වර්ෂ 2017 ක්වූ මැයි 25 වැනිදා බ්‍රහස්පතින්දා




රන්ජන් ජයතිලකගේ ‘තිනුලි’ ජනපති සුරතට
රයිගම් ටෙලීස් දිනන්නේ කවුද?
සිබිල් වෙත්තසිංහ - අයිරාංගණී සේරසිංහ සමඟ රංගනයට එක්වෙති
අභින එළිමහන් රංග පීඨය මගේ දිගුකාලීන සිහිනයක්
වෙසක් පෝයට දමයන්තිගෙන් ගීත පූජාවක්
බාහුබලී ප්‍රදර්ශනය ශාලා 18 ක් අත්හිටුවයි
නිළි රැජනට හැත්තෑවයි අපේ උණුසුම් සුබපැතුම්
‘සෝමවීර ධම්ම සහ පළිඟු මැණිකේ’ මැයි 03 වැනිදා
වසන්ත ඔබේසේකරයන් ගේ අභාවය වෙනුවෙන් විශේෂයෙනි
ඇසෑමයේ භූපන් හසරිකා සම්මානය මෙවර ප්‍රසන්න විතානගේට
එදා කැකුළි අද ගායිකාවක්
රාජිතගේ නැතුව බැරි මිනිහෙක් රාජ්‍ය නාට්‍ය උලෙළේ සම්මාන දිනයි
සුබ උපන්දිනයක් වේවා ඇදුරුතුමනි
ඉම්පීරියල් අද “පහ සමත්” හදයි සිවගුරුනාදන් ගේ තුන්වැන්න
බොලිවුඩ් සුපිරි නිළි ජැක්ලයින් ෆර්නැන්ඩ්ස් සිංහල සිනමාවට අනුරාගිනි 7 දා තිරයට
කවි සිහියෙන් වැරදි ගෙදරට
ස්ලීම් නිල්සන් උලෙළ රන්ජන් - මාලනී ජනප්‍රිය කිරුළු පළදිති
සිංහල ගීතයට පෙම් බැඳී ඉන්දියානුවා - ත්‍රිදේව්
අනෝරා ප්‍රසංගය දා ප්‍රවීණයන්ට උපහාර
ප්‍රංශ සිනමා උළෙල 15 වැනිදා
අනෝරා මුහුරත් උලෙළ දා
සම්පත්-රත්නා එකතු වෙලා දෙසීය තුන්සීය කරලා

සම්පත්-රත්නා එකතු වෙලා දෙසීය තුන්සීය කරලා

සම්පත් තෙන්නකෝන් හා රත්නා ලාලනීගේ ප්‍රථම කෙටි නාට්‍ය නිර්මාණය ‘දෙසීය තුන්සීය’ මංගල දර්ශනය මේ මස 17 හා 18 දිනවල රාත්‍රි 7.00ට ලුම්බිණි රඟහලේදී වේදිකා ගතවෙයි. වේදිකා නාට්‍ය රැසක් සඳහා රංගන දායකත්වය දක්වා ඇති දක්ෂ රංගන ශිල්පීන් යුවළක් වන ඔවුන් මෙතෙක් නිෂ්පාදනය කර ඇත්තේ එක් වේදිකා නාට්‍යයක් පමණි. මේ ඔවුන්ගේ පළමු අධ්‍යක්ෂණය වන ‘දෙසීය තුන්සීය’ පිළිබඳ රත්නා ලාලනී සමඟ කළ සාකච්ඡාවකි.

‘දෙසීය තුන්සීය’කෙටි නාට්‍ය නිර්මාණ වේදිකා ගත කිරීමේ පසුබිම නිර්මාණය වන්නේ කෙසේ ද?

මමත්, සම්පතුත් ක්ෂේත්‍රයට ඇවිත් මේ වනවිට අවුරුදු තිහකටත් අධික කාලයක්. සම්පත්ගේ සිතේ කාලයක පටන් තිබුණු ආසාවක් තමයි වේදිකා නාට්‍යයක් අධ්‍යක්ෂණය කරන්න. ස්වතන්ත්‍ර නිර්මාණයක් කරන්න කොයිතරම් ඔහුගේ සිතේ ආසාවක් තිබුණත්, ස්වතන්ත්‍ර නිර්මාණ ලියන අය ඔවුන් විසින් ම නිෂ්පාදනය කරනවා මිසක් අනෙක් අයට නිෂ්පාදනය කරන්න දෙනවා අඩුයි. ඒ අතරයි ආචාර්ය ජයලත් මනෝරත්න ඇලෙක්සැන්ඩර් වැම්පිලෝගේ කෙටිකතා දෙකක් පරිවර්තනය කරලා අපට කියවන්න දෙන්නේ. ඔහු ඒ නාට්‍ය කරන්න සිටියත් තිබුණු කාර්යබහුල බවත් එක්ක එය වෙනත් කෙනෙකුට දෙන්න තීරණය කරලා තිබෙන බව අපට පැවසුවා. එවිටයි සම්පත් ඔහුගෙන් මේ කෙටි නාට්‍ය දෙක අධ්‍යක්ෂණය කිරීමට ඉල්ලන්නේ. අප ඒ කාර්යය කරනවා නම් වඩාත් හොඳ බව පවසමින් ජයලත් මනෝරත්නයන් මේ පිටපත් දෙක අපට දුන්නා. ඒ අනුවයි මෙලෙස ‘දෙසීය තුන්සීය’ වේදිකා ගතවන්නේ.

ඔබ දෙපළට වේදිකා නාට්‍ය නිර්මාණයක් සඳහා ඇලෙක්සැන්ඩර් වැම්පිලෝගේ ම නිර්මාණයක් තෝරා ගැනීමට විශේෂ හේතුවක් තිබෙනවා ද?

අපට ඇලෙක්සැන්ඩර් වැම්පිලෝ මුලින් ම මුණ ගැසෙන්නේ ජයලත් මනෝරත්නයන්ගේ ‘පුත්‍ර සමාගම’ වේදිකා නාට්‍යය හරහායි. එය පරිවර්තනය කරන්නේ ප්‍රසන්න විතානගේ විසින්. මේ නාට්‍යයේ අප දෙදෙනා ම රඟපෑවා. අප දෙදෙනා මුණ ගැසුණේත් ඒ නාට්‍යයෙන්. ඒ නිර්මාණය ඔස්සේ ගොඩනැඟුණු සහෝදරත්වය හා වැම්පිලෝගේ නිර්මාණයේ තිබුණු සුන්දරත්වය, මේ පිටපත කියෙව්වට පස්සේ අපට පෙනෙන්න ගත්තා. ඒ නිසා ඇති වුණු කැමැත්ත මතයි මේ කෙටි නාට්‍ය දෙක වේදිකාවට රැගෙන එන්නේ. ඒත් මේ කාලයේ වේදිකා නිර්මාණයක් කරනවාට මගේ නම් වැඩි කැමැත්තක් තිබුණේ නැහැ. මොකද වර්තමානයේදි වේදිකා නාට්‍යයක් නිෂ්පාදනය කරද්දි දරන්න වන පිරිවැය බොහොම වැඩියි. හැබැයි සම්පත් ඒ අවදානම ගත්තා.

‘දෙසීය තුන්සීය’ට ඔබ දෙදෙනාගේ ම දායකත්වය ලැබෙන්නේ කුමන ආකාරයෙන් ද?

රත්නා - සම්පත් නාට්‍ය නිර්මාණ යන නමිනුයි ‘දෙසීය තුන්සීය’ වේදිකා ගතවන්නේ. මෙහි නිෂ්පාදනය කටයුතු කරන්නේ හා අධ්‍යක්ෂණය යන අංශ ද්විත්වය ම දරන්නේ අප දෙදෙනා විසින්. අපට මීට සහභාගි වන ශිල්පීන්ගෙන් බොහොම හොඳ දායකත්වයකුත් ලැබෙනවා.

‘දෙසීය තුන්සීය’ කෙටි නාට්‍ය දෙකේ ම රඟපාන්නේ එක ම නළු - නිළියන් පිරිසක් නේද?

‘දෙසීය තුන්සීය’ කෙටි නාට්‍ය දෙකේ පරිසරය නිර්මාණය වී තිබෙන්නේ හෝටලයකයි. එහි දෙසීය හා තුන්සීය කියන කාමරවල සිදු වන සිදුවීම් දෙකක් ආශ්‍රයෙනුයි කතාව ගලාගෙන යන්නේ. විවේක කාලයට කලින් එක් නාට්‍යයකුත්, විවේක කාලයට පසුව තවත් නාට්‍යයකුත් ලෙසයි ‘දෙසීය තුන්සීය’ වේදිකා ගතවන්නේ. මෙහි තිබෙන විශේෂත්වය නම් දෙසීය කෙටි නාට්‍යයේ රඟපෑ නළු - නිළියන් ම, වෙනත් චරිත තුන්සීය නාට්‍යයේත් රඟපෑමයි. එතැනදි නළු - නිළියන්ට යම් අභියෝගයක් එල්ල වෙනවා. ඒ ප්‍රේක්ෂකයාගේ රසයට බාධාවක් නොවන ආකාරයෙන් වෙනස් ම විදියට තමාගේ චරිතවලට සමාරෝපණය වීමයි.

වර්තමාන සමාජයේ පවතින යම් කරුණු කාරණා රැසකුයි මේ නිර්මාණ හරහා කතාබහට ලක්වන්නේ?

වර්තමානයේ සිටින මිනිසුන්ට ඔවුනොවුන්ගේ සිත්වල ඇති වී තිබෙන්නේ අවිශ්වාසයක්. මිනිසුන් එකිනෙකාව විශ්වාස නොකිරීම කියන කාරණයයි මෙහිදි කතාබහට ලක්වන්නේ. යම් මුදලක් අවශ්‍ය පුද්ගලයකුට ඔහු සිතුවාටත් වඩා මුදලක් ලබාදීමෙන් උදව් කිරීම නිසා ඇතිවන අවිශ්වාසය පිළිබඳයි මෙහිදි කතාබහ කෙරෙන්නේ. මේ මිනිසා කවුද? ඔහු අපට උදවු කරන්නේ ඇයි? මේ විදියට මුදල් දෙන්න උත්සාහ කරන්නේ හොරෙන් ගත්ත මුදලක්ද? එහෙමත් නැත්නම් මේ මනුස්සයා පොලිසියේද? අපට අල්ලසක් දුන්නා කියලා අත්අඩංගුවට ගන්නද හදන්නේ? ආදි ලෙස උදවු කරන පුද්ගලයා ගැන අද අපේ සිතේ ඇතිවන ප්‍රශ්නයයි මේ කතාබහ කරන්නේ. අනෙක් කෙටි නාට්‍යය දිවෙන්නේ ක්‍රිකට් පිළිබඳ යන විස්තර විචාරය තමන්ගේ කාමරයට නොඇසෙන නිසා ඒ ඇසීමට අසල ම කාමරයට පිවිසෙන තරුණයකු හා කාන්තාවක සම්බන්ධයෙන් හෝටල් හිමියා දක්වන වැරැදි මතයත්, හෝටල් හිමියා පිළිබඳ ඔහුගේ බිරිය දක්වන වැරැදි වැටහීමත් යන අවිශ්වාසය මූලික කර ගනිමින් ඇති වන ගැටුමයි.

මේ නිර්මාණයේ යටි පෙළෙන් දිවෙන හාස්‍යයකුත් ගැබ් වෙනවා?

අද බිහිවන බොහෝ නිර්මාණවල තිබෙන්නේ හාස්‍ය බලෙන් ඔබ්බවලයි. එක්කෝ එදිනෙදා පවතින දේවල් නේ ඒ මඟින් කියන්නේ. එහෙමත් නැත්නම් පත්තරේ තිබෙන දේවල් කියවනවා. පත්තරේ තිබෙන දේවල් කියන්න නාට්‍යයක් කරන්න ඕන නම් පත්තරේ කියවන්න පුළුවන් නේ. අපට එහෙම නිර්මාණ කරන්න අවශ්‍ය නැහැ. පිටපතට බාහිරෙන් කිසිම දෙයක් ලියලා නැහැ. පිටපත හරහා මතුවන හාස්‍යයයි මෙහිදි ඉස්මතු වන්නේ. මේ පිටපතෙන් මතුවන ඒ අපූර්වත්වය විඳීන්න සියල්ලන්ට ම 17, 18 දවස්වල ලුම්බිණියට එන්න කියලා මා සියලු ම ප්‍රේක්ෂකයන්ට ආරාධනා කරන්න මෙය අවස්ථාවක් කර ගන්නවා.

‘දෙසීය තුන්සීය’ කෙටි නාට්‍ය සඳහා සහභාගි වන නළු - නිළියන් කවුරුන් ද?

මෙහි රංගනයෙන් මා මෙන්ම ජයලත් මනෝරත්න, සම්පත් තෙන්නකෝන්, ෆර්නි රෝෂනී, සුජානි මේනකා, නිමල් ජයසිංහ, ඉෂාර වික්‍රමසිංහ, සමදරා මාබුලගේ, ජගත් පද්මසිරි, උපාලි බණ්ඩාර යන නළු නිළියෝ සහභාගි වෙනවා. සංගීතයෙන් ශාන්ත බණ්ඩාර, අංගරචනයෙන් ජගත් පද්මසිරි, පසුතල නිර්මාණයෙන් සම්පත් තෙන්නකෝන්, ඇඳුම් නිර්මාණයෙන් ස්විනීතා සුබසිංහ, සමදරා මාබුලගේ, වේදිකා සැලසුමෙන් වනිගරත්න දිනාවත්ත, වේදිකා පරිපාලනයෙන් වික්‍රම අත්තනගම, රංගාලෝකය නිර්මාණයෙන් සංජීව උපේන්ද්‍ර, ආලෝකය මෙහෙය වීමෙන් ඩබ්ලිව්. ගාමිණී, පෙළ මතක් කිරීමෙන් සුජිත් විජේසිංහ, සංවිධානයෙන් සුසිල් වික්‍රමසිංහ යන ශිල්පීහු ‘දෙසීය තුන්සීය’ සඳහා දායකත්වය ලබාදෙනවා.

‘දෙසීය තුන්සීය’ සඳහා සහභාගි වන නළු - නිළියන් අතර සුජානි මේනකාත් රඟපානවා. ඈ වේදිකාවට රංගනයෙන් සහභාගි වන්නේ පළමු වරටයි.

මුලින් ම මේ නාට්‍යවල මම රඟපාන්නේ නැහැ කියන අදහසෙනුයි සිටියේ. ඒ සඳහා කවුරුද සම්බන්ධ කරගන්නේ කියලා සිත සිත සිටින විටයි අපේ මතකයට සුජානිව සිහිපත් වන්නේ. ඈ සම්බන්ධයෙන් අපට ඥාතිත්වයකුත් තිබෙනවා. කොහොමත් ඈ සිටියේ වේදිකා නාට්‍යයක රඟපාන්නත් ආසාවෙන්. ඒත් ප්‍රේක්ෂකයන්ව සජීවව මුහුණ දෙන්නට යම් භයකුත් ඇගේ සිතේ ඇති වෙලා තිබුණා. ඒත් පිටපත ගිහින් දුන්නට පස්සේ ඈ ඊට බොහොම කැමැති වුණා. එහිදි මා ඇගේ තිබෙන විශේෂ ලක්ෂණයක් දැක්කා. ඒ ඈ මේ හැම දෙයක් ම ඉගෙන ගන්න කැමැත්තක් දැක්වීමයි. මා සිතන්නේ අප සියලු දෙනාටමත් වඩා මේ වනවිට මුළු පිටපත ම පාඩම් ඇයටයි. සමහර විට ඈ පෙළ මතක් කර දෙන්නෙක් ලෙසත් කටයුතු කරනවා. බොහොම උනන්දුවෙන් ඈ මේ හැමදෙයක් ම ඉගෙන ගන්නවා. අද වගේ කාලයක වේදිකා නාට්‍යයකට කරන කැපවීම ලෙහෙසි පහසු නැහැ. ඒ කැපවීම කිරීම ගැන මා සුජානිට ස්තුතිවන්ත වෙනවා.

‘දෙසීය තුන්සීය’ ළඟදි ම දිගු විදේශ සංචාරයක් සඳහාත් සූදානම්ව නේද සිටින්නේ?

කොහොමත් අපේ වේදිකා නාට්‍ය විදේශ රටවල වේදිකා ගත කරනවා. මීට පෙරදිත් ප්‍රංශයෙන් ඉන්න රසික ජනතාවගෙන් ජයලත් මනෝරත්නයන්ගේ නාට්‍යයක් වේදිකා ගත කිරීම සඳහා යම් ඉල්ලීමක් කරලයි තිබුණේ. ඒ අනුව මේ කෙටි නාට්‍ය දෙකට එහි වේදිකා ගත කිරීමට අවස්ථාව ලැබෙනවා. මේ අනුව අපි අප්‍රේල් මාසයේ එහි පිවිසීමට බලාපොරොත්තුවෙනුයි ඉන්නේ. ප්‍රංශය ජර්මනිය, ඉතාලිය ඇතුළු යුරෝපයේ රටවල් ගණනකට යන්නයි අප අදහස් කරගෙන ඉන්නේ.