චරිත් අබේසිංහගෙන් පුංචි තිරයට හා රිදී තිරයට නිර්මාණ දෙකක්...

අප්‍රේල් 8, 2021

දෙමාපියන් නැති දරුවන්ට සමාජයෙන් අත්වන ඉරණම, ආදරය නොලැබීම නිසා ඔවුනගේ හැසිරීම වෙනස්වන ආකාරය ඒ අය සමාජය විසින් කොන්කිරීම හා ඒ හේතුවෙන් ඔවුන් සමාජයට වෛර කිරීම යන කාරණා තේමා කර ගනිමින් නිර්මාණය කෙරෙන 'NUMBER 9’ චිත්‍රපටය ළගදීම තිරගත වීමට නියමිතයි. මහේන්ද්‍ර පෙරේරා, දෙව්නක පෝරගේ, උදාරි වර්ණකුලසූරිය, ධනංජය සිරිවර්ධන, සුනීතා විමලවීර චරිත නිරූපනය කරති.

කැමරාකරණය හා අධ්‍යක්ෂණය චරිත් අබේසිංහ, සංගීතය දිනේෂ් සුබසිංහ, නිෂ්පාදනය සම්පත් වෙදගේ හා පිටපත ජනප්‍රිය රංගන ශිල්පී ධනංජය සිරිවර්ධනගෙනි.

අධිරාජ්‍යවාදීන් ලංකාව පාලනය කරන කාලයේ අනුරාධපුරයේ වන්නි රජ වූ පළමු කාන්තාවට අටමස්ථානයේ ගිහි භාරකාරත්වය ලැබේ. සුද්දාගෙන් පීඩාවට පත් හෙළ ජනයා වෙනුවෙන් ඇය නීතී වෙනස් කරයි. සම්බුද්ධ ශාසනය ආරක්ෂා කරයි. මේ සත්‍ය කතාව පාදක කර ගනිමින් කට්ටබුවගම විජේපාල කුමාරසිංහ විසින් රචිත 'චණ්ඩි කුමාරිහාමී' නවකතාව පාදක කර ගනිමින් ගොඩ නැගෙන චණ්ඩි කුමාරිහාමි ටෙලි සිත්තම වෙනුවෙන් වූ මුහුරත් උලෙළ පසුගිය දා ඇඹිලිපිටිය රෝයල් රීච් හෝටල් පරිශ්‍රයේදී පැවැත්වුණි. ප්‍රියාල් වීරසිංහගේ තිර රචනයක් හා චරිත් අබේසිංහ අධ්‍යක්ෂණයක් වන මෙහි නිෂ්පාදනය කාංචනා ශ්‍රී වර්ධනගෙනි.

මාධවී ඇන්තනි, සතිස්චන්ද්‍ර එදිරිසිංහ, බුද්ධදාස විතානාරච්චි, රම්‍යා වනිගසේකර,ශ්‍යාම් ප්‍රනාන්දු, ධනංජය සිරිවර්ධන, සරත් චන්ද්‍රසිරි, ජයනි සේනානායක, ගම්‍යා විජේදාස,සරත් කොතලාවල ඇතුළු ප්‍රවීණ හා නවක නළු නිළියන් රැසක් මෙහි චරිත මවති.