ්‍යයෙක්. එකල මුද්‍රණය වුණු පුවත්පතක ඇස ගැටෙන නාට්‍ය දැන්වීමකට අයදුම් පත් දමන ඔහු කොළොම්පුරවරයට පා තියන්නේ එයට ඉදිරිපත් වීමේ අදහසින්. නෝබට් ජේ මයර් නම් නාට්‍යකරුවා යටතේ නාට්‍යකරණය පිළිබඳ ඉගෙන ගන්න ඔහු යොමු වන්නේ ඒ විදියට. ජූඩ් නළුකමට කොයිතරම් ආදරේ කළා ද කිව්වොත් පාසලෙන් කට්ටි පනිමින් පාසල් ඇඳුම පිටින්මයි නාට්‍ය පුහුණු වීම් සඳහා සහභාගි වුණේ. ඒත් ඒ කට්ටි පැන්න දවස ගෙදරට මාට්ටු වුණේ නොසිතුව විදියට.

දවසක් තාත්තා ජූඩ්ට කතා කරලා ඇහුවේ පුදුම කතාවක්.

“පුතේ, ගජසිංහ ආරච්චිගේ ජූඩ් ශ්‍රීමාල් ඇලෙක්සැන්ඩර් ද සිල්වා කියන්නේ කවුද?”

“මම”

ජූඩ් තරමක් බයෙන් උත්තර දුන්නා.

“ඒක තමයි මමත් බැලුවේ. මේ ගමටම ඒ නම තියෙන එක්කෙනකුට ඉන්නවා කියලා හිතාගෙන හිටියේ උඹ විතරයි. ඒත් ඒ නම තියෙන තවත් එකෙක් මේ ගමේ ඉන්නවා. ඒක තිබුණේ පත්තරේ. මට හොයා ගන්න ඕන අන්න ඌව තමයි.”

තාත්තා කිව්වේ ජූඩ් දිහා හොරෙන් බලන ගමන්. අන්තිමේට ජූඩ්ගේ හොරට නාට්‍ය පුහුණු වීම තාත්තාට අහු වුණා. ගෙදර ගෝරි ගොඩයි. පාසල් යන පොරොන්දුව පිට තාත්තා ජූඩ්ට නාට්‍ය පුහුණු වීම් සඳහා අවසර දුන්නා. මේ නාට්‍ය පුහුණු වීම්වලට ජූඩ් එක්ක අද කලා ක්ෂේත්‍රයේ නමක් රැන්දූ ශ්‍රියන්ත මෙන්ඩිස්, ජයන්ත චන්ද්‍රසිරි, කමල් අද්දරආරච්චි, කීර්ති රණවීර, චිත්‍රා කුමාරි කළුබෝවිල, නෙළුම් කළුබෝවිල ඇතුළු බොහෝ දෙනෙක් සහභාගි වුණා. නෝබට් ජේ. මයර්ගේ ‘අනේ අබ්ලික්’ වේදිකා නාට්‍යයෙන් පස්සේ බොහෝ දෙනකුගේ හිතේ ඇති වුණු කුකුස තමයි යළිත් හැමෝගෙම මුණ ගැසීම සිදු වෙන්නේ කොහොම ද කියන වග. ඒකට ජූඩ් තමයි හොඳම විකල්පය ගෙනාවේ.

“මම ෂෝස් ඕගනයිස් කරන්නම්.”

ඒ අනුව මීගමුවෙන් ආරම්භ කළ ඒ ගමන බද්දේගම, කුරුණෑගල, බිබිලේ, පස්සර, වැලිමඩ, බදුල්ල, බණ්ඩාරවෙල වගේ ප්‍රදේශවලටත් ව්‍යාප්ත වුණා. අද දක්වාම නාට්‍ය සංවිධායකවරයකු විදියට ආව මේ ගමනේ ආරම්භය ඇරැඹෙන්නේ 78–79 කාලයේ ඒ විදියට. ඔවුන්ගේ නාට්‍ය ගමනේ මුලින් නාට්‍යයක් නිෂ්පාදනය කරන්නේ කමල් අද්දර ආරච්චිගේ අම්මා. ලීලා අද්දර ආරච්චි. ‘සරස්වතී’ නමින් නිර්මාණය වුණු මේ නාට්‍ය අධ්‍යක්ෂණය කළේ ජයන්ත චන්ද්‍රසිරි. එයට පස්සේ ජූඩ් නාට්‍යයක් නිෂ්පාදනය කළා. ඒ ඔහුගේ පළමු නිෂ්පාදනය. ‘මනස් කෝලා’. ඒක අධ්‍යක්ෂණය කරන්නේ සොමී රත්නායක.

ඒ පැමිණි ගමනේ අද වන විට ඔහු නිෂ්පාදක‍වරයෙක් විදියටත් දොරට වඩිනවා. වේදිකා නාට්‍ය තිහක් පමණ නිෂ්පාදනය කරමින්. නාට්‍ය නිෂ්පාදනය කරන්න ඔහුව යොමු කරන්නේ නාට්‍ය කරන කාලයේ ඉඳලා නාට්‍ය විඳීමේ රසය.

ජූඩ්ට නාට්‍ය ක්ෂේත්‍රයේ කිසිම සංවිධායකවරයකුට නොලැබුණු අවස්ථා ගණනාවක් ලැබෙනවා. ඒ මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ පටන් වර්තමානයේ තරුණ නාට්‍ය කරුවන් දක්වා නාට්‍ය සංවිධානය කරන්න. මහාචාර්ය සරච්චන්ද්‍රන් සමඟ වසර විසි පහක කාලයක්. එයට අමතරව දයානන්ද ගුණවර්ධන, ආර්. ආර්. සමරකෝන්, සයිමන් නවගත්තේගම, සුගතපාල ද සිල්වා, හෙන්රි ජයසේන වගේ නාට්‍ය කලාවේ ප්‍රවීණ අධ්‍යක්ෂවරුන් සමඟ වසර ගණනක් ළඟින් ඇසුරු කරමින් නාට්‍ය සංවිධානය කරන්න. මේ සංවිධානය කරන ගමනේදි අනේක වාරයක් ජූඩ්ට විවිධ චෝදනා එල්ල වෙනවා. ඒ එකක් තමයි ජූඩ්ට නළු නිළියෝ නැති වුණත් නාට්‍ය වේදිකා ගත වෙන්න ඕන කියන කාරණය.

“නාට්‍ය සංවිධානය පිළිබඳ විවේචන තිබෙන එක හොඳයි. මොකද නාට්‍යවල නළු නිළියන්ට කලින් දින දුන්නට පස්සේ එයට පස්සේ එන විදේශ සංචාර නිසා අර දින වෙනස් කර ගන්න යෑම නිසා විවිධ ප්‍රශ්න ඇති වෙනවා. ඔවුන් හිතන්නේ එක් පැත්තක් ගැන විතරයි. එතකොට ප්‍රශ්න ඇති වෙනවා. ඒත් පරණ නළු නිළියෝ එහෙම නැහැ. ඔවුන් තමන්ගේ ගෙදර මළ ගෙයක් තිබුණත් ඇවිත් රඟපානවා. වගකීම හරියට ඉෂ්ට කරනවා.”

ජූඩ් කියන්නේ තමන්ගේ වෘත්තිය ජීවිතයේ ලැබුව අත්දැකීම් එක්ක. ඒ අත්දැකීම් ගැන ඔහු අප හා පැවසුවේ බොහොම සංයමයෙන්.

වරක් ජය ශ්‍රී චන්ද්‍රජිත් ‘සිංහබාහු’ නාට්‍යයේ රඟපෑවේ තමන්ගේ අයියාගේ දෙණ මිහිදන් කරද්දි. ජැක්සන් ඇන්තනීත් ඒ වගේමයි. ඒත් එක්තරා දවසක ජැක්සන් කළ දෙයක් නිසා ජූඩ් ජන්මාන්තර වෛරක්කාරයකු බවටත් පත් වෙන්නේ එවැනි කාරණයකට. මේ දේ සිද්ධ වුණේ ජයන්ත චන්ද්‍රසිරිගේ ‘මෝරා’ නාට්‍යය වේදිකා ගත වන කාලයේ.

ජූඩ් සංවිධායකවරයකු වශයෙන් නුවර පැවැත්වෙන ‘මෝරා’ නාට්‍යයේ දර්ශනයකට ජැක්සන්ගෙන් අවසර ගත්තේ එහි සංවිධායකගේ ඉදිරියේයි.

“හරි... හරි.... ඒ දවසට පුළුවන්.”

ජැක්සන්ගේ වේදිකා නළු ජීවිතයේ ජනප්‍රිය කාලය මෝරා යන කාලය වූ එකල ‘මෝරා’ වේදිකා ගතවන දිනය එළැඹුණා. ඒත් ඒ දිනට ධර්මසිරි බණ්ඩාරනායකගේ ‘ධවල භීෂණ’ත් යෙදී තිබෙන බව ජැක්සන්ට මතකයට නැඟුණේ ටිකකට කලින්. මෝරා නාට්‍ය යේ චරිතයට විකල්පයක් සිටි නිසා ඔහු ‘ධවල භීෂණ’ නාට්‍යයට මුල් තැන දීමට තීරණය කළා. ජැක්සන්ගේ තීරණයෙන් අමාරුවේ වැටුණේ ජූඩ්. ඒ නුවර සංවිධායකවරුන්ගේ ඉල්ලීම තිබුණේ ජැක්සන්, කමල්, ශ්‍රියන්ත කියන තුන්දෙනාම නාට්‍යයේ සිටිය යුතු බව. ඒත් ජැක්සන්ගේ තීරණයෙන් නුවර සංවිධායකවරුන්ගෙන් චෝදනාවට ලක් වුණේ ජූඩ්. “වචන දෙකේ මිනිහා” කියමින් ඔහුට බැණ වැදුණු ජූඩ් ආයෙත් ඔහුත් එක්ක කතා කළේ කාලයකට පස්සේ. ඒ කියන්නේ ජූඩ් සිය බිරිය පි‍්‍රයානිව කැන්දන් එන දවසේ. එතැන ඉඳන් ජන්මාන්තර වෛරක්කාරකම නැවතුණා. තවමත් පරණ යාළුකම එහෙමමයි.

මේ දේ සිද්ධ වුණෙත් ජයන්ත චන්ද්‍රසිරිගේ ‘අත්’ නාට්‍යයේදි. එදා වෙසඟනගේ චරිතය රඟපාන නිළිය උදය කුමාරි ඇවිල්ලා හිටියේ නැහැ. ජයන්ත දුවගෙන ජූඩ් ළඟටම ආවා.

“ජූඩ් මට බ්‍රෙෂියර් එකක් (අතින් පෙන්නලා) ගෙනැත් දීපන් මේ දැන්ම.”

ජූඩ් ජයන්ත දිහා බැලුවේ අන්දමන්ද වෙලා වගේ. ඔහු සිතුවේ විහිළුවක් ද කියලත්. ඒත් සිද්ධිය දන්න ජූඩ්ගේ සිතේ ජයන්ත මොනවා කරන්න යනව ද කියන සැකයක් ඇති නොවුණා ම නොවෙයි. කොහොම වුණත් එදා ඒ නිළියගේ කොටගවුම ඇඳලා ජූඩ් ගෙනාව ඇඳුමත් ඇඳගෙන ඒ චරිතයට පණ පෙව්වේ ජයන්ත. ඒ විදිටයි එදා ප්‍රශ්නය විසඳුණේ.

ජූඩ්ට මුහුණ දෙන්න වුණු මේ වගේ නාට්‍ය සංවිධාන ප්‍රශ්න බොහොමයි. මේ දේ සිද්ධ වෙන්නේත් ජයන්ත චන්ද්‍රසිරිගේ ‘අත්’ නාට්‍යයේ. හරියටම සිංහල අලුත් අවුරුද්ද ආසන්නයේ. බිබිලේ සංවිධානය වෙලා තිබුණු මේ නාට්‍යය දර්ශනය එහේ සංවිධානය කරලා තිබුණේ ජයන්ත චන්ද්‍රසිරිගේ රැකියාව කරන ස්ථානයට අදාළ කෙනෙක්. ඔවුන් අතර තිබුණු දැනහැඳුනුම්කමටත් එක්ක පළමු දර්ශනය වේදිකා ගත වුණත් ජයන්ත ඔහුගෙන් මුදල් ගත්තේ නැහැ. ඒ දෙවැනි දර්ශනයටත් එක්කම මුදල් ගන්න හිතාගෙන. ඒත් සිද්ධ වුණේ වෙනස් දෙයක්. ටික වෙලාවකින් එහේ සංවිධායක මුදල් එක්කම අතුරුදහන්. අන්තිමේට ඒ දර්ශනවල වගකීම භාරගෙන සිටි ජයන්ත හෝල් එකටත් නළු නිළියන්ටත් මුදල් ගෙව්වේ අපූරු විදියකට. ඒ කොහොමද දන්නව ද ජයන්තට කාර්යාලයෙන් සිංහල අලුත් අවුරුද්දට හම්බ වුණු බෝනස් එකෙන්.

ජයන්ත එක් වරකදි එහෙම ගෙවන කොට තවත් අවස්ථාවක ජූඩ්ට අහිමි වෙන්නේ තමන්ගේ මංගල මුද්ද. ඔහු සංවිධානය කළ එක්තරා නාට්‍යය දර්ශනයකදි සිතූතරම් ප්‍රේක්ෂකයන් නොපැමිණ සිටි නිසයි මේ ඇබැද්දියට ජූඩ් මුහුණ දෙන්නේ. එහිදි අවශ්‍ය මුදල් 

නොලැබුණු විටකදි ඔහුට හෝල් එකට හා නළු නිළියන්ට ගෙවන්න විදියක් තිබුණේ ම නැහැ. ජූඩ්ට ඇස ගැටුණේ තමන්ගේ මංගල මුද්ද. ඔහු ඒක ඒ ළඟම තියෙන උකස් කඩයට උකසට තිබ්බේ වෙන කරන්න දෙයක් නැති තැනදි. පස්සේ බේරා ගන්නවා කියලා හිතුවත් ඒක බේර ගන්න ජූඩ්ට කිසිම දවසක නොහැකි වුණා. ඒ හැම දෙයක්ම ඔහුගේ බිරිය ඉවසා දරාගෙන හිටියේ මහමෙරක් වගේ.

ඒ කාලයේ අද වගේ සන්නිවේදනය තිබුණේ දියුණු මට්ටමක නොවෙයි. ඒ නිසා නාට්‍ය දර්ශනයක් අවලංගු වුණොත් කියන්න සිදු වුණේ විදුලි පණිවුඩයකින්. නැත්නම් ඒ ඒ අයගේ නිවෙස්වලට ගිහින්. එහෙම වුණු නාට්‍යය දර්ශනයක් නිසා ජූඩ් ඒ කාලයේ හොඳ කට්ටක් කෑවා. ඒ වෙලාවේ ඒ නාට්‍යය ගැන කියන්න විදුලි පණිවුඩ ගහ ගහ ඉන්න කාලයක් නැහැ. ඒ නිසා ජූඩ් තමන්ගේ දඩුමොනරය වුණු පාපැදියට නැඟුණා. නැඟලා මීගමුවේ ඉඳලා මුලින් ගියේ කඳානේ පොල්පිතිමූකලානට; ඒ අනෝමා කුමුදුනීගේ ගෙදරට; ඒ ගමන්ම පේරලන්ද හරහා ජැක්සන් ඇන්තනීව මුණ ගැසෙන්න; ඒත් එක්කම ශ්‍රියන්ත මෙන්ඩිස්ව හමු වෙන්න රන්පිටියට; ඒ ගමන්ම කඩවතට ඇවිත් මොරටුවට එන්නේ වසන්ත විට්ටච්චිට කියන්නයි; අවසානයට යන්නේ බස්එකට කියන්න සේපාලගේ නිවෙස තිබෙන අංගොඩටයි. ලයිට්වලට කියලා මේ හැමදෙයක්ම කරලා අවසානයේදි ජූඩ් ගෙදර එද්දි ඊළඟ දවසට එළි වෙලා. ඒ තරම් කට්ටක් කාලයි අද ඔහු මේ තත්ත්වයට ඇවිත් ඉන්නේ.

ජූඩ්ට ඒ වගේ කට්ට කන්න වුණු වාර අනන්තයි. මේ සිදුවීම වුණේ නම් ‘මනස් කෝලා’ නාට්‍යයේදි. ගම්පහදි නාට්‍ය වේදිකා ගත කරන්න තිබුණේ දවස් දෙකයි. එහි ප්‍රධාන චරිතය රඟපෑවේ අනුෂ්කා මැදිවක. හදිසියේම සොමී රත්නායක ඇවිත් කිව්වේ ඈට නාට්‍යයේ රඟපාන්න එන්න වෙන්නේ නැති බවක්. ජූඩ් ගිහින් කතා කළත් එන්න බැරි බව පැවැසුවේ ඒ ඈට ගාමිණී ෆොන්සේකාගේ ‘සාගරයක් මැද’ චිත්‍රපටයේ රූගත කිරීම් තිබුණු නිසා. ඒ කාලයේ සිනමා සක්විතිට කිසිවකුත් කිසිම දෙයක් කියන්නේ නැහැ. අනුෂ්කා ඔහුට මේ ගැන පැවසුවාට පස්සේ කියලා තියෙන්නේ දෙකෙන් එකක් තෝරා ගන්න කියලා. මොනවා කරන්න ද? නාට්‍යය දර්ශන අවලංගු කරන්නත් බැහැ. දැන් නිළියක් සොයා ගත යුතුයි. මේ අතර එක්තරා ගෙදරකට ගියා. ඒ ගෙදර හිටිය ගැහැනු ළමයා චරිතයට හරි ගියා විතරක් නොවෙයි ඈ රඟපාන්නත් කැමැති වුණා. එක පුහුණු වීමකුයි තිබුණේ. අවසන් පුහුණු වීම තිබුණේ නාට්‍ය බස්එකේදි. ඒ නාට්‍යය දර්ශනයට අතරමඟ. කොහොමහරි ඒ ගැහැනු දැරිවිය නාට්‍යයේ හොඳට රඟපෑවා. ඒ දැරිවිය තමයි අද වන විට කලා ක්ෂේත්‍රයේ බබළන චරිතයක් වුණු අනෝජා වීරසිංහ. ඒ වගේ ම ප්‍රවීණ නළු ටෝණි රණසිංහ සමඟත් ජූඩ්ගේ තිබුණේ බොහොම ළඟ හිතවත්කමක්. ඔහු සම්බන්ධයෙන් කතා රැසක් කිව්වත් ඒ සියල්ල ලියන්න මේ පත් ඉරුව ඉඩ ඇත්තේ නැහැ.

මේ විදියේ මුහුණ දුන්නු කතා රැසක් තිබුණත්, කෑව කට්ට ප්‍රමාණය වැඩි වුණත් ජූඩ් තමන්ගේ ගමන අතහැරියේ නැහැ. ඔහු ධෛර්යයෙන්, උත්සාහයෙන් නාට්‍ය සංවිධායකවරයකු විදියට ගමනක් ආවා. චෝදනා ඉවසුවා. ඔහුගේ ජීවිතයේ මේ එළැඹිලා තිබෙන්නේ ඒ ගමනේ සංදිස්ථානයක්.

“මට තාම හතළිහයි”

හතළිහත් කාලයක් ද? ඔහු තවම තරුණයි. මට එහෙම හිතුණේ ඔහු තමන්ගේ ගෙවුණු ජීවිතය ගැන කතා කළ අරුමය සිහිපත් වෙද්දි. ජූඩ් ශ්‍රීමාල් ඔහොම ඉදිරියට යං!

    
CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
11 + 9 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.