වර්ෂ 2017 ක්වූ ඔක්තෝබර් 18 වැනිදා බදාදා




ආචාර්ය උපාධියෙන් පිදුම් ලැබූ ප්‍රථම ගායිකාව
සොඳුරු ආඥාදායකයා
විජය ගී අසන්නට 9 වැනිදා සවස “ගඟ අද්දර”ට එන්න
පතිරාජගේ ‘ස්වරූප’ දැන් තිරයේ
අක්කා මෙහෙයවන්න නංගී සැරසේ
මෙවර සුමති පිදුණේ මෙහෙමයි
ජෝ අබේවික්‍රම හය වැනි ගුණ සමරුව
දින 65 ක් තුළ ප්‍රේක්ෂකයෝ ලක්ෂ 7 ක් ධර්ම යුද්ධය නරඹලා
ළමා මනස හඳුනා ගනිමු
"යෝධයන්ගේ අඩවිය" චිත්‍රපටයේ මුහුරත් උලෙළේ විශේෂ අවස්ථා
ප්‍රතිබැහැ දැක්ම විශේෂ අවස්ථා
විසන්ගමනයේ මුහුරත් උලෙළේ විශේෂ අවස්ථා
ගායක - ගායිකාවන්ට විශ්‍රාම වැටුප් පිරිනැමේ
ජාත්‍යන්තර ඡායාරූප ප්‍රදර්ශනය 15, 16, 17
දුක්මුසු පුවතක්
බොලිවුඩ් ලොක්කෝ පොඩ්ඩන්ට නම් දාපු හැටි
ඉලන්දාරින්ගේ සිනමා ගැස්ම COINS සිනමා උලෙළ
සම්පූර්ණ ආදායම ලක්ෂ 1000 ට ආසන්නයි
මාතා ගැන කතාබහක්
ආචාර්ය පතිරාජගේ කෘති 3 ක් දොරට වඩී
සුවඳ පද්ම උලෙළවල් පහක් මඟින් පිදිය යුත්තන් පිදීම මගේ ඉදිරි අරමුණයි

සුවඳ පද්ම උලෙළවල් පහක් මඟින් පිදිය යුත්තන් පිදීම මගේ ඉදිරි අරමුණයි

කලාසූරි සතිස්චන්ද්‍ර එදිරිසිංහ කියයි...

ප්‍රවීණ රංගන ශිල්පී සතිස්චන්ද්‍ර එදිරිසිංහ සංවිධානය කරන මිහිඳු සංස්කෘතික පදනම මඟින් පස්වැනි වරටත් සිදුකරන සුවඳ පද්ම උපහාර සම්මාන උලෙළ හා පොත් එළිදැක්වීම උඳුවප් මස 11 වැනිදා පස්වරු 3.00 ට කොළඹ 10 ආනන්ද විද්‍යාලයීය කුලරත්න ශාලාවේ දී පැවැත්වෙයි. ඒ අයුරෙන් පැවැත්වීමට නියමිත සුවඳ පද්ම උපහාර සම්මාන උලෙළ පිළිබඳත්, ඔහුගේ රංගන ජීවිතය පිළිබඳත් සිදුකළ කතාබහකින් මේ ලිපිය සැකසිණි.

මාස්ටර් අයියාගේ නිවෙස කැලණිය නුංගමුගොඩ ගම්වැසියන්ට නුපුරුදු නිවෙසක් නොවේ. යමක් කමක් උවමනා වුණු විගස එහි දුවන ගම්වැසියන්වත්, දුගී - දුප්පතුන්වත් කවදත් හිස් අතෙන් නොයවන මාස්ටර් අයියාගේ හොඳ හිත ඒ පළාතේ කිසිවකුටත් රහසක් නොවීය. එදින නම් ඒ නිවෙස ඉදිරිපස උන්නේ අමුතු මිනිසෙකි. ගෝනියක් කරගහගෙන, වැරහැලි හැඳගත් මේ මහලු මිනිසා ඇවිද්දේ සැරයටියක වාරුවෙනි. ඒ වැහැරුණු ගත හැරමිටියට වාරු කරගනිමින් මාස්ටර් අයියාගේ නිවෙසට පැමිණි මේ අමුතු මිනිසා දෙස බලාගෙන සිටියේ කුඩා කොලු ගැටයෙකි. ඒ කොලු ගැටයාගේ සිතට කෙතරම් පුදුමයක් දැනී තිබුණේ ද යන්න, යමක් ඉල්ලන්නට පැමිණි මේ මිනිසා බොහෝදුර යනතුරුත් ඔහු දෙස ම බලා සිටි බැල්මෙන්ම හැඟෙයි. එසැණෙන් ඔහු දිව ගියේ ඇසිපිය ගසන වේගයෙනි. ගතවූයේ මඳ කාලයකි. ඔහු අත වූයේ නිවෙසේ එහෙමෙහෙ ඇවිද සොයාගත් සැරයටියකි. අඩුවකට තිබුණේ කරේ එල්ලා ගැනීමට සුදුසු ගෝනියකි. එවිට ම ඔහු දුටුවේ සිය ආත්තම්මා ගෙමිදුලේ එක කොණක වේලන්නට එලා ඇති බිලිං ගෝනියකි. බිලිං ටික ගෝනිය ඇතුළට දමාගත් කොලු ගැටයා මීට ටික වෙලාවකට පෙර පැමිණි යාචකයා සේ සැරයටියට වාරුවෙමින් ඇවිද පිනට යමක් ඉල්ලුවේ ඔහුව අනුකරණය කරමිනි. මේ ජරමරය ඇසී එතැනට පැමිණියේ ආත්තම්මා ය.

“පොඩි උන්නැහැ....”

ඒ ස්වරයෙන් යාචකයා ලෙස රඟපෑ කොලු ගැටයා ඈ දෙස හැරී බැලුවේ එක්වරම ය. තමාට සැරෙන් උපදෙස් දෙන සිය ආත්තම්මා දෙස හැරී බැලූ පොඩි උන්නැහැගේ සිතට පිවිසියේ කේන්තියකි. ඔහු විගසින් නිවෙස ඇතුළට දිව ගියේ ඒ කේන්තියත් සමඟිනි. නිවෙසින් එළියට පැමිණ වේගයෙන් ළිඳ අසල නැවතුණු ඔහු ඒ දෙසට යමක් දමා ගැසුවේ එකපිම්මට ය.

එදා පොඩි උන්නැහැ ළිඳ ට අත්හළේ බුලත් කොටන වංගෙඩියකි. ඒ ඔහුගේ ආත්තම්මාගේ ය. ඒ ආත්තම්මා එදා පොඩි උන්නැහැ යන නමින් ඇමතූයේ අන් කාටවත් නොවේ. අද වනවිට රංගන ලොවේ දිගු ගමනක් පිය නැගූ ප්‍රවීණ රංගන ශිල්පියකුට ය. එනම් සතිස්චන්ද්‍ර එදිරිසිංහයන්ට ය.

“ගමේ හතර පස් දෙනෙක් ළිඳට බැහැලයි එදා ආත්තම්මාගේ බුලත් කොටන වංගෙඩිය ගත්තේ. මට මේ නාටකීය අවස්ථාව තවමත් මතකයි. ඒ විතරක් නොවෙයි අපේ ජීවිතවලට බෙහෙවින් ම බලපෑම් කළේ අපේ නිවෙසේ චරිතයි. විශේෂයෙන් ම අම්මා, තාත්තාගේ චරිතයි. තාත්තා සේවය කළේ ගෘහ කර්මාන්ත දෙපාර්තමේන්තුවේ ප්‍රධාන පරීක්ෂක විදියටයි. අම්මා රැකියාවක් කළේ නැහැ. ඒත් අම්මයි, තාත්තයි අපේ ප්‍රදේශය ඇතුළේ කැපී පෙනෙන චරිත දෙකක්. තාත්තා ගමේ සමිති සමාගම්වල මුලසුන හෙබවූව කෙනෙක්. අම්මත් කුලඟන සමිතියේ ප්‍රධානත්වය ඉසිලුවා. ගමේ පොදු වැඩකටයුතුවලට දෙන්න ම මුල්වුණා. ශක්ති ප්‍රමාණයෙන් අනෙක් අයට උදව් උපකාර කළා. ඒ හින්ද ම ප්‍රදේශවාසීන්ගේ සිත්වල අම්මයි, තාත්තායි ගෞරවාදරයට පත් වූ චරිත දෙකක්.”

අප මුණ ගැසුණු මොහොතේ ප්‍රවීණ රංගන ශිල්පී සතිස්චන්ද්‍ර එදිරිසිංහ ඒ වසර පනස් පහකටත් පෙර වූ අතීතයේ සිතුවිලි දාමයක පැටලුණේ ඉබේම ය. ඒ අතීතයෙන්, වර්තමානය දෙසට රැගෙන එමින්, මම ඔහුගෙන් මෙසේ විමසීමි.

“ඔබව මේ තරම් සමාජ සේවයට යොමුකරන්නේ කුඩා කාලයේ පටන් ම නිවැසියන්ගෙන් ම ලැබුණු මේ හුරුව ද?”

“ඇත්තට ම තාත්තාගේ ඒ සමාජ සේවා කටයුතුයි මගේ ගමන්මඟ සකස්කර ගැනීමට මාව පොලඹවන්න ඇත්තේ. මට මතක ඇති විදියට අපේ නිවෙසෙන් එවැනි කටයුතුවල වැඩිපුර ‍යෙදුණේ තාත්තා. නොදැනුවත්ව ම ඒ හුරුවයි මගේ ජීවිතයටත් මෙවැනි කටයුතු කිරීමට බලපෑමක් කරන්නට ඇත්තේ. ”

සිය පියාගේ මතකය සිහිපත් කරමින් ප්‍රවීණ රංගන ශිල්පී සතිස්චන්ද්‍ර එදිරිසිංහ පැවසුවේ මඳ සිනහවක් මුවඟට නඟා ගනිමිනි.

“ළඟදීම සිදුවන මේ උපහාර පිදීමේ උලෙළ සංවිධානය වී තිබෙන්නේ කෙසේ ද?”

මේ සුවඳ පද්ම උපහාර උලෙළ 2016 වසරේ ඒ කටයුත්ත අප සිදුකරන්නේ පස්වැනි වතාවටයි. ඒ සම්මාන පිදීම සිදුවන්නේ කලාකරුවන් දාසය දෙනෙකුටයි. ඒ දහසය දෙනා අතර ප්‍රවීණ රංගන ශිල්පියකු වන සුමින්ද සිරිසේනත් සිටිනවා. මේ අය අතරෙන් අයහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් සිටින ඔහුට පමණක් මුදල් පරිත්‍යාගයක් කිරීමටත් අප සූදානම්. ඊට අමතරව අප තවත් විසිදෙනෙකුට මුදල් තෑගි සමඟ උපහාර තිළිණයක් පිරිනමන්නත් සූදානම්. ඒ අතර සිටින අගය කිරීම් කරන අයගෙන් සමහර අය අද ක්ෂේත්‍රයේ නැහැ. ඒ අයව අද පරපුර දන්නෙත් නැහැ. කිසිම දවසක ඔවුන්ව ඇගයීමට ලක්වෙලාත් නැහැ. උදාහරණයක් විදියට බර්නාඩ් රෙජිනෝල්ඩ්, ඇන්ටන් ග්‍රෙගරි, ජෝර්ජ් මනතුංග, බොනිපස් ප්‍රනාන්දු, නිශාන්ත ද අල්විස් යන කලාකරුවන් මේ අතර සිටිනවා. සුවඳ පද්ම උපහාර උලෙළේ පැවැත්වෙන්නේ මහාචාර්ය ජේ. බී. දිසානායකගේ ප්‍රධානත්වයෙන්. මේ උලෙළට විශේෂ ආරාධිත අමුත්තන් ලෙස ආචාර්ය කලාකීර්තී එඩ්වින් ආරියදාස, ආචාර්ය රවීන්ද්‍ර රන්දෙණිය, ආචාර්ය මාලනී ෆොන්සේකා, ප්‍රවීණ රංගන ශිල්පිනී ශ්‍රියානි අමරසේනත් සහභාගි වීමට නියමිතයි. එදින විශේෂ ආරාධිත දේශනය පවත්වන්නේ කැලණිය විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යයන අංශයේ මහාචාර්ය දර්ශන රත්නායකයි. ගායනයෙන් හා සංගීතයෙන් සහය වන්නේ වික්ටර් රත්නායකයන්, ජගත් වික්‍රමසිංහ හා ජයන්ත රත්නායකත් ඇතුළු ශිල්පීන් කිහිපදෙනෙක්. නර්තන කටයුතුවලින් සහය වන්නේ චන්න - උපුලී රංගායතනයත්, චන්දන වික්‍රමසිංහත්. නිවේදන කටයුතුවලින් හේම නලින් කරුණාරත්න, හරේන්ද්‍ර ජයලාල්, නදීක කරුණාරත්න, දිනූෂා රාජපතිරණ, සාරංග දිසාසේකර, ධනුෂ්ක ලක්මාල්, නාලක ඉල්ලවතුරත් සහයෝගය දක්වනවා. වේදිකා සැරසිලිවලින් නිමල් ජයවර්ධනත්, විදුලි ආලෝකයෙන් උපාලි රූපසිංහත් සහය වෙනවා. කලාකරුවකු ලෙස, කලාකරුවන් පිරිවරාගෙන, කලාකරුවන්ට කෘතවේදිත්වය පිරිනමන මේ කලා මංගල්‍යයට සියල්ලන් ම සහය වන්නේ කිසිඳු අය කිරීමක් නොකරයි.”

මේ ප්‍රවීණ කලාකරුවාගේ මූලිකත්වයෙන් මිහිඳු සංස්කෘතික පදනම පිහිටු වන්නේ 2010 වසරේ දී ය. අනෙක් අයට යහපතක් කිරීමේ අදහසෙන් ආරම්භ වුණු මිහිඳු සංස්කෘතික පදනමට අරමුණු ත්‍රිත්වයකි. ඒ සාර ධර්ම අධ්‍යාපනය පළමු වැන්නයි. එහිදී දහම් පාසල් ඇතුළු විවිධ ආයතනවල දේශන පැවැත්වීම, පොතපත එළිදැක්වීමත් සිදුවෙයි. දෙවැනි අරමුණ පරිසරය සුරැකීමයි. තෙවැන්න කළගුණ සැලකීමයි. මේ වනවිට ඒ පදනමට වසර හතකි.

“මේ උපහාර උලෙළේ දී ම තවත් වැදගත් කටයුත්තක් සිදුවෙනවා. ඒ කුමක් ද?”

“මා ලියූ ‘හොඳ පුතා’, ‘අපේ තාත්තා’ කියන දමිළ භාෂාවට පරිවර්තනය වූ ළමා පොත් දෙකත්, ‘සතිස්චන්ද්‍ර ප්‍රතිභා ප්‍රභාවලෝකනය’ හා ‘මට 75 - සතිස්චන්ද්‍රයන්ගේ දිවියේ ජීවන හා කලා තොරතුරු ඇතුළත් ග්‍රන්ථය’ යන ග්‍රන්ථත් එදිනට එළිදැක්වීමක් සිදුවෙනවා. ”

යුතුකම් දන්න පිරිසක් මිහිඳු සංස්කෘතික පදනම වටා ඒකරාශි වී සිටිති. ඒ කටයුතුවලට ඔවුන් ඇතුළු බොහෝදෙනෙකු අවශ්‍ය ධන පරිත්‍යාග කරන්නේ සැබෑ ලෙස ම සැදැහැවත් සිතෙනි. එපමණක් පමණක් නොවේ. මේ වටා ඒකරාශි වී සිටින්නේ ද ස්වෙච්ඡාවෙන් සේවය සැපයීමට කැමැත්තක් දක්වන පිරිසකි.

“මෙවැනි කටයුත්තක් ආරම්භ කිරීමෙන් ඔබ අදහස් කළේ කුමක් ද?”

“අප කන දේ නොවෙයි කාට හෝ දෙන දෙයයි සුවඳ වන්නේ. යම් කෙනෙකුට උපහාරයක් කිරීම හෝ මුදල් පරිත්‍යාගයක් කිරීමයි දානය වන්නේ. ඒ ඔස්සේ ඇතිවන සුවඳයි දිව්‍ය ලෝකය කරා ගමන් කරන්නේ. මේ ආකාරයෙන් අපේ තිබෙන යහපත් ආකල්ප, සාරධර්ම, තරුණ පරම්පරාවට, ඉදිරි පරම්පරාවටත් අප පුරුදු පුහුණු කළ යුතුයි. තවමත් ඔවුන්ට ඒවා ගැන දැනුම්වත්කම් ඒ තරම් ම නැහැ. ජ්‍යෙෂ්ඨ පුරවැසියන්, ජ්‍යෙෂ්ඨ කලාකරුවන් විදියට අපට පැවරී තිබෙන යුතුකමක් වන්නේ ඒ අවබෝධය ඔවුන්ට ලබාදීමයි. ඒ අවබෝධය ලබාදීමට නම් අප ඒ දේ ක්‍රියාවෙන් ඔවුන්ට ඔප්පු කළ යුතුයි. මගේ අරමුණ නම් තවත් උපහාර උලෙළවල් පහක් කිරීමයි. ඒ කාලය වනවිට මා රෝද පුටුවකින් හෝ යන්න පුළුවන්. ඒත් යම් කාර්යයක් කිරීමේදී වැදගත් වන්නේ යහපත් සිතුවිල්ලයි. අධිෂ්ඨානයයි. යහපත් සිතුවිල්ලක් වැපුරූ පසුව අපට යහපත් ක්‍රියාවක් වපුරා ගත හැකියි. ඒ ක්‍රියාව නැවත නැවතත් වැපිරිය යුතුයි. එවිට අප නෙළා ගන්නේ පුරුද්දක්. එයත් නැවත වැපිරීමේදී අප නෙළා ගන්නේ චරිතයක්. චරිතය නැවත වැපිරීමෙන් අපට නෙළා ගත හැක්කේ අධිෂ්ඨානයක්. මේ අදහස මා ඉගෙන ගත්තේ පෝල් ආනන්ගේ අදහසකිනුයි. ඉන්පසුව ඒ සියලු දේ අපේ තරුණ පරපුර භාර ගනීවි.”

ඔහුගේ ජීවිතය ගෙවෙන්නේ ධර්මයට මුල්තැන දෙමිනි. ධර්මයේ මඟට පිවිසීමේ මූලික ම අවවාදය ඔහුට ලැබුණේ සිය පියාගෙනි. ඒ කුඩා කාලයේ දී ම ය.

දිනක් සතිස්චන්ද්‍ර මුහුණ දුන්නේ නොසිතූ ඇබැද්දියකට ය. පාසල් විවේක වේලාවේදී කඩයට ගිය සතිස්ගේ දෙනෙතට හසුවූයේ සිගැරැට් බොන වැඩිමහල් ශිෂ්‍යයන් කිහිපදෙනෙකි. ඔවුන් සතිස්ට ද සිගැරැට්ටුවක් දී බොන ලෙස බල කළ ද සතිස්චන්ද්‍ර එය අතේ තබාගෙන පැමිණියේ ඔවුන්ට එරෙහි වීම කරදර රැසකට පාර කපන බව දත් හෙයිනි. නිමල් මල්ලී ඔහු අභිමුවට පැමිණියේ ඒ අතරතුර ය.

“සිගැරැට් බොනවා නේද?”

ඔහු විමසුවේ සතිස්චන්ද්‍ර දෙස හොරැහින් බලමිනි. හවස නිවෙසට පැමිණි තාත්තා සතිස්චන්ද්‍රට කතා කළේ ය. මල්ලී කේලම අම්මාට පවසා ඇති වග දැන් සතිස්චන්ද්‍රට සක්සුදක් සේ පැහැදිලි ය.

“ඔය ළමයා සිගැරැට් බිව්ව ද?”

හැල හොල්මනක් නැතිව සිටින සතිස්චන්ද්‍ර දෙස තාත්තා විමසුම් සහගත බැල්මක් හෙළුවේ ය.

“ඇඳ යටට යනවා. පැය භාගයකින් විතර එළියට එනවා.”

වරදට දඬුවම කුමක්දැයි දැනගෙන සිටි සතිස්චන්ද්‍ර ඊට සූදානම් වී සිටියේ කල්තියාම ය. නියමිත වේලාවට එළියට පැමිණිය ද යළිත් තාත්තාගෙන් සතිස්චන්ද්‍රට යොමුවූයේ කලින් පැනය ම ය. පැනයට පිළිතුර නොලැබීම නිසා යළි යළිත් සතිස්චන්ද්‍රට සිදුවූයේ ඇඳයට දඬුවම ලබන්නට ය. කිහිපවිටක් ම එසේ කළ පසුව නැවතත් සතිස්චන්ද්‍රට දෙන දඬුවම අත්හිටුවිණි. ඒ වෙනුවට තාත්තාගෙන් ඔහුට ලැබුණේ අපූරු අවවාදයකි.

“ඔය ළමයගෙන් කවුරු හරි කොහේද කියලා ගියේ කියලා ඇහුවොත් කියන්න පුළුවන් තැනකට යන්න. එහේදී මොනව ද කළේ කියලා ඇහුවොත් කියන්න පුළුවන් දෙයක් කරන්න. මොනවද එහේදී කතා කළේ කියලා ඇහුවොත් කියන්න පුළුවන් දෙයක් කතා කරන්න.”

එදා තාත්තා දුන් අදහස සතිස්චන්ද්‍රගේ හදවතේ කොණක තැන්පත් වූයේ කිසිදිනෙක අමතක නොවන අයුරෙනි. ඒ අදහස් පෙළ ට ඔහු අදටත් ගෞරව කරන්නේ ධම්ම පදයේ එන ගාථාවකට මෙන් ය.

“එදා පටන් ම අද දක්වා ම මගේ ජීවිතයේ සියලු කටයුතු පෙළ ගැස් වී තිබෙන්නේ ඒ අවවාදය මූලික කරගෙනයි. ධර්මානුකූල ජීවිතයක් ගතකරමින්, ධර්මයට අනුව හැසිරෙමින්, හැකි අයුරෙන් අනෙක් අයට උදව් කරමින් ජීවිතය ගත කිරීම මගේ සිතට ගෙනෙන්නේ අපූරු සැනසීමක්.”

ඔහුගේ දෙනෙතේ පෙනෙන්නේ සැබෑ ම සැනසීමකි.

සතිස්චන්ද්‍ර එදිරිසිංහ තරුණයාගේ රුව පළමු වරට සිනමා ප්‍රේක්ෂකයාට මුණ ගැසෙන්නේ ‘සැඩොල් කඳුළු’ චිත්‍රපටයෙනි. ඒ හිස මුඩු කළ භික්ෂුවගේ චරිතය ඔස්සේ ය. එහිදී සිදුවුණු අපූරු සිදුවීම සාක්ෂි දරන්නේ ඔහුගේ සිතේ රංගනයට තිබුණු ආදරය හා ගෞරවයයි.

සතිස්චන්ද්‍රගේ විවාහයට දින යෙදී තිබුණේ වැඩි ඈතක නොවේ. ඒත් සමඟ ම ඔහුගේ සිතේ තිබුණු රඟපෑමේ ආසාව මුදුන්පත් කරමින් ‘සැඩොල් කඳුළු’ චිත්‍රපටයට ද ආරාධනා ලැබිණි. එහි චරිතය භික්ෂුවක් වූයෙන් හිස මුඩු කිරීමට සතිස්චන්ද්‍රට සිදුවන බව ද අධ්‍යක්ෂවරයා දැනුම්දුන්නේ මේ අතර ය. එක් අතක දින කිහිපයකින් සිදුවන විවාහයත්, අනෙක් පසෙන් කලක සිට සිනමාපටයක රඟපෑමට තිබුණු ආසාවත් අතර සතිස්චන්ද්‍රගේ සිත දෝලනය වෙමින් පැවැතිණි. ඔහු මේ දෙක ම තෝරා ගත්තේ ය. ඒ ‘සැඩොල් කඳුළු’ චිත්‍රපටයේ භික්ෂුවගේ චරිතය රඟපා, සිය මංගල ඡායාරූපයට තට්ට හිසකින් පෙනී සිටීමට ය.

ඉන්පසුව ‘හරිමග’, ‘කොටි වලිගය’, පළිඟු මැණිකේ, ‘පාරමී දම්’, ‘සෙනෙහෙලතා මැණිකේ’, ‘හොස්ටේජස්’, ‘සෙරන්ඩිබ්’ යන චිත්‍රපට රැසක ම සතිස්චන්ද්‍ර එදිරිසිංහ රඟපෑවේ බෞද්ධ භික්ෂුවකගේ චරිත ය.

“ ‘කොටි වලිගය’ චිත්‍රපටය ඔබගේ ජීවිතයේ සුවිශේෂී කඩඉමක්?”

“ගාමිණී ෆොන්සේකාගේ ‘කොටි වලිගය’ චිත්‍රපටයේ දි මට තිබුණේ ‘සිංහල ලේ ද? දෙමළ ලේ ද? කියලා අහන එක විතරයි. තත්පර අනූවකදි වචන හතරක් තියන චරිතයක්. චිත්‍රපටය පුරා රඟපෑවේ නැතිවුණත් එයට සම්මානයක් ලැබුණා. ඒ සරසවිය සම්මාන උලෙළේ දී විශිෂ්ට කුසලතා සම්මානයක්. ඒ ලැබුව සම්මානයටත් වඩා අද සිටින නව පරපුරේ නළු - නිළියන්ට ඉන් ලබාගත හැක්කේ හොඳ පාඩමක්. මක් නිසා ද කිව්වොත් අද සිටින අය බලන්නේ ලැබෙන චරිතය හොඳට කිරීමට නොවෙයි. ලොකු චරිතයක් ලබාගෙන එක් රැයකින් ජනප්‍රිය වීමයි.”

වර්තමාන පරපුරට සතිස්චන්ද්‍ර එදිරිසිංහයන් දුන්නේ උපදේශයකි.

එතැනින් නොනවතින ඔහු අධ්‍යක්ෂණය කරන ‘මාතර ආච්චි’ චිත්‍රපටය මඟින් කලා ලොවට පිවිසෙන්නේ රජතුන් කට්ටුවකි. ඒ සුනිල් එදිරිසිංහ, වික්ටර් රත්නායක හා සතිස්චන්ද්‍ර එදිරිසිංහයි. ඒ නිසා වසර පනස්පහක් තරම් කාලයක් ගත වූ කලා ජීවිතයේ දී මේ වනවිට වේදිකාව, පුංචි තිරය හා රිදී තිරය යන මාධ්‍ය ත්‍රිත්වය ම ජයගත හැකි වූ සතිස්චන්ද්‍ර එදිරිසිංහ යන නාමය ප්‍රේක්ෂක මනසේ රැඳෙන්නේ නිතැතිනි. ඔහු, ඔවුන්ගේ හදවත පත්ලේ ම ලැඟුම් ගනියි. මේ සා දුරක් පැමිණි ඔහුගේ කලා දිවියේ මේ ගත වූ පනස් පස්වැනි වසර දක්වා ආපසු හැරී බලද්දී ඔහුගේ සිතට ගෙනෙන්නේ සතුටකි.

“මේ වනවිට ඔබ ඉන්නේ අධ්‍යක්ෂණය, රඟපෑම ආදී කටයුතුවලින් සම්පූර්ණයෙන් ම ඉවත් වෙලා ද?”

“අද චිත්‍රපට කරන අය කරන්නේ වෙනත් වෙනත් පරමාර්ථවලින්. අප එදා වගේ චිත්‍රපට කරනවා වගේ දැන් චිත්‍රපට කරන්න බැහැ. ටෙලි නාට්‍යවල තත්ත්වයත් එහෙමමයි. මෙවැනි දේ නිසා නිර්මාණවල නියැළෙන්න සුදුසු පරිසරයක් දැන් අපේ රටේ ඇත්තේ නැහැ. ඒ නිසා මෙවැනි දේවල් ගැන සිතමින් සිත් තැවුළෙන් වැඩකටයුතු කරනවාට වඩා වෙනත් දොරක් ඇරගෙන වෙනත් පාරක ගමන් කිරීමයි සිදුවිය යුත්තේ. ඒ කටයුත්තයි මා මේ කරන්නේ.”

ප්‍රවීණ රංගන ශිල්පී සතිස්චන්ද්‍ර එදිරිසිංහයන් පවසන්නේ වර්තමානයේ සිදුවිය යුතු දේ ය.

එමෙන් ම සැදෑ සමයට පිවිස සිටින සතිස්චන්ද්‍ර එදිරිසිංහයන්ට යන්ට දැන් වයස හැත්තෑපහකි. බිරිය ශ්‍රියා එදිරිසිංහ හා බොහොම සුන්දරව ගෙවන ඔවුන්ගේ විවාහ දිවිය කාටත් ආදර්ශයකි.

“මගේ ජීවිතයේ සියලු කටයුත්තකදී ම මගේ ළඟට වී සිටියේ ආදරණීය බිරිය ශි‍්‍රයායි. මේ උලෙළ අවසානයේ මගේ ජීවිතයට උදව් කළ කිහිපදෙනෙකුටම හා මා ඉගෙනගත් පාසල්වලටත් මගේ අතෙන් යම් සම්මාන කිහිපයකුත් ලබාදීමට මා සූදානම්. විදෙස් ගත වී සිටින දරුවනුත් එදිනට පැමිණේවි.”

මේ කුමන දෙයක් උදා වුවද සතිස්චන්ද්‍රයන් ජීවිතයට මුහුණ දෙන්නේ බොහෝ සතුටෙනි. උපේක්ෂාවෙනි. ඒ සතුට විඳීන්නට ඉඩහල අපි ඔවුන්ට චිරංජයතු පතමින් ම සමුගතිමු.