වාසි ද? අවාසි ද?

සැප්තැම්බර් 23, 2021

නසරුදීන් ෂා බොලිවුඩයේ ජනප්‍රිය ජ්‍යෙෂ්ඨ රංගන ශිල්පියෙක්. පසුගිය දිනෙක සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ඔහු කියා සිටියේ මෑතක සිට බොලිවුඩයේ රජයට ගැති චිත්‍රපට තැනීම සඳහා චිත්‍රපට නිෂ්පාදකයන් දිරිමත් කරන බව පෙනෙන්නට තිබෙන බවයි. ඔහුට අනුව එවිට නිෂ්පාදකයන් හට මුදල් ද පිරිනැමෙන අතර ඔවුන්ගේ මනාපයට අනුව චිත්‍රපට නිපදවන්නේ නම් එම චිත්‍රපට ප්‍රචාරණයද පහසු වේ. නසරුදීන් ෂා හෙළිදරවු කරන්නේ රජයට ගැති චිත්‍රපට තැනීම සඳහා චිත්‍රපට නිෂ්පාදකයන් දිරිමත් කරන බව දැකගත හැකි සේම වර්තමානයේ බොහෝ දැවැන්ත චිත්‍රපටවලට භාෂාමය න්‍යාය පත්‍රයක් ඇති බවයි.

එසේම චිත්‍රපට කර්මාන්තයේ කිසිදු දැඩි ආගම්වාදයක් තමා නිරීක්ෂණය නොකළත් ආරම්භයේදී නම වෙනස් කරන ලෙස තමාට උපදෙස් ලැබුණු බවද සිහිපත් කළේය. එහිදී තම තීරණය වාසිදායක වූවාද? නැද්ද? යන්න පිළිබඳව තමාට දැන ගැනීමට ක්‍රමයක් නොමැති බවත් ඔහු පැවසීය. නසරුදීන් ෂා, දශක පහකට ආසන්න කාලයක් ඉන්දීය සිනමාවේ කොටසක් වී ඇත. ඔහු සතුව නිශාන්ත්, ආක්‍රෝෂ්, මිර්ච් මසාලා, ඇල්බට් පින්ටෝ කෝ ගුස්සා කියොන් අතා හේ, ජූනූන්, මන්දි, අර්ද් සත්‍යා, ජානේ භී දෝ වැනි චිත්‍රපට තිබේ.