රූපවාහිනියේ M.J ලකුණ

අප්‍රේල් 25, 2019

ජපන් විශේෂඥයන්ගේ සහායෙන් තාක්ෂණික වශයෙන් පිරිපුන් ඉංජිනේරු සහ කාර්මික නිලධාරීහු පිරිසක් නව මාධ්‍යයේ හවුල්කරුවෝ වූහ. රූපවාහිනිය තාක්ෂණික මෙවලමක් වුව ද, වඩාත් වැදගත් වන්නේ එමඟින් ජනතාවට සන්නිවේදන කරනු ලබන්නේ කුමක් ද යන්නය. ජාතික රූපවාහිනිය පිහිටුවීමේ දී මූලික අභියෝගය වූ මෙම කරුණ සමතික්‍රමණය කිරීම සඳහා ජාතියට ආලය කළ සිවිල් පරිපාලකයකු එහි සභාපතිධුරයට පත් වී වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ජාතික රූපවාහිනිය ජාතිකත්වයේ කැඩපත ලෙසින් සමාජගත වීමට හේතු විය. මාපටුනගේ ජේම්ස් පෙරේරා හෙවත් ඇම්. ජේ. පෙරේරා නව මාධ්‍යය ජනතාවට ගෙන යාමේ ප්‍රධාන සන්නිවේදකයා විය. 56 සංස්කෘතික විප්ලවයේ ක්‍රියාධරයකු ජාතික රූපවාහිනියේ මුල් පුටුවේ ආසනාරූඪ වීම 77 සංස්කෘතික විප්ලවයට නායකත්වය දුන් දේශපාලන නායකත්වයේ මතවාදය සමඟ ප්‍රතිබද්ධ වුවද, එය එසේ වීමෙන් ජාතිය වෙනුවෙන් පුරෝගාමී මෙහෙවරක නියැළුණු රූපවාහිනී නාලිකාවන් බවට ජාතික රූපවාහිනිය පත් වෙමින් තිබිණ. 77 සංස්කෘතික විප්ලවයෙන් දශක දෙක තුනක් ගිය පසු රූපවාහිනී මාධ්‍යය එම සංස්කෘතියට අවනත මාධ්‍යයක් බවට ස්ථානගතවීමෙන් ඇම්. ජේ. පෙරේරා ඇතුළු ජාතික රූපවාහිනියේ පුරෝගාමීන්ගේ කාර්යභාරය පරාජය වන බව ද, 77 රජයේ නායකත්වය සවිඥානකව දැන සිටියේය.

ඇම්. ජේ. පෙරේරා පරිපාලන ක්ෂේත්‍රයේ විවිධ තානාන්තර දැරූ කෘතහස්ත පරිපාලකයෙකි. විශ්වවිද්‍යාලයේදී මොහුගේ සමකාලීනයන් වූයේ එදිරිවීර සරච්චන්ද්‍ර සහ ඩී. ජී. දයාරත්න වැනි අයයි. ඒ සමයේදී වුව ද, ජාතික සංස්කෘතික පුනරුදය සඳහා ඇම්. ජේ. කළ මෙහෙවර පිළිබඳව කෙටි සටහනක් මහාචාර්ය සරච්චන්ද්‍රයන් පසු කාලයේදී තමන්ගේ ජීවිත කතාව විවරණය කොට ලියූ පිං ඇති සරසවි වරමක් දෙන්නේ පොතෙහි සඳහන් කර ඇත. 1952 වන තෙක්ම සුදු පරිපාලකයන් අත තිබූ ලංකා ගුවන් විදුලි සේවයේ ප්‍රථම ලාංකික අධ්‍යක්ෂ ජනරාල්වරයා වශයෙන් පත්වීම ලැබ ඇම්. ජේ. පෙරේරා විසින් කළ ඓතිහාසික මෙහෙවර ජාතික රූපවාහිනියේ ප්‍රථම සභාපති වශයෙන් කළ මෙහෙවර හා සමාන වේ. සිංහල භාෂාව, සිංහල සංස්කෘතිය වෙනුවෙන් හදවතින්ම ආලය කළ ඇම්. ජේ. පෙරේරා එය භාවිතයට නැඟීම සඳහා නව මාධ්‍යය වාහකයක් කරගනු ලබන්නේ එහි ප්‍රවේශයත් සමඟ ජනතාවගෙන් ක්‍රමයෙන් ඈත්ව ගිය ගුවන් විදුලිය, නවකතාව වැනි මාධ්‍යයන් තුළින් ඒ වන විට ද ක්‍රියාත්මක වෙමින් තිබූ මනුෂ්‍යත්වයෙන් ආඪ්‍ය මිනිසකු බිහි කිරීමේ ක්‍රියාවලිය තවදුරටත් තීව්ර කරමිනි.

ඇම්. ජේ. පෙරේරා සභාපතිතුමාට යථෝක්ත ජාතික කර්තව්‍යය සාක්ෂාත් කර ගැනීම පිණිසම පේවූ නිර්මාණකරුවන් පිරිසකගේ දායකත්වය ලැබීම එහි ප්‍රතිඵලය කඩිනම් කිරීමට හේතු විය. එහෙත් 77 රජය මඟින් හඳුන්වා දුන් නව ලිබරල් ආර්ථික රටාව ඔස්සේ ප්‍රබල වෙමින් සමාජගත වූ වෙළඳ පන්තියේ අපේක්ෂාවන් සමඟ ජාතික රූපවාහිනියේ අපේක්ෂාවන් ගැටෙන්නට විය.

80 දශකයේ ජීවත් වූ මිනිසාගේ රස වින්දනය, හර පද්ධතීන් ඔසවා තැබීමට ජාතික නාලිකාව මුල් අවස්ථාවේදීම පෙනී සිටීම සඳහා යාන්ත්‍රණයක් සැකසීමේදී තත්කාලීනව වේදිකා නාට්‍යය, ගුවන් විදුලිය, සිනමාව වැනි මාධ්‍යයන් තුළින් එම මෙහෙවරෙහි යෙදී සිටි කලාකරුවන් පිරිසකගේ දායකත්වය ලබා ගැනීමට ඇම්. ජේ. පෙරේරා සූර විය. ආචාර්ය සොලමන් ෆොන්සේකා, ධම්ම ජාගොඩ වැනි ශ්‍රේෂ්ඨ කලාකරුවන් රැකියාවක් පිණිස ජාතික රූපවාහිනියට ගොඩ වදින්නේ ඔහුගේ පෞද්ගලික ඉල්ලීමම මතය. වේදිකාවේ හරඹ කරමින් සිටි හෙන්රි ජයසේන, පරාක්‍රම නිරිඇල්ල, ලූෂන් බුලත්සිංහල, බන්දුල විතානගේ, යූ. ආරිය විමල්, තිලක් ගුණවර්ධන වැනි කලාකරුවෝ ද, ගුවන් විදුලියෙන් ජනතාවගේ හදවතට ළංව සිටි එච්. එම්. ගුණසේකර, මඩවල එස්. රත්නායක, සෝමදාස ඇල්විටිගල, සෝමසිරි ඉලේසිංහ, ඉන්ද්‍රානි හේරත් ගුණරත්න වැනි ප්‍රවීණයෝ ද, සිනමාවෙන් සුරුවිරුකම් පාමින් සිටි ටයිටස් තොටවත්ත, ප්‍රඥාසෝම හෙට්ටිආරච්චි, තුවාන් එන්. කමූර්, පියසිරි ගුණරත්න වැනි සිනමාවේදීහු ද, පෙරහැරේ පැමිණෙමින් ඇම්. ජේ. ගේ මෙම ජාතික කර්තව්‍යයට අත ගැසීම සඳහා ජාතික රූපවාහිනියට ගොඩ වූහ.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
4 + 13 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.