සරසවිය සම්මාන දිනූ දැකල පුරුදු කෙනෙක්

මාර්තු 21, 2019

සිනමාව කලාත්මක හා සම්භාවනීය ආකාරයෙන් විවාදාත්මක ආකාරයෙන් ද භාවිත කරලීමට රිසි තරුණ හා නවක සිනමාකරුවන් පිරිසකගේ ප්‍රබලාකාර සපැමිණීමක් මෙසමයෙහි දක්නට ලැබේ. වරෙක ඔවුහු ස්වකීය සිනමාපට සිනමා ශාලා කරා සම්මත ප්‍රදර්ශන රටාවටම එක් කරති. ඉන් ඇතැමෙකුට ලැබෙන්නේ ඉතා අඩු ප්‍රදර්ශන අවකාශයකි. සමහරුන් විකල්ප ප්‍රදර්ශන කාර්යයන් කෙරෙහි උත්සුක වන අන්දම ද පෙනේ. එහෙත් ලාංකේය සිනමා කලාපය විකල්ප සිනමා ප්‍රදර්ශන කාර්යයන් කෙරෙහි දක්වන පැකිළීම ඔවුනට තීරණාත්මක අභියෝගයකි. මෙනිසාම ඇතැම් විකල්ප ප්‍රදර්ශන කාර්යයක් යනු සම්මත සිනමා ශාලාවක් තුළ නිර්මාණය වන සුවිශේෂ අවස්ථාවක්ම වේ. මෙයින් පෙනී යන්නේ මේ සිනමාකරුවන් හා නිෂ්පාදක පාර්ශ්ව තවදුරටත් සම්මත සිනමා ශාලා පද්ධතිය කෙරෙහිම විශ්වාසය තබන බවය.

 

මලිත් හෑගොඩ උක්ත සිනමාකරුවන් අතරට එක් වන්නේ වසර කිහිපයකට පෙරාතුවයි. ඔවුන් හමුවේ පවතින ප්‍රමුඛ ගැටලුවක් වන පහසු ප්‍රදර්ශන අවකාශයක් නොමැති වීම යන්න සමඟ අරගල කළ මලිත් සිය ප්‍රථම සිනමාපටය වන 'දැකල පුරුදු කෙනෙක්' මහජන ප්‍රදර්ශනයට මුදා හරින්නේ ගමන් සගයනටද ඒ පිළිවෙත හා එක්වීමේ හැකියාව පිළිබඳ ඉඟි පළ කරමිනි.

තමන් අයත් පාර්ශ්වයේ බොහෝ දෙනෙකු සොයා යන විවාදාත්මක මාතෘකා සමඟ වැඩි ඇඟෑලුම් කමක් නොපැවැත්වීමට මලිත් කල්පනා කොට ඇති සැටියකි. එයම ඔහුගේ සුවිශේෂත්වය පිළිබඳ කරුණු විමසීමට පෙලඹවීමක් ඇති කරයි. තම තිර නාටක රචකයා වන බූපති නලින් වික්‍රමගේ සමඟ මලිත් නිර්මාණය කරන්නේ නාගරික මධ්‍යම පන්තියට හෝ නාගරික ඉහළ මධ්‍යම පන්තියට සමීප කුටුම්බ විෂයෙහි පවත්නා හා පැවතිය හැකි සුලබ තත්ත්වයන් කිහිපයකි.

සිනමාවට මෙවැනි දෑ විෂය වන්නේ අද ඊයේ නොවේ. ලාංකේය කලාපයේ විශිෂ්ට හා තිගැස්සෙන සුලු සිනමාපට සැලකිය යුතු සංඛ්‍යාවකට මෙසේ කුටුම්බ විවරණය විෂය වූ බව රහසක් නොවේ. කුටුම්බ විවරණය විෂය වූ සිනමාපට වෙතින් ලිංගිකත්වය, සැකය, ප්‍රචණ්ඩත්වය, නුරුස්නා බව සේම විකල්ප වැලඳ ගැනීම ආදි පිවිසුම් නිරූපණය වූ අන්දම පැහැදිලිය. ඇත්ත වශයෙන්ම මේ කුටුම්බ විවරණයකදී කිසිසේත්ම නොසලකා හැරිය නොහැකි දෑයි. කිසිදු හැල හොල්මනකින් තොරව ගලා යන සම්මත හා කල්පිත කුටුම්බයක් වාර්තා කිරීමට වඩා විචල්‍යතා සහිත කුටුම්බයක් විවරණයට සිනමාකරුවකු දක්වන නැඹුරුව අපැහැදිලි නොවේ. කුටුම්බයට අදාළව වඩා ගැඹුරට යා හැක්කේ මෙබඳු කුටුම්බ විවරණය ඔස්සේය යන්න සත්‍යයක් බව ඔවුන් පිළිගත්තේ ඊට අවශ්‍ය සාධක යථාර්ථය අබියස නිරනුමානවම දක්නට ලැබෙන හෙයිනි.

කෙසේ නමුදු 'දැකල පුරුදු කෙනෙක්' හි සුවිශේෂත්වය විශද කෙරෙන්නේ යට කී පසුබිම එලෙසින්ම තිබියදීය. මේ සුවිශේෂත්වය යනු 'දැකල පුරුදු කෙනෙක්' අතිශයෝක්තියෙන් වර්ණනා කිරීමක් නම් නොවේ. අතිශයෝක්තියෙන් කෙරෙන වර්ණතා නිසා සිනමාකරුවකු අර්බුදයට යාමේ ඉඩකඩක් ද විවර විය හැකිය. සිනමා අධ්‍යක්ෂණයට අවංකවම එක් වන්නකු සේ පෙනී යන මලිත්ව මෙවැනි අර්බුදයක ගිල්ල වීම කෙසේවත් නොකළ යුත්තකි. විචාර කාර්යයේ වගකීමක් විය යුත්තේ ද ගැටලුකාරී මොහොතක වුව මලිත්ව නොතකා නොහැරීමය.

පළමු කොටම 'දැකල පුරුදු කෙනෙක්' නව්‍ය මුහුණුවරකින් යුතුව ඉදිරිපත් කෙරේ. දෙවනුව එන කාරණය පවතින්නේ එම පළමුවැන්න තුළමය. දෙවැන්නට තුඩු දෙන පසුබිම නිර්මාණය කර දෙන්නේ පළමුවැන්නයි. ඒ අනුව මලිත් සිය චරිත කිහිපයේ සුලබ චර්යා සූක්ෂමව හසු කර ගනී. මෙතැනදී ඔහුට මහත් වූ සහයක් ලබා දෙන්නේ ප්‍රධාන චරිත ද්විත්වය නිරූපණයට එන සමාධි ලක්සිරි හා බිමල් ජයකොඩිය. සමාධි හා බිමල් රංගන කාර්යයෙහි නිරත වන්නේ දෙයාකාරයකිනි. එය සිනමාපටයට උචිත බව පැහැදිලිය.

සමාධිගේ දෙඇස්, මුහුණ හා ඇතැම් චලනයවීම්වලින් සිය කැමරා අධ්‍යක්ෂ එම්. ඩී. මහින්දපාල හරහා හසු කර ගන්නේ සුලබ යමක ඇති දුලබ ලක්ෂණ කෙරෙහි ප්‍රේක්ෂක අවධානය තීව්‍ර කරමිනි. සමාධි නිරූපණය කරන දිනිති නමැති රුවැති එක් දු මවගේ චරිතය අතිශයින්ම සුලබය. පූර්ව හා පශ්චාත් අනීතික පුුරුෂ සබඳතා නිසා ඈ සචිත්‍රගේ නිරන්තර පීඩා ආදියට ලක්වීම ද සුලබය. කුටුම්බය පුපුරා යාමද සුලබය. දිනිතිගේ චරිතය ගැඹුරු ඉසව් කරා ගෙන යාමට වඩා මලිත් උනන්දු වන්නේ ඇගේ දෘශ්‍යමාන මුහුණුවර තර්කානුකූල කරන්නටයි. සිනමා රංගනයට ආගන්තුක වීම සමාධිගේ භාග්‍යයක් බඳුය. ඈ නිදහස හා පරිකල්පනය කෙරෙහි දිගු අවධානයක් යොමු නොකරයි. ඒ වෙනුවට ඈ දිනිති තුළම ජීවත් වන්නීය. සචිත‍්‍රගේ චරිතය නිරූපණය කරන බිමල් ජයකොඩිට සිදු වන්නේ එකම තලයක ඒකාකාර රංගන කාර්යයක නිරත වන්නටයි. ඊට මලිත්ගේ බලකිරීමක් සිදු වී නොමැති වග පෙනේ. සිනමාපටය ඉල්ලා සිටින්නේ සචිත්‍ර, දිනිතිට වඩා වෙනස් ආකාරයෙන් නිරූපණය විය යුතු බවය.

සිනමාපටයේ ගලා යාම සහතික කර ගනු පිණිස සමාධි හා බිමල් ලබා දෙන සහය පවසන තවත් කාරණාවකි. එනම් ගැඹුරු චරිත නොවූව ද දිනිති හා සචිත්‍ර යනු නොගැඹුරු හෝ සැහැල්ලු චරිත නොවන බවය. සිනමාපටය ඉල්ලා සිටින්නේද යම් විවෘත ස්වරූපයකින් යුතු හැඟීම්බර නොවන දිනිති නැමැත්තියකි. සචිත්‍ර නමැත්තෙකි.

'දැකල පුරුදු කෙනෙක්' රූප රචනය සංකීර්ණ ලක්ෂණ පෙන්නුම් නොකිරීම එහි හිත සුව පිණිසම වේ. මලිත්ගේ පාර්ශ්වයේ සමහර සිනමාකරුවනට සංකීර්ණ රූප රචනයන් අතිශයින්ම වැදගත්ය. වරෙක එබඳු සිනමාපට වින්දනය දුෂ්කර වේ. දුරවබෝධ වේ. වඩාත් අන්තරාදායක එළැඹුම වන්නේ ඉන් ඇතැම් සිනමාපටයක් අදාළ සිනමාකරුවාගේ පෞද්ගලික ලෝකය තුළම රැඳී තිබීමය. ඇතැම් විට මෙබඳු සිනමාපට සෞන්දර්යාත්මක බව කෙරෙහි දක්වන්නේ ද ප්‍රමාණවත් නොවන උනන්දුවකි.

මලිත්ගේ සරල රූප රචනය සිනමාපට ප්‍රේක්ෂකයාට ප්‍රියමනාප අත්දැකීමක් බවට පත් කරන්නේ යැයි සිතේ. එසේම ප්‍රේක්ෂකයා හොඳින්ම දන්නා කුටුම්බගත තත්ත්වයන් සමහරක් විටෙක ව්‍යාජ ලක්ෂණ ද සහිතව සංකීර්ණ ආකෘතියක දවටා හුවා දැක්වීමක් අවශ්‍ය නොවේ. දිනිතිව සැකයට බඳුන් වන පූර්ව හා පශ්චාත් පුරුෂ සබඳතා පිළිබඳ ගැටලු ඒ ඒ වැඩිහිටියන්ගේ ද සහභාගිත්වයෙන් විසඳාලීමට දරන තැත පවා අවධාරණ කරන්නේ සංකීර්ණ රූප රචනයක් අවශ්‍යම නොවන බවයි.

කැමරා අධ්‍යක්ෂ මහින්දපාල සමීප රූප හා මධ්‍යම සමීප රූප වැඩිපුර උපයෝගී කර ගන්නේ සිනමාකරු මලිත්ගේ ඇරියුම පරිදි විය යුතුය. ඉන් සිනමාපටයේ මුහුණුවරට ලැබෙන්නේ බලාපොරොත්තු සහගත ආලෝකයකි. තත්‍ය ලෝකයේ දිවෙන පුවත අර්බුදයක් නොකරනු පිණිස රූප රාමු නිර්මාණයට මහින්දපාල දරන තැත අගනේය. කිසිවක් අවධාරණය නොකරන්නටයි මලිත් හැම විටම උත්සුක වන්නේ. දිනිති හා සචිත්‍ර මුල්වරට මුණ ගැසෙන සංවේදී වු අවස්ථාව වුව අවධාරණය නොකිරීමට මලිත් පියවර ගනියි.

රූප රචනයේදී සුදු පැහැය වැඩිපුර භාවිතයට මලිත්, බූපති හා මහින්දපාල පියවර ගැනීමද ප්‍රේක්ෂක අවධානයට ලක් වන්නකි. බොහෝ විට සුදු පැහැයෙන් උද්ධරණය කෙරෙන්නේ සුවය, යහපත හා සාමයයි.

මෙහි එන සුදු පැහැය ඊට ඉඳුරාම ප්‍රතිපක්ෂ ශෝකය, පීඩනය හා කාන්සාවත් - හුදෙකලාවත් උද්ධරණය කෙරේ. එහි උච්චස්ථානය සලකුණු කරන්නේ සිනමාපටය නිමාවීමට සමගාමීවය.

මලිත් හා මහින්දපාල, දිනිතිගේ විලාසය හසු කර ගැනීමට දක්වන කැමැත්ත වහාම බැඳෙන්නේ සිනමාපටය සතු අපූර්වත්වය සමඟිනි. දිනිති වැන්නියන් දුලබ නොවේ. අවශ්‍ය වන්නේ ඔවුනගේ ඇතුළාන්තය ස්පර්ශ කිරීමයි. එවැනි භාරදූර තැනකට යාමේ අවකාශයක් නොමැති වුවද එහි මතුපිට ලක්ෂණ නිශ්චය කර ගැනුමට මලිත් හා මහින්දපාල සමත් වෙති. පරම්පරා දෙකකට අයත් මලිත් හා මහින්දපාල මෙතැනදී එකම පිළිවෙතක පිහිටීම ද සිනමාපටයට අදාළ අපූර්වත්වයකි. සචිත්‍ර අබියස හැසිරෙන අන්දම, දුරකතන ඇමතුමකට පිළිතුරු දෙන ප්‍රේමණීය විලාසය, රිය අනතුරක් සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වන ආකාරය, ප්‍රිය සාදයකදී මුහුණපාන අපහසුතාව බඳු අවස්ථා දිනිතිගේ චරිතය සවිමත් කරලන සාධක බවට පත් කරලනු පිණිස මලිත් හා මහින්දපාල ක්‍රියා කරන්නේ සිනමාකරුවකු හා කැමරා අධ්‍යක්ෂවරයකු අතර පවත්නා සහයෝගිතාවේ ප්‍රතිඵල මේ යැයි පවසමිනි.

යම් සිනමාපටයක් නරඹන අතරතුරම සිනමාකරුගේ අභිප්‍රාය වරෙක ප්‍රමාණවත් ආකාරයෙන්ද, තවත් වරෙක උපකල්පන ඔස්සේ ද එසේම නොයෙක් ඉඟි බිඟි ඔස්සේ ද වටහා ගත හැකිය. එසේ නොවන අවස්ථා ද පවතින්නේ ප්‍රේක්ෂකයා කිසියම් උත්ප්‍රාසාත්මක තලයකට කැඳවීමෙන් අනතුරුවය. 'දැකල පුරුදු කෙනෙක්' අයත් වන්නේ එබඳු පාර්ශ්වයකටය යන්න සනාථ වන්නේ එහි අවසන් රූප රාමු පෙළ තිරය මත පතිත වද්දියි. එහෙත් ප්‍රේක්ෂකයා දුටුවේ දිනිති - සචිත්‍ර කුටුම්බය තුළ පවතින හඬ නොනැගෙන ගැටුම් හා ඒවායේ ප්‍රතිඵලය. සචිත්‍ර දිනිතිව පීඩාවට පත් කරන්නේ ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය විෂයෙහි වැඩි අවධානයට ලක් නොකරන ක්‍රමෝපායක් භාවිත කරමිනි. නිසැකවම දිනිති හා සචිත්‍ර යන දෙදෙනා පරමාදර්ශී යුවළක් නොවෙති. මලිත් වුව දිනිතිට පක්ෂපාතී ස්ථාවරයක් නොගනී. දිනිති අරබයා වන සචිත්‍රගේ නොදැමුණු ආකල්ප පසුපස සාධාරණ හේතු පවතින වග මලිත් ප්‍රේක්ෂකයාට පවසයි. සිනමාපටය ඇරඹෙන්නේම අනීතික පුරුෂ ඇසුරක් පිළිබඳ සැකයෙන් යුතු සචිත්‍ර, දිනිතිගේ ජංගම දුරකතනය සැඟවීමෙනි. ඔහු නිවෙසේ ස්ථාවර දුරකතනයට අගුළු දමන්නේ පෙරදා රාත්‍රියේ දිනිති හා කළ ප්‍රවේගවත් රමණයේ උණුසුම මැකී යාමටත් ප්‍රථමය.

මලිත් සිනමාපටය නිමා කරන්නේ දිනිති, දියණියත් සමඟ සචිත්‍ර හැර දා දෙමාපියන්ගේ නිවසට පැමිණීමෙන් අනතුරුවයි. දිනිති ඡායාරූප ඇල්බමය දිග හැරගෙන සචිත්‍ර පිළිබඳ සිය අතීත මතකය අවදි කරන්නීය. එය ඡේදනය වන්නේ ඔවුනගේ විවාහ මංගල්‍ය අවස්ථාවටයි. එතැනදී අවධාරණය කෙරෙන්නේ විවාහය, එහි අරමුණ හා චර්යා පිළිබඳ සම්ප්‍රදායික අර්ථ දැක්වීම්ය. මේ වන විට දිනිති - සචිත්‍ර කුටුම්බයේ පුපුරා යාම දැක ඇති ප්‍රේක්ෂකයා තුළ විවාහය පිළිබඳ යට කී අර්ථ දැක්වීම් සම්බන්ධයෙන් ඇති වන්නේ සදය උපහාසයකි. එය උත්ප්‍රාසාත්මකය.

ඊට යටින් මලිත් හා බුපති ගෙන එන අදහස සැඟවිය යුතු නොවේ. දිනිතිගේ අදෘශ්‍යමාන පුරුෂ ඇසුරක් සම්බන්ධයෙන් සසල වී සිටින සචිත්‍රට මිතුරකු පවසන්නේ එබඳු ස්ත්‍රී - පුරුෂ සම්බන්ධතා සාමාන්‍යකරණය වී ඇති බවය. සචිත්‍රට උපදෙස් දෙන මිතුරිය ද ඊට එරෙහි නොවන අදහසක් ගෙනහැර පායි. මධ්‍යම පාන්තික කුටුම්බය පිළිබඳ එන සුලබ කියැවීමකට මෙතැනදී මලිත් උත්සුක වන්නේ විවෘත දැක්මකිනි. ඒකාකාර හා නීරස ජීවන රටාවට ආස්වාදනීය විකල්ප සේ බාහිර ස්ත්‍රී - පුරුෂ ඇසුරු කිරීම් යථාර්ථයක් සේ පිළිගන්නා තැනකටයි මලිත් ගමන් කරන්නේ. එහෙත් තමා ඊට එකඟ වන්නේ ද, එකඟ නොවන්නේ ද යන්න පිළිබඳ කිසිවක් ප්‍රකාශ නොකරන්නට ඔහු ප්‍රවේශම් වෙයි. එය ඔහුගේ උපක්‍රමයක් ද, නොඑසේ නම් ජීවිතය හා ස්ත්‍රී - පුරුෂ සම්බන්ධතා සම්බන්ධයෙන් වූ අවිනිශ්චිත බව ප්‍රකාශ කිරීමක් ද යන ප්‍රශ්න ද්විත්වය ප්‍රේක්ෂකයා තුළ පැන නඟින්නේ සිනමාපටය ආවර්ජනයට සුදානම් වන විටදීමය.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
4 + 11 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.